මාස්ටර් ෂී පෂාඕ යතිවර ප්‍රතිභා ප්‍රභා මහමෙරක මෙහෙවරට උපහාර | Page 7 | සිළුමිණ

මාස්ටර් ෂී පෂාඕ යතිවර ප්‍රතිභා ප්‍රභා මහමෙරක මෙහෙවරට උපහාර

සිංගප්පූරුවේ බුද්ධා ටූත් රෙලික් ටෙම්පල් සහ මියුසියම් මෙන්ම ගෝල්ඩන් පැගෝඩා යන විහාස්ථානයන් ද්විත්වයෙහි විහාරාධිපති මාස්ටර් ෂී පෂාඕ යතිවරයාණන් වහන්සේ බුදු දහමට සහ ශ්‍රී ලංකාවට වසර ගණනාවක් පුරාවට සිදු කළ මෙහෙය අගයමින් කොළඹ ගංගාරාමය විහාරාධිපති පූජ්‍ය ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ මූලිකත්වයෙන් 2023 ජුනි 11වැනි ඉරු දින පස්වරු 4.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහිදී ගරු බුහුමනට ලක් වෙති. 

සිංගප්පූරුවේ හදවත බඳු ජනාකීර්ණ ප්‍රදේශයක, බුදුන් වහන්සේගේ දළදා මාලිගාව සහ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ගැඹුරු වූ ධර්ම අධ්‍යාපනයක් සඳහා තෝතැන්නක් වන මෙම විහාරස්ථානය, ප්‍රඥාලෝකය සොයා යන, මෛත්‍රිය පතුරවන සහ සමාජ අභිවෘද්ධිය සඳහා සිය ජීවන ගමන කැප කළ ගෞරවනීය භික්ෂුවක් වන මාස්ටර් ෂී පෂාඕ හිමියන්ගේ නිවහනයි. ස්වයං අවබෝධය තුළින් මානව වර්ගයාට සේවය කිරීමේ අරමුණින් සිය ජීවන ගමන යාත්‍රා කරන මාස්ටර් ෂී පෂාඕ හිමියන් ප්‍රඥාලෝකයේ, මෛත්‍රියේ සහ කරුණාවේ ප්‍රතිමූර්තියක් ලෙස ප්‍රකටය.

1959 ජූනි 22 වැනිදා මාස්ටර් ෂී පෂාඕ හිමිපාණන් උපත ලබන්නේ චීන සම්භවයක් ඇතිව සිංගප්පූරුවේය. උන්වහන්සේගේ ගිහි නම ලායි මෙන්ග් වා ය. ලායි මෙන්ග් වා ගේ මුතුන් මිත්තන්ගේ මූලයන් චීනයේ කැන්ටන් ප්‍රාන්තයේ මෙයි ප්‍රදේශය දක්වා දිව යන අතර, ළමා වියේදීම මාපියන් දිවියෙන් සමුගත් නමුත්, ආදරය සහ මඟ පෙන්වීම ලබා දෙමින් හදා වඩා ගත් කැපකරු මාපියන් ඉමහත් ආශිර්වාදයක් විය.

මාස්ටර් ෂී පෂාඕ හිමියන්ගේ ආධ්‍යාත්මික ගමන ආරම්භ වන්නෙ 1970 දී බුදුදහම සරණ යාමත් සමඟය. පූජ්‍ය ශි චං හෙන්ග් විසින් මඟ පෙන්වනු ලැබූ උන්වහන්සේට ජූ හුවාං යන ධර්ම නාමය ලැබුණේ ප්‍රඥාලෝකය ලබා ගැනීමට හා ප්‍රඥාව වර්ධනය කිරීමට උන්වහන්සේ තුළ ඇති කැපවීම සංකේතවත් කරමිනි. වසර නවයකට පසු 1979 අගෝස්තු 10 වැනි දා උන්වහන්සේ සිංගප්පූරුවේ ලෝන්ග් ෂාන් සී ආරාමයේදී ශි මාඕ හුවා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවිදි බිමට ඇතුළු විය. එතැන් පටන් උන්වහන්සේ “ආලෝකයේ හදවත” යන අර්ථය ඇති ෂිං ගුවාන් යන ධර්ම නාමය ද, “ධර්මයේ පහන” යන අර්ථය ඇති පෂාඕ නාමයද ද වැලඳ ගත්හ. තායිවානයේ ෂින් ෂු ප්‍රාන්තයේ බි යාන් සී ආරාමයේදී ශි බායි ෂෙං හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ 1979 දෙසැම්බර් 8 වැනි දා ෂී පෂාඕ හිමියෝ භික්ෂු ශික්ෂා පද පිළිපැදීමට එකඟ වූහ.

