පාතාලයට නොනැමෙන ජේලර්ලාගේ ඉරණම | සිළුමිණ

පාතාලයට නොනැමෙන ජේලර්ලාගේ ඉරණම

ත්ද්‍රව්‍ය ජාවාරම අපේ රටේ තරුණ පරපුර විනාශ කරන වසංගත තත්ත්වයක් බවට දැන් පත්ව හමාරය. මත්කුඩු තිප්පොළක් නොමැති ගමක් නගරයක් සොයා ගැනීම අද නොමල ගෙයකින් අබ මිටක් සොයා යාමක් බඳුය. මේ තැනට අද අපේ රට පත්ව ඇත්තේ නීතිය රකින්න සිටින ඇතැම් උදවිය නීතිය නවමින් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ සාක්කුවට වැටී ඇති බැවිනි. කුඩු කාරයන්ගේ මුදල්වලින් සැප ගන්න, පිටරට සවාරි යන නිලධාරීන් ගැන නීතිය රකින්නට ඇති ආයතනවල ඇති කතා බොහෝය.

පාතාලයේ සාක්කුවට පොලිසිය හොඳටෝම වැටී ඇති බවට හොඳම සාක්ෂිය වූයේ මෑතකදී පාතාල අපරාධකරුවකු සහ පොලිස් නිලධාරියකු අතර පැවති සංවාදයක් සම්බන්ධයෙන් වූ හඬ පටයයි. කොලොන්නාවේ මත්කුඩු ජාවාරම ඩුබායි සිට මෙහෙයවන මත්කුඩු ජාවාරම්කරුවෙක් විසින් ඒ කිට්ටුව පාතක පොලීසියක නිලධාරියකු සමඟ දුරකතනයෙන් කතාබහක් ඇති වන්නේ මත්කුඩු වැටලීමක් සම්බන්ධයෙනි.

ඒ එළියට ආ එක් හඬ පටයක් පමණි. ඩුබායි පමණක් නොව, ඉතාලියේත් එංගලන්තයේත් ඉන්නා මත්කුඩු ජාවාරමේ දැවැන්ත ජාවාරම්කරුවන් සතුව ඊට වඩා දේවල් වීඩියෝ සාක්ෂි සමඟ ඇත්තේය. ඒ ස්ථානාධිපතිවරුන්ගෙන් ඉහළ උදවිය ගැනය. මැඩගස්කරයෙන් අල්ලාගෙන විත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හරක් කටා සහ කුඩු සළිඳුගෙන් හරියට ප්‍රශ්න කළහොත් පොලිසියේ ඉහළ නිලවල සිටින නිලධාරීන් රැසකට යන්න වෙන්නේ ඇඳුම් නැතිවය. හැබැයි ඒ දේවල් එළියට ඒවිදැයි ඇත්තේ ගැටලුවකි. ඇතැම් විට කුඩු සළිඳු හා හරක් කටාත් සමඟ ඒ හැම දෙයක්ම යටපත් වනු ඇත. ඒ හරියට මාකදුරේ මධුෂ්ගෙන් යැපුණු පොලිස් නිලධාරීන් ගැන අදටත් කතාවක් නැති බැවිනි. හඬ පටයක් පවා එළියට ඇවිත් තිබියදී තවමත් අදාළ පොලිසියේ උදවියට එරෙහිව කිසිදු විමර්ශනයක් සිදුව නැත්තේ ද එබැවිනි.

පාතාලය බැඳී ඇත්තේ මත්කුඩු ජාවාරම සමඟිනි. පාතාලය ද හිස ඔසවා ඇත්තේ නීතිය රකින්නට සිටින උදවිය ඔවුන්ගේ අතේ සිටින බැවිනි. අද වන විට මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන පාතාලයේ බොහෝ අපරාධකරුවන් රැඳී සිටින්නේ පිටරටවලය.

