මාර්තු 03 වැනිදාට යෙදුණු ජන්ම ශත සංවත්සරය නිමිත්තෙනි. | Page 3 | සිළුමිණ

මාර්තු 03 වැනිදාට යෙදුණු ජන්ම ශත සංවත්සරය නිමිත්තෙනි.

කොළඹ යුගයේ කවි පරපුරෙහි පතාක යෝධයකු වූ අල්විස් පෙරේරාගේ කාව්‍යමය ජීවිතය අළලා ධනපාල නිශ්ශංක විසින් පද්‍යයෙන් ලියා තිබෙන පිටු 112 ක පොතකි. කවියකුගේ ජීවිතය දෙස බැලිය හැක්කේ කවියකුට ම පමණි. ධනපාල නිශ්ශංක විසින් ඒ කාර්යය තරමක් දුරට හෝ කර තිබේ.

තම ජීවිතයේ කුදු මහත් අංශ පසෙක තිබිය දී අල්විස් පෙරේරාගේ කාව්‍ය කුසලතාව පමණක් ප්‍රකාශ කිරීමට මෙවැනි පොත් කීපයක් අවශ්‍ය ය. “රුපියල් අටේ පඩියට පත්තර වික්ක, කොළුවා වෙසෙයි අද මහ කවියන් එක්ක” යනුවෙන් එක්තරා කවි මුළුවකදී තමා ම හඳුන්වා දුන් අල්විස් පෙරේරා පශ්චිම ජනතාවට ඉතිරි කැර තිබෙන සිහිවටන වශයෙන් ගත හැකි පද්‍ය සමුදාය දහස් ගණනකි. මේවායින් බිඳක් හෝ ගෙන හැර දැක්වීමට නිශ්ශංක කවියා දරා තිබෙන ප්‍රයත්නය පැසසිය යුතුවා හෝ ගෙන හැර දැක්වීමට නිශ්ශංක කවියා දරා තිබෙන ප්‍රයත්නය පැසසිය යුතුවා පමණක් ම නොව අඩුපාඩුවක් පිරිමැසීමකැයි ද කිව යුතුය.

අ.ත.ක‍.ස. යේ සමාරම්භක සාමාජිකයකු වූ අල්විස් පෙරේරා සිය යුතුකම් නොපිරිහෙළා ඉටු කළ කෙනෙකි. මොහුගේ සහෘදයන් දෙදෙනකු වූ විමලරත්න කුමාරගම කළුරිය කළ පසු ඔහුගේ චරිතාංගයක් අළලා කවි පොතක් ද කේයස් මළ පසු ඔහුගේ චරිතය අළලා කවි පොතක් ද අප කවියා විසින් ලියා තිබේ. මොහු මළ පසු මොහුගේ සේවය පිළිබඳ යමක් ලිවීමට එක්කෝ විමලරත්න කුමාරගම සිටිය යුතු ය. නැත්නම් කේයස් සිටිය යුතු ය. එහෙත් එය විය නොහැක්කක් හෙයින් ඒ කාර්යය ඉටු කිරීමට ධනපාල නිශ්ශංක ඉදිරිපත් වීම කෘතඥතාව දක්වන කරුණකි.

අල්විස් පෙරේරාගේ කාව්‍ය ශෛලියෙහි දක්නට ලැබෙන සරල වහර, කාලීන උපමා, ගලා යන වාග් ධාරාව හැකිතාක් දුරට මේ පොතෙහි ද දක්නට ලැබේ. අල්විස් පෙරේරා උගත් කවියෙක් නොවේ. සහජ කවියෙකි. මෙවැනි අය පටිභාන කවි නමින් අංගුත්තර නිකායෙහි හඳුන්වා තිබේ. සහජ කවියකු දක්වන කාව්‍ය කුසලතාව උගත් කවියකුට එසේ ම කළ හැකි ද යනු සැක සහිත ය. නිශ්ශංක කවර වර්ගයක කවියකු හෝ වේවා මේ පොතෙහි සාම්ප්‍රදායික පද්‍යයේ කුළුගැන්වීමක් දක්වා තිබේ.

