
මරදාන සංගීත කාමර සම්ප්‍රදාය ගැන මම මුලින් ම දැනගත්තේ ආචාර්ය සරත් අමුණුගම අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලගේ මරණය අලළා ලියූ ලිපිය නිසා හටගත් පුවත්පත් සංවාදයෙන්. එහි එක් ලිපියක මරදානේ පැවති සංගීත කාමර සංස්කෘතිය ගැන කියැවුණා.
පසුකලෙක ගාමිණි විජේතුංග හා සංගීතවේදී නවරත්න ගමගේ දෙදෙනා මෙම සංගීත කාමර සම්ප්‍රදාය ගැන පර්යේෂණයක් කරන්ට සූදානම් වුණත් ගාමිණි ගේ අකල් වියෝවත් එක්ක එය වැළැකී ගියා.
හතළිස්, පනස් ගණන්වල මරදාන කේන්ද්‍ර කරගෙන බජව් ගීත කලාවක් ඇතිවුණා. ‘බජිව්’ කියන්නේ ‘බජාවෝ’ කියන වචනයෙන් ම බිඳුණු වචනයක්. එහි තේරුම ‘වාදනය කරන්න’ යන්නයි. ‘සිතාර් බජාවෝ’ කියන්නේ ‘සිතාරය වාදනය කරන්න’ කියන එකයි. මේකට ‘සාජ්ජ’ කියලත් කියනවා. බොහෝවිට ‘බජව්’ හෙවත් ‘සාජ්ජ’ පැවැත්වුණේ ධනහිමියන්ගේ නිවෙස්වල. විශේෂයෙන් මඟුල් ගෙවල්වල.
‘බජව්වල ගැයුණේ නිකං වල්පල් සින්දු නෙමෙයි. ශාස්ත්‍රීය ගීත. ගසල්, කවාලි වැනි ගීත.
මෙබඳු පසුබිමක් ඇතිවුනේ නුර්ති නාටක සංගීතය සදහා මෙරට ආ හින්දුස්ථානි සංගීතඥයන් මරදාන හා ඒ අවට පදිංචි වීමෙන්. ඔවුන්ගෙන් රාගධාරි සංගීතය උගත් අය තමයි බජව්වල පෙරමුණේ හිටියේ. විශේෂයෙන් ජේ. සාදිරිස් මාස්ටර්, එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් වගෙ අය.
සිලෝන් හාර්මෝනියම් මාස්ටර් යන ගෞරවාර්ථ පදයෙන් හැඳින්වුණු සාදිරිස් මාස්ටර් මෙරටට ආ ආනන්ද බායි නමැති සංගීතවේදියා සමඟ තරගයට වාදන පවත්වා ජයගත් විශිෂ්ටයෙක්.
ෂෙල්ටන් ප්‍රේමරත්න, විමල් ජේ. ශ්‍රියාරත්න, විමල් ජේ. සාගර ඔහුගේ පුතුන් තිදෙනා.
රූපසිංහ මාස්ටර් මෙරට පමණක් නොව ඉන්දියාවට ද ගොස් සංගීතය හදාරා තිබෙනවා. ඉන්දියාවේ ඔහුගේ සංගීත ගුරුවරයා වුණේ මහාචාර්ය නාරායනරාඕ පියාස්. ‘අඩු කළේ සෙලවීම නිසා’, ‘සිරි බුද්ධගයා විහාරේ’, ‘ශ්‍රී රාහුල හිමිගේ නාමේ’ රූපසිංහ මාස්ටර්ගේ ජනප්‍රිය ගීත. (‘රාහුල හිමිගේ නාමේ’ ගීතයේ තනුව වින්සන්ට් සෝමපාලගේ. තිලක්කාමෝද් රාගය එහිලා ඇසුරු කර තිබෙනවා.
සාමාන්‍යයෙන් සාජ්ජයක් පටන් ගන්නේ සවස හතට විතර. ආයේ වෙලාව බැලිල්ලක් නැහැ. එළිවෙන ජාමෙට තමයි එය නතර වෙන්නේ.
එකල සාජ්ජවලට ම කියාපු වාද්‍ය ශිල්පීන් පිරිසක් හිටියා. ජේ.ඒ. එඩ්වින් පෙරේරා දක්ෂ තබ්ලා වාදකයෙක්. ඔහුට කිව්වේ පොඩි අප්පුහාමි කියලා. ඔහු ගායක මිල්ටන් පෙරේරාගේ පියා.
