රූපවාහිනී බලපත්‍ර අහෝසියෙන් අහිමි වුණේ ජනතා අයිතියක් | Page 4 | සිළුමිණ

රූපවාහිනී බලපත්‍ර අහෝසියෙන් අහිමි වුණේ ජනතා අයිතියක්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, එසේ නැතිනම් ජාතික රූපවාහිනියේ සිය 35 වැනි උපන්දිනය සැමරීමට සූදානමින් සිටියි.

ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබ 1982 වසරේ පෙබරවාරි 15 වැනිදා නිල වශයෙන් වැඩ ආරම්භ කළ ජාතික රූපවාහිනිය පසුගිය වසර 35 පුරා ජාතික මෙහෙවරක නියැළෙමින් සිටියි. ඒ සඳහා උරදුන්, තම ශ්‍රමය කාලය කැප කළ වුන් බොහෝ වන අතර ප්‍රවීණ කලාකරු ලූෂන් බුලත්සිංහල ද ඒ අතර මූලිකවේ. ඔහු ජාතික රූපවාහිනියේ ආරම්භක සාමාජිකයෙකි. රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු ලෙස ද ඔහු ජාතික රූපවාහිනිය සමඟ බැඳී සිටියේය. ජාතික රූපවාහිනියේ ආරම්භක යුගයේ මතකයන් පිළිබඳ මෙන් ම ජාතික නාළිකාව ලෙස එහි වගකීම් පිළිබඳත් අපි ලූෂන් බුලත්සිංහලයන්ගෙන් විමසා සිටියෙමු.

“මම රූපවාහිනියට සම්බන්ධ වෙන්න කිසිම අදහසක් තිබුණු කෙනෙක් නෙමෙයි. 1981 වන විට මම සේවය කළේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ. ගුවන් විදුලියට සම්බන්ධ වුණේ නිවේදකයෙක් හැටියට. පසුව ගුවන්විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළා. “රතුහැට්ටකාරි’, ‘තාරාවෝ ඉගිලෙති’ වැනි වේදිකා නාට්‍ය නිර්මාණය කළේ ගුවන් විදුලියේ සේවය කරන කාලෙදි. ඒ දවස්වල ගුවන් විදුලිය ඉදිරිපිට තිබුණේ විශාල හොකී පිට්ටනියක්. ගුවන් විදුලියේ ප්‍රධාන දොරෙන් එළියට බැස්සාම පෙනුණේ ඒ ‍හොකී පිට්ටනිය. ඒ දවස්වල එක පාරටම ඒ හොකී පිට්ටනියේ විශාල ගොඩනැඟිල්ලක් ඉදිවෙන්න පටන් ගත්තා. එහි සේවය කරන ජපාන ජාතිකයන් ඉතාම කඩිසරව වැඩ කරමින් එහා මෙහා යන ආකාරය ගුවන්විදුලි සංස්ථාවේ සිටි අපට දැකගන්න ලැබුණා. ඒ ගොඩනැඟිල්ල හදල අවසන් වේගන එන කාලෙ වනවිට ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස හිටියේ තේවිස් ගුරුගේ මහත්තයා. දවසක් මටයි මා සමඟ ගුවන් විදුලියේ වැඩ කළ බන්දුල විතානගේටයි ගුරුගේ මහත්තය පණිවිඩයක් එවල තිබුණා; වහාම එතුමා හමුවන ලෙස දන්වලා. අපි දෙන්නා ගුරුගේ මහත්තයව මුණගැහෙන්න ඔහුගේ කාර්යාලයට ගියා. අපි දෙන්නට ගුරුගේ මහත්තය කිව්වා හෙට මැලේසියාවට යන්න ලෑස්තිවෙන්න කියලා. අද කියනව හෙට යන්න කියලා. මම ඒපාර ගුරුගේ මහත්තයට කිව්වා ‘සර් අපිට පාස්පෝට් නෑනේ” කියලා. ‘ඒ සේරම කරල දෙන්නම්, ඔයගොල්ල ගෙවල්වලට ගිහිං කියන්න මේ ගමන හදිසියේ යන්නවෙලා තියෙන්නේ. යන්න ඕන” කියලා.

කො‍හොමහරි පහුවෙනිදා අපි මැලේසියාවට ගියා. ඒ; මැලේසියාවේ ක්වාලාලම්පූර්වල AIBD ආයතනයෙන් රූපවාහිනී මැදිරි වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ පාඨමාලාවක් හදාරන්න. මමත් බන්දුලත් සමඟ ගුවන් විදුලියේ ‍සිටි කීපදෙනෙක් ම ගියා. මාස එකහමාරකින් පමණ අපි ලංකාවට ආවා. විග්නේෂ්වරන් කියල මහත්මයකු හා ජනක මල්ලිමාරච්චි අපත් සමඟ ගියා. ඒ සිදුවීම වුණේ 1981 අවුරුද්දේ ජූලි මාසයේදී පමණ. ලංකාවට ආවට පස්සේ ඒ අවුරුද්දේ නොවැම්බර් මාසයේදී පමණ මට ලියුමක් ලැබුණා.

“වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබ රූපවාහිනී සංස්ථාවට මුදාහරින ලදි” යනුවෙන් සඳහන් කරලා. ඒ වන විට රූපවාහිනිය ආරම්භ කරලාත් නෑ. ගොඩනැඟිල්ල නම් හදලයි තිබුණේ. කොහොම හරි පහ‍ුවෙනිදා අපි රූපවාහිනියට ගියා. කාමරයක මේස කීපයක් අපි වෙනුවෙන් ලෑස්ති කරලා තිබුණා. ඒ වුණත් අපි දැනගෙන හිටියේ නෑ අපි මොනවද කරන‍්නේ කියලා. අපිත් එක්ක එච්.එම්. ගුණසේකර, මඩවල එස්. රත්නායක වැනි ගුවන් විදුලියේ සිටි මාධ්‍ය ප්‍රවීණයන් කීපදෙනෙකුත් තවමත් වැඩ ආරම්භ කර නොමැති රූපවාහිනියට ගියා. ඉන්පසුව එම්.ජේ. පෙරේරා මහත්තයා රූපවාහිනියේ ආරම්භක සභාපතිවරයා ලෙස පත්වෙලා ආවා. ඉන්පසුව තමයි කොහොමද රූපවාහිනී වැඩසටහන් කරන්නේ කියලා සාකච්ඡා ක‍ළේ.

“ඒ වන විට රූපවාහිනියට කිසිම දැනුමක් තිබුණේ නෑ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ මූලික වැඩකටයුතු කරන්නේ කෙසේද කියලා. ඒ නිසා ඒ දවස්වල වැරදි ගොඩක් සිදුවුණා. එම්.ජේ. පෙරේරා මහත්තයා එවකට ලංකාවේ සිටි හොඳම පරිපාලන නිලධාරිවරයෙක්. එතුමා රූපවාහිනියට ඒමට පෙර සේවය කළේ වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්. එතුමා රූපවාහිනියට එන විට වී අලෙවි මණ්ඩලයේ කාර්ය මණ්ඩලයත් සමඟයි ආවේ. ඒ නිසා රූපවාහිනියේ මුල් ම පරිපාලන නිලධාරීන් ලෙස වැඩකළ බොහෝ අය වී අලෙවි මණ්ඩලයෙන් ආව අය.

‍ඒ අයට මේ අලුත් දෘෂ්‍ය මාධ්‍ය පිළිබඳ කිසිම අවබෝධයක් තිබ‍ුණේ නෑ. අපව මැලේසියාවට ගිහිං පුහුණු කළාට ආයතනයේ පරිපාලකයන්ට මේ මාධ්‍ය ගැන දැනුමක් තිබුණේ නෑ. ඒ අය දැනගෙන හිටියේ ආණ්ඩුවේ තිබුණු AR, FR අනුව වැඩකිරීම පමණයි. අපි රූපවාහිනී නිෂ්පාදකවරුන් හැටියට වැඩසටහනක් සඳහා බජට් එකක් හදල දැම්ම ම ඒ අය දන්නේ නෑ මොකටද මේ සල්ලි ඉල්ලන්නේ කියලා. ඒ මුදල් පාස් කර ගැනීමේදී ඒ නිලධාරීන් විවිධ ආකාරයේ බාධා කළා.

“මුල් යුගයේ අපි බොහෝවිට කළේ මැදිරි වැඩසටහන් පමණයි. රූපවාහිනියේ නාට්‍ය අංශය ආරම්භ කළාට පසුව බාහිර පටිගත කිරීම්වලට යන්න සිදුවුණා. එහිදී අපේ නවාතැන් පහසුකම්වලට යන වියදම් පිළිබඳ, ගමන් වියදම් පිළිබඳ විවිධ ප්‍රශ්න ඇතිවුණා. රූපවාහිනී නිෂ්පාදකවරු කරන වැඩ පිළිබඳ සැකයෙන් බලන්නයි ඒ දවස්ව පරිපාලන නිලධාරීන් පුරුදුවෙලා සිටියේ. මට මතකයි එක සිදුවීමක්. ඒ දවස්වල ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් (මතකයේ හැටියට පරක්‍රම නිරිඇල්ල) ටෙලිනාට්‍යයකට අවශ්‍ය ඇඳුම් පිළිබඳව බජට් එකක් ඉදිරිපත් කළාම “මේ ඇඳුම් ලොන්ඩරියකින් කුලියට ගන්න බැරිද” යනුවෙන් සඳහන් කරළා එවලා තිබුණා. එවැනි තත්ත්වයක් තමයි රූපවාහිනියේ මුල් යුගයේ තිබුණේ.”

