
ජ්‍යොතිෂවේදිනී චතුරිකා දිල්හානි ගමආරිය
ග්‍රහ ලොව මව ලෙස ද 'සිතට අධිපති' ග්‍රහයා ලෙස ද සඳු ග්‍රහයා හඳුන්වයි. ලෝකයේ අති පුරාණයේ සිට චන්ද්‍රයා 'දිව්‍ය මාතාව' මෙන් පිළිගනී. චන්ද්‍රයා පෘථිවියට අයත් ග්‍රහයෙකි. ආපෝ භූතයට, සත්ත්ව ගුණයට සහ ධාතු මූලයට අයත් වේ. වෘෂභ රාශියට උච්ච වන කටක රාශියේ ස්වක්ෂේත්‍ර වන සඳු වෘශ්චිකයේ නීච වේ. සඳු ග්‍රහයා රෙහෙණ, හත, සුවන නැකත් තුනට හා කටක රාශියට අධිපති වේ. පෘථිවියේ වාසය කරන සියලු සත්ත්වයින් ද ගස්වල ද ගල්වල ද වෙනස් වීම සඳු නිසාම සිදුවේ. ජන්මියාගේ සිතට අධිපති ද ජන්මියාගේ සිත චංචල වන්නේ ද සඳුගේ පිහිටීම අනුවය.
සඳු බලවත් වූ විට රූප ශෝභාවෙන් යහපත් වේ. තම මවට ඉතා ඇලුම් කරයි. යහපත් සිතිවිලි ඇති කරයි. සඳු දුර්වල වූ විට නිතර රෝගී වේ.
සඳු ග්‍රහයා ලග්නයේ සිටියදී උපන් ජන්මියා පැහැපත් ප්‍රිය උපදවන, කාගෙත් සිත් ගන්නා රූ සපුවකට හිමිකම් කියයි. ලෞකික සැප සම්පත්වලින් පිරිපුන් ජන්මියෙක් වේ. මොහු යමක් සිදුවීමට පෙර බොහෝ දුර සිතා බලා කටයුතු කරයි. විපතේදී අනුන්ට පිහිට වෙයි.
සඳු ග්‍රහයා දෙවැන්නේ සිටියදී උපන් ජන්මියාට ඉතා ප්‍රිය මුහුණකි. යහපත් ඇස්, මුඛ ඇති සාරවත් කතා ඇති දක්ෂ කථිකයෙක් වේ. තම පවුලේ අය සමඟ ඉතා බැඳීමක් ඇති පුද්ගලයෙක් වේ. තුන්වැන්නේ සිටියදී උපන් ජන්මියාට ඇවිදිලි ඇති කරයි. යහපත් සහෝදර සහෝදරියන් ඇති කරයි. සිරුරේ සෙම ඇති කරයි. ඇදුම රෝග සෑදීමට බොහෝදුරට ඉඩ තිබේ.
හතර වැන්නේ සිටියදී උපන් ජන්මියා ගිය ගිය තැන යහපත් වේ. චන්ද්‍රයාට හතර වැන්න නියම ස්ථානය වේ. යහපත් වාසස්ථාන යානවාහන ලැබේ. පස්වැන්නේ සිටි විට බොහෝ දරුවන් ලැබේ. ක්‍රීඩාවලට ආශාවේ. ඉගෙනීම යහපත් වේ. හයවැන්නේ සිටි විට නිතර නිතර රෝගී වේ. සතුරන් ඇතිවේ. සතුන්ගෙන් පීඩා ලබයි. හත්වැන්නේ සිටි විට විවාහය ඉක්මන් කරයි. අන්‍යයන්ගේ ආකර්ෂණය තමා වෙත ඇදී එයි.
අටවැන්නේ සිටි විට ශුභ නොවේ. ජීවිත හානි ඇති කරයි. සිතේ අවුල් ඇති කරයි. නමවැන්නේ සිටි විට ඉතා ශුභවේ. ආගමික භක්තිය වැඩිවේ. විදේශ සංචාර ද හිමිවේ. නිරෝගී වේ. දහවැන්නේ සිටි විට යහපත් රැකීරක්ෂා ලැබේ. එකොළොස් වැන්නේ සිටි විට යහපත් මිතුරන් ඇති කරයි. දොළොස්වැන්නේ සිටි විට අශුභ පල වැඩිවේ. සතුරන් ද වැඩිවේ.
ග්‍රහ ලොව මව ලෙස හඳුන්වන සඳු ග්‍රහයා අනිකුත් ග්‍රහයන් සමඟ එකතු වූ විට නැතිනම් සංයෝග වූ විට කේන්දර හිමියාට ලැබෙන ශුභ අසුබ මෙසේය. සඳු - රවි සංයෝගයෙන් උපන් අය ඉතා ප්‍රකට තත්ත්වයට පත්වේ. වස්තුව රැස්කර ගනී. ප්‍රයෝජනයක් ඇති ගමන්බිමන් ඇතිවේ. ඉගෙනීමට යහපත් වේ.
සඳු - කුජ සංයෝග වූ විට නිර්භීතව ඉදිරියට යන ගතිය ඇති කෙනෙක් වේ. ක්‍රීඩාවලට දිනුම් කටයුතුවලට දක්ෂ වේ. ගමන්බිමන්වලින් යහපත් ප්‍රතිඵල ඇතිවේ.
සඳු - බුධ සංයෝග වූ විට වෙනස් වන සුළු ස්ථිරකම අඩු ජන්මියෙක් බවට පත්වේ. තීක්ෂණ බුද්ධියක් ඇති ඉතා දක්ෂ කථිකයෙක් වේ. රූප ශෝභාවෙන් යුක්ත වේ.
සඳු - ගුරු සංයෝග වූ විට යහපත් ශරීර සෞඛ්‍ය හිමි කෙනෙක් වේ. මිත්‍රයින් අධික වේ. දියුණු තත්ත්වයට පත්වේ.
සඳු - සිකුරු සංයෝග වූ විට ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් බවට පත්වේ. පවුලේ අය සමඟ ඉතා සතුටින් කාලය ගත කරයි. මෙම සංයෝගය නරකට සිටියහොත් විවාහ ජීවිතය අවුල් සහගත වේ.
සඳු - ශනි සංයෝග වූ විට ජන්ම ඒරාෂ්ටකයකි. කුඩා කාලයේ ඉතා අමාරු කාලයක් වුවත් පසුව ඉතා දියුණු තත්ත්වයකට පත්වේ. ඍජු, දක්ෂ යුක්ති සහගත පුද්ගලයෙක් බවට පත්වේ.