
විද්යුත් මාධ්‍ය විසින් ජනතාව ගොනාට අන්දවා ඇතැයි යන්න සාහසික ප්‍රකාශයක් ලෙසින් බැලූ බැල්මට පෙනී යයි. එහෙත් ටිකක් කල්පනා කරන විට මෑත කාලයක සිට සිදුවන්නේත් අද සිදු වෙමින් පවතින්නේත් එය බව පෙනී යයි. කලකට පෙර කීවේ දේශපාලනඥයන් විසින් ජනතාව කඩේ යවන බවය. එහෙත් අද එයටත් වඩා සිදු වන්නේ මාධ්‍ය විසින් ජනතාව කඩේ යැවීම බව කිව හැකිය.
ඒ සමඟ ම කිව යුතු තවත් කරුණක් තිබේ. අතීතයේ දී සාහිත්‍ය කලාව නාට්‍ය කලාව චිත්‍රපට කලාව පමණක් නොව පුවත්පත් කලාව ද ආදී වශයෙන් ජනතාවට බලපාන විවිධ කලා මාධ්‍ය හා අංශයන් පැවතිණි. එහෙත් අද වන විට මේ සියල්ල ම විද්යුත් මාධ්‍ය බවට පත් ව තිබේ. නාට්‍ය කලාව ද චිත්‍රපට කලාව ද පමණක් නොව දේශපාලනය විද්‍යාව ශාස්ත්‍රීය ගවේෂණය ආදී සියල්ල විද්යුත් මාධ්‍ය විසින් සිය අණසකට යටත් කර තිබේ. වෙන එකක් තබා අද හොරු අල්ලන්නේ ද පොලීසියට වඩා විද්යුත් මාධ්‍ය වේ. නඩු අහන්නේ ද තීන්දු දෙන්නේ ද උසාවියට වඩා විද්යුත්් මාධ්‍ය වේ. එහෙත් මේ සියල්ල කරන්නේ ඒ ක්ෂේත්‍රයන් සම්බන්ධ ප්‍රමාණවත් දැනුමක් ඇති කිසිවකු නැතිව කටමුඛරි කීප දෙනකු හා ඔවුන්ට උපදෙස් දෙන රට ජනතාව ගැන කිසිදු වගකීමක් නැති චැනල් නිලධාරීන් පිරිසක් විසිනි. කලාවේ විද්‍යාවේ සාහිත්‍යයේ පමණක් නොව දේශපාලනයේ අයිතිය ද චැනල් විසින් තමන්ටම පවරාගෙන තිබේ.
දේශපාලනඥයන්ට බලය දෙන්නේ ජනතාවයි. එහෙත් චැනල්වලට ඇති හැකියාව නම් ජනතාව වෙතින් බලය උදුරාගැනීමට හැකිවීමය. ජනතාවට තවමත් තමන් අකැමති දේශපාලනඥයන් ගෙදර යැවිය හැකිය. එහෙත් චැනල්වලට තවමත් කිසිදු බාධාවකින් තොරව ජනතාව තමන් වෙනුවෙන් කඩේ යැවිය හැකිය. එයට හේතුව කලාව විද්‍යාව ශාස්ත්‍රීය ගවේෂණය දේශපාලනය මතු නොව යුතු අයුතු සංසිඳුවීම ඇතුළු නීතිය පසිඳලීම පවා චැනල් විසින් තමන් සතු කරගෙන තිබීමය.
ගොබෙල්ස්ලා අද යල්පැන තිබේ. ඒ වෙනුවට ජනතාවගේ සාක්කුවේ ඇති මුදල් තමන් වෙත අද්දවා ගැනීම උදෙසා එනම් රේටිංස් වැඩි කරගැනීම උදෙසා කුමන දෙයක් හෝ කිරීමට සුදානම් මාධ්‍ය සම්ප්‍රදායක් රටේ ස්ථාපිත වී තිබේ. මේ තත්ත්වය එක් අතකින් තවත් පරපුටු දේශපාලන පැළැන්තියක් ද බිහිවීමට හේතු වී තිබේ. එදා ගමේ දේශපාලනඥයාට ඡන්ද ලබා ගැනීමට නම් ජනතාව සමඟ ගැවසීමට සිදුවිය. ඔවුන්ගේ දුකට සැපට හවුල්වීමට සිදුවිය. එහෙත් අද චැනල්වලින් දේශප්‍රේමය හෝ වෙනත් ප්‍රේමයන් වපුරා ජනතාවගේ පරම පිවිතුරු මහාවීරයන් වීමට හැකි දේශපාලන නායකයන් බිහි වී තිබේ. ඔවුන්ට ගමට ගොස් ජනතාව වෙනුවෙන් තමන්ගේ පණදෙන්නේ නැත. එහෙත් රූපවාහිනී තිරය තුළ දී ජනතාව වෙනුවෙන් මරා ගනිති. මෙය රටේ නව මාධ්‍යසම්ප්‍රදාය හා දේශපාලන සම්ප්‍රදාය වී තිබේ.