ඉඳුනිල ගේ තුළින් එවූ පණිවුඩය ලබා
අසුනින් නැගී සාලය වෙත දෙ පිය ඔබා
මැලිබන් මාරි බිස්කට් දීසියක තබා
පිළිගැන්නුවේ මට ඒ ඇඟ මහත බබා

අල්විස් පෙරේරා මෙන් නිශ්ශංක ද පද්‍යයේ ආකෘතියට වහල් වී පද විකෘති නොකරයි. සක්ක පද නො යොදයි. උපමා රූපක සොයමින් අඳුරේ අත පත නොගායි. නිඝණ්ටු පෙරළමින් වචන නො සොයයි. කඳු මුදුනින් ගලා බස්නා දිය දහරක මෙන් සමතාවෙන් සමන්විත වාග් මාලාවක් ප්‍රිය කරන කවියාගේ නිසර්ග කවිත්වයට නිශ්ශංක තවම සමාන වී නැති නමුදු ඒ අසලට ම පැමිණ සිටී. දණ්ඩි විසින් හඳුන්වා තිබෙන වාසනා ගුණය මෙම කවියා කෙරෙහි ද මැනවින් පිහිටා තිබෙන හෙයින් අනාගතයේ දී දෙවැනි අල්විස් පෙරේරයකු මොහු තුළින් දක්නට ලැබෙතැයි සිතිය හැකි ය.

අල්විස් පෙරේරාගේ අධික කවිත්වය දක්නට ලැබෙන්නේ ‍ඔහු මුලින් ලියූ කවි වල ය. පසු කාලයේ දී ලියන ලද කවිවල සමහර විටක තාගෝර් හෝ සමහර විටක වර්ඩ්ස්වත් හෝ තෝමස් ග්‍රේ වැනි කවියන්ගේ ඡායාවක් දක්නට ලැබේ. මාර්ටින් වික්‍රමසිංහ මහතා කියන්නාක් මෙන් මොහුගේ අධික කවිත්වයට එය බාධාවක් නොවී ද? ‘චන්ද්‍රලේඛාගේ මිණීවළ ළඟදී’ දහසක් නෙත් ඇති කණාට පිළිතුරු’ වැනි පද්‍යවල ඒ අධීනත්වය විශද වේ.

නිශ්ශංකගේ මෙම පොත කියවන විට අල්විස් පෙරේ‍රාගේ කාව්‍ය ශරීරය මූර්තිමත් වී පෙනේ. මෙහි 10 වැනි කොටස එහිලා වැදගත් වේ. හිටිවන කවි කීම අල්විස් පෙරේරා අතින් ජනප්‍රිය වූවකි. මා වදාකඩ විදුහලේ විදුහල්පති වශයෙන් සිටි අවධියෙහි ශිෂ්‍ය සමිතියේ කතාවක් පැවැත්වීමට පැමිණි අල්විස් පෙරේරා මහතා කතාව අවසානයේ දී කී මෙම කවිය මට දැනුත් සිහියට නැගේ.

මේ ගම් පෙදෙස්වල ගනඳුර තව මෝරයි‍
පුළුපුළුවන් එකා උඩ ගෙඩි ටික සූරයි
අප ගැමි දරුවන්ගෙ මොළ ටික හරි සාරයි
විදුහල්පතිතුමනි උන් ඔබහට බාරයි

ධනපාල නිශ්ශංකගේ පොත අල්විස් පෙරේරා කවියා වෙනුවෙන් ඉදිකළ නොනැසෙන සිහිවටනයකි.

1973 අගෝස්තු ‘රසවාහිනී’ කලාපයෙන් උපුටා ගැනිණි.

Comments