අපේ ගැමි දරුවන්ට හයිය අරන් ආපු ඉන්දියාවේ ජීවමාන දෙවියා කියා දුන් පාඩම | සිළුමිණ

අපේ ගැමි දරුවන්ට හයිය අරන් ආපු ඉන්දියාවේ ජීවමාන දෙවියා කියා දුන් පාඩම

සර 1981 විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ අවසාන මහා තරගයට තේරී සිටියේ බියොන් බර්ග් සහ ජෝන් මැකෙන්රෝ දෙදෙනාය. අට හැවිරිදි කොලු ගැටයකු සිය වැඩිමල් සොහොයුරන් දෙදෙනා සහ සොහොයුරිය සමඟ රූපවාහිනියෙන් එම තරගය නරඹමින් සිටියේය.

‘බියොන් බර්ග් තමයි දිනන්නේ...‘ ලොකු අයියා නිතින් එසේ කියද්දී පුංචි කොලුගැටයාට කට පියාගෙන සිටින්නට බැරි විය.

‘මොන පිස්සුද...? මැකෙන්රෝ කප් එක උස්සනවා.‘ 

කොලු ගැටයාට වඩා වසර 11ක් වැඩිමල් සොහොයුරා මෙන්ම ඔහුගේ කීම පිළිගත් පොඩි අයියා අජිත් සහ සමිතා අක්කා පවුලේ බඩපිස්සා සමඟ වාද කරන්නට ගියේ නැත. එහෙත් අවසානයේදී කොලු ගැටයාගේ අනාවැකිය හරි ගියේය. තරගය ජයගෙන විම්බල්ඩන් ටෙනිස් පළිහ දිනා ගනු ලැබුවේ මැකෙන්රෝ විසිනි.

එදායින් පසු මේ කොලු ගැටයාට මැකෙන්රෝ උන්මාදයක් වැලඳුණු අතර, එය පවුලේ සෙසු සාමාජිකයන්ටත් මහා වදයක් විය. මැකෙන්රෝ මෙන් දෑතෙහි රෙදි පටි බැඳගත් හෙතෙම ටෙනිස් පිත්තක් ඉල්ලා කරදර කරන්නට විය. එවකට බොම්බාය සරසවියේ මරාටි සාහිත්‍ය මහාචාර්යවරයකු වූ කොලු ගැටයාගේ පියා කොතරම් අවිවේකී ජීවිතයක් ගත කළ ද බඩපිස්සාට ටෙනිස් පිත්තක් ගෙනැවිත් දීමට අමතක නොකළේය.

කුඩා වියේ සිටම ක්‍රිකට් පිත්ත බදාගෙන සිටි කොලුගැටයා එදා සිට ටෙනිස් ගසන්නට පටන් ගත්තේය. ඔහුට තම නිවෙස් ටෙනිස් පිටියක් මවා ගත්තේය. තට්ට තනියම එහා මෙහා ටෙනිස් පිත්ත වනමින් හිතේ හැටියට හතර අතට ටෙනිස් පහරවල් එල්ල කළ කොලු ගැටයාගේ රැලි ගැසුණු හිසකේ නිසා ඔහු තරමක් දුරට මැකෙන්රෝගේ පෙනුමට සමාන විය. එබැවින් අසල්වැසි නිවාසවල සිටි සෙසු කොලු ගැටයන්ට ඔහු පෙනුණේ ද මැකෙන්රෝ මෙනි. එදායින් පසු සෑම සවස් වරුවකම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ කොලු ගැටයන් එය අතහැර ටෙනිස් ක්‍රීඩාවට යොමු වූයේ ඔහුගේ පෙරැත්තය නිසාමය.

‘ඇයි ඔයා මැකෙන්රෝට ආසා?‘ දිනක් මිතුරකු මේ කොලුගැටයාගෙන් විමසා සිටියේය.

‘එයාට හැම තිස්සෙම කේන්ති යනවා. එයා හරිම මුරණ්ඩුයි. මමත් එහෙමනේ..‘ කොලුගැටයා එසේ කීවේය.

 

සචින් ටෙන්ඩුල්කර්...!

