මිල මුදල් අතට ලැබෙන ග්‍රහ පිහිටීම් | Page 3 | සිළුමිණ

මිල මුදල් අතට ලැබෙන ග්‍රහ පිහිටීම්

සෑම කෙනෙකුගේම මූලික අපේක්ෂාව එදිනෙදා අපේ අතට ලැබෙන මුදල් ගැනයි. එදා මෙන් නොව වර්තමානය වන විට මිල මුදල් නොමැතිව මොහොතක්වත් ජීවත්වීමට නොහැකි තරම්ය. ඇතැමුන් විදේශගත වන්නේද මුදල් සෙවීමටය. එහෙත් ඇතැමුන් මේ නිසාම අමාරුවේ වැටෙන අවස්ථාවන්ද නැත්තේ ද නැත. ජ්‍යොතිෂය පැත්තෙන් මුදල් ගැන කතා කිරීමේදී පුද්ගලයෙකුගේ කේන්දරයේ ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව ද ගැඹුරින් නිරීක්ෂණය කළ යුතු වේ.

2 වැන්න, 9 වැන්න, 10 වැන්න සහ 11 වැන්න ද මූල්‍යමය සම්පත් හිමිකර දීමේ නියාමකවරුන්ය. ධන සම්පත් හිමි ග්‍රහයන් ලෙස රවි, චන්ද්‍ර, ගුරු, ශුක්‍ර හැඳින්වේ. ස්ත්‍රී කේන්දරයක චන්ද්‍රයාද පුරුෂ කේන්දරයක රවි ද ධනය ගැන භාරකාරත්වය හිමි ග්‍රහයන් දෙදෙනාය. මේ දෙදෙනාම අශුභ දුෂ්ට පාපී සංයෝග ආදියෙන් පීඩා වී නම් සම්පත් ලැබීම හීන වේ. ශනි කුජ දෙදෙනාගෙන් ලැබෙන ශුභ දෘෂ්ටියද ධනය ගැන යහපත්ම ප්‍රතිඵල ගෙන දෙන මාර්ග දෙකකි. රවි + චන්ද්‍ර දෙදෙනා ඊටත් වඩා ප්‍රබලය.

වෘශ්චික ලග්නය හිමිව 2 වැන්න 5 වැන්න අධිපති ගුරු 10 වැන්නට පැමිණ සිංහ රාශියේ සිංහ සඳුට ත්‍රිකෝණ පෙනීමක් ලබා ඇත්නම් 10 වැන්නෙන් හිමිවන ව්‍යාපාරවලින් විශාල ලෙස මුදල් අතට ලැබේ. එදිනෙදා මුදල් වැඩි වේ. ශනි පාපියෙක් වුවත් ශුභ පෙනීම් ලබා බලවත් රාශියක සිට සඳුට ශුභ පෙනීමක් ලැබේ නම් විශාල ලෙස මිල මුදල් ලැබේ. සෙනසුරුට ගසා ඇති 'ලේබලය' මිථ්‍යාවකි. ධනස්ථානයේ 2 වැන්නේ සිටින රවිට 10 සිටින සඳුගෙන්ද ත්‍රිකෝණ පෙනීමෙන් හෝ 2 වැන්නේ සිටින සඳුට රවිගේ පෙනීම නිසා විශාල ලෙස මුදල් අතට ලැබේ.

ශුභ පෙනීම් ලද ශුක්‍ර 2 වැන්නේ ධනස්ථානයේ සිටී නම් විශාල ලෙස මිල මුදල් ලැබේ. ධනවත් වේ.

සඳු රවිට හෝ ගුරුට ශුභ පෙනීමක් ලද්දේ නම් ව්‍යාපාරවලින් විශාල ලෙස මුදල් අතට ලැබේ.

සඳු සිකුරු යෝගවී පාපී පෙනීම් නැත්නම් මුදල් ලැබීම් වැඩි වේ.

සඳු බුධට යහපත් පෙනීමක් හෝ සංයෝගයක් ඇත්නම් විශාල ලෙස ව්‍යාපාරවලින් මුදල් උපයයි.

කුජ බුධ පෙනීම හා යෝග වීම හරහා බුද්ධිය අලෙවි කර නීතිය, අධ්‍යාපන, උපදේශන හරහා විශාල ලෙස මුදල් උපයයි.

බුධ කිවි යෝගයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් හරහා විශාල ලෙස මුදල් උපයා ධනවතෙක් වේ.

බුධ - ගුරු සුබ පෙනීමෙන් මනස මෙහෙයවා මුදල් උපයා ගනී. බුධ සිකුරුද එසේමය.

