අගෝස්තු 17 - සැප්තැම්බර් 17 සහ යළි ඔක්තෝබර් 02 සහ 17 අතර බුධ ආදිත්‍ය යෝගයෙන් සියල්ලන්ටම සුබ පල | සිළුමිණ

අගෝස්තු 17 - සැප්තැම්බර් 17 සහ යළි ඔක්තෝබර් 02 සහ 17 අතර බුධ ආදිත්‍ය යෝගයෙන් සියල්ලන්ටම සුබ පල

රවි - බුධ සංයෝගයෙන් සෑදෙන බුධ ආදිත්‍ය යෝගය හේතුකොටගෙන සියලු ලග්නවලට සුබ පල දෙන සුවිශේෂී ග්‍රහ තත්ත්වයක් වන බුධ ආදිත්‍ය යෝගය හේතුකොටගෙන සුවිශේෂී ප්‍රතිඵල ගෙන දෙන වාතාවරණයක් උදා වන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.

පසුගිය අගෝස්තු 17 වැනිදා සිටම රවි සිංහ රාශිගතව බුධ සමඟ එම රාශියේ සංයෝග වීමෙන් මේ තත්ත්වය උදාවී පවතී. දැනටත් සිංහ රාශියේ බලපවත්වන මෙම යෝගය සැප්තැම්බර් 17 දිනෙන් පසු දක්නට නොලැබුණහොත් යළිත් ඔක්තෝබර් 02 වැනිදා සිට 17 වැනිදා දක්වා කන්‍යා රාශියේදී දැකගත හැකි වනු ඇත. මේ කාලය තුළ යෝගය පිහිටි අයට සාහිත්‍යම වටිනාකමක් දක්නට ලැබෙයි. එවන් උත්සවවලට සහභාගී වීම් රාජ්‍ය සම්මානවලට ලක්වීම වාග් චාතුර්ය ලිපි ලේඛන කටයුතුවලින් වාසි ලාභ ප්‍රයෝජන හිමි වීම් දක්නට ලැබෙයි. ප්‍රසිද්ධිය කීර්තිය ගෞරවය හිමි වේ. එසේම මේ කාලය තුළ උපත ලබන දරුවන් ද අනාගතයේ උගත් වියතුන් බවට පත් වේ. මෙය කේන්දරයේ දෙවැනි භාවයේ පිහිටීමෙන් නීතිඥයන්, විනිසුරුවරුන්, දක්ෂ ගුරුභවතුන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සහ වෙනත් උපදේශකයන් බිහි කරනු ලබයි. ඔවුන්ට බොහෝ අවස්ථාවන්හිදී තම මතය සනාථ කරන්නට හැකිවේ. අන්‍යයන්ද අවනත වේ. බුධ ආදිත්‍ය යෝගය ඒ ඒ ලග්න හිමියන්ට බලපාන ආකාරය මෙලෙසිනි.

මේෂ - මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ දැනට 5 වැන්නේ පිහිටි මෙම යෝගය නිසා අධ්‍යාපනයට මහත් පිටිවහලක් ලැබෙනු ඇත. බොහෝ ක්ෂේත්‍රවල දැනුම් තේරුම් ඇති වේ. විභාගවලින් ජයග්‍රාහී ලකුණු හිමි වේ. දරු උපත්වලදී බුද්ධිමත් දරුවන් ලැබේ.

වෘෂභ - ඔබගේ කේන්දරයේ සිවුවැනි භාවයේ පිහිටා ඇති මෙම යෝගය අනුව බොහෝ ඇසූපිරූ තැන් හිමි වෙයි. සමිති සමාගම්වලදී මෙන්ම පොදු කටයුතුවලදී ඔබගේ නම යෝජනා වෙයි. උසස් නිලධාරීන් ඇසුරු කරන්නට සහ ඔවුන්ගේ ගුරුහරුකම් ලැබෙයි.

මිථුන - ඔබගේ කේන්දරයේ තුන්වැන්නේ පිහිටි මෙම යෝගය නිසා සහජ දක්ෂතාවන්ට නිසි තැන හිමිවන අතර එම දක්ෂතා වර්ධනය කෙරෙයි. සාහිත්‍ය උත්සව ආදියේදී රාජ්‍ය අංශවල ඇගැයීමට ලක්වේ.

