
සඳු 5 නම් කුලුඳුලේ දරුවා පුතෙක් සිකුරු 5 නම් දුවෙක්
විවාහයෙන් පසු මධු සමය ගත කළ නව යොවුන් කාන්තාවකට දරු සම්පතක් ගැන සිත තුළ ඇත්තේ දැඩි කැමැත්තකි. තමාට ලැබෙන කුලුඳුල් දරුවා දුවෙක් ද? පුතෙක් ද ? යන්න ප්‍රශ්නයක් සිත් තුළ සනිටුහන් වීම අරුමයක් නො වේ. දුවෙක් ලැබුණත්, පුතෙක් ලැබුණත් පවුල් සංස්ථාවට එය සම්පතකි.
එසේ අලුත විවාහ වූ යුවතියකට තමන්ට ලැබෙන කුලුඳුල් දරුවා ගැන විමසා බැලීමට ක්‍රමවේදයක් ජ්‍යොතිෂයේ ඇත. මේ නිසා ජ්‍යොතිෂය ආධාරයෙන් පළමුව තමන්ට ලැබෙන්නේ දුව ද? පුතා ද? යන්න දැන ගැනීමට තමත්ගේ ජන්ම පත්‍රයෙන් බැලීමට පුළුවන.
පවුලකට ලැබෙන පළමු දරුවා පිරිමි දරුවෙක් නම් ඉතා වාසනාවන්ත බවට මතයක් ඇත. එයට හේතුවක් තිබේ. පිරිමි දරුවෙක් නිසා අනාගතයේ දී සහකාරියක් තම පවුලට එකතු වන හෙයින් කුලුඳුල් දරුවා පුතෙකු ලෙස බාර ගැනීමට කැමැතිය. දේපළ සහ වස්තුව පිටතට යන්නේ නැත. ජ්‍යොතිෂය අනුව පළමු දරුවා පිරිමි ළමයෙක්නම් ඔහුට වැඩිපුර අපල ගෙන දෙයි. එය ඉදිරි ගමනට බාධාවකි.
තව මතයක් තිබේ. කුලුඳුල් දරුවා ගැහැනු දරුවෙක් නම් පවුලකට වාසනාව උදා වෙයි. එයට හේතුව නම් කුලුඳුල් දරුවා ගැහැනු ළමයා කවදාහරි ලොකු මහත් වී තම බාල සහෝදර සහෝදරියන් බලා ගැනීමේ හැකියාවක් තිබෙන නිසා දුවෙකුට කැමැති ය. වැඩිමහල් දුවගේ දායකත්වය ගෙදර දොරේ වැඩවලට, ඉවුම් පිහුම් කටයුතුවලට හා බාල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උදවු ලැබෙන නිසා ඇයට කැමතිය. නිවස පවා අලංකාර ලෙස පවත්වාගෙන යාමට ගැහැනු දරුවෙකුගෙන් ලැබෙන උදවු මවකට ලැබෙන සහනයකි.
අද වර්තමාන සමාජයේ දරුවන් වෙනස්ය. ඔවුන් පරිගණක සහ ස්මාර්ට් දුරකතනවලට ඇබ්බැහි වීම නිසා ගතකරන ජීවිතය එදාට වඩා අද කණපිට පෙරළී ඇත. ගුණධර්මවලින් පිරිහී තිබේ. ආගම ධර්මයට ගරු නොකරයි. වැඩිහිටියන්ගෙන් ඈත් වෙයි. ඒ නිසා අද දරුවන් සම්පූර්ණයෙන් ම වෙනස්ය.
දරුවන් ගැන කේන්දරයෙන් කියන්නේ 5 වැනි කොටුවෙනි. සඳු 5 වැන්නේ සිටිනම් ලැබෙන කුලුඳුල් දරුවා පිරිමි දරුවෙකි. සිකුරු 5 වැන්නේ සිටීනම් කුලුඳුල් දරුවා ගැහැනු දරුවෙකි. දුව ද? පුතා ද? යන්න හඳහන බලා තීරණය කරන අයුරු ජන්ම පත්‍ර කිහිපයක් පහතින් විග්‍රහ කර ඇත.