දැනගන්නට ඇති ආකාරයට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නම් සිටින්නේ මේ ගැන හොද අවබෝධයක් ඇතිවය. පොලිසියේ උදවිය සංඛ්‍යා දත්ත මඟින් මත්කුඩු ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකරුවන් අල්ලන බවට පෙන්වන්නට උත්සාහ දැරුවත් පොළොවේ පය ගසා සිටින අමාත්‍යවරයෙක් ලෙස ඔහුගේ කනෙන් පොලිසියේ ඇතැම් උදවියට රිංගන්නට නම් බැරිය. ඒ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහු සැබෑ තත්ත්වය ගැන අවබෝධයකින් සිටින බැවිනි. මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීමට ගතහැකි ක්‍රියා මාර්ග පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා පොලිස්පති මඟින් බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තොන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරීමට පවා ඔහු උනන්දුවක් දක්වන්නේ එබැවින් විය හැකිය.

උතුරු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත, විශේෂ කාර්ය බළකා සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ, මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ, පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ටී. සී. ඒ. ධනපාල සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා යන නිලධාරීන්ගෙන් සමන්විත එම කමිටුව දැන් දෙතුන් වතාවක්ම රැස්වී පාතාලය හා මත්කුඩු ජාවාරම මැඬලන්නේ කෙසේදැයි අධ්‍යයනය කර ඇතත් තවමත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මෙතෙක් ලබාදී ඇති බවක් නම් දැන ගන්නට නැත.

පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පොලිසියට පමණක් ඇඟිල්ල දිගු කරන්නට බැරිය. බන්ධනාගාර පද්ධතියත් අදවන විට මත්කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්ව හමාරය.

බන්ධනාගාර ඉතිහාසය පිරිස්සීමේදී පෙනී යන ආකාරයට අනුව මත්කුඩු ජාවාරම්කරුවන්ගේ සහ පාතාල අපරාධකරුවන්ගේ උදහසට ලක්ව වෙඩි උණ්ඩයට බිලි වුණු පළමු බන්ධනාගාර නිලධාරියා වන්නේ තෙන්නකෝන් නැමැති ජේලර්වරයෙකි. වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටි මෙම ජේලර්වරයා බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ වංචාවන්ට එරෙහිව සටන් කළ නිලධාරියෙකි. මෙම නිලධාරියා සේවයේ නිරතව සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය. බන්ධනාගාරය තුළ සිදු වූ මත්කුඩු ජාවාරමට එරෙහි වීමේ වරදට මෙම නිලධාරියා ගොදුරු වන්නේ දෛනික සේවා කටයුතු නිමවා බන්ධනාගාරය ඉදිරිපිටින් බස් රථයකට ගොඩවී සිය නිවෙස බලා යමන් සිටියදීය. ට්‍රේල් වර්ගයේ යතුරු පැදියකින් බස් රථය හඹාගෙන ආ වෙඩික්කරුවෙක් දෙමටගොඩදී බස් රථයට ගොඩවී වෙඩි තබා මරා දමන්නේ 1997 වසරේ එක්තරා දිනකදීය. අදටත් මෙම ඝාතනය ඇත්තේ නොවිසිඳුණු අපරාධයක් ලෙසිනි.

තෙන්නකෝන්ට පසු බන්ධනාගාරය තුළ සිදුවන දූෂණ වංචා සම්බන්ධයෙන් හඬ නඟන්නට ගොස් පාතාලයෙන් මැරුම් කන්නේ වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිලිණ රංජන්ය. මෙම නිලධාරියා කලක් සේවය කරනු ලැබුවේ ගාල්ල බන්ධනාගාරය තුළය. බන්ධනාගාරයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ ආශීර්වාදයෙන් පාතාලයේ අපරාධකරුවන් එම බන්ධනාගාරයේ ගත කළ ජීවිතය ගැන ඔහු දිගින් දිගටම ඉහළ බලධාරීන් දැනුවත් කරනු ලැබීය. බන්ධනාගාරය තුළ මත්කුඩු ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකරුවන් ජංගම දුරකතන භාවිත කරමින් කරනු ලැබූ මත්කුඩු ජාවාරම වැළැක්වීමට දැඩිව ඔහු ක්‍රියාත්මක වන විට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තනතුරටය. ඔහු එහි සේවයේ නිරතව සිටියත් සිය සටන අතහැරියේ නැත. 2019 වසරේ අගෝස්තු 03 වෙනිදා ඔහු රාජකාරි අවසන්ව සිය නිවෙස බලා ගමන් කරමින් සිටියදී ඝාතනය වන්නේ අම්බලන්ගොඩ කුළීගොඩ ප්‍රදේශයේදීය. සිවුදරු පියෙක් වූ තිලිණව මරා දමන්නේ වෙන කිසිවෙක් නොව, කියැවෙන ආකාරයට අනුව පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ සුරතලෙක් වූ දූෂිත බන්ධනාගාර නිලධාරියකුගේ වුවමනා එපාකමක් මතය. ඒ බව බන්ධනාගාරය තුළ අදටත් ප්‍රසිද්ධ රහසකි. මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඉටු කරනු ලබන්නේ පොඩි ලැසී නැමැති පාතාලයේ ප්‍රබලයාය.

