වවුලෙක් වගේ පියාඹන්න බැට් සූට් | Page 4 | සිළුමිණ

වවුලෙක් වගේ පියාඹන්න බැට් සූට්

කුරුල්ලෙක් වගේ වෙන්න, නිදහසේ අහස පුරා පියාසර කරන්න ගොඩක් දෙනා කැමතියි. ඒ සඳහා අවස්ථාවක් ලැබෙනවා නම් බොහෝ දෙනා හිතාගන්නත් බැරි කැපකිරීම් කරයි. මොකද? කුරුල්ලෙක් වෙලා නිදහසේ පියාසර කරමින් අතිශය සුන්දර අත්දැකීමක් විඳගන්නඑක අතිශය දුර්ලභ අත්දැකීමක් නිසා. මොන දේ කැප කරලා හරි කුරුල්ලෙක් වගේ පියාඹන්න ලැබෙන්නේ කාටද? කාටවත් නෑ. ඒකට හේතුව මිනිස්සුන්ට පියාඹන්න බැරි නිසා.

හැබැයි ඒ ඉස්සර. දැන් ඔන්න කාට කාටත් පියාඹන්න පුළුවන්. ඇයි? මිනිස්සුන්ටත් අත්තටු ලැබෙනවාද? නෑ. අත්තටු ලැබෙන්නේ නෑ. හැබැයි තාක්ෂණිකව අතිශය දියුණු කළ අත්තටු සහිත අහසේ පියාසර කිරීමට යොදා ගත හැකි ඇඳුමක් ලැබෙනවා.

මේ ඇඳුමත් පසුගිය වසරේ ලෝකයේ හොඳම නව නිපැයුම් අතරින් එකක්. හරියටම කියනවා නම් පසුගිය වසරේ හොඳම නව නිපැයුම් දහය අතරින් හතරවැනි ස්ථානය දිනාගත්තේ මේ පියාඹන ඇඳුම. මේ පියාඹන ඇඳුමේ නිර්මාණකරුවන් එය නම් කළේ බැට් සූට් කියලා. මෙතන බැට් කියන්නේ ක්‍රිකට් ගහන බැට් නෙමෙයි. වවුලා කියන එකයි. හරියටම කිව්වොත් බැට් මෑන් සිනමා පටවල රඟපාන නළුවා ඇඳලා ඉන්න ඇඳුම වගේ. ඇඳගත්තාම පියාඹන්නත් පුළුවන්. පෙනුමත් නරක නෑ.

හැම කුරුල්ලෙක්ම පියාඹනවා තමයි‍, ඒත් මෙතනදී මේ ඇඳුමේ නිර්මාණකරුවන් ආදර්ශයට අරගෙන තියෙන්නේ වවුලන්ව. ඔවුන් කියනවා වවුලන් කියන්නේ මිනිසාට සමීපතම කුරුල්ලන් විශේෂය කියලා. මොකද: වවුලන් කියන්නෙත් ක්ෂිරපායීන් නිසා. හරියටම බැලුවොත් පියාපත් විදිහට විකාශනය වෙලා තියෙන්නේ ඔවුන්ගේ අත්. ගස්වල එල්ලිලා ඉන්න ඔවුන් යොදා ගන්නෙත් ඇඟිලි සහිත මේ අත්. ඉතින් මිනිසුන්ටත් වවුලන්ට වගේ අත් සහ සිරුර අතර ප්‍රදේශය ආවරණය වන අන්දමට ඝනකම් හමක් පිහිටලා තියෙනවා නම් එහි ආධාරයෙන් අහසේ පා වෙලා යන්න පුළුවන් නේද?

බැට් සූට් එකේ නිර්මාණකරුවන් තමන්ගෙන්ම මේ ප්‍රශ්නය අහලා තියෙනවා. ඊට පස්සේ ඔවුන් කළේ තෙරපන යොදගෙන සුළඟේ බලයත් පාවිච්චි කරලා ක්‍රමිකව පා වෙලා එල්ල පුළුවන් ක්‍රමයක් සකස් කරන එක. ඊට පස්සේ තමයි බැට් ඇඳුම හදන්නේ. බලන්න පින්තූර දිහා. හරියට වවුලන් වගේම තමයි. මෙතනදී කුරුල්ලන්ට වගේ හිටි ගමන් අහසට පියාසර කරන්න බැහැ. බැට් ඇඳුම ඇඳගෙන ගොඩක් උස් තැනකට යන්න ඕනෙ පියාඹන්න නම්. එහෙම ගිහින් උස් තැනක ඉඳන් බිමට පනින්නත් ඕනේ. එතකොට වේගයෙන් බිමට වැටෙනකොට ඇඳුමේ තියෙන අාධාරක භාවිතයෙන් සුළං අතට අනුව පා වෙලා යන්න පුළුවන්.

අඩුම තරමේ එහෙමවත් පියාඹන්න ලැබිච්ච එක ගැන මිනිස් වර්ගයා විදිහට අපි සතුටු වෙන්න ඕනෙ. හැබැයි මේ ඇඳුමේ මිල ගණන් නම් තවමත් ප්‍රකාශයට පත් කරලා නැහැ.

Comments