කටක - ඔබගේ කේන්දරයේ දෙවැන්නේ පිහිටි මෙම යෝගය නිසා වචනයෙන් ජය ගත හැකිවේ. ඔබට ඕනෑම දෙයක් අන්‍යයන්ට අවබෝධ වන ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ දක්ෂතාව මතු වේ. අන්‍යයන් අවනත වේ.

සිංහ - ඔබගේ කේන්දරයේ ලග්න භාවයේ පිහිටි මෙම යෝගය නිසා ඔබ දක්ෂයෙක් වනු ඇත. කුමන කටයුත්තකදී වුව බුද්ධිමත් තීන්දු තීරණ ගත හැකි වේ. මිල මුදල් පිළිබඳව අකුරටම සොයා බලයි. තැන්පත් ධනයක් ගොඩනඟා ගනියි.

කන්‍යා - ඔබගේ කේන්දරයේ 12 වැන්නේ දක්නට ලැබෙන මෙම යෝගයෙන් විදෙස් ගමන් ඉල්ලුම් කර තිබූ අයට ඒ පිළිබඳ සතුටුදායක ආරංචි ලැබෙන්නට ඉඩකඩ ඇත. විදේශවල සිටින හිතවතුන් ඥාතීන්ගෙන් තෑගි බෝග හිමි වෙයි.

තුලා - ඔබගේ කේන්දරයේ 11 වන භාවයේ දක්නට ලැබෙන මෙම යෝගය සුබ පල දෙයි. විදේශගත හිතමිත්‍රාදීන්ගේ උදවු උපකාර මෙන්ම වෙනත් ලාභ ප්‍රයෝජන ද හිමි වීමේ භාග්‍ය පෙන්වයි. අතමිට සරු වෙයි.

වෘශ්චික - ඔබගේ කේන්දරයේ 10 වැනි භාවය තුළ ගොඩනැඟි ඇති මෙම යෝගය නිසා ඔබ අසීරු පොතපත කියවන සහ පොතපත සොයා යන කෙනෙකු වනු ඇත. විභාගවලින් ජයග්‍රාහී ලකුණු ලබාගත හැකි වේ. ඥාති හිතවතුන්ගේ සැලකිලි ආදරය ලබයි. ඔවුන් මුණ ගැසෙයි.

ධනු - ඔබගේ කේන්දරයේ 9 වැනි භාවය වූ පුණ්‍යස්ථානයට පිවිසෙන රවි - බුධ එම සංයෝගය නිසා ආගමික පුද පූජා ඇදහිලි විශ්වාසවලට යොමු වේ. ඒවා පිළිබඳ භක්තියෙන් කටයුතු කරයි. ප්‍රාර්ථනා ඉටු වෙයි. යුගදිවිය සතුටින් ගෙවෙයි.

මකර - ඔබගේ කේන්දරයේ 8 වැන්නේ පිහිටි මෙම යෝගය නිසා දේපළ ආදායම් පිළිබඳ ගැටලු නිරාකරණය කරගැනීමට හැකි වේ. සරලා යෝගය, විමලා යෝගය, බුධ ආදිත්‍ය යෝගය යන යෝග කිහිපයක්ම පෙන්වනු ලබයි. 8 වැන්න සුබ ස්ථානයක් නොවුණත් මෙවන් යෝග අසුබ පල මග හරවයි.

කුම්භ - කුම්භ ලග්න හිමි ඔබගේ කේන්දරයේ 7 වැන්නට පිවිසි මෙම ග්‍රහයන් දෙදෙනාගේ යෝගය තුළින් ව්‍යාපාර ලාභ ගෙන දෙයි. අතපසුව තිබූ වැඩ කොටස් බොහොමයක් නිමාවට පත්කර ගැනීමට හැකි වේ. ලිපි ලේඛන සම්බන්ධව සතුටුදායක ප්‍රතිචාර ලැබෙයි.

මීන - ඔබගේ කේන්දරයේ 6 වැන්නේ පිහිටි මෙම යෝගය නිසා රෝග පීඩාවලින් යම් සුවයක් ලැබීමේ ප්‍රවණතාව මෙන්ම සතුරු කරදර ද ඉවත් වෙයි. රැකියා ක්ෂේත්‍රවල දියුණුවක් පෙන් නුම් කරයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී, ශ්‍රියා ගනේගොඩ

Comments