පොඩි ලැසී මේ කටයුත්තට අත තැබුවේ තනිවම නොව, ඩුබායි හි රැඳී සිටින පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් වන කරන්දෙණියේ සුද්දාගේ සහය ඇතිවය. යුද හමුදාවේ විශේෂ බළකායෙන් පළාවිත් සිටින සෙබළෙක් වන කරන්දෙණියේ සුද්දා රටින් පනින්නේ විශේෂ කාර්ය බළකාය ඔහුව මාට්ටු කරන්නට දැල එළා තිබියදීය. ඒ විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුට මරණ තර්ජනයක් ද කරමිනි. මාකදුරේ මධුෂ්ගෙන් පවා ජීවිත තර්ජනයකට ලක්වූ එකී නිලධාරියා දැන් සිටින්නේ විශේෂ කාර්ය බළකායෙන් විශ්‍රාම ගොසිනි. පාතාල අපරාධකරුවන් රැසක් නීතියේ රැහැනට හසුකර දුන් එම නිලධාරියා අද සිටින්නේ දැඩි අනාරක්ෂිත තත්ත්වයකිනි. ඒ ඔහු අදටත් පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ඉලක්කයක් බවට පත්ව සිටින බැවිනි. ජේලර් තිලිණ රන්ජන්ගේ ඝාතකයා පස්සේ ද මෙම නිලධාරියා පැන්නුවේය.

ඒ නිසාම එම ඝාතනයෙන් සති තුනක් යන්නට මත්තෙන් කරන්දෙණියේ සුද්දා වෙඩික්කරුව ඩුබායි වෙත ගෙන්වා ගත්තේය. ඒ ඔහුගෙන් තවත් වැඩ ගොඩක් ගන්නට ඉතිරිව තිබුණු බැවිනි. තිලිණ රන්ජන්ගේ ඝාතන විමර්ශන අඩුම තරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වෙනත් විශේෂ අංශයකට හෝ ලබාදී පරීක්ෂණ පැවැත්වීමට තරම්වත් පොලිසියට උනන්දුවක් නොවීය. ඒ බන්ධනාගාරය පැත්තෙන් වත් එවැනි දේකට පොලිසිය උනන්දු කිරීමක් සිදු නොවූ බැවිනි.

කෙසේ වෙතත් කරන්දෙණියේ සුද්දා විසින් ඩුබායි ගෙන්වා ගත් තිලිණගේ ඝාතකයාව නැවත මෙරටට එවන්නේ විශේෂ කාර්ය බළකා නිලධාරියා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවය. ඒ 2021 වසරේ මාර්තු මාසයේදීය. ඒ පැමිණි ඔහු කරන්දෙණියේ සුද්දාගෙන් ඝාතන කොන්ත්‍රාත්තුවක් ලැබෙන තුරු රහසිගත ජීවිතයක් ගත කරමින් සිටියේය. එසේ වසර එකහමාරකට ආසන්න කාලයක් අම්බලන්ගොඩ පැත්තේ කරක් ගැසූ උපුල් රාජපක්ෂ නැමැති මෙම වෙඩික්කරු අල්ලන්නට කිසිදු උනන්දුවක් තිලිණගේ ඝාතන විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම්වලට නොවීය. අවසානයේදී ඔහුව 2022 වසරේ අගෝස්තු 10 වෙනිදා කොටුකර ගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියකු ලද තොරතුරකට අනුවය. එසේ නොවන්නට ජේලර් තෙන්නකෝන්ගේ ඝාතකයන් මෙන් අදටත් තිලිණිගේ ඝාතකයා සිටින්නේ නිදැල්ලේය.