ටෙනිස් පිත්ත හැර දමා ක්‍රිකට් පිත්ත තුරුලු කරගත් මේ කොලුගැටයා ඉන් අනතුරුව අවුරුදු 24ක් පුරා ක්‍රිකට් පිටියේ ඔටුනු පලන් කුමරු බවට පත්ව සිටියේය. හෙතෙම 2013දී ක්‍රීඩාවෙන් සමුගනිද්දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බොහෝ ලෝක වාර්තාවල තනි අයිතියට හිමිකම් කීවේය. ඉන්දියාවේ සහ ජාත්‍යන්තරයේ ක්‍රිකට් ක්ෂේත්‍රයට ඔහු ‘ලිට්ල් මාස්ටර්‘ ය. කෝටි ගණනාවක ඉන්දීය ජනතාව අතර ඔහු ‘ජීවමාන දෙවියා‘ ය.

මැකෙන්රෝගේ ක්‍රීඩාවටත්, ඔහුගේ කුකුල් කේන්තියටත් ආදරය කළ සචින් ටෙන්ඩුල්කර් කුඩා වියේදී දඟ මල්ලකි.

‘ඔව්... මම පොඩි කාලේ දඟ කොල්ලෙක්.‘

වසර 2013 සිට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදලේ දකුණු ආසියානු කලාපයේ තානාපතිවරයා ලෙස කටයුතු කරන සචින් එහි වැඩසටහන් කිහිපයකට සහභාගි වීමට පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ සචින් එසේ කීවේය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ මෙරට ගැමි දරු දැරියන්ට ශක්තියක් වීමටය.

අවස්ථා ගණනාවකදීම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ඉන්දීය පිල සමඟ ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති සචින්ගේ මේ සංචාරය ඉන් ඔබ්බට ගිය එකකි. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ සිනමන්ලේක් හෝටල් පරිශ්‍රයේ ටෙනිස් පිටියේදී ඔහු මිනිත්තු විස්සකට ආසන්න කාලයක දීර්ඝ කතාවක් කළේය. අවුරුදු 24ක් තිස්සේ යාර 22 සීමාවට වෙන්වුණු ජීවිතයක් ගත කළ මේ නිරහංකාර මිනිසාට ක්‍රීඩාවෙන් තොර කතාවක් තිබුණේම නැත. 

‘මම මුලින්ම ලංකාවට ආවේ 1993-1994 කාලයේ. ඒ කියන්නේ මීට අවුරුදු 30කට විතර කලින්. මේ දීර්ඝ කාලය ඇතුළත මට ශ්‍රී ලංකාවේ හොඳ යාළුවෝ ගොඩක් මුණ ගැහුණා. අත්දැකීමුත් ඒ වගේමයි. හරි විස්මයජනකයි. අන්තිම වතාවට ආවේ 2015දි යුනිසෙෆ් ළමා අරමුදලේ සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම සම්බන්ධව ලංකාවේ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට. මගේ හොඳ මිත්‍රයකු වන මුත්තයියා මුරලිදරනුත් මා එක්ක ඒකට එකතුවුණා. ඒක අමතක නොවන අත්දැකීමක්. ඔබලා දන්නවා අපි දෙන්නා අවස්ථා ගණනාවකදීම එකිනෙකාට එරෙහිව පිටියේදී ක්‍රීඩා කළා. ඒත් එදා ඒ වැඩසටහනේදී අපි දෙන්නම ‘බැට්‘ කළේ එකම අරමුණක් වෙනුවෙන්. අපි කොයිතරම් ඒකට කැපවුණත් ඒකේ ඉවරයක් නෑ. ඒ ගමන තමයි මේ තවම යන්නේ.‘ ඔහු එසේ කීවේය.

සිය ළමා වියේදී මුරණ්ඩු හා දඟකාර කොලු ගැටයකු වූ සචින් දරුවන්ට අසීමිත ලෙස ආදරය කරන්නෙකි. ඔහු යුනිසෙෆ් ළමා අරමුදලේ සත්කාරයට එක් වූයේ ඉතා සතුටින් බව අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර ඇති අතර, එය ඔහුගේ සැඳෑ සමය වඩාත් ප්‍රීතිමත් කළ බව ද කීවේය.

මෙවර ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර රුවන්වැල්ලේ කළ සංචාරය ගැන ඔහු සිහිපත් කිරීමට ද අමතක නොකළේය.