“මම ‘තාරාදේවි’ ටෙලිනාට්‍යය කරන්න හදන විට ඒ කියන්නේ 1985 දී රූපවාහිනියට තාක්ෂණික වශයෙන් විශාල පහසුකම් තිබුණේ නෑ. ඒ වන වට Direction Microphone එකක් රූපවාහිනියේ තිබුණේ නෑ. නාට්‍යයක බාහිර පටිගත කිරීම්වලදී එම මයික්‍රෝපෝන් එක අනිවාර්ය අංගයක්. බාහිර පටිගත කිරීමකදී එවැනි මයික් එකක් භාවිතා නොකළොත් ශබ්දයේ විශාල ගැටලු මතු වෙනවා. මම ‘තාරාදේවි’ ටෙලිනාට්‍ය සඳහා ඉදිරිපත් කළ බජට් එකේ ඒ මයික් එකක් කුලියට ගැනීමට මිල ගණන් දාලා තිබුණා. ඒක දැකපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් මගෙන් දිගින් දිගට ම ප්‍රශ්න කළා. අන්තිමේදී ඒක කුලියට ගන්න කැමැත්ත දුන්නා. අදත් බාහිර පටිගත කිරීම්වලදී එම මයික්‍රෝපෝන් එක පාවිච්චි කරන්නේ නෑ. එවැනි අඩුපාඩුවල ප්‍රතිපල භුක්ති විඳින්නේ ප්‍රේක්ෂකයන්.

“මට ලැබුණු තවත් ශිෂ්‍යත්ව දෙකක් මත ජර්මනියට ගිහිං විද්යුත් මාධ්‍ය ආයතනයක පරිපාලනය පිළිබඳ ව්‍යුහයන් සකස් විය යුතු ආකාරය පිළිබඳ හදාරන්න ලැබුණා. මගේ මතයේ හැටියට ජාතික රූපවාහිනියට හොඳ පරිපාලන ව්‍යුහයක් සැකසුනොත් රටට සහ මහජනතාවට ප්‍රයෝජනවත් හොඳ ගමනක් යන්න පුළුවනි.

“රූපවාහිනී බලපත්‍ර සහ ගුවන්විදුලි බලපත්‍ර ගැනීම නවතා දැමීම ඉතාම වැරදි සහගත ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ. ජනතාවත් ඒකට කැමති වුණා. නමුත් ජනතාවට ඒකෙන් වුණේ විශාල අවාසියක්. ගුවන් විදුලියේ රූපවාහිනී තරංග කියන්නේ ජනතාව සතු දේපළ. එම ජාතික දේපළ උපයෝගී කරගෙන යමෙක් යම් දෙයක් කරනවා නම්, එහි ප්‍රතිඵලය ජනතාවට ලැබෙන්න ඕන. එවැනි ප්‍රතිලාභයක් ජනතාවට ලැබෙනවාද කියන එක පිළිබඳ අධිකරණයක් ඉදිරියට ගොස් ප්‍රශ්න කිරීමේ බලය ජනතාවගෙන් ගිළිහුණේ රූපවාහිනී බලපත්‍ර ගැනීම අහෝසි කළ නිසා. එමඟින් නැති කළේ ජනාව සතු අයිතියක්. දියුණු ලෝකයේ සෑම රටක ම වගේ ගුවන් විදුලි සහ රූපවාහිනී බලපත්‍ර ගත යුතුයි.

“ජාතික රූපවාහිනියේ පුරෝගාමී මිනිසුන් හැටියට අපි රූපවාහිනිය වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා. මම ගුවන් විදුලි සංස්ථාවේ සිටි අවුරුදු 10ක කාලය තුළ වේදිකා නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළා. නමුත් රූපවාහිනිය වෙනුවෙන් ගත කළ අවුරුදු 16 ක කාලය තුළ මට මගේ කියලා කිසිම නිර්මාණයක් කරන්න ලැබුණේ නෑ. මගේ මුළු කාලයම යෙදෙව්වේ රූපවාහිනිය ගොඩනඟන්න. අදටත් මේ රටේ රූපවාහිනී සංස්කෘතියක් නෑ. ඒ සඳහා ප්‍රමුඛත්වය ගන්න ඕන ජාතික රූපවාහිනිය. ඒක ජාතික රූපවාහිනියේ වගකීමක්.

“ජපානයෙන් ජාතික රූපවාහිනිය අපට ලැබුණේ මිනිසුන් දැන්වත් කිරී‍ෙම් මාධ්‍යයක් හැටියට භාවිතා කරන්නයි. විශේෂයෙන් අධ්‍යාපනය සඳහා. ඉදිරියටත් ඒ සේවාව හොඳින් ම කිරීමේ හැකියාව වගකීම තියෙන්නේ ජාතික රූපවාහිනියට. මාධ්‍යයක් ජනතාව සමඟ ඉන්න නම්, එම මාධ්‍ය කාටත් විවෘත විය යුතුයි.”

සේයාරුව-තිලක් පෙරේරා 

Comments