කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

සංසාර බැඳීම

පුර පස­ළො­ස්වක පෝදා හඳ
අහ­සට එන සඳ
දෙනෝ දාහක සෙව­ණැලි ඇදෙයි
වැලි මළු­ව­ටත් හොරා
බෝ පත්වල සිලි සිලියේ
හඬ ස්වර නංවන සඳ
දෙනෝ දාහක සාධු ස්වර
නින්නාද දෙයි සවන් පුරා
සිල් සුවඳ දසත සරන සඳ
දෙනෝ දාහක සෙනඟ අතරේ
නුපු­රුදු සුව­ඳක් දැනෙයි
ළඟින්ම සංසාර පුරු­ද්දට

නයන්ත ජගත් පුංචි­හේවා


පොඩ්ඩියේ

නිදන නගරෙ නොනි­දන මිනි­සුන් ඇත්තේ
නුඹට හොරෙන් ඒ ඇස් ඇති නුඹ පැත්තේ
ගොම්මන් වෙලේ ඇවි­දින විට ඒ පැත්තේ
රැක­ගන් දුවේ නුඹ සතු නම්බුව මත්තේ

සිදා­දියේ මිනි­සුන්ගේ සිත් පිරිලා
බොහෝ නපු­රු­කම් ඇත උන් සඟ­වාලා
පාර තොටේ යන විට උන් මඟ රැකලා
උසුළු කළත් ඉව­සා­පන් මයෙ අම්මා

නෙක සළු­පිළි ඇඟලා නුඹෙ වටේ එවුන්
ගියත් උජා­රුව පෙන්වා නුඹට ඉතින්
නුඹට අවැසි නැත පිට ඔප­යට මායම්
නුඹයි දුවේ සිරි­කත මුළු ගමට ඉතින්

එදා පටන් දුක විඳලා ගෙන ශිල්ප
නුඹ දිනුවා ලෝකය සැම­ටම වැඩිය
ලියන කියන අකු­රට ලැබිලා සවිය
වරම් ලැබේවා දිනු­මට සර­ස­විය

සිවු වස­රලු බිය නොවන්න කීවාට
කල්ප ගණන් දැනේවි නුඹෙ අම්මා
කිරුළු දරන් එන දා ගම්මා­න­යට
වරෙන් දුවේ අම්මගෙ පොඩි දුව ලෙසම

කෞෂල්‍යා සඳ­මාලි


යළි ඉප­දු­ණොත්

නමු­ණු­කුල ගිර හිඳියි මිහි­දුම් සළුවෙ එතී
උමා ඔය ගලයි සිසි­ලස දෙමින් නිතී
බදුලු උයනෙ තුරු හිස මල් පිපෙනු ඇතී
නුඹ ගැන මතක මසි­තට නිති රිදුම් දෙතී

බිරි­යක නොවෙයි මට ආදර මවක වුණා
දුක­කදි වුණත් දෙතො­ලඟ රැඳුණේම සිනා
සැප දුක සමව අර­ගෙන ආද­රය අනා
දුන් කුම­රි­යයි අප තිදෙ­නට සතුට ගෙනා

සොබා­දමේ නිය­මය අනි­යත දහ­මයි
එන­මුදු නුඹෙ නික්මන මා සිත පාරයි
නුඹ අහි­මිව ගෙවුණු දෙව­සර හරි පාළුයි
කඳු­ළත් එක්ක මගෙ ඇස්දෙක දැන් යාළුයි

නුඹ මගෙ ළඟ ඇතැයි මසි­තට නිතර හැඟේ
සිත රැව­ටුණ බව දැනී කඳු­ළක් ඇසට නැගේ
අප මුණ ගැසේ නම් යළි මේ සසර මගේ
බිරි­යක් නොවී මවු වේ නම් එයයි අගේ

සුසිල් සුර­වීර


අපේ පාසලේ දරුවෝ

රතු­පාට ටයි පටිය සුදු ඇඳුමේ දැව­ටිලා
සුදු පාට ඉද්ද­මල් සේම හැම හිනැ­හිලා
පාසැ­ලට කඩි­මු­ඩියේ හිමි­දි­රියේ පැමි­ණිලා
ලස්ස­නට ඔප කරයි සැවොම එක්ස­ත්වෙලා

තටු­සලා පියා­ඹන පරවි රෑනක් විලස
පාවෙලා පාස­ලට නොම පමා වී විගස
සර­සලා ලස්ස­නට මෙලෙස පාසල් විගස
හිනැ­හිලා ඉන්න­විට පිය­ක­රුයි මුළු දවස

සිනාවේ ගලන්නේ අහිං­සක සුන්දර බවයි
කථාවේ රැදෙන්නේ උතුම් මිනි­සත් කමයි
දයාවේ සුම­ට­කම නිල් අහස් කුස සිඹියි
ලොවේ රැදි හුස්ම පොද රත්ත­රන් සිසු කැළයි

