
එක් ගමක පොහොසත් වෙළෙන්දෙක් සිටියා. ‘මහසත්’ නමින් ඔහුට ඉතා බුද්ධිමත් පුතෙක් සිටියා. ගමේ සිදුවන කෝලාහලයකදී වුව ද එය විසඳීමට මහසත් සමත්කම් දැක්වූවා. ඔහුගේ බුද්ධිමත්කම එතරම්මයි. කවර හෝ ගැටලුවක් ඔහුට ඉදිරිපත් කළ විට ඔහු වහාම එය විසඳුවා. වැඩිකල් නොගොස් තරුණ මහසත්ගේ බුද්ධිමත්කමත් දක්ෂකමත් ඈත ගම් පෙදෙස්වල ජනයා අතර පවා පැතිරුණා. තම රාජධානියේ සිටින බුද්ධිමත් ම තැනැත්තා මහසත් බව රජතුමාට ද ආරංචි වුණා. මිනිසුන් ඔහුගේ මේ දක්ෂතාව හා බුද්ධිමත්කම ගැන නොයෙක් කතා රජතුමාට කීවා. රජතුමා පුදුමයට පත් වුණා. එතරම්ම බුද්ධිමතෙක් සිටීමට හැකි ද? රජතුමාට හිතුණා. මෙය සත්‍යය දැයි පරීක්ෂා කර බැලීමට රජතුමා තීරණය කළා. මහසත් වාසය කළ ගමේ ගම්මුලාදෑනියා රජ මාලිගයට කැඳෙව්වා.
“ඔබේ ගමේ ඉන්න එළදෙනුන්ගෙන් ලැබෙන පැටව් ප්‍රමාණය කොහොමටත් මදි. ඒ නිසා අද ඉඳලා ඔබේ ගමේ ඉන්න ගොන්නුන්ටත් පැටව් දමන්න කියලා අණ කරන්න. මේ නියෝගය කඩ කළොත් මරණ දඬුවම ලැබෙන්නේ ඔබටයි”. රජතුමා ගම්මුලාදෑනිට කිව්වා.
ගම්මුලාදෑනියා කළ යුත්තේ කුමක් දැයි නොදැන බොහෝ බියට පත් වුණා.
“මං කොහොමද රජතුමාගෙ අණ පිළිපදින්නේ. කොයි රටේ ද පැටව් දමන ගොන්නු ඉන්නේ. ඔහු කල්පනා කළා. දිගින් දිගටම කල්පනා කළා. මෙහෙම කල්පනා කරන අතරතුර ගම්මුලාදෑනියාට ‘මහසත්’ මතක් වුණා. මහසත් සොයා ගොස් රජතුමාගේ නියෝගය ගැන පැවසුවා. උපදෙසක් දෙන ලෙස ඇයැද සිටියා.
“ඔබ බය නැතුව ගෙදර යන්න. හෙට මං ඔය ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නම්.”
මහසත් ගම්මුලාදෑනියට කිව්වා.
පහුවදා ‘මහසත්’ ගමේ පිරිමි ළමයෙකු කැඳවා ඔහුට උපදෙසක් දී රජතුමා ළඟට යැව්වා. ළමයා රජතුමා ළඟට ගිහිං මෙහෙම කිව්වා.
“අවසර දේවයන් වහන්ස, ඔබ වහන්සේගෙන් උදව්වක් ඉල්ලා ගන්නයි මං ආවේ. අෙප් තාත්තාට බබෙක් හම්බ වෙන්න ඉන්නවා. ඒ නිසා අපට අනුකම්පා කර...”
එකවරම රජතුමාට හිනා ගියා.
“මෝඩ ළමයා පිරිමින්ට කොයි රටේ ද ළමයි හම්බ වෙන්නෙ.” නොනවත්වාම සිනාසෙමින් රජතුමා ඇහුවා.
“ඒක ඇත්ත දේවයන් වහන්ස” ළමයා ද එවර සිනාසුණා.
සිනා සී මෙහෙම කිව්වා.
“එහෙනම් ගොන්නුන්ට පැටව් හම්බ වෙන්නත් බැහැ නේද?”
මෙය ඇහුණු රජතුමා තේරුම් ගත්තා මේ ළමයා රජ මාලිගයට එවන්ට ඇත්තේ ‘මහසත්’ පඬිවරයාම බව. මහසත්ගේ නුවණ, ගැන පැහැදුණු රජතුමා එතුමා තම පුරෝහිත බමුණා ලෙස පත්කර ගත්තා. නුවණැත්තෙක් පුරෝහිත කමට පත් වූ නිසා ම රට වැසියන්ට ද හොඳ කලක් ලැබුවා.
මේක තායිලන්ත ජනකතාවක්.