තිලිණගේ ඝාතනයේ වෙඩික්කරුව එලෙස අත්අඩංගුවට ගත්ත ද එම ඝාතනය පිටුපස සිටි අය අදටත් සිටින්නේ නිදැල්ලේය. අඩුම තරමින් මරා දැමූ සිය සඟයා වෙනුවෙන් බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවූවන් විසින් කරනු ලබන ජාවාරම් මැඬලීමට එකා මෙන් බන්ධනාගාර නිලධාරීන් එක්වූවේත් නැත.

පොලිසිය පැත්තෙන් ද ඇත්තේ මෙවන් අමිහිරි තත්ත්වයකි. දෙමටගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල්ව අතුරුගිරිය පෝරේදී වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ ද මත්කුඩු ජාවාරම්කරුවන් සහ පාතාලය අපරාධකරුවන් සමඟ පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසක් ගැන හෙළිදරව්වක් කිරීමට සූදානම් වන විටදීය. 2006 වසරේ අප්‍රේල් 25 වෙනිදා ඔහුව මරා දමන්නේ ව්‍යාජ මත්කුඩු නඩුවකට ද පටලවා මාස හතර පහක්ම හිරේ තබා ඔහුගේ කට වැසීමට නොහැකි වූ තැනය. ඩග්ලස් නිමල්ට එදා තැබූ වෙඩිල්ලෙන් මිය ගියේ ඔහු පමණක් නොව, බිරියත් වෙඩි කා මිය ගියාය. මෙම ඝාතනය පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසකගේ ද සම්බන්ධයක් ඇතිව කිඹුලා ඇළ කුඩු ගුණා විසින් ඉන්දියාවේ සිට සිය ගෝලයන් යොදා කළ එකක් බව පොලිසිය ඇතුළේ ප්‍රසිද්ධ රහසකි. ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා අනාවරණය කර ගත්තේය. එකල ඒ ගැන විමර්ශන පවත්වන ලද්දේ ශානි අබේසේකර විසිනි. නමුත් අදටත් මෙම ඝාතනය ඇත්තේ මුළුමනින්ම නොවිසඳුණු අපරාධයක් ලෙසිනි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටි නියාමක පී.එස්.ආර්.පෙරේරාටත් සිදුවූයේ ඩග්ලස් නිමල්ට වූ දේමය. බන්ධනාගාර නියාමකවරුන්ගේ සංගමයේ සභාපති ලෙස ද කටයුතු කරනු ලැබුවේ ඔහුය. ඇතැම් බන්ධනාගාර නිලධාරීන් පාතාලයේ මත්කුඩුකාරයන්ගේ සුරතලුන් වෙමින් සැපවත් ජීවිතයක් ගත කරන විට මෙම නිලධාරියා පාපැදියෙන් උදේ හවස වැඩට අවේ වනාතමුල්ලේ සිටය. වනාතමුල්ලේ ඉපදී හැදී වැඩුණු ඔහු කිසිවිටකත් පගාවට බරව වැඩ කරන්නට ගියේ නැත. වනාතමුල්ලේ සිටින කොතෙකුත් පුද්ගලයන් විවිධ වැරදි සඳහා බන්ධනාගාරගත වූවත් ඔහු ඒ දන්නා කියන ඒ අයට නීති විරෝධි ක්‍රියාවන්වල නිරත වන්නට පවා ඉඩ දුන්නේ නැත. ඒ යැයි කියා ඔවුන් ඔහු සමඟ වෛර බැඳ ගත්තේ ද නැත. ඒ නීති විරෝධි ක්‍රියා සඳහා ඉඩ නොදුන්නාට රැඳවියන්ට මනුෂ්‍යයන්ට සේ සැලකීම හේතුවෙනි.

