ඉතා පහසුවෙන් කළ හැකි ජ්‍යොතිෂ පරීක්ෂණ | Page 4 | සිළුමිණ

ඉතා පහසුවෙන් කළ හැකි ජ්‍යොතිෂ පරීක්ෂණ

වර්තමානය වන විට ජ්‍යොතිෂ පර්යේෂණවල විශාල අඩුවක් දක්නට ලැබෙන බව පෙනේ. එනම් බොහෝ ජ්‍යොතිර්වේදීන් විසින් වර්තමානයේ සිදු කරනු ලබන්නේ ජ්‍යොතිෂ පර්යේෂණවල ද යෙදෙනවා වෙනුවට පොතක පතක හෝ සඟරාවක තිබෙන දෙයක් මතක තබාගෙන එලෙසින්ම භාවිතයට ගැනීමය. නොඑසේනම් වෙනත් ජ්‍යොතිර්වේදියෙකු විසින් විධිමත් පර්යේෂණයකින් හෝ අවිධිමත් පර්යේෂණයකින් සොයා ගෙන ජනගත කළ සිද්ධාන්තයක් තමන්ද එලෙසින්ම භාවිතයට ගැනීමය. නමුත් ජ්‍යොතිර්වේදීන් විසින් හැකි සෑම විටම අලුත් ජ්‍යොතිෂ සිද්ධාන්ත සමාජයට දායාද කළ යුතු යැයි සිතේ.

මගේ මතය වන්නේ “ජ්‍යොතිෂ පර්යේෂණ“, “විධිමත් ජ්‍යොතිෂ පර්යේෂණ“ සහ “අවිධිමත් ජ්‍යොතිෂ පර්යේෂණ“ ලෙස දෙවැදෑරුම් බවය. මෙයින් වඩාත් යෝග්‍ය වන්නේ “විධිමත් ජ්‍යොතිෂ පර්යේෂණය“. ශ්‍රී ලංකාවේ විධිමත් ජ්‍යොතිෂ පර්යේෂණ පිළිබඳව සඳහන් කරද්දී නිතැතින්ම සිහිපත් වන පුද්ගලයකු වන්නේ කීර්තිමත් ජ්‍යොතිෂ පර්යේෂකවරයෙකුව සිටි, අභාවප්‍රාප්ත අතුල මංචනායක මහතාය. ඔහු විසින් විධිමත් ජ්‍යොතිෂ පර්යේෂණ කිහිපයක්ම සිදු කර ඇත. විධිමත් ජ්‍යොතිෂ පර්යේෂණ පමණටම වැදගත් නොවුණද අවිධිමත් ජ්‍යොතිෂ පර්යේෂණද නොසලකා හැරිය නොහැකිය. එනම් අවිධිමත් ජ්‍යොතිෂ පර්යේෂණ තුළින්ද ප්‍රයෝජනවත් ජ්‍යොතිෂ සිද්ධාන්ත මතු වීමට ඉඩ ඇත. ඇරත් කිසියම් ජ්‍යොතිර්වේදියෙකු විසින් කිසිදු ජ්‍යොතිෂ පර්යේෂණයක් සිදු නොකරනවාට වඩා එම ජ්‍යොතිර්වේදියා විසින් අවිධිමත්ව හෝ ජ්‍යොතිෂ පර්යේෂණ සිදු කරන්නේනම් ඒ පිළිබඳව තරමක් හෝ සෑහීමකට පත් විය හැකිය.

අද මේ ලිපිය තුළින් නිවසේ සිටම ඉතා පහසුවෙන් අවිධිමත් ජ්‍යොතිෂ පර්යේෂණ සිදු කිරීම සඳහා මඟපෙන්වීමක් කිරීමට බලාපොරොත්තු වෙමි.

අවිධිමත් ජ්‍යොතිෂ පර්යේෂණ, විධිමත් ජ්‍යොතිෂ පර්යේෂණවලට වඩා පහසුවෙන් සිදු කළ හැකි ය. එනම් ඒවා සිදු කිරීමට විශේෂ පෙර සූදානමක් අවශ්‍ය නැත. එමෙන් ම විධිමත් ජ්‍යොතිෂ පර්යේෂණ කරනවාටත් වඩා වැඩි උද්‍යෝගයකින් අවිධිමත් ජ්‍යොතිෂ පර්යේෂණ සිදු කළ හැකිය. අවිධිමත් ජ්‍යොතිෂ පර්යේෂණ සිදු කිරීමේදී ජ්‍යොතිර්වේදියෙකුට තම කේන්දර සටහනින් බොහෝ ප්‍රයෝජන ලබා ගත හැකිය. එනම්, තමන්ට අතීතයේදී ඉතා සුවිශේෂී සිදුවීම් සිදු වන විට තම කේන්දර සටහනේ ග්‍රහයන් කෙසේ හැසිරුණේද යන්න පිළිබඳව ඔවුන්ට ඉතා පහසුවෙන් අධ්‍යයනය කළ හැකි වනු ඇත. ඒ තුළින් ප්‍රායෝගිකව සත්‍ය වන අලුත් ජ්‍යොතිෂ සිද්ධාන්ත සොයා ගත හැකි වනු ඇත. එම පාරම්පරික සහ සම්මත ජ්‍යොතිෂ සිද්ධාන්තයන් තම කේන්දර සටහන කෙරෙහි සහ තම ජීවිතය කෙරෙහි බලපා ඇති ආකාරයද ජ්‍යොතිර්වේදීන්ට අධ්‍යයනය කළ හැකිය.