‘මම පසුගිය දිනෙක රුවන්වැල්ලේ සංචාරය කළා. ඒ පළාතේ පාසල් දරුවන් එක්ක කාලය ගත කළා. ඒක අමතක කරන්න බැරි පුදුමාකාර අත්දැකීමක්. මොකද ඔය දරුවන් එක්ක කාලය ගත කළාම ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවනි. ඒ වගේම මම වතු ආශ්‍රිත පවුල්වල අය එක්කත් කාලය ගත කළා. ඔවුන් වගේම ඔවුන්ගේ දරුවනුත් අභියෝග රැසකට මුහුණ දෙමිනුයි ඉන්නේ. ශ්‍රී ලංකාවේ රජය වගේම යුනිසෙෆ් වගේ රාජ්‍ය නොවන සංවිධානත් ඒවාට විසඳුම් දෙන්න විශාල කැපකිරීමක්, වෙහෙසක් ගන්නවා. මේ දරුවන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවන්න හැමෝම එක විදිහට වගකීමෙන් කටයුතු කරනවා. දරුවෝ තමයි අනාගතය කියන එක මම තරයේම විශ්වාස කරනවා. අද අපි එයාලාට උදව් කළොත් එයාලා හෙට අපිව ආඩම්බරයට පත් කරාවි. ඕනෑම රටක දරුවන් නිරෝගීව සහ ප්‍රීතිමත්ව සිටීම අත්‍යවශ්‍යයයි.‘ සචින් පැවසීය.

‘යුනිසෙෆ් සංවිධානය වගේම මමත් විශ්වාස කරනවා දරුවන් වෙනුවෙන් ප්‍රධාන සාධක තුනක් ගැන අවධානය යොමු විය යුතුයි කියලා. පළමුවැන්න මුල් ළමාවිය. දෙවැන්න පෝෂණය. තුන්වැන්න අධ්‍යාපනයයි. මුල් ළමා වියෙන් 80% ක්ම මනස සංවර්ධනය වීමයි. ඒක සිද්ධ වෙන්නේ පළමු දවස් දහස තුළයි. ඕනෑම දරුවකුගේ පළමු අවුරුදු 2 වඩාත් වැදගත් වෙනවා. පෝෂණය ගැන අවබෝධය තිබුණාට ගොඩාක් මාපියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව දරුවන් එක්ක වැඩිපුර කාලය ගත කිරීම ගැන සැලකිල්ලක් දක්වන්නේ නෑ. දරුවන්ට ආදරය දැක්වීමෙන්, එයාලා එක්ක සෙල්ලම් කිරීමෙන් ඔවුන් හා කාලය ගත කිරීම, කතා කිරීම, සුරතල් කිරීම, වැලඳ ගැනීම වගේ දේවල් දරුවන් හා මාපියන් අතර සම්බන්ධතාවට ගොඩාක් වැදගත්. එයාලගේ මනස සංවර්ධනය වෙන්න බලපාන්නේ ඒ වගේ දේවල්. එයාලා එක්ක කාලය ගත කිරීම ඇත්තටම දරුවන්ගේ ජීවිතයේ ඉතිරි කාලයට විශාල බලපෑමක් වෙන දෙයක්. ඒත් එදිනෙදා ජීවිතයේ කාර්යබහුලත්වය නිසා ඒක අපෙන් නොදැනුවත්වම මඟ හැරිලා යනවා. මම දන්නවා කාලය කියන්නේ රන් හා සමාන දෙයක්. ඒත් ඒක දරුවන්ට වඩා ලොකු වෙන්න බෑ. ඒක ගොඩාක් වැදගත්. ඒක අපිට නොසලකා හරින්න බෑ.‘ සචින් එසේ කීවේය.

සිය ජීවිත කාලයෙන් හරි අඩක්ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපවී සිටිය ද සචින් යනු සිය එකම දියණිය සාරාට හා එකම පුතු අර්ජුන්ට ආදරණීය පියෙකි. ඔහුගේ දරුවෝ අද වෙද්දී තරුණ වියෙහි සිටිය ද, අදටත් සිය පියාගේ තුරුලෙහි රැඳී සිටීමට ඉමහත් දක්වන්නේ පුදුමාකාර ආසාවකි. සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගියදා කළ කතාවේදී ඔහු කීවේ ඔහුගේ ජීවිතයේ වටිනාම දියමන්ති දෙක සාරා සහ අර්ජුන් බවය. ඒ වෙද්දී දියණියට අවුරුදු 16ක් වූ අතර, පුතුට අවුරුදු 14ක් විය.

‘එයාලගේ උපන්දින, වාර්ෂික නිවාඩු දින, ක්‍රීඩා දින වගේ විශේෂ අවස්ථාවල මට එයාලා එක්ක කාලය ගත කරන්න වුවමනා වෙලා තිබුණාට ඒවා සේරම මට මඟ හැරිලා ගියා. ඒත් ඒක මගේ දරුවෝ දෙන්නම තේරුම් අරගෙනයි හිටියේ.‘

ඔහු ක්‍රීඩාවෙන් සමුගත්තේ ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලයේදී සදහටම ඔවුන් සමඟ එකට ඉන්නා බවට පොරොන්දු වෙමිනි.