මෙම නිලධාරියා බන්ධනාගාරගතව සිටින මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයේ අපරාධකරුවන් බන්ධනාගාරයේ සිට භාවිත කරමින් සිටි ජංගම දුරකථන 50කට වැඩිය අල්ලා ඇත්තේය. ඒ ඇතැම් මිල අධික ජංගම දුරකතන ඇතැම් උසස් නිලධාරීන් අතින් අස්ථානගත වී තිබුණේය. ඒ නැවතත් එම දුරකතන අපරාධකරුවන් අතට ගියේ ද නැතිනම් ඔවුන් එම දුරකතනවලට පෙම්බැඳ ලාච්චුවට දමාගත් නිසාදැයි දන්නේ ඒ අයම පමණි.

මේ කාලය තුළ කොස්ගොඩ තාරක රඳවා සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරය තුළය. තාරක ඇතුළේ පරිහරණය කළ ජංගම දුරකතනත් මෙම නිලධාරියා ඇල්ලුවේය. කොස්ගොඩ තාරක සහ ගෝලබාලයන් සතුව තිබී සොයාගෙන තිබුණු දුරකතන ප්‍රමාණය පමණක් 35කට වැඩිය. එබැවින් තාරක සිටියේ ඔහු සමඟ වෛර බැඳගෙනය. තාරක පමණක් නොව, බන්ධනාගාරය සිටිමින් ජංගම දුරකතනයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයැවූ තවත් පාතාලයේ අපරාධකරුවන් රැසක්ම සිටියේ ඔහු සමඟ වෛරයෙනි. ඒ ගොන්නට ජාවාරම්කරුවන්ගෙන් යැපෙන දූෂිත නිලධාරීන් ද එක්ව සිටියේය. අවසානයේදී ඒ හැමෝගේම සැලසුමකින් මෙම නිලධාරියා හිරේට යන්නේ මත්කුඩු චෝදනාවකට ලක්වෙමිනි. 2020 අගෝස්තු 27 වෙනිදා අත්අඩංගුවටගන්නා ඔහුට බන්ධනාගාරය ඇතුළේදී නම් ලැබුණේ අන්ත දුක්ඛිත ජීවිතයක් ගතකරන්නටය. කළුවර කාමරයක පවා දමා හිරිහැර කළේය. අඹු දරුවන්ට දුක සැප සොයා බලන්නට බැරිවන්නට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගියේය. ඔහු එදා එම බන්ධනාගාරයේ ගත කළේ රන්ජන් රාමනායක සමඟිනි.

2020 අගෝස්තු 27 වෙනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ ඔහුව දීර්ඝ කාලයක්ම බන්ධනාගාරයේ රඳවා සිටියේ අධිකරණයෙන් ඇප නොමැතිවය. සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් සිටි ඔහු මුල්වරට අගුණුකොලපැලැස්සේ සිට කොළඹට රැගෙනවිත් අධිකරණයක් හමුවට ඉදිරිපත් කරනු ලබන්නේ රක්ෂිත බන්ධනාගාරගත වූ දිනයේ සිට වසර දෙකකට පසුවය. ඒ රැගෙනවිත් ඔහුව රඳවා තැබෙන්නේ ඔහු සේවය කළ රිමාන්ඩ් බන්ධනාගාරය වෙතය. එහිදී ඔහුට මුණ ගැසෙන පාතාලයේ වෙඩික්කරුවෙක් වූ ජෝසා නැමැති පුද්ගලයා පැමිණ පවසන්නේ “ සර්ව මරන්න මට කන්ට්‍රැක් එකක් ආවා. මම දෙපාරක් සර්ව ෆලෝ කළා. ඒ දවස් දෙකේම සර් ගෙදර හිටියේ නැහැ. ඒ නිසා සර් බේරුණා. පස්සෙයි මම දැනගත්තේ සර් හොඳ කෙනෙක් කියල“ යැයි කියාය.

ජෝසා දැන් ජීවතුන් අතර නැත. කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට බැස්ටියන් මාවත බස්නැවතුම් පොළේ රැඳී සිටි පිරිසකට වෙඩි තැබුවේ ඔහුය. මාකිලන්ගමුවේ සංජීවගේ ගෝලයෙක් බව කියන ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී ගම්පහ පැත්තේදී වෙඩි කා මරුමුවට පත්විය. ජෝසා සමඟ නියාමක පෙ‍ෙර්රාව මරා දැමීමට තවත් අයෙක් ගොස් තිබුණි. ඔහුට පාතාලයේ නම් පටබැඳී ඇත්තේ ෆීල්ෆෝස් යැයි කියාය. 2022 වසරේ නොවැම්බර් 08 වෙනිදා නියාමක පෙ‍ෙර්රාට අධිකරණයෙන් ඇප ලැබෙන අතර 2023 මාර්තු 27 වෙනිදා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නේ ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති වූ බැවිනි.

මෙසේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ගොස් ජීවිත අවදානමකට ලක්වූ නිලධාරීන් බොහෝය.

නව මැගසින් බන්ධනාගාරයේ විනයභාර නියාමකවරයකු වන සංඛ කුසල් මාරසිංහ නැමැති නිලධාරියා ද බන්ධනාගාරයට මත්කුඩු ජංගම දුරකතන ඇතුළු නීති විරෝධි දෑ රැගෙන යාමට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ නිලධාරියෙකි. ඒ නිසාම පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් රැසක්ම සිටියේ ඔහු සමඟ වෛර බැඳගෙනය. බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට මත්කුඩු පාර්සලයක්, ජංගම දුරකතනයක්, දුම්වැටියක් රැගෙන ගොස් කීයක් හරි සොයාගත් නිලධාරීන් ද සිටියේ මෙම නිලධාරියා සමඟ හිත් අමනාපයෙනි. මේ නිසාම එම දූෂිත නිලධාරීන්ගේද ආශීර්වාදය ඇතිව මත්කුඩු ජාවාරමේ සිටින ඩුබායිහි රැඳී සිටින පාතාල අපරාධකරුවන් මෙම නිලධාරියාගේ ජීවිතයට අනතුරක් කිරීමට මාන බැලුවේය. එහි ප්‍රථම පියවර ලෙස පසුගිය මැයි 12 වෙනිදා ඔහු පදිංචිව සිටි මිනුවන්ගොඩ රාජසිංහපුර නිවසට සන්නද්ධ පාතාල අපරාධකරුවන් පිරිසක් කඩා වැදී මෙම නිලධාරියාව සිය මව සහ නැඟණිය ඉදිරියේ දණ ගස්සවා ගිනි අවියක් හිසට තබා පහර දුන්නේ බන්ධනාගාරය තුළ මත්කුඩු ඇල්ලීම නතර කරන ලෙස තර්ජනය කරමිනි. නීතිය දැඩිව ක්‍රියාත්මක කළ මෙම නිලධාරියාව මෙසේ පාතාල අපරාධකරුවන් සොයා ඒමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි පාතාලයේ අපරාධකරුවකුගේ උපන් දින සාදය මත්පැනින් ජයට සැමරීමට දූෂිත නිලධාරීන්ගේ සහය ඇතිව සිරමැදිරිවලට රැගෙන ගොස් තිබුණු මත්පැන් බෝතල් ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයා ගැනීමය. ඒ නිසාම එම පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුට සිය උපන්දින සාදය ජයට පවත්වන්නට නොහැකි වීමේ වාඩුව ගන්නේ ඩුබායි පාතාලයේ ද සහය ඇතිවය.

මෙතරම් දෙයක් සිය නිලධාරියකුට සිදුව තිබුණත් බන්ධනාගාරයේ වගකිවයුතු කිසිදු නිලධාරියෙක් මෙම නියාමකවරයා උන්නාද මළාදැයි කියා බලන්නවත් ආවේ නැත. මෙම නිලධාරියා ප්‍රසිද්ධියක් ගන්නට බොරුවක් කරන බවට කතාවක් ද ගොඩනැඟුවේය.