එච්. දොන් වින්සන්ට්, පී. සෙල්වදොරේ, කේ.ඒ. නඩරාජා, රෙංගසාමි, එම්. ජිනදාස, ලොකු අමරදාස හා පොඩි අමරදාස ඒ යුගයේ කැපී පෙනුණ වාදකයෝ. තබ්ලාව, සර්පිනාව, වයලීනය වගේ ම මැන්ඩලීනයත් සාජ්ජවලට භාවිතා වුණා. ඉංග්‍රිසි මැන්ඩලීනය වාදනය කළේ එම්.කේ. වින්සන්ට්.
සාජ්ජ රසගන්වන දක්ෂ ගායක පිරිසක් ද හිටියා. ඔවුන් වාදනයෙනුත් එක් වුණා. බී. එඩී ද සිල්වා (නළු එඩී හුනියර්ගේ පියා) ඩබ්ලිව්. ජෝශප් පෙරේරා, ලතිෆ් බායි, එම්.කේ. වින්සන්ට්, අහමඩ් මොහිදින්, ඒ.ආර්.එම්. ඉබ්‍රහිම්, ඒ.එම්.යූ.රාජ් මෙයට නිදර්ශන.
‘සිරි බුද්ධගයා විහාරේ’, ‘ශ්‍රී රාහුල හිමිගේ නාමේ’, ‘අඩු කළේ සෙලවීම නිසා’, විෂෙහි විෂ නසනා’, ‘සාදති සාදති’ එකල සාජ්ජවල නිරන්තරව ගැයුණ ගීත ලෙස සඳහන් කරන්ට පුළුවන්. ඒවා රාගධාරි සංගීතය මත පදනම් වූ නිර්මාණ. ඒවා අහන්න තරම් සංගීත විඥානයක් තිබූ රසික පිරිසක් එවක සිටි බව මෙයින් ගම්‍යමාන වෙනවා.
එකල ග්රැමෆෝන්වලට ගීත ගායනා කළෙත් ඒකට සංගීතය සැපයූවෙත් ඉහත සඳහන් ශිල්පීන්. ඒ නිසා ඔවුන් රටපුරාම ජනකාන්ත සංගීතකරුවන් වුණා.
සුස්ති කාමර නමින් යුතු සංගීත කාමර ප්‍රවණතාවයක් ද ඔය කියන කාලේ තිබුණා. සබ්දි, සුස්ති යනාදියෙන් ද සමන්විත මේ සංගීත කාමරවල බෙහෙවින් ම ගැයුවේ භජන් ගී, කබාලි ගී. ‘හාරලක්සේ’ චිත්‍රපටයේ මේ සුස්ති කාමරයක මොහිදින් බෙග් ගීයක් ගයන දර්ශනයක් තිබුණා මට මතකයි.
‘සාජි කාමර’ කියා ද සංගීත සමාජ ශාලා විශේෂයක් එකල තිබුණා. එය පටන්ගත්තේ ‘ජා’ ජාතිකයන්. සුස්ති කාමර, සාජි කාමර කියන්නේ එකක් ද නැත්නම් දෙකක් ද කියා කියන්ට මා දන්නේ නැහැ.
හැට ගණන්වලත් සංගීත කාමර තිබුණා. ඒත් ශිල්පීන් වෙනස්. ගීතරචක සිරිල් ඒ. සීලවිමල නැවතී සිටි මරදානේ බෝඩිම හැඳින්වුණේ සින්දු කාමරය කියායි. මරදාන කේන්ද්‍රිතව ගායක ගායිකාවන් පිරිසක් විසුවා.
ධර්මදාස වල්පොල, විවියන් ද සිල්වා බොරලැස්ස, හරුන් ලන්ත්‍රා, එච්.ආර්. ජෝතිපාල, මොරිස් දහනායක, සිසිර සේනාරත්න, ජී.එස්.බී. රාණි පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා මෙන් ම ආර්.ඒ. චන්ද්‍රසේන, ලාල් හීනටිගල වැනි සංගීත ශිල්පීන් ද හිටියේ මරදාන හෝ ඒ ආශ්‍රිත පෙදෙස්වල. ඇත්තට ම භාත්ඛණ්ඩෙටවත් ශාන්ති නිකේතනයටවත් නොගිය මොවුන්ගේ සංගීත ඥානය පෝෂණය වුණේ මේ ඇසුරේ යැයි කියන්ට පුළුවන්.