සුබ ආරංචි ගෙනෙන බුලත් අත | සිළුමිණ

සුබ ආරංචි ගෙනෙන බුලත් අත

- ධන සම්පත් උදාකරන පලබර අඹ ගස
- පාට පාට කොඩි වැල් ගෙනෙන ‘සතුටුදායක කාරණා’ ඉක්මණින් ඉටු වේවි
- පිඹුරකු දුටුවොත් සතුට සමඟ දුක ද මුසු ආරංචියක්

දකින සිහින විවිධාකාර බැවින් ඒ පිළිබඳ සිග්මන්ඩ් ප්‍රොයිඩ් වැන්නන් පවා අවධානය යොමුකර තිබේ. ඔවුන් මේ දෙස බලන්නේ වෙනත් කෝණයකිනි. ස්වභාවික භූමියක කුඩා කඳුගැට සිහිනෙන් දැකීම ලිංගිකත්වය සම්බන්ධ සිහින ලෙසද ඇතැමුන් විසින් හඳුන්වා තිබේ. 

නාගයකු සිහිනෙන් දැකීම දරු උපතක් ගැන කියැවෙන්නක් බව අප බොහෝදෙනාගේ විශ්වාසය වී තිබේ. මනෝවිද්‍යාඥයන්ගේ මතය අනුවද එම සිහිනය දරු උපතකට සම්බන්ධය. දරු උපතක් සිදුවන්නේ ස්ත්‍රියකගේ සහ පුරුෂයකු අතර ඇතිවන සම්බන්ධතාව මතය. දරුවකුට උපත දෙන ශුක්‍රාණුවල හැඩය උරගයකුට නැත්නම් නාගයකුට සමානය.

මේ එක්වීම සිතින් දරාගත්තවුන්ට නයකු සිහිනෙන් පෙනෙන්නේ ඔවුන් මේ පිළිබඳ උනන්දුවෙන් පසුවන බැවිනි. එසේම ඔබ දකින එවන් සිහින පිළිබඳ ජ්‍යොතිෂයෙහිද සඳහන් වේ. ඒ මෙලෙසිනි.

* පල හට ගත් අඹ ගසක් - ධන සම්පත් උදා වේ.
* පන්සලක පැවැත්වෙන උත්සවයක් (පින්කමක් නොවේ) - තමාගේ දරුවකුට විපතක් සිදු වේ.
* පණුවා - තමාගේ දක්ෂතාව, කැපවීම සහ හැකියාව අන්‍යයන්ගේ අවධානයට ලක් වේ.
* පන්සලක් - තම සතුරන්ගේ අනුකම්පාවට භාජනය වේ.
* පන්සලක දී මල් පුදන අයුරු - තමාට උතුමන් වෙතින් උදවු උපකාර හිමි වේ.
* පන්සලක දී පහන් දැල්වීම - භූමියෙන් ලැබෙන වස්තුවක් හිමි වේ.
* පාදයක ආබාධයක් සහිත වූවෙක් - සැලසුම් කළ සියල්ල අවුල් වියවුල් වේ.
* පාපැදියක් පදිමින් සිටින අයුරු - තම දියුණුවට බාධා පැමිණේ.
* පාලමක් මතින් ගමන් කිරීම - තමා වෙත එල්ල වී තිබුණු බරපතළ චෝදනාවකින් නිදහස් වීමට අවස්ථාව උදා වේ.
* පාවහන් යුගලක් - ඉහළ තනතුරු ලබන්නට වාසනාව පෑදේ.
* පානය පිණිස අතට ගත් දිය බඳුනේ පණුවන් සිටීම - යුග ජීවිතය කඩාකප්පල් වන තරමට ප්‍රශ්න මතු වේ.
* පාට පාටින් යුතු කොඩි වැල් - සතුටුදායක කරුණු කාරණා
* පැදුරු වියන ස්ත්‍රියක් - තමා බලාපොරොත්තුව සිටි වැදගත්ම කාරණාව ඉටු වේ.
* පැන්සලක් හෝ පෑනක් - හිටිහැටියේම තමා පිළිබඳව වැඩි දෙනෙක් කතා කරන්නට පටන් ගනී.
* පැදුරු සහ කොට්ට - තම ඥාතියකුට ලෝකාපවාද එල්ල වේ. රැකියා කටයුතුවලින් දියුණුවක් හිමි වේ.
* පැරණි පූජා භූමියක් - ආරම්භ කරන ලද කාර්යයන් ස්ථිර වශයෙන්ම දියුණු වීමට පුළුවන.
* පැලක් හදන්නට කණු සිටුවීම - තම සමීප ඥාතියකුට මරණ හානි
* පිහියක් / කැත්තක් හෝ එවැනිම ආයුධයක් - පවුලේ බරපතළ ආරවුලක් ඇති වේ.
* පිසින ලද මාළු ආහාරයට ගැනීම - සතුරු කරදරවලින් බලවත් හානි සිදු වේ.
* පිදුරු කඳු ගසා තිබෙන අයුරු - තමාගේ උරුම හිමිකම් සහ දේපොළ ද ලැබේ.
* පිඹුරා - සතුට සමඟ දුකක් ද මුසු වූ ආරංචියක් ලැබේ.
* පිරිත් හෝ බණ අසන අයුරු - බොහෝ දේවල් සතුටුදායක ලෙස ආරම්භ කරන්නට අවස්ථාව උදා වේ. 
* පිරිමියකු සමඟ කෝලාහල කරන අයුරු - තමාගේ ඇසුර අන් අය අත් හරිති.
* ප්‍රසිද්ධ ස්ත්‍රියක් - තමන් විසින් කරන ලද සැලසුම් සාර්ථක වේ.
* ප්‍රසිද්ධ පුද්ගලයෙක් - තමන්ගේ අරමුණු ඉටු වේ.
* ප්‍රාසාදයක ඉහළ මහලට නඟින අයුරු - අති විශාල ජයග්‍රහණයක් ලබන්නට පුළුවන
* බකමූණෙක් කොටන්නට සැරසී පැනගෙන එන අයුරු - නිසැකවම රෝගී වේ.
* බඩ පැලී පිටතට පැමිණ තිබෙන අයුරු - මහත් වූ ධන සම්පත් ද, වස්තුව ද, බලය ද හිමි වේ.
* බඹර මැස්සන් / බඹර වදය - තමාට වඩා පහත් පිරිසකගේ විරෝධයකට ලක් වේ.
* බමුණෙක් / බමුණන් - මහත් වූ වස්තු සම්පත් ලැබේ.
* බමුණෙක් විසින් දකුණු අතට මල් දෙන අයුරු - සියලු ජයග්‍රහණයන් ද, වස්තු සම්පත් ද, නායකත්වය ද ලැබේ.
* බමුණකු හෝ බැමිණියක වෙතින් ධාන්‍ය වර්ගයක් ලැබෙන අයුරු - සියලු සැප සම්පත් උදා වේ.
* බමුණෙක් හෝ බැමිණියක විසින් දෝතට මල් පිළිගැන්වූයේ නම් - ධන සම්පත් ද, පරිවාර බලය ද, තේජස ද ලැබේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුදත් රත්නායක

Comments