වැඩි කල් නොගොස් ඇත්ත බොරුව කුමක්දැයි එළියට ආවේය. ඒ මෙම නියාමකවරයාට එල්ල වුණු තර්ජනය සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නියෝගයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි. හමුදාවේ කපිතාන්වරයෙක්, ව්‍යාපාරිකයෙක් ඇතුළු පාතාලයේ පස් දෙනෙක්ව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේය. මුලින්ම අත්අඩංගුවට ගන්නේ කපිතාන්වරයා සහ ව්‍යාපාරිකයාවය. කපිතාන්වරයා කුරුවිට හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටින බියගම පදිංචිකරුවෙකි. ව්‍යාපාරිකයා අතුරුගිරිය ඔරුවල පදිංචිකරුවෙකි. මේ දෙදෙනාව අත්අඩංගුවට ගන්නේ නුවරඑළියේ ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි රජයේ නිවාඩු නිකේතනයක රැඳී සිටියදීය. ටී 56 අවියක් මෙන්ම පැති අවි දෙකක් ද ඔවුන් සතුව තිබී සොයා ගත්තේය. සංඛ කුසල් මාරසිංහට පහරදී මරණ තර්ජනය කරන්නේ ඩුබායි හී රැඳී සිටින හෝමාගම පැත්තේ ක්‍රියාත්මක පාතාල අපරාධකරුවෙක් වන හඳයාගේ කොන්ත්‍රාත්තුවකට අනුව බව හෙළිවන්නේ ඔවුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය.

එදා නියාමකවරයාට තර්ජනය කරන්නට වෑන් රථයකින් සහ යතුරු පැදි දෙකකින් පාතාලයේ පිරිසක්ම මිනුවන්ගොඩට ගොස් තිබුණේය. එහෙත් නියාමක පදිංචි නිවසට යන්නේ ඒ අයගෙන් තිදෙනෙක් පමණි. ඒ තිදෙනාව ද මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේය. ඒ ජුනි 30 වෙනිදාය. මේ අයට සංඛ කුසල් මාරසිංහගේ නිවෙස පෙන්වා තිබුණේ යැයි කියැවුණේ පාතාලය සමඟ ගනුදෙනු කරන දූෂිත නියාමකවරයෙකි. අදටත් ඔහුට එරෙහිව කිසිවක් සිදුවී ඇති බවක් නම් දැනගන්නට නැත.

මාරසිංහ, පෙරේරා මෙන්ම නීතිය අකුරට ඉටු කරන්නට ගිය තවත් නියාමකවරයකුට පාතාලයේ ප්‍රහාරයක් එල්ල වන්නේ පසුගිය 05 වෙනිදාය. එම නිලධාරියා ආර්. එච්. එම්. එස්. ප්‍රබෝධය. කාලයක් මාතර බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටි ඔහු කෙළින් වැඩකරන නිලධාරියකු ලෙස ප්‍රකටය. මෙම නිලධාරියා මාතර බන්ධනාගාරය තුළ රැඳවියන් භාවිත කළ ජංගම දුරකතන පමණක් 50කට වැඩයෙන් අල්ලා ඉහළ නිලධාරීන්ට භාරදී තිබුණේය. මෙම නිලධාරියා සේවයේ නිරතව සිටින අවස්ථාවන්වලදී බන්ධනාගාරය තුළට දුම්කොළ කෑල්ලක්වත් ගෙනියන්නට නොදෙන නිසා රැඳවියන් පමණක් නොව, නිලධාරීන්ට වැඩිදෙනෙක් සිටියේ ඔහු සමඟ වෛරයකිනි.

මාතරින් ගාල්ල බන්ධනාගාරයට ඔහුට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ මේ අතරතුරදීය. පාතාලයේ අපරාධකරුවන් පිරිසකගේ ප්‍රහාරයකට ඔහු ලක්වන්නේ එම ස්ථාන මාරුවීම ලැබී දින 02කට පසුවය. ඒ ගාල්ල බන්ධනාගාරයේ රාජකාරි නිමවා ගාල්ලේ සිට මගී බස් රථයක නැඟී කිරින්ද පුහුල්වැල්ල පිහිටි නිවෙසට යමින් සිටියදීය.