අද වන විට සචින් ටෙන්ඩුල්කර් සිය දරු දෙදෙනාට පමණක් නොව දකුණු ආසියාවේ සියලු දරුවන්ටම ආදරය හා දයාබරත්වය දක්වන කැපකාර පියකු බවට පත්වී සිටී. දරුවන්ගේ පෝෂණය ගැන සචින් කතා කළේ ඔහුගේ ළමා විය සිහිපත් කරමිනි.

‘පෝෂණය ගැන කතා කරද්දී ඒක මාව මගේ පාසල් කාලයට අරන් යනවා. මම මගේ පාසල් කාලයේ ක්‍රීඩා කරන කාලයේ දිවා ආහාර විවේකයේදී කුසගින්න නිවා ගන්න මට ඇත්තටම කිසිම අහරක් තිබුණේ නෑ. මම කළේ සිසිල් බීම බෝතල් දෙකක් විතර බීලා ආපහු බැට් කරන්න පිට්ටනියට ගිය එකයි. කාලයක් යද්දී ඒක වෙනස් වුණා තමයි. ඒත් ඒක මගේ ක්‍රීඩාවට බලපෑ බව තේරුම් ගියේ කාලයකට පස්සෙයි. ඒක සිද්ධ වුණේ මගේ නොදැනුවත්කම නිසයි. මොකද එක්තරා තීරණාත්මක තරගයකදී මම දිවා ආහාරයෙන් පස්සේ දැවී ගියා. ආපහු විවේකාගාරයට ආ ගමන් මම කළේ මොනව හරි ආහාරයට ගන්න එකයි. ඒක මට ලොකු පාඩමක් ඉගෙන්නුවා පෝෂණය ගැන. ඒත් විවිධ ආර්ථික ගැටලු නිසා පවුල් ගණනාවකට මේ වගේ ගැටලුවලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ගොඩාක් පවුල්වලට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් එයාලගේ දරුවන්ට දෙන්න බැරි වෙලා තියෙනවා. ඒක ගොඩාක් කනගාටුදායකයි.‘ ඔහු එසේ කීවේ දැඩි සංවේගයෙන් යුතුවය.

එසේ වුවද රුවන්වැල්ලේ පාසල්වල කළ සංචාරයේදී මුහුණ දුන් විශේෂ සිදුවීමක් ගැන ඔහු සඳහන් කළේ සංවේදී ආකාරයෙනි.

‘ඔවුන් අවුරුදු පහේ හයේ දරුවන් පිරිසක්. ඒ වෙද්දී එයාලගේ දිවා ආහාර විවේකය ලැබිලයි තිබුණේ. ඔවුන් ආහාර ගනිමිනුයි හිටියේ. ඒත් ඒ කාලය අතරතුර හිස් පිඟානක් අතැතිව ඔවුන්ගේ ගුරුවරිය එයාලගේ මේස වටා ඇවිද ගියා. දරුවෝ හැමෝම එයාලගේ පිඟානෙන් ආහාර ටිකක් ගුරුවරිය ගෙනා පිඟානට දැමුවා. ඇයි එහෙම කරන්නේ කියලා මම ඒ ගුරුවරියගෙන් ඇහුවා. මේවා පන්ති කාමරයෙන් පිටත රංචු ගැහිලා ඉන්න කුරුල්ලන්ට දෙන්න කියලා ගුරුවරිය මා එක්ක කිව්වා. ඒ කුරුල්ලෝ දැනගෙන හිටියා ඒක එයාලාගෙත් ආහාර ගන්නා කාලය කියලා. ඒක හරි ලස්සන සිතුවිල්ලක්. මොකද ඒක තමයි රැකබලා ගැනීම, බෙදා ගැනීම හා පරිත්‍යාග කිරීම. හරි කාලයේදී දරුවන්ට මේවා පුරුදු කිරීම ඉතා වැදගත් ගුණාංග. ඒවා සදහටම දරුවන්ගේ ජීවිතවලට බැඳී තියේවි. මම මේක උදාහරණයට ගත්තේ මේ වගේ රැකබලා ගන්න, බෙදා ගන්න වගේම පරිත්‍යාග කරන්න අවශ්‍ය අය ඉන්නවා කියන එක කියන්න. එක හා සමාන අවස්ථාවන් අහිමි ඒ වගේ අසරණ අයට උදව් කරන්න කියල මම ඉල්ලීමක් කරනවා.‘ ඔහු සඳහන් කළේය.