ගුරු 5 වැන්නේ සිටින විට කුලුඳුල් දරුවා පිරිමි දරුවෙකි. ගුරු ග්‍රහයා ජ්‍යොතිෂයේ හඳුන්වන්නේ පුත්‍රකාරක ග්‍රහයා ලෙසිනි.
තුලා ලග්නයෙන් උපන් ඇයගේ හඳහනේ ගුරු 5 වැනි කොටුවේ සිටියි. 5 වැන්න කුම්භ රාශියට අයත් ය. කුම්භ රාශිය පුරුෂ රාශියකි. පුරුෂ රාශියේ ගුරු සිටින නිසා ඇයට ලැබුණු පළමු දරුවා පිරිමි ළමයෙකි.
ඊළඟට මකර ලග්නයෙන් උපන් ඇයගේ හඳහනේ 5 වැන්නේ සිකුරු සිටියි. 5 වැන්න වෘෂභ රාශියට අයත් ය. එහි අධිපති සිකුරු ස්වක්ෂේත්‍රව බලයෙන් සිටින ස්ත්‍රී ග්‍රහයෙකි. වෘෂභ ස්ත්‍රී රාශියට අයත්ය. ඒ නිසා ඇයට ලැබුණු පළමු දරුවා ගැහැනු ළමයෙකි.
5 වැන්නේ කුජ සිටී නම් ඇයට ලැබෙන දරුවා පිරිමි දරුවෙකි. මෙම දරුවා අකීකරු ළමයෙක් ලෙස වැඩීමට ඉඩ ඇත. 5 වැන්නේ රාහු, කේතු හා සෙනසුරු සිටීනම් ලැබෙන දරුවා එම භාවයට වැඩි අවධානයක් යොමුකර ලැබෙන පළමු දරුවා ගැන තීරණයක් ගත යුතුය. මෙම ග්‍රහයින්ගේ නැකැත් හා 5 වැන්න අධිපතියා සිටින ආකාරය බලා තීරණ ගත හැක.
රාහු 5 සිටි ඇයට උපන් පළමු දරුවා ගැහැනු දරුවෙකි.
රාහු ග්‍රහයාට භාව අධිපති හිමිකමක් නැත. 5 වැන්නේ අධිපතියෙක් ඇත. මකර ලග්නයෙන් උපන් ඇයගේ හඳහනේ 5 වැන්න වෘෂභ රාශියට අයත්ය. එහි අධිපතියා සිකුරුය. සිකුරු ලග්නගත වී සිටියි. සිකුරුගේ ත්‍රිකෝණ දෘෂ්ටිය 5 වැන්නට වැටෙයි. වෘෂභ ස්ත්‍රී රාශියකි. සිකුරු ස්ත්‍රී ග්‍රහයෙකි. වැඩිපුර ස්ත්‍රී පැත්තට බර නිසා ඇයගේ පළමු දරුවා දුවෙකි.
කේතු 5 සිටි විවාහක කාන්තාවකට පළමු දරුවා පිරිමි දරුවෙකි. ඇය සිංහ ලග්නයෙන් ඉපදී ඇත.
කේතු 5 සිටියි. රාහුට මෙන් ම කේතුට ද රාශි අධිපති හිමිකමක් නැත. 5 වැන්න ධනු රාශියට අයත් ය. ධනු පුරුෂ රාශියකි. 5 අධිපති ගුරු 11 වැන්නේ සිටියි. 11 වැන්න මිථුන රාශිය වේ. ගුරුගේ පූර්ණ දෘෂ්ටිය 5 වැන්නට වැටෙයි. ගුරු පුරුෂ ග්‍රහයෙකි. වැඩිපුර පුරුෂ පැත්තට වැඩි නිසා ඇගේ පළමු දරුවා පිරිමි දරුවෙකි. මෙය සරලව පැහැදිලි කළත් ග්‍රහයන්ගේ නැකත්, නැකතට හිමි ග්‍රහයා සොයා නිවැරදි පලාපල ඉලක්කයට යා යුතුය. ග්‍රහ දෘෂ්ටි ද අනිවාර්යයෙන් ම බලන්න. නවාංශක රාශිය ද බැලිය යුතුය.
