
S ශබ්ද විද්‍යාවේ ඉතා බලගතු අකුරක්
කලා සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේද මේ අය සිටී
නමේ මුල් අකුරෙන් කියවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ තවත් අකුරක් පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ S අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කරන අතර මෙයට පෙර ලිපිවලින් A අකුරේ සිට R අකුර දක්වා විස්තර පැහැදිලි කරන ලදී. මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ S අකුර මුලට යෙදී නමක් පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කරන නමක් බවට පත්වීම තුළ මේ කියන කාරණාවන් වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි.
ඔබට S අකුරින් පටන් ගන්න නමක් තිබුණත් එය භාවිත නොකරන්නේ නම් එහි බලපෑම අවම වෙයි. ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවේ S අකුරෙන් පටන් ගන්න නමක් භාවිත කරන කෙනෙක්නම් බලන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයට කෙතරම් සමීපද කියා.
ශබ්ද විද්‍යාවේ ඉතා බලවත් හඬක් නිකුත් කරන ශබ්ද සංකේතයක් ලෙස S අකුර හඳුන්වා දෙන්න පුළුවන්. මෙම අක්ෂරය මුලට යෙදී පටන් ගන්න නම් ඉතා බහුල ලෙස දැකිය හැකිය. ලොව ඉතා ජනප්‍රිය නාමයන් ද ඒ අතර වෙයි. මෙම අක්ෂරය හිමි අය විශිෂ්ට නිර්මාණශීලී හැකියාවන්ගෙන් යුක්ත අය ලෙස හඳුන්වන්න පුළුවන්. s අක්ෂරය හිමි දක්ෂ පුද්ගලයන් ඕනෑම ක්ෂේත්‍රයක දැකිය හැකිය. චිත්‍ර සංගීත නැටුම් ක්‍රීඩා සහ දේශපාලන ක්ෂේත්‍රය මෙන්ම විවිධ පොත්පත් නවකතා සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන් තුළ ද විශේෂ හැකියා දක්ෂතා මොවුන් පෙන්නුම් කරයි.
හොඳ බුද්ධිමය හැකියාවක් මොවුන් සතුව පවතී. යම් දෙයක සමස්තය දැකීමේ හැකියාව ඇත. නිතරම අවබෝධයෙන් යුතුව කටයුතු කරයි. සංවේදී මනසක් හිමි මොවුන් හැඟීම්බර මිනිසුන් කොටසක් ලෙසද හඳුන්වන්න පුළුවන්. අධ්‍යාපනය තුළ ද විශිෂ්ට හැකියා දක්ෂතා ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතී. ඉගෙනීමට උනන්දුවෙන් යුක්තයි. ගැඹුරින් සිතීමේ හැකියාව ඇත. නමුත් සැහැල්ලුවෙන් විනෝදයෙන් ජීවත් වීමට කැමැත්ත දක්වයි. පැත්තක යන දේවල් ඇඟට දමා ගන්නේ නැත. ලස්සනටත් ප්‍රියමනාපවත් සිටීමට ආසා කරයි. ඇවිදීම සංචාරයට මෙන්ම ස්වභාව සෞන්දර්යටද ඇලුම් කරයි.
S අකුර හිමියන් නීතියට ගරු කරන අතර අයුක්තියට අසාධාරණයට කැමති නැත. ඔවුන්ගේ අදහස් සහ සිතුම් පැතුම්වලට ගැළපෙන අය පමණක් තෝරා ගෙන ඇසුරු කරයි. නමුත් ඕනෑම අයෙක් සමඟ හොඳහිත පවත්වා ගැනීමටද දක්ෂ වෙයි. සමාජය තුළ කැපී පෙනීමටත් ජනප්‍රියත්වයටත් ආසා කරයි. තම නම පවත්වාගෙන යාමට කැපවීමෙන් ක්‍රියා කරයි. වෙහෙස මහන්සිය නොබලා තම සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කරයි. ඕනෑම දෙයකට කල් තියා සූදානම් වීම මොවුන්ගේ ගතියකි.
තම අරමුණට ගමන් කිරීමේදී බාධා පැමිණියද ඒවා ගණන් ගන්නේ නැත. තම ඉලක්ක වෙනුවෙන් කැපවීම අන් අයට ආත්මාර්ථකාමී ගති ලක්ෂණයක් ලෙස පෙනෙයි. මොවුන් යම් දෙයක් තීරණය කිරීමේදී ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය වෙයි. හදිසියේ ගත යුතු එඩිතර තීන්දු තීරණ ගැනීමට තරමක් අපහසු ගතියක් පවතී.
අතපසු නොකර කලට වේලාවට තම යුතුකම් ඉටු ඉටුකිරීමට ද මොවුන් ක්‍රියා කරයි. ආදරය සහ විවාහය වැනි කටයුතුවලදීත් ගෘහ ජීවිතය තුළත් සමගියෙන් සාමකාමීව අදහස් බෙදාගෙන කටයුතු කිරීම මොවුන්ගේ ස්වභාවයයි. කෙසේ වෙතත් සමාජය තුළ සාර්ථකත්වය කරා වේගයෙන් ගමන් කර ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට මොවුන්ට හැකියාව පවතී.
T අකුර පිළිබඳ ලබන කලාපයෙන්
බලාපොරොත්තු වන්න.
ඒ. ජේ. දීපාලෝක
(ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය ඉසිවර සහන
ජ්‍යොතිෂය සේවය)