එක් අතකට මෙයට හේතු වී ඇත්තේ ජනතාවට තවමත් සිදු වෙමින් පවතින දෙය තේරුම් නොයෑම විය හැකිය. අනෙක් අතට අනෙක් හේතුව අද වන විට ජනතාව සියලූ දෙනා ද ‘මාධ්‍යකරුවන්’ වී තිබීම යැයි ද කිව හැකිය. එනම් ජනතාවගෙන් බොහෝදෙනාට ද අද තමන් අවට සිදුවන දේ ගැන සැබෑ කැක්කුමක් හෝ සංවේ දී භාවයක් නැත. එවන් සිදුවීම්වලින් ඔවුන් ලබන්නේ ද ‘මාධ්‍යකරුවන්’ ලබන සතුටම බව පෙනේ. එනම් රටට යම් විපතක් වූ විට එය තමන්ගේ විශේෂඥතාව පෙන්වීම උදෙසා අවස්ථාවක් බවට පත්කර ගනිති. බොහෝ විද්යුත් මාධ්‍ය ආයතනවල අය ගංවතුර හා නියඟය ජනතාවට කෙසේ වෙතත් තමන්ට ආශීර්වාදයක් යැයි සිතන බවක් දැකිය හැකිය. එවිට තමන්ගේ ‘මහාකරුණාව’පෙන්විය හැකි බැවිනි. මේ තත්ත්වය නිසා සියලූ වටිනා දෙයෙහි වටිනාකම හෑල්ලූ වී ඒ සියල්ල වෙළඳ භාණ්ඩ බවට පත් ව ඇත. කලාව නාට්‍ය දේශපාලනය යුක්තිය සාධාරණය පමණක් නොව නියඟය ගංවතුර අපරාධ ආදී සියලූ දෑ මාධ්‍ය විසින් වෙෙළඳ භාණ්ඩ බවට පත්කර තිබේ. මෙයට වඩා තවත් ඛේදවාචකයක් සමාජයකට තිබියහැකිද? අද සැබවින් ම ඇත්තේ දේශපාලනඥයන් විසින් මෙහෙයවන රටකට වඩා මාධ්‍ය විසින් මෙහෙයවනු ලබන රටකි.
මේ තත්ත්වය සාමාන්‍ය ජනතාවට පමණක් නොව රටේ ජනාධිපතිවරයාට පවා දැනෙන තත්ත්වයකට උග්‍ර වී තිබේ. පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකර තිබුණේ රේටිංස් ඉහළ දමා ගැනීම හැර වෙන කිසිත් නොදන්නා හා වෙනත් කිසිවක් කෙරෙහි වගකීමක් නොමැති මාධ්‍ය සංස්කෘතියක් රට තුළ පහළ වී ඇති බවය. එහෙත් මේ මාධ්‍යවලට මේ කතාව තවත් එක් ප්‍රවෘත්තියක් පමණක් බවට පත්කිරීමේ හැකියාව තිබේ. එහෙත් අප සිතන්නේ එය එසේ නොවිය යුතු බවය. අපට කලාව අවශ්‍යය. ශාස්ත්‍රීය පර්යේෂණ අවශ්‍යය. විද්‍යාව අවශ්‍යය. සාහිත්‍යය අවශ්‍යය. එපමණක් නොව දේශපාලනය ද අවශ්‍යය. එහෙත් මාධ්‍ය විසින් මේසියල්ල තමන්ගේ අත්අඩංගුවට පත් කරගෙන ඇත. මාධ්‍ය වෙතින් ජනාතවට උරුම අගනා සම්ප්‍රදායන් සියල්ල යළි නිදහස්කර ගත යුතුය. රේටිංස් ගැන පමණක් දන්නා පිරිසකට කලාව සාහිත්‍ය විද්‍යාව දේශපාලන ආදී සියල්ල බාර දිය යුතු නැත.
අනෙක් අතට මාධ්‍ය විසින් සියල්ල අන් කිසිදු කරුණක් නොව ජනප්‍රියතාවය උදෙසා සියල්ල කරන ජනතාවක් බිහි කරමින් තිබේ. ගංවතුර සෙල්ෆි ගැහුවේ ඔවුන්ය. මාධ්‍ය සියල්ල කරන්නේ ද ජනප්‍රියතාවය උදෙසාය. ජනතාව ද එසේ මය. කරුණාව මෛත්‍රීය දයාව උපකාරය ආදී සියල්ල හිස් බවට පත් ව තිබේ. ජනප්‍රියතාවය එකම සාරධර්මය බවට පත් ව තිබේ. ජනප්‍රියත්වය නමැති මායාවෙන් මිදිය යුතුව ඇත. රේටිංස් නමැති මිථ්‍යාවෙන් මිදීය යුතුව ඇත. රේටිංස් යන්නෙන් ඇත්තටම හෙළි කරන්නේ තමන් කොතරම් ජනතා හිතෛෂී වී ඇති ද යන්න නොව ජනතා ද්‍රෝහි වී ඇත්ද යන්න විය හැකිය. ජනප්‍රියතාවය ලබාගැනීමට හැකිහොඳම හා සාර්ථකම ක්‍රමය ජනතාවට එරෙහිව ක්‍රියාකිරීම ම බවට පත්වීම කොතරම් නම් ඛේදවාචකයක්ද?
මේ අනුව මේ දේශපාලනඥයන්ගේ භූමිකාව පිළිබඳව පමණක් නොව මාධ්‍යයේ භූමිකාව පිළිබඳ ව ද පුළුල් සංවාදයක් ඇති විය යුතු අවස්ථාවකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එයට මුල පුරා ඇතැයි මට සිතේ. ප්‍රාඥයන්ට මේ සංවාදය ඉදිරියට ගෙනයා හැකිය.