මහඟු ප්‍රතිඵල ගෙන දෙන විරල සුබ යෝග දෙකක් | Page 4 | සිළුමිණ

මහඟු ප්‍රතිඵල ගෙන දෙන විරල සුබ යෝග දෙකක්

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ

නිකිණි පුර පක්ෂයේ දිනයක් වන අගෝස්තු 18 වැනිදාට යෙදෙන සුබ යෝග දෙකක් හේතු කොටගෙන එය යොදාගෙන මහඟු ප්‍රතිඵල ළඟා කරගැනීමට හැකි බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.

සිකුරාදා දිනයක් වන 18 වැනිදා සිකුරුගේම නැකතක් වූ පුවපල් නැකතක් උදා වී තිබීම සිද්ධි යෝගයක් වන අතර, එමඟින් එහි අර්ථයට අනුව කරන්නා වූ සෑම කටයුත්තක්ම සපල වන්නේ ය යන අරුත ගෙන දෙයි. එමෙන්ම එදින උදාවන දියවක තිථිය අමෘත යෝගයක් වන අතර, ආරම්භ කරන කටයුත්ත අතිශය සාර්ථක වන්නේ ය යන අරුත එමඟින් ගෙන දෙයි. මෙවන් දිනයක් වසරකදී යෙදෙනුයේ ඉතාමත් අල්ප වශයෙන් වන අතර, විවාහ මංගල්‍යයන්, විවාහ ලියාපදිංචිය, දරුවන්ට අකුරු කියැවීම,

ඉඳුල් කට ගෑම්, වෙළෙඳ ව්‍යාපාර ආරම්භයට මෙන්ම නිවෙස් ඉදිකිරීම් ඇරැඹීමටද එය ඉතාම ප්‍රතිඵලදායි සුබ නැකත් දිනයකි.

මේ දිනය සැක හැර ඔබට ගැළපේදැයි දැන ගැනීමට පහත විස්තර කර දන්වනු කැමැත්තෙමි. ඔබේ උපන් නැකත කුමක්දැයි පළමුව දැනගන්න. අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ, හත, සුවන, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකතකින් ඔබ ඉපදී තිබුණේ නම් ඔබට මේ දිනය තුළ ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කළ හැකිය. විවාහයකදී නම් දෙදෙනාම මේ නැකත්වලින් එකක සිටිය යුතුය. ඉහත සඳහන් වන නැකත් ඔබට සම්පත් ක්ෂේම, සාධක මෛත්‍රී, පරම මෛත්‍රී ආදී වශයෙන් යෙදෙන සුබ පල උදා කරන ඒවාය.

මෙදින ඉර උදා වන්නේ පෙ.ව. 6.05ටය. රාහු කාලය යෙදී තිබෙන්නේ පෙ.ව. 10.42 සිට 12.15 දක්වාය. එම රාහු කාලය මඟ හැර ඉර උදාවේ සිට රාත්‍රී 08.00 දක්වා ඔබට සුබ කටයුතුවල නිරත විය හැකිය. මෙදින බලවත්ම ග්‍රහයා සිකුරු වන බැවින් සිකුරුගේ හෝරාවන් ඉතා බලවත් ලෙස ඔබේ කටයුතුවලට යොදාගත හැකිය. ඒවා නම් උදේ පෙ.ව. 06.05 සිට 07.05 අතර හෝරාව සහ දහවල් 01.05 සිට 02.05 අතර හෝරාවයි.මෙදින තම කාර්යය වඩාත් පලදායී කර ගැනීමට එදින නැකත් හිමි සිකුරු ග්‍රහයා වෙනුවෙන් පහනක් එළියේ (නිවසින් පිට) පිරිසිදු තැනක දල්වන්න.

එම සිකුරු ග්‍රහයාට අධිපති දේවතාවුන් වන පාර්වතී දේවියට එම පහන අසල සිට පින් දෙන්න. ඊට ප්‍රථම නිවස තුළ බුදු පහන දල්වා සියලු දෙවියන්ට පින් දෙන්න. මෙදින සුබ දිශාව වන්නේ නැඟෙනහිරය. ඒ නිසා සියලු සුබ කටයුතු නැඟෙනහිර දිශාව බලා සිදු කරන්නට සිතට ගන්න. ජය පිරිත ඇසෙන්නට සලස්වමින් ඔබේ කටයුතු ආරම්භ කරන්න.

එමෙන්ම තවද තම බලාපොරොත්තු අරමුණු මුදුන් පමුණුවා ගැනීම පිණිස කරනු ලබන බෝධි පූජා, දේව පූජා ආදියට ද මේ දිනය යොදා ගැනීමෙන් මාහැඟි ප්‍රතිඵල ළඟා කර ගැනීමට ඔබට හැකි වේ.

Comments