නායකත්වය හා කළමනාකාරීත්වය 

මාස්ටර් ෂී පෂාඕ හිමියන්ගේ නායකත්ව සහ කළමනාකාරිත්ව හැකියාව බොහෝ බෞද්ධ සංවිධාන, අධ්‍යාපන ආයතන සහ පුණ්‍යායතනයන්හි නොමැකෙන සලකුණක් තබා ඇත. 1981 දී, උන්වහන්සේ ෂි ගුයි ෆො සි ආරාමයේ අධිකාරීවරයාගේ භූමිකාව භාර ගත් අතර උන්වහන්සේ 1992 දක්වා එකි තනතුර දැරීය.

ආධ්‍යාත්මික ගවේෂකයන් සඳහා තෝතැන්නක් පිහිටුවීමේ උන්වහන්සේගේ දැක්ම නිසා මාස්ටර් ෂී පෂාඕ හිමියෝ 1988 දී ගෝල්ඩන් පැගෝඩා බෞද්ධ විහාරය ආරම්භ කරමින් එහි නායක ස්ථවිර සහ කළමනාකරණ කමිටුවේ මුලසුන බාර ගත්හ. 1994 දී මෙත්තා සුබසාධක සංගමය පිහිටුවමින් උන්වහන්සේගේ පරිත්‍යාගශීලි උත්සාහයන් විහාරස්ථානයෙන් ඔබ්බට ගෙන ගියහ.

2001 දී, මාස්ටර් ෂී පෂාඕ හිමියන් විසින් විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පෝෂණය කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා කැප වූ ආයතනයක් වන මෙත්තා පාසල ආරම්භ කරන ලදී.

2003 දී මාස්ටර් ෂී පෂාඕ හිමියන් සිංගප්පූරුවේ බුද්ධ දළදා මාලිගාව පිහිටුවීම, උන්වහන්සේගේ ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයකි. මාස්ටර් ෂී පෂාඕ හිමියන්ගේ පරිත්‍යාගශීලිත්වය සිංගප්පූරුවෙන් ඔබ්බටද විහිදේ.

ප්‍රශංසා සහ පිළිගැනීම්

මාස්ටර් ෂී පෂාඕ හිමියන්ගේ සුවිශේෂී උත්සාහය නිසා ලොව පුරා ගෞරවනීය පිරිස් සහ සංවිධානවලින් උන්වහන්සේට පිළිගැනීම් සහ ප්‍රශංසාවන් අඛණ්ඩව ලැබී ඇත. 1992 දී, ශ්‍රී ලංකා මහා සංඝරත්නයේ උත්තරීතර සභාව උන්වහන්සේට “ශාසන කීර්ති ශ්‍රී සීවලී” යන පදවිය පිරිනැමුහ.

1996 දී තායිලන්තයේ බුමිබෝල් අදුල්යාදේජ් රජතුමා විසින් මාස්ටර් ෂී පෂාඕ හිමියන්ගේ අධ්‍යාත්මික කීර්තිය හඳුනාගෙන උන්වහන්සේට චොකුන් ෆ්‍රා විතේතමනුසිත් යන පදවි නාමය ප්‍රදානය කළේය.

1997 දී ධර්ම ප්‍රචාරණයේලා මාස්ටර් ෂී පෂාඕ හිමියන්ගේ කැපවීම තවදුරටත් අභිනන්දනයට ලක්කරමින් තායිලන්ත රාජ කුමරිය විසින් කීර්තිමත් ධර්ම චක්‍ර රන් චක්‍ර සම්මානය උන්වහන්සේට පිරිනමන ලද අතර, මියන්මාර රාජ්‍යයේ රාජ්‍ය සාමය සහ සංවර්ධන සභාව 2000 දී මාස්ටර් ෂී පෂාඕ හිමිපාණන් වහන්සේට මහා සද්ධම්මජෝතිකධජ යන ගෞරවනීය පදවිය පිරිනමන ලදී.

