නවග්‍රහ අපලවලට නිවසේදීම වත්පිළිවෙත් කරන හැටි | සිළුමිණ

නවග්‍රහ අපලවලට නිවසේදීම වත්පිළිවෙත් කරන හැටි

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී 
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි 
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

සිළුමිණ "ඉසිවර" පාඨක පින්වත් ඔබ වෙත අප විසින් මෙවර ඉදිරිපත් කිරීමට අදහස් කළේ තමන්ගේ ග්‍රහ අපලයට තමන් විසින්ම ග්‍රහ පූජාවක් පවත්වා ගැනීම පිළිබඳවයි. මුලින්ම අප අවබෝධ කරගත යුත්තේ "ග්‍රහ අපල" යනු කුමක්ද යන්නයි. තථාගත දහම පරිදි අනන්ත සසර කරන ලද කුසල් සහ අකුසල් මෙම ග්‍රහ තත්ත්වයන් බව අප විසින් මුලින්ම අවබෝධ කරගත යුතුය.
සසර කුසල් මේ ජීවිතයේ විපාක දෙන කාලවල ඉතා යහපත් කායික- මානසික සුවය - නීරෝගිභාවය - ධන සම්පත් - තමා විසින් කරනු ලබන ඕනෑම යහපත් කාරණයකින් ජය ලැබීම ආදී ඉතා යහපත් කාලයක් උදාවේ. සසර තමන් විසින් කළ අයහපත් අකුසල කර්මවල විපාකය විඳීමට සිදු වන කාලවලදී නොසිතූ කරදර - ණයතුරුස්- නඩු හබ - නොසිතූ රෝගාබාධයන්ට ගොදුරු වීම ආදී මහත් විපත්තිදායක කාලයන්ට මුහුණ දීමට සිදු වේ. ග්‍රහ බලය ගැන කරුණු ලිවීමේදී ඒ පිළිබඳව උගත් මහා ඍෂිවරුන් විසින් ලියන ලද තොරතුරු ඉතා වැදගත් වේ. ඔවුන්ගේ ⁣ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයකින් මෙසේ ලියා ඇත.

" පිනටද ග්‍රහයෝය
පවටද ග්‍රහයෝය
පරාජයට සහ මරණයටද ග්‍රහයෝය
හානිය - මරණය සැපය
දුකය - රෝගය - නිරෝගය
යන මේ සියල්ලටම ග්‍රහයෝය"

ග්‍රහයන් යනු කුසල් - අකුසල් බව ඔබට දැන් අවබෝධ විය යුතුය.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සසර කල අකුසල කර්ම නිසා කල්ප ගණන් එහි විපාක විඳ සම්බුද්ධත්වයට පත් වුවද ශේෂ වූ අකුසල කර්ම රාශියකට විපාක වශයෙන් මුහුණ දුන්නා නම් අප වැන්නවුන් කෙසේනම් එම විපත්වලින් ගැලවෙන්නද?

උතුම් පංචසීලයෙ පිහිටා තෙරුවන් වන්දනා කර ඔබට හැකි ලෙස මල් පහන් දැහැත් ගිලන්පස ආදිය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කර තෙරුවන් සමා කරගෙන උතුම් ඇනවුම් පිරිත සහ රතනසූත්‍රය දේශනා කර ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වූ ශ්‍රී මහා විෂ්ණු දිව්‍යරාජයාණන්ට පින් දී සියලු දෙවිවරුන්ටද පින්පෙත් අනුමෝදන් කර පහත සඳහන් නවග්‍රහ දෙවිවරුන් සඳහා වූ ස්තෝත්‍ර සජ්ඣායනා කරන්න. දිනපතා උදේ හෝ සවස සුදුසු වේලාවකදි මෙහි සඳහන් වතාවත් සිදු කර මෙම නවග්‍රහ ස්තෝත්‍රය කියවන්න.

හැකි දින ගණනාවක් තමන් විසින්ම සිදුකර ගැනීම තුළ තමාගේ සියලු අපල මගහැරී අපමණ ශාන්තියක් උදාවේ. නිවසේ සිදු කරන මෙම වතාවත්වලදී මියගිය ඥාතීන්ට නිවස තුළ පින්දීමෙන් වළකින ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

සියලු අපල මඟහැරී අපමණ ශාන්තියක්  උදාවේවි


නවග්‍රහ ස්තෝත්‍ර
1. රවි ස්තොත්‍රය
බන්ධකපුෂ්ප සංකාශ - රක්තොතපල සමප්‍රභො
ලොකනාථ ජගදීස - ශාන්තිං යචඡ ප්‍රභාකර
2. චන්ද්‍ර ස්තෝත්‍රය
ශංඛකුන්ද මෘණාලාභ - කාශපුෂ්ප සමද්‍යුතෙ
ශශාංකරොහිණී භක්ත - සදාශාන්තිං ප්‍රයච්ඡමෙ
3. කුජ ස්තෝත්‍රය
පෘථිවී ගර්භ සම්භූත - බන්ධුජීව සමප්‍රභො
ශාන්තිං දදාතු මෙනිත්‍යං - කුමාරංගාරකප්‍රභො
4. බුධ ස්තෝත්‍රය
ශිරීශපුෂ්ප සංකාශ - පිපිලාශොථවාපුනඃ
සොමපුත්රෝ බුධශෛවව - සදාශාන්ති ප්‍රයච්ඡතු
5. ගුරු ස්තෝත්‍රය
සිම්බලී කලිකා කාරො - භොගප්‍රකාර කාරකඃ
කෙවලඃ කාඤ්චනා - ආරොග්‍යායුඃ ප්‍රදොබුධඃ
දේවමන්ත්‍රී මහාතේජා - ගුරුඃ ශාන්තිං ප්‍රයච්ඡතු
6. ශුක්‍ර ස්තෝත්‍රය
සිතකුන්දෙන්දු සංකාශඃ - ශුක්ලවස්ත්‍ර විභූෂිතඃ
ශාන්තිං දදාතු වො නිත්‍යං - දෛත්‍යමන්ත්‍රී සභාගර්වඃ
7. ශනි ස්තෝත්‍රය
නීලොත්පල දලශ්‍යාමඃ - කෘෂ්ණාංජන නිභොපමඃ
ශනෛශ්වරග්‍රහඃ පුංසාං - සදාශාන්තිං ප්‍රයච්ඡත
8. රාහු ස්තෝත්‍රය
අතසීපුෂ්ප සංකාශො - නීලාංජන සමද්‍යුතිඃ
ශාන්තිං දදාතුවො නිත්‍යං - රාහුශ්චන්ද්‍රාර්ක මර්දනා
9. කේතු ස්තෝත්‍රය
සිංදූර රුධිරාකාරො - රක්තපද්ම නිභොපි වා
කේතුරා රක්තවර්ණාංගඃ - සදාශාන්තිං ප්‍රයච්ඡතු

Comments