අධ්‍යාපනයේ වැදගත්කම ගැන සචින් කතා කළේ සිය ජීවිතයේම උදාහරණයක් ලෙස ගනිමිනි.

‘හැම දරුවකුටම අධ්‍යාපනයට අයිතියක් තියෙනවා. හැම දරුවකුගේම ජීවිතයේ අඩිතාලම එයයි. කොවිඩ් වසංගත කාලයේදී ගොඩාක් පවුල්වල ජීවන රටාව වෙනස් වුණා. ඒ බලපෑම නිසා දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටුණා. පවුලේ ආර්ථික ආදායම බිඳ වැටුණා. ඒත් අන්තර්ජාල පහසුකම් හා තාක්ෂණ දියුණුව නිසාම මේ ගැටලුවට විසඳුම් සොයා ගන්න ගොඩාක් පවුල්වල අයට හැකි වුණා. මම විශ්වාස කරන්නේ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයට විතරක් සීමා වුණු කාරණාවක් නෙවෙයි කියලයි. මම මගේ ජීවිත කාලය පුරාම ක්‍රීඩාවත් එක්කයි හිටියේ. ක්‍රිකට් ක්‍රීඩාව මට ජීවිතය ගැන ගොඩාක් දේවල් ඉගැන්නුවා. මට ලෝකය වටේ සංචාරය කරන්න වගේ. ඒත් පොඩි කාලේ මම හරි දඟ ළමයෙක්. මම දන්නේ නෑ මගේ අම්මා තාත්තා කොහොම ඉවසගෙන හිටියද කියලා. ඒක මට තේරුම් ගියේ මගේ දුවයි පුතයි හම්බවුණාට පස්සෙයි.‘ සචින් එසේ කියන්නේ සිනහමුසු මුහුණින් යුතුවය.

ශ්‍රී ලංකාවේ දරුවන්ට මේ විශිෂ්ට ක්‍රීඩකයා අපූරු පණිවිඩයක් දුන්නේය. ළමා වියේදී ඔහුගේ සිහිනය බවට පත්වූයේ කෙදිනක හෝ ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කිරීමය. ටෙනිස් පිත්ත අතහැර ක්‍රිකට් පිත්ත තුරුලු කර ගැනීමෙන් පසු ඉන් එහාට ඔහුට වෙනත් සිහිනයක් තිබුණේම නැත.

ඔහු කියන්නේ එවැනි සිහින ඇති දරුවන් ශ්‍රී ලංකාවේ අපමණ සිටින බවය. ඔවුන් ඉතා ශක්තිසම්පන්නව යහපත් අනාගතයක් සඳහා බලාපොරොත්තු පොදි බැඳ සිටින බවය. වැඩිහිටියන් කළ යුතු එකම දේ ඔවුන්ගේ සිහිනවලට ‘තටු‘ දීම බවය. සෞඛ්‍ය සම්පන්න හා සමෘද්ධිමත් ජාතියක් සඳහා අඩිතාලම දැමීමට යම්කිසි ක්‍රීඩාවක නිරත වීම අතිශය වැදගත් බවය. ඒ දරුවන් වැඩිහිටියන් වීමෙන් පසු තෝරා ගන්නා වෛද්‍ය, නීතිඥ, ජනමාධ්‍ය හෝ වෙනත් ඕනෑම වෘත්තියකින් පවා සාර්ථක විය හැකි ශක්ති සම්පන්නභාවයක් සහ දිරියක් ක්‍රීඩාවෙන් ලැබෙන බැවින් අධ්‍යාපනය හදාරන අතරතුරදීම ක්‍රීඩාවටත් යොමු වන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම දරුවන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

‘දරුවන්ට ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් කරා අවතීර්ණ වීමට පෝෂණයත්, ඒ හා සමානව අධ්‍යාපනයත් අවශ්‍යයි. ඔවුන්ගේ අධ්‍යාපනයට හා පෝෂණයට අයෝජනය කරනවා කියන්නේ අප ඔවුන්ගේ අනාගතයට ආයෝජනය කිරීමක් පමණක් නෙවෙයි. ඒක ඕනෑම රටක අනාගතයට කරන ආයෝජනයක්‘ සචින් සඳහන් කළේය.

Comments