ඒ තුළින් පාරම්පරික සහ සම්මත ජ්‍යොතිෂ සිද්ධාන්ත අතරින් ප්‍රායෝගිකව සත්‍ය වන ජ්‍යොතිෂ සිද්ධාන්ත කවරේද යන්න යම් තරමකට හෝ නිගමනය කළ හැකි වනු ඇත. එමෙන්ම ජ්‍යොතිර්වේදියෙකුට තම විවාහය සිදු වූ කාලසීමාව තමන්ට දරු සම්පත් ලැබුණු කාල සීමා, තමන්ට රැකියාව ලැබුණ කාලය, තමන්ට රැකියාවෙන් උසස්වීම් ලැබුණු කාලය වැනි තම ජීවිතයේ විශේෂ කාල පිළිබඳව ඒ වන විට ඔහුගේ හෝ ඇයගේ කේන්දර සටහනේ තිබූ ග්‍රහ පිහිටීම් සමඟ පසු විපරම් කළ හැකි වනු ඇත. ඒ තුළින් රැකියාව, උසස්වීම්, දරු සම්පත්, විවාහය වැනි විශේෂිත සිදුවීම් සිදු වන ග්‍රහ පිහිටීම් පිළිබඳව නිගමනවලට එළඹිය හැකි වනු ඇත. එමඟින් අන් අයගේ කේන්දර සටහන්වල ද එවැනි ග්‍රහ පිහිටීම් ඇති වන විට ඔවුන්ට එවැනි සිදුවීම් සිදු වන බවට අනාවැකි පළ කළ හැකි වනු ඇත. නමුත් වත්මන් ජ්‍යොතිර්වේදීන්ගෙන් බොහෝ දෙනෙකු අඩු වශයෙන් තමන්ට සිදු වූ සිදුවීම් පිළිබඳවවත් තම කේන්දර සටහනේ ග්‍රහයන්ගේ පිහිටීම් සහ ග්‍රහ ගෝචර සමඟ පසුවිපරම් නොකිරීම අභාග්‍යයකි.

ජ්‍යොතිර්වේදීන් විසින් අවිධිමත් පර්යේෂණ සිදු කිරීමේදී තම පවුලේ සාමාජිකයන්ගේ කේන්දර සටහන් ද බොහෝ ප්‍රයෝජනවත් වෙයි. උදාහරණ ලෙස ජ්‍යොතිර්වේදියෙකුට තම නිවසේ සිටම ඔහුගේ හෝ ඇයගේ මවුපියන්ගේ, ඔවුන්ගේ මවුපියන්ගේ, තම සහෝදර සහෝදරියන්ගේ, තම බිරියගේ, තම දරුවන්ගේ කේන්දර සටහන්වල ග්‍රහ ගෝචර සහ ඔවුන්ට සිදු වන සිදුවීම් අතර සබඳතාව ඉතා පහසුවෙන් අධ්‍යයනය කළ හැකිය. ඒ මඟින් ප්‍රායෝගිකව සත්‍ය වන ජ්‍යොතිෂ සිද්ධාන්ත ගණනාවක් සොයා ගැනීමට ජ්‍යොතිර්වේදියාට හැකි වනු ඇත.

උදාහරණ ලෙස දරු පල ලැබීම කෙරෙහි ගුරුගේ ගෝචරයෙහි බලපෑම පිළිබඳව අවිධිමත් පර්යේෂණයක් සිදු කිරීම සඳහා තම මවගේ ලග්නය සහ තමාගේද තම සහෝදර සහෝදරියන්ගේද උපන් දින පමණක් වුවද ප්‍රමාණවත්ය. එනම් ජ්‍යොතිර්වේදියාගේ මව වෘශ්චික ලග්නය දරන තැනැත්තියක් නම්ද එම ජ්‍යොතිර්වේදියා ඉපදී ඇත්තේ 1975 වසරෙහි දෙසැම්බර් 17 වනදා නම්ද, ජ්‍යොතිර්වේදියා ඉපදෙන විට ඔහුගේ මවගේ කේන්දර සටහනේ 5 වන භාවය තුළ ගුරු ග්‍රහයා ගෝචර වී ඇති බව පෙනේ. එයට හේතුව 1975 වසරෙහි දෙසැම්බර් 17 වනදා වන විට ගුරු ග්‍රහයා මීන රාශිය තුළ ගෝචර වීමය. මේ ආකාරයටම ජ්‍යොතිර්වේදියාගේ බිරියගේ ලග්නය සහ ඔහුගේ දරුවන්ගේ උපන් දින පමණක් දකිනා විටද ඔහුගේ බිරියට දරුවන් ලැබීම කෙරෙහි ගුරුගේ ගෝචරයෙහි බලපෑම ඉහත පරිදිම අධ්‍යයනය කළ හැකිය. ඒ අනුව ජ්‍යොතිර්වේදියාගේ මවට දරුවන් සිවු දෙනෙකුද, ජ්‍යොතිර්වේදියාට දරුවන් තුන් දෙනෙකුද ඇත්නම් දරු පල ලැබීම කෙරෙහි ගුරුගේ බලපෑම සිදුවීම් හතක් ඇසුරින් ඉතා සරල ලෙස පරීක්ෂා කළ හැකිය.

පාඨක ඔබ සමහර විට ජ්‍යොතිර්වේදියෙකු නොවිය හැකි වුවද ඔබටද ඔබගේ සහ ඔබගේ පවුලේ කේන්දර සටහන් ඇසුරින් ඉහත කී ජ්‍යොතිෂ පර්යේෂණ ඉතා පහසුවෙන් සිදු කළ හැකි වනු ඇත.

 

 

Comments