වැඩ කරයි වෙහෙස වෙයි මුවේ නැත විඩා­වක්
පොත් ගනියි පාඩම් කරයි දින­න්නට නව ලොවක්
සිත් ගනියි මල් කැකුළු පිපෙන හැටි වි මල් රැසක්
සන්ත­කයි හෙට පිපෙයි සුවඳ දෙන මල් ගොඩක්


වජිර රාජ­පක්ෂ


කිරි සුවඳ

නිදා ගන්නා තුරුම හිස උඩින් තබා අත
හොඳ කාර­වම ළඟ ඉඳන් ඉඩ ඉඹා වත
එදා කිරි ටික පොවා සන­සවා පුංචි හිත
සදා­කා­ලික නැතත් එයා දැන් මතක නැත

දෙනෙත් පෙනුණේ නැතත් කටු පඳුරු ඇනෙ­නවා
දෙකන් ඇසුණේ නැතත් ගඳ සුවඳ දැනෙ­නවා
උඩින් ගිය ගමන් මඟ කෙමෙන් බිම වැටෙ­නවා
අදින් පසු අම්මෙ මට කිරි සුවඳ දැනෙ­නවා

මු.රා. සම­ර­සේ­කර


හිත නොයන් ඇගෙන් මිදී

පිවි­තුරු සෙනේ පුද දුන් මගේ
දෑතට ඇගේ සිරවී ගෙනේ
මා හද මුදා නුඹ ගිය වෙලේ
කය නොව බිඳී සිත මිය ගියේ

ඇය හා වෙළී පෙමින් බැඳී
දුන් වේදනා රිදුම් දැනී
කඳු­ළක් සුසුම් හෙළා වැනී
දියවී ගියා නෙතින් මිදී

ගිය දුර නුඹත් ඇයත් හැරී
මාවත අදත් බලා හිදියි
පිය­වර අලුත් වුණත් යළී
කිසිදා මං සල­කුණු නැතී

නිම­වන දිනෙක සුසුම් රැලී
හිමි­වන බවක් නොවේ පෙනී
එතු­වක් මමත් මෙතන ඉමී
ඔය හිත නොයන් ඇගෙන් මිදී

තුෂාරි ජය­සිංහ


සොඳුර

ගන­ඳු­රය එළිය
නුඹ තරුව
අඩ අඳුරේ
පෑයූ සඳට
මැසි­විලි නඟයි
දුර ඈත
තරු පොකුරු
සඳ වටේ රොක්වෙලා
මල් හීන
නුඹ නිසා
ප්‍රේමයේ සිහි­නයේ
එක් හුස්මක් අතර
ලොව තුළම
තනි­වුණා

ජේ.ඩී.අබේ­කෝන්


සොඳුරු මතක

එක කූඩු­වක පැට­වුන් ලෙස එකට හැදී
මාපිය සොයුරු ආදර සෙනෙ­හ­සින් බැඳී
සොඳු­රුම ළමා දිවි­යක රස මිහිර විඳී
තොර­තුරු ගලා එයි සොම්නස සතුට විඳී

සුබ කරු­ණ­කදී ගෙන් පිටවී බැහැර යන‍
­සු­වඳ පැන් පිරුණු කොත­ලය අතට ගෙන
පින්බර වත පුරා හස­රැලි පුරෝ ගෙන
අම්මා එයි පෙරට ආසිරි පතා ගෙන

දිය­දම් අනුව අප දැන් සත් දිසා­වෙක
සැන­සිල්ලේ හිඳිමු දරු මුනු­පු­රන් දැක
ඉඩ­ලද විටෙක සැම එක්වුණු වෙලා­වක
සෝයුරු සෙනෙ­හ­සක මහි­මය දැකිය හැක

චන්ද්‍රා රෝහිණී කැටි­පෙ­ආ­රච්චි


අඳුරු වීදියේ අස­ර­ණිය


වීදියේ අඳුරු මානෙක නෙත් අයා­ගෙන
ඉන්නේ සොඳුරු නෙත මායම් පුරා­ගෙන
මූණේ තැනින් තැන සායම් පුරෝ­ගෙ­න‍
­සි­ටිතී ළඳක් ළය ගින්නේන් දැවී­ගෙන

උදයේ පුතුට කිරි දුන් හස තුඩු යුවළ
රෑ මැදි­යමේ සලෙ­ලුන් හට තුටු උළෙල
සෙනෙ­හෙස නොලද හද­වත තැවු­ණත් විකල
කර­නට කිසිත් නැත ඕ හට දුබල

පසිඳු මිහි­රාන් රැටි­යල


දිය­ණි­ය­කගේ වැල­පීම

අරු­ණට පිපුණු කුමු­දි­නි­යගෙ වත කමලා
පිරි­සිදු සුදෝ සුදු පැහැ­යෙන් වෙති නිමලා
අතු ඉති සලා­ගෙන එන මඳ­නල හමලා
පියා­ප­තක් වී හද­වත කළ කොමලා

වත සීත­ලයි මල් පෙති මත පිනුම් ගසා
මුහු­ලස මිදෙයි උඩු ගුවනේ කැරලි ගසා
මී වද පිරුණු වන වදු­ලක රවුම් ගසා
කැන්දා යමින් සිටියේ ඈ නුවන් වසා

