බුදු දහම ජ්‍යොතිෂය සහ වෘක්ෂලතා | Page 3 | සිළුමිණ

බුදු දහම ජ්‍යොතිෂය සහ වෘක්ෂලතා

 ප්‍රවීණ ජ්‍යොතිර්වේදී බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ

ෙජ්‍යාතිෂය, බුදු දහම සහ වෘක්ෂලතා අතර ඇත්තේ නොබිඳෙන නොමැකෙන අති පෞරාණික සම්බන්ධයකි. අප මහා ගෞතම බුදු හිමියන්ගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන යන මූලික සහ වැදගත්ම සන්ධිස්ථාන තුනටම වෘක්ෂයන්හි සබඳතාවක් විය. මානව වංශ කතාවේ ඈ අතීතයේ සිටම ග්‍රහ වස්තූන් හා මිනිසා අතර පැවති සබැඳියාවත් බෞද්ධ දර්ශනය සහ ජ්‍යොතිෂය අතර ඇති වෘක්ෂලතාවන්හි පවතින දැඩි සබැඳියාවත් මනාව පැහැදිලි කිරීම මෙකී ලිපියේ මූලික අරමුණයි.

සිදුහත් තවුසාණන්ට බුදු බව ලබන්නට සෙවණ දුන් දඹදිව ඇසතු බෝ වෘක්ෂයේ දකුණු ශාඛාව වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලිඛිත ඉතිහාසයක් ඇති ලොව ඉපැරණිම වෘක්ෂය ලෙස හඳුන්වයි. සංඝමිත්තා තෙරණිය විසින් මෙරටට වැඩම කරවා දෙවනපෑතිස් රජුගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහමෙවුනා උයනෙහි රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ බොඳු බැතිමතුන්ගේ මුදුන් මල්කඩකි.

අතීතයේදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හිමි තැනැත්තා රටෙහි රජු ලෙස සැලකූ අතර උන්වහන්සේ දිවි හිමියෙන් ආරක්‍ෂා කිරීමට එකල සිට පාලකයෝ ක්‍රියා කළහ. වංශ කතාවල සඳහන් පරිදි ජය ශ්‍රී මහා බෝ පැළයේ ආරක්‍ෂාවට එය රෝපණය කරන අවස්ථාවෙහි ගල් පතුරුවලින් ඒ වටකර ආරක්‍ෂාව සැලසු බව සඳහන් වෙයි.

පරසතුරු ආක්‍රමණ සිදු වූ කාල පරිච්ජේදය තුළ සඝමිත් තෙරණිය සමඟ මෙරටට පැමිණි 18 කුලයක පිරිස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැකගත් බවත් පසුව කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1781) යුගයේ දී බෝපත් ආහාරය පිණිස ගැනීමට එන වන අලින්ගෙන් එය ආරක්‍ෂා කරගැනීමට උසින් අඩි සොළොසක් වන පළල අඩි දෙසීය හැත්තෑවක් ද දිග අඩි තුන්සිය හැටකින් හා කවුළු තුන්සිය පනහකින් ද යුත් සුවිසල් ගල් ප්‍රාකාරයක් තනවන ලදී. එය අදටත් දැකිය හැකිය.

ඉහත දැක්වූ ආකාරයට සම්බුද්ධ ශාසනය තුළ බෝ ගස සඳහා හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා ශ්‍රී සම්බුද්ධත්වයට පත්වූයේ දඹදිව පිහිටි ශ්‍රී මහා බෝධි මූලයේදීය. මෙම හේතූව නිසා ආගමික වතාවත් අතරින් බෝධි පූජාව, බෝධි වන්දනාව, අටවිසි බෝධි වන්දනාවට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. සම්බුද්ධ ධර්මයේ සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේලා විසිඅටක නම් සඳහන් වන අතර එම සියලු බුදුවරුන් බුද්ධත්වය ලබා ඇත්තේ අනේකවිධ වූ ශාක මූල අබියසය. මෙම ශාක අටවිසි බෝධින් ලෙස බෞද්ධ ව්‍යවහාරයේ සඳහන්ව ඇත.