මෙම නිලධාරියාට පාතාලයේ ප්‍රහාරය එල්ල වන්නේ වැලිගමදීය. බස් රථය නතර කළ හරක් කටාගේ ගෝලයෙක් ප්‍රමුඛ පාතාලයේ හතර පස් දෙනෙක් බස් රථයට ගොඩවන්නේ ටී 56 අවියක්ද රැගෙනය. බස් රථය තුළදී හොඳටෝම මෙම නිලධාරියාට පහර දෙන ඔවුන් ඉන් නොනැවතී වෙඩි තබා මෙම නිලධාරියාව මරා දැමීමටද සූදානම් විය. එහිදී ඔහුගේ දිවි රැකෙන්නේ බස් රථයේ සිටි මගීන් එක හඬින් ඊට එරෙහි වීම නිසාය. එසේ නොවන්නට මෙම නියාමකවරයාගේ ද ඉරණම තීරණය වන්නේ වෙඩි උණ්ඩයකිනි. දෙනෝදාහක් ගැවසෙන නගරයකදී ටී 56 අවියක් රැගෙන මගීන් පිරුණු බස් රථයකට ගොඩවී නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියකුට කිසිදු බියක් සැකක් නොමැතිව පහරදී ගිනි අවියක් දිගුකරන්නට පවා පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් බලවත්ව සිටින්නේ චිකාගෝ පන්නයේ අපරාධ ගැන මතකය අවදි කරවමිනි.

මේ ගැනද පොලිස්පතිවරයා සිය විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊට පහුවෙනිදාම භාරදුන්න ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැලිගමට එන්නටත් මත්තෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඉක්මන් වී තිබුණේය. ඒ නියාමක ප්‍රබෝධ ද පහර දුන් කණ්ඩායමේ දෙදෙනෙක් කොටුකර ගනිමිනි. ඒ අය අතර මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරයේ රඳවා සිටි හරක් කටාගේ ගෝලයෙක් ද සිටියේය. ඔහු බූලාය. හරක් කටාගේ හයියෙන් බන්ධනාගාරයේ බොහෝ නිලධාරීන්ව මෙම අපරාධකරු බිය ගන්වාගෙන සිටියත් ප්‍රබෝධ ඔහු සෙසු නිලධාරීන් මෙන් දෙකට නැවුණේ නැත. පාතාලයේ අපරාධකරුවන්ගේ උදහසට ලක්වෙමින් මහමඟදී ප්‍රහාරයට ඔහු ලක්වන්නේ එබැවිනි.

මේ නීතියට අනුව කටයුතු කරන්නට ගොස් මෙසේ පාතාලයේ කුඩු කාරයන්ගේ තර්ජනයන්ට ලක්වූ බන්ධනාගාර නිලධාරීන් බොහෝය. ඇතැම් නිලධාරීන් මේ දේවල් ගැන පොලිසියට පැමිණිලි කරන්නට යන්නේ නැත. අඩුම තරමින් සිය උසස් නිලධාරීන්ට පවා කියන්නට යන්නේ නැත. ඒ සිය අඹුදරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. පාතාල අපරාධකරුවන් නීති ගරුක නිලධාරීන් බිළිබා ගන්නේ ඒ අයගේ අඹු දරුවන්ගේ ජීවිතවලට තර්ජනය කරමිනි. කිඹුලා ඇළ ගුණා නැමැති පාතාලයේ ප්‍රබලයා වරක් බන්ධනාගාරය තුළට ගිනි අවියක් යැව්වේ බන්ධනාගාරයේ ඒ වන විට සේවයේ නිරතව සිටි නීතියට වැඩ කරන නිලධාරියකුගේ නිවෙසකට ගොස් අඹුදරුවන් ප්‍රාණ ඇපයට තබාය. ඒ ගැන එම නිලධාරියා කිසිවකුටත් කියන්නට නම් ගියේ නැත. ඒ සිය බිරියට හා දරුවන්ට ජීවිත හානියක් වෙතැයි බිය වෙමිනි. එහෙත් මේ දේවල් කලකට පසු හෙළිවන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් කිඹුලා ඇළ ගුණාගේ ගෝල බාලයන් පිරිසක් ගිනි අවිත් සමඟ අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. එදා ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලද්දේ එම කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාව සිටි මේ වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි විසිනි. බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කරමින් පාතාලය වැඩ ගන්නා හැටි ගැන බොහෝ තොරතුරු එහිදී හෙළිවූවත් අදටත් නීතියට අනුව වැඩ කරන නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නම් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් වී ඇති බවක් නම් පෙනෙන්නට නැත. පාතාලයේ ප්‍රහාරයන්ට ලක්වූ නිලධාරීන් පවා මේ වන විට සේවයේ නිරතව සිටින්නේ අනාරක්ෂිතවය.

Comments