ශනි 2 වැනි ධනස්ථානයේ තුලා හෝ මකරය වී කුම්භයේ ගුරුගෙන් ශුභ දෘෂ්ටියක් ලැබේ නම් ජීවිතයේ අග කොටසේදී නොසිතූ අන්දමට ධනය මිල මුදල් හිමි වේ.

ශනි බලවත්ව ශුභ යෝගව පෙනීම් ඇතිව සුබ රාශියක සිටී නම් විශාල ධනවතෙක් වේ.

ගුරුගෙන් රවිගෙන් සඳුගෙන් ශුභ පෙනීමක් ලැබී යුරේනස් 2 වැන්නේ නම් විශාල ලෙස මිල මුදල් ලැබේ. වාසනාවන්ත වේ.

ගුරු ඉතාම බලවත්ව ශුභ දෘෂ්ටි ලැබී සඳු 2 වැන්නේ නම් විශාල ලෙස මිල මුදල් අතට ලැබේ.

සඳු සමඟ ගුරු සංයෝග වී රාහු 2 වැන්නේ නම් ස්ථාවර මහා ධනවතෙක් වේ.

ශුභ දෘෂ්ටි ලත් ගුරු කිවි දෙවැනි ධනස්ථානයේ නම් ධනපතියෙක් වේ. මිල මුදල් ලැබී වාසනාවන්ත වේ.

රාහුට සංයෝග වූ ගුරු ශුක්‍ර 7 වැන්නේ සිට බුධ රාහු සමඟ යෝග වී නම් බිරියගෙන් විශාල ධනයක් හිමි වේ.

ග්‍රහයන් ඒ ඒ ලග්න හිමියන් ධනවත් කරන ග්‍රහයෝග මෙසේය. මෙයද කෙටි සටහනකි.

මේෂ ලග්නයට - ශනිගෙන් ගුරු සුබ දෘෂ්ටියක් ලැබේ නම් විශාල ධනවතෙක් කරයි. මිල මුදල් ලැබේ.

වෘෂභ ලග්නයට - සඳු වෘෂභයේ සිටීම හරහා විශාල ලෙස ධන සම්පත් හිමි වේ.

මිථුන ලග්නය - ගුරු මිථුනයේ සිටීම හරහා ව්‍යාපාරවලින් විශාල ලෙස මුදල් අතට ලැබේ.

කටක ලග්නය - සිකුරු කටකයේ සිටීමෙන් වෙළෙඳ ව්‍යාපාරවලින් විශාල ලෙස මුදල් උපයා ගනී.

සිංහ ලග්නය - රවිගේ පිහිටීම නිසා මවුපිය උරුමයෙන් ව්‍යාපාර අංශයෙන් විශාල ලෙස මුදල් ලබයි.

කන්‍යා ලග්නය - බුධගේ බලය අනුව විශාල ලෙස මිල මුදල් අතට ලැබේ.

තුලා ලග්නය - සඳු තුලාවේ සිටීමෙන් ව්‍යාපාර කටයුතුවලින් විශාල ලෙස මුදල් හිමි වේ.

වෘශ්චික ලග්නය - ගුරුගෙන් මැණික් පතල් කර්මාන්තවලින් කුළුබඩු ව්‍යාපාරයෙන් විදේශ වෙළඳාමෙන් මුදල් ලැබේ.

ධනු ලග්නය - රවිගේ බලය අනුව ශාස්ත්‍රීය කටයුතු ඉඩකඩම් වෙළඳාමෙන් පිටරට ව්‍යාපාරවලින් විශාල ලෙස මුදල් උපයයි.

මකර ලග්නය - ශනිගේ පිහිටීම අනුව විශාල ව්‍යාපාරවලින් මුදල් ලැබේ. පොළොව ආශ්‍රිතව කෙරෙන කටයුතු මූලික වේ.

කුම්භ ලග්නය - ඉඩකඩම්, කෘෂි කර්මාන්ත කටයුතු විදේශගත වෙළෙඳාම් හරහා මුදල්මය සම්පත් හිමි වේ.

මීන ලග්නය - ගුරු ලග්න ගතවීම හරහා ව්‍යාපාර විදේශගත මැණික් පතල් දියර වර්ග - කුළුබඩු යකඩ ආශ්‍රිතවද මුදල් ලැබේ. ධනවතෙක් වනු ඇත. මේ කෙටි සටහනකි. මිල මුදල් මූල්‍යමය සම්පත් ලැබෙන ක්‍රමවේද දහස් ගණනක් තිබේ. ඔබේ කේන්ද්‍රය ගැඹුරින් පරීක්ෂා කර බලන්න. ධනය මිල මුදල් අතට ලැබෙන කාලයක් ඇත. එය කේන්දරයේ ලියැවී තිබේ.

Comments