මීට අමතරව අප සැවොම මෙලොව එළිය දකින වේලාව අනුව සැකසෙන ජන්ම පත්‍රයේ ඇති නැකැතත් සමඟින් ඇති නැකැත් 27 ද ජ්‍යොතිෂයේදී අදාළ වන ශාකයන් දක්වා ඇත. එම නිසා ශාකයේ අති ප්‍රබල වැදගත් බව අපට මැනවින් වැටහේ.

ජ්‍යොතිෂයේදී එක් එක් දිශාවන් සඳහා සුබ අසුබ වෘක්ෂ දක්වා ඇති අතර දිශා පිළිබඳ අගනා විවරණයක් කරන බෞද්ධ දර්ශනය තුළ සිඟාලෝවාද සූත්‍රයෙහි මෙම දිශාවන් පිළිබඳ මැනවින් දක්වා ඇත. අද අප බොහෝ විට සුබ කටයුතු අරඹන්නේ සුබ දිශාවකිනි. පහත දැක්වෙන්නේ ඒ ඒ ප්‍රධාන දිශාවන්ට සුබ අසුබ ශාකයන්ය. නව ග්‍රහයන්ට අදාළ වෘක්ෂයන් පෙර ඉසිවරු විසින් ජ්‍යොතිෂයේදී දක්වා ඇති අතර නව ග්‍රහ අපල ඇති විට එම ශාකවලට සාත්තු කිරීමෙන් එම අපල උපද්‍රව දුරු කර ගත හැක. එසේම රුක් රෝපණය ද මෙම ආත්ම භාවයේ මෙන්ම මතු ආත්ම භාවයන්හිදී ද සුව විවරණයක් හා සැපවත් ජීවිතයක් ලබා ගැනීම සඳහා ජ්‍යොතිෂයේ පෙන්වා දී ඇති මහඟු සත්කාරයකි.

ශාක සමඟ ඉතා සමීප මිත්‍රශීලී ජීවිතයක් ගත කළ මිනිසා එහි ප්‍රතිඵලයක් ලෙස ගස්වැල් සම්බන්ධව විවිධ මතිමතාන්තර දැරූ අතර පරම්පරා ගණනාවක් ඔස්සේ අදටද එම වටිනා කරුණු නොනැසී පවතී. පහත දැක්වෙන්නේ දෙවියන් හා ශාක සම්බන්ධ වටිනා සාම්ප්‍රදායික අවස්ථා කීපයකි.

•කතරගම දෙව්ඳුන් සිය දේවාලය කුඹුක් ගසක් යට පිහිටුවා ගත් බව පැවසේ.

•සුමන සමන් දෙව්ඳුන් රාජායතන ගසින් බිහි වී ඇති බව විශ්වාස වෙයි.

•පත්තිනි දේව මෑණියන් අඹ ගසකින් උපත ලබා ඇති බව විශ්වාස වෙයි.

•නවගමු දෙවොලේ නා ගසෙහි පත්තිනි සලඹ සැඟවූ බව විශ්වාසයක් පවතී.

•ශක්‍රයා සිය ආසනය පියනන්දන උයනේ පිහිටි පරිජාත නම් වෘක්ෂ මූලයේ පිහිටුවාගෙන ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

•බෙලි ගස ශ්‍රියාකාන්තාවගේ ශාකය ලෙස පිළිගැනෙන අතර එය නිවස ඉදිරිපිට රෝපණයට සුදුසුය.

•රුක්අත්න ශාක ඇති විට එම ප්‍රදේශයේ විසකුරු සතුන් පලා යන බවට මතයක් ඇත.

•දොඹ ගස නිවස අසල තිබීම වාසනාවට හේතු වේ.

•අන්කෙන්ද ගසක් ගෙවත්තක තිබේනම් එම නිවැසියන්ට වාපිත් සෙම් රෝග ඇති නොවන බවට විශ්වාසයක් පවතී.

•මයිල ගස් හා ඊතන පඳුරු ඇති බිමෙහි ජල උල්පත් බහුලය.

•නිවස ඉදිරියේ ඇති අඹ ගස් බෝවන රෝග තුරන් කරන අතර හෙන වළකා අසුබ තත්ත්වයන් මඟ හැරීමෙහි ශක්තියක් ඇත.

•අඳුකොළ නාගයන් පලවා හරින අතර මදුරුතලා මදුරුවන් පලවා හරී.

   

Comments