2004 දී, සිංගප්පූරු ජනරජයේ ජනාධිපති, එස්. ආර්. නාදන් විසින් මාස්ටර් ෂී පෂාඕ හිමිපාණන් වහන්සේගේ විශිෂ්ට මහජන සේවයට මහජන සේවා පදක්කම් සම්මානය ප්‍රදානය කළහ.

මියන්මාර රාජ්‍යයේ රාජ්‍ය සාමය සහ සංවර්ධන සභාව වර්ෂ 2010දී මාස්ටර් ෂී පෂාඕ හිමිපාණන් වහන්සේට නැවත වරක් අග්ගමහා සද්ධම්ම ජෝතිකාධජ යන පදවිය පිරිනමන ලදී.

2011 දී, මාස්ටර් ෂී පෂාඕ හිමිපාණන් වහන්සේ මහජන සේවය සහ ප්‍රජා සුභසාධනය සඳහා දැක්වූ සුවිශේෂී කැපවීම, සිංගප්පූරු ජනරජයේ ජනාධිපති ආචාර්ය ටෝනි ටෑන් කෙන්ග් යැම් විසින් අගය කරනු ලැබූ අතර, උන්වහන්සේට මහජන සේවා තාරකාව සම්මානය පිරිනමන ලදී. 

2013දී තායිලන්ත මහරජතුමා ද උන්වහන්සේගේ මහත් වූ කැපවීම අගය කළ අතර , 2014 දෙසැම්බරයේදී, ශ්‍රී ලංකාවේ අස්ගිරි මහා සංඝරත්නයේ උත්තරීතර සභාව, ධර්ම ප්‍රචාරණයට සහ ගෞරවනීය ආධ්‍යාත්මික නායකයකු ලෙස උන්වහන්සේගේ කාර්යභාරය තවදුරටත් හඳුනාගනිමින්, මාස්ටර් ෂී පෂාඕ හිමිපාණන් වහන්සේට සම්භාවනීය සංඝ පදවියක් පිරිනමමින් ගෞරව කළහ.

පුණ්‍ය කටයුතු

ලාංකේය ශාසනික කටයුතුවලට ද දායකත්වය සපයමින්, උන්වහන්සේ 1992 සහ 1994 දී සංඝරත්නය සඳහා දානය මඟින් ප්‍රයෝජනවත් ආධාර ලබා දෙමින්, කොළඹ ගංගාරාමය විහාරස්ථානයට සිය සහයෝගය ලබා දී ඇත. 2004 දී, සුනාමියෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම උදෙසා උන්වහන්සේ නිර්ලෝභීව ඩොලර් 200,000 සහ 2010 දී ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා ඩොලර් 100,000 ක් පරිත්‍යාග කළහ.

ශ්‍රී ලංකාවේ නා සෙවණ ව්‍යාපෘතිය සඳහා 2014 ජුනි මාසයේදී සිංගප්පූරු ඩොලර් 125,000 පරිත්‍යාග කළ, උන්වහන්සේ 2021 පෙබරවාරි මස ශ්‍රී ජිනරත්න වෘත්තීය පුහුණු පාසලට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කරමින් නොමඳ සහයෝගය ලබා දී ඇත.

ශ්‍රී ලංකාවෙන් ඔබ්බට, මියන්මාරයේ සහ තායිලන්තයේ පුණ්‍ය කටයුතු සඳහා ද මාස්ටර් ෂී පෂාඕ හිමියන් කැපවී ඇත.