අප මෙහි දී දුවෙක් ද ? පුතෙක් ද? තීරණය කළත් සමහර කාන්තාවන්ට නිවුන් දරුවන් ලැබීමට වාසනාව ඇත. දෙදෙනෙක් හෝ ඊට වඩා ප්‍රසූත කළ හැක. නිවුන් දරුවන් බිහි කිරීමේ යෝග රාශියක් ජ්‍යොතිෂයේ ඇත. කේන්දරයක 9 වැන්නාධිපති ග්‍රහයා 5 වැන්නේ සිටියදී සෙනසුරු 9 වැන්නේ සිටීනම් නිවුන් දරුවන් බිහි කරන යෝගයකි. මේෂ ලග්නයෙන් උපන් කාන්තාවකගේ හඳහන පහත ඇත.
9 වැන්න ධනු රාශියට අයත් ය. එහි අධිපතියා ගුරු ග්‍රහයා වේ. ගුරු 5 වැන්නේ සිටියි. 5 වැන්න සිංහ රාශිය වේ. 9 වැන්නේ ශනි සිටියි. එම යෝගය ක්‍රියාත්මක නිසා ඇයට නිවුන් කුලුඳුල් දරුවන් ලැබීමේ වාසනාව තිබේ. 9 වැන්නේ සෙනසුරු පුරුෂ ග්‍රහයෙකුට අයත් නැකතක ගමන් කරන්නේනම් පිරිමි නිවුන් දරුවන් ලැබේ. යම් ලෙසකින් සෙනසුරු ස්ත්‍රි ග්‍රහයෙකුට අයත් නැකතක ගමන් කරන්නේනම් පිරිමි සහ ගැහැනු දරුවන් ලැබීමේ හැකියාව ඇත. නිවුන් වුවත් පළමුවෙන් ප්‍රසූත කළ දරුවා කුලුඳුල් දරුවා ලෙස සැලැකේ. විවාහ වී දරුවන් ලැබීමේ බලාපොරොත්තුවෙන් සිටියත් අවුරුදු ගණනක් යනතුරු දරුවන් නොමැතිව දුක් විඳින අඹු සැමියෝ එමට සිටිති. ඔවුන් ඊළඟට කරන්නේ දරුවෙකු අරන් හදා ගැනීමයි. දරුවෙකු අරන් හදාගත් පසු ඇයට ගැබ් ගැනීමට ද පුළුවන. එය මානසික ගුප්ත හා බලවේගයක් මත ගොඩනැගෙන පරිසරයකි.
දරුවන් හදා වඩා ගන්නා යෝග තිබෙන අතර එම දරුවා අඹු සැමියන් දෙදෙනාට යහපතක් හෝ අයහපතක් සිදු කරයි ද? යන්න ජ්‍යොතිෂයේ පිහිට පැතිය හැක. ඒ සඳහා උගත් දෛවඥයින් අප රටේ සිටිති. දරුවෙක් හදා ගැනීමට පෙර ඔවුන්ගේ සහය ලබා ගත යුතුය.
ස්ත්‍රී ජන්ම පත්‍රයේ 5 වැන්නේ බුධ, සඳු හා සෙනසුරු සංයෝග වී තිබේනම් ඇයට දරු පල අහිමි වන අතර මෙම යෝගය දරුවෙකු අරන් හදා ගැනීමට බලපායි. විශේෂයෙන් ඇය හදා වඩා ගැනීමට අපේක්ෂාවෙන් සිටින දරුවාගේ හඳහන ගෙන භාරකාර මවුපිය දෙදෙනාටම ගැළපේදැයි විමර්ශනයට ලක් කිරීම වැදගත් ය. එසේ නැතිනම් විවිධ කරදර බාධක හා ප්‍රශ්නවලින් මුළු ජීවිත කාලය තුළ දුක් විඳීමට සිදු වේ.
ජ්‍යොතිර්වේදී ග. මු. සුබසිංහ