
විශ්වාසය කැපවීම ඇත්තෝ
තරමක් ආත්මාර්ථකාමියි
කාටවත් කරදරයක් නෑ
ආකර්ෂණීය කතා විලාසයක් ඇති අය
නමේ මුල් අකුරෙන් කියවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ තවත් අකුරක් පිළිබඳව මෙවර ඉසිවරෙහි පළ කෙරේ. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ Y අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කරන අතර මෙයට පෙර ලිපිවලින් A අකුරේ සිට X අකුර දක්වා විස්තර පැහැදිලි කරන ලදී. මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ Y අකුර මුලට යෙදී නමක් පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කරන නමක් බවට පත්වීම තුළ මේ කියන කාරණාවන් වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි. ඔබට Y අකුරින් පටන් ගන්න නමක් තිබුණත් එය භාවිත නොකරන්නේ නම් එහි බලපෑම අවම වෙයි. ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවේ Y අකුරෙන් පටන් ගන්නා නමක් භාවිත කරන කෙනෙක්නම් බලන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයට කෙතරම් සමීපද කියා.
මෙම අකුරින් පටන් ගන්න සිංහල නම් ද වර්තමානය තුළ බොහොමයක් දැකිය හැකිය. සැබැවින්ම මොවුන් උපතින්ම වාසනාව උරුම කරගෙන උපන් පුද්ගලයන් කොටසක් ලෙස හඳුන්වන්නට පුළුවනි. ජීවිතයේ කෙදිනක හෝ තම වාසනාව මතුකරගෙන නැඟී සිටීම මොවුන්ගේ ස්වභාවයයි. විශ්වාසය සහ කැපවීම මොවුන්ගේ චරිතය පුරාම දැකිය හැකිය. තම අභිවෘද්ධිය සහ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස මහන්සිය නොබලා වැඩ කරයි. Y අකුර හිමියන් තරමක් ආත්මාර්ථකාමී ගති ලක්ෂණවලින් යුත් පිරිසක් ලෙස සමාජය තුළ යම් අදහසක් ඇතිවීමට ඉඩ තිබේ. එයට හේතුව වන්නේ සෑම තැනකදීම සෑම කටයුත්තකදීම තමාගේ පෞද්ගලික කාරණාවන් සහ අභිමතාර්ථයන් වෙනුවෙන් ප්‍රමුඛස්ථානය ලබා දීමට ක්‍රියා කිරීමයි.
නමුත් මොවුන් සැබැවින්ම සමාජයට හිතැති සමාජශීලී මිනිසුන් කොටසක් ලෙස හඳුන්වන්නට පුළුවනි. තම පවුල සහ සමාජය වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් මොවුන් නිසි වේලාවේදී කෙසේ හෝ ඉටු කරනු ලබයි. ආදරය සහ ප්‍රේමය වැනි කටයුතුවලදී ඉක්මන් වන්නේ නැත. Y අකුර හිමියන් බොහෝ වෙලාවට මේ මොහොතේ ඇතිවන හැඟීමට වඩා අනාගතයේ ඇතිවිය හැකි ප්‍රතිඵලය ගැන සිතා කටයුතු කරයි. එසේම මේ අය බොහෝ විට ආකර්ෂණීය කතා විලාසයකට සහ ප්‍රියමනාප රූප විලාසයකට හිමිකම් කියයි.
තව ද Y අකුර හිමියන් කාගෙත් සිත් දිනාගෙන කටයුතු කිරීමට දක්ෂ වෙයි. මෙම පුද්ගලයින් හුදකලා නිදහස් ජීවිතයකට ප්‍රිය කරයි. තම කටයුතු නිදහසේ කරගෙන යෑමට කැමැති අතර අන් අය තම කටයුතුවලට ඇඟිලි ගසනවාට කැමති නැත. මොවුන්ගේ තවත් විශේෂ ලක්ෂණයක් ලෙස දැක්විය හැක්කේ රහස් රැකීමට දක්ෂ පුද්ගලයින් වීමයි. තරමක් ගුප්ත ගති ද මොවුන් තුළ පවතී. නිහඬව කිසිවෙකුට කරදරයක් නොමැතිව ජීවත්වීම අපේක්ෂාව වෙයි. මොවුන් තුළ අලුත් නිර්මාණාත්මක අදහස්ද පවතී. සෑම දෙයක් පිළිබඳවම ධනාත්මකව සිතයි. කලාව සහ සෞන්දර්යය කෙරෙහි සහජ හැකියා සහ දක්ෂතාවන් මොවුන්ට පවතී. බොහෝ විට ජීවිතයේ කුමන හෝ අංශයකින් Y අකුර හිමියන් සාර්ථකත්වය උදාකර ගනු දැකිය හැකිය. මොවුන් ජීවත් වීමේ දී ඉතා සැහැල්ලුවෙන් කටයුතු කරයි. වුවමනාවට වඩා කිසිදු දෙයක් සිතට නොගනී. තමාට හිමි වැඩ කොටස මනාව ඉටු කරයි. සෞම්‍ය මෘදු ගතිගුණ මොවුන්ට පිහිටා ඇත. මෙම අයට කේන්ති යන්නේ ද ඉතා අඩුවෙනි. තරහ ආවත් එය වැඩි වෙලා හිතේ තබා ගන්නේ නැත. නිතරම සන්සුන් මනසකින් සිටීමට උත්සාහ කරයි. නිරෝගී භාවය මෙන්ම දීර්ඝායුෂ විඳීම අතින්ද Y අකුර හිමියන් වාසනාවන්තයෝ වෙයි.
Z අකුර පිළිබඳ තොරතුරු ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය
ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය
ඒ. ජේ. දීපාලෝක