සිංගප්පූරුවේ නව ව්‍යාපෘති

ධනාත්මක වෙනසක් ඇති කිරීම සහ ප්‍රජාව නඟා සිටුවීමේ සිය මෙහෙවර අඛණ්ඩව කරගෙන යමින්, මාස්ටර් ෂී පෂාඕ හිමියන් සිංගප්පූරුවේ වැදගත් ව්‍යාපෘති දෙකක් ආරම්භ කර ඇත. පළමු ව්‍යාපෘතිය වන්නේ මෛත්‍රී පාසල සහ මෛත්‍රී ගොඩනැගිල්ලෙන් සමන්විත නව මෛත්‍රී පාසල් මණ්ඩපයයි. සිංගප්පූරු ඩොලර් මිලියන 80ක ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත මෙම උත්සාහය සිසුන්ගේ සාකල්‍ය සංවර්ධනය පෝෂණය කරන අති නවීන අධ්‍යාපන ගොඩනැගිලි සැපයීම අරමුණු කරයි. 2027 මැද භාගය වන විට මණ්ඩපය ඉදි කොට අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර 2024 දී ඉදි කිරීම් ආරම්භ කිරීමට නියමිතය.

දෙවන ව්‍යාපෘතියට සිංගප්පූරු චීන බෞද්ධ සංගම් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළත්ය. 2023 දී ආරම්භ කර 2024 දී නිම කිරීමට සැලසුම් කර ඇති මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය මඟින් බෞද්ධාගමේ ඉගැන්වීම් මූර්තිමත් කරන, ප්‍රජා සහභාගීත්වය පෝෂණය කරන අවකාශයක් නිර්මාණය කරමින් සංගමයේ මූලස්ථානය පුනර්ජීවනය කිරීම අරමුණු කරයි. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම සිංගප්පූරු ඩොලර් මිලියනයකි.

කොළඹ ගංගාරාම විහාරස්ථානය සමඟ සම්බන්ධය

පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගංගාරාමය විහාරස්ථානය සමඟ දසක තුනක දීර්ඝතම සුහද සහ ඵලදායි සම්බන්ධයක් මාස්ටර් ෂී පෂාඕ හිමියන්ට ඇත. එය ධර්ම මාර්ගයේ අන්‍යෝන්‍ය වශයෙන් බලාපොරොත්තු ඉටුවන සුන්දරම බැඳීමකි. තවද මෙම පුද්ගලික සම්බන්ධය නිසා මාස්ටර් ෂී පෂාඕ හිමියන් හා ගංගාරාමය විහාරස්ථානයේ අනුග්‍රහය ඇතිව සිංගප්පූරුව, තායිලන්තය, මියන්මාරය වැනි රටවල් සමඟ ඇති කරගත් සබඳතාවලින් ශ්‍රී ලංකාවටද ඉමහත් ප්‍රතිලාභයක් ලැබිණි.

භික්ෂුවක් ලෙස මාස්ටර් ෂී පෂාඕ හිමියන්ගේ ජීවන ගමන ආදර්ශවත් ය. උන්වහන්සේගේ අතිප්‍රහත කැපවීම, නොපසුබස්නා දැනුම හඹා යාම සහ බුදුදහම සහ මානුෂීය ගුණාංග ප්‍රවර්ධනය කිරීමෙහිලා මහත් වූ උත්සාහය උන්වහන්සේට ඉමහත් ගෞරවයක් හා ප්‍රශංසාවක් ගෙන දී ඇත. සිංගප්පූරුවේ බුද්ධ දළදා මාලිගාව පිහිටුවීමේ සිට විවිධ සංවිධානවලට නායකත්වය දැරිම සහ ලොව පුරා පුණ්‍ය ව්‍යාපෘති ආරම්භ කිරීම දක්වා මාස්ටර් ෂී පෂාඕ හිමියන් ගෝලීය බෞද්ධ ප්‍රජාවට විශාල සේවාවක් කර ඇත.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමිපාණන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපුජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන හිමිපාණන්, සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ඥානරතනාභිධාන මහා නායක ස්ථිවිර අති පූජ්‍ය ආචාර්ය වරකාගොඩ ධම්මදස්සි ශ්‍රී පනන්ද හිමිපාණන්, අමරපුර නිකායේ මහනායක තැන්පත් කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමිපාණන්, ගංගාරාමය විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර හිමි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , කථානායක මහින්ද යාපා අබේවර්ධන, මාස්ටර් ෂී පෂාඕ යතිවර ප්‍රතිභා ප්‍රභා මහමෙරක මෙහෙවරට උපහාර එක් කර තිබේ.

 

Comments