කිරි කිරි ගගා ගස් වැල් ඇඹ­රෙන තාලේ
පොඩි සිත හඬා වැටුණා රැව­ටුණ ආලේ
ආපිට හැරී මඟ වැරදී ඇති බාලේ
ගියො­තින් පපු කඩා වැටෙ­තියි මවු ලීලේ

පිබිදී කැලෑ මල් කැකු­ළක් සුවඳ දිදී
මල­විගේ කුසුම් සර­යෙන් හද පතුල විදී
රෑ එළි­වෙන තුරා අර­ණක කඳුළේ කිඳී
දිය­පිරි අඳු­රුළිං පතු­ලක තවම නිඳී

රුවිනි දම­යන්ති


වන්නියේ අම්මා දුටිමි


අඟ­නුන් පිරි­වරා සම­ඟිව එකට ගම
හිස මත තබා දර මිටි­යක් පනින ඉම
ගැමි දිවි­යට සදා­කා­ලික කෙරුව පෙම
දර මිටි පොළ අම්මා දුටිමි මම

ඇය සතු එකම වස්තුව හුන්ඩුව බුසුල
දරු­වන් හදා­ගෙන පරි­ස­ර­යක නිසල
මහ මෙර­කට වඩා පවුලේ බර උසුල
අම්මා දුටිමි මම කුර­හන් ගල අසල

දෙණි­යට ගොස් උදැ­නැ­ක්කෙම පහළ වෙලේ
තුන්හි­රියා කපා - පා ගැහැ­නි­යක බලේ
තුන්පත් රටා­වෙන් පැදු­රක් වියන වෙලේ
අම්මා දුටිමි අම්මගේ කට කැඩුණු කළේ

සුරිය මැද­ගෙ­දර


ඔබ සමඟ

සොඳුරු සිහි­න­යක් වීය
ඔබ සමඟ මා දුටුව
මිහිරි පැතු­මක් වීය
ඔබ සමඟ මා පැතුව
සිතුම් සයු­රක් වීය
ඔබ සමඟ මා සිතුව
පියවි ලෝක­යක් වීය
මා පමණි ඔබ නැතුව

මාලතී රූපිකා පුංචි­හේවා


හැඟුම්

වැස්සයි
සීත­ලයි
කිය­න්නෙම
ප්‍රේමයේ
මධු විත
තොල­ගා­න්නට
හදපු
බයිට් එක

දහම් කීර්ති ජය­කොඩි


පිය උප­හාර

ගීතය කවිය පැදි නායක බණ දහම
කාරිය කළේ උකහා දැන­මිති දැනුම
ජීවය එකතු කළ සාහි­ත­යට අරුම
කෝ පිය­තුමා! දිනු සිය­වස් පුණු පිදුම

හෙළ ගීයේ කවියේ රිසි ගැඹුර දැන
පොදු ජන රසික සිත් රැඳ වූ නියත තැන
ගැදි පැදි සුසැදි සාහි­තයේ විදුරු මිණ
බස ඔසවා තුටු වුණි පිය පදවි ගෙන

ඉව­සී­මෙන් කවි­යෙකු සතු වග­කීම
මුහු­දෙන් එතෙර කවි කතිකා පැව­සීම
අද වෙන­තුරා සිරි­ලක් නම පැව­තීම
පිය සට­හන් වූහ නොමැ­කෙන ඉඳු­රාම

රට දැය දිනුව මගෙ පිය රජු කිරුළ තබා
දහ­හත බිනර, සිය-වස් වේ උපත ලබා
ඉව­තට දැමූ නිස­ඳැස් කටු පිළිල නොබා
වඳි­නෙමි තාත්තේ සිහි­යෙන් පසඟ ඔබා

පුලස්ති අභ­ය­සු­න්දර


කොරෝන කාලේ ඉස්පි­රි­තාලේ


ඊයේ ආවා
ඔව්! මං ආවා
ඔබ වාගේ මං
ගිලන්ම වූවා
එදා ඔබ ළඟින්
හිටියා මත­කයි
රෝහල් ඇඳ ළඟ
ඉහ අද්දර මං
ඒත් මා ළඟින්
අද කිසි­වෙක් නෑ
කොරෝනා මරුගේ
පහ­සට බිය වී
කාලය ගත වී
ඈතට දිව­යයි
ඔබේ මතක පිරි
සිහි­නය ළංවෙයි

කුමාරි රණ­සිංහ


හූනෝ


සුබ වෙලා­වක්
ඇත්තෙම නැද්ද

එන්. ඩබ්.පී. ලාල්


කඳුළ

කවිය
මතක් කර­පන් ඇයට
හිනාවේ පාට
මතු දිනෙක ලස්සන
දම්පාට ලෝක­යක්
තව­රන්න එය
අපි අද පූජා කළ වග
කඳුළ මැරිය යුත්තේ
සතුට දුක මුසු
හුස්ම­කින් වග

ඔමේෂ් ශෙහාන් දහ­නා­යක

Comments