කෘතියේ නම - කිමද නොසතුට
කර්තෘ - මාකෙහෙල්වල හේරත්
ප්‍රකාශක - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
මිල - 850/= පිටු ගණන -158
විමසීම්-0112 685 369
කතුවරයා මේ කෘතිය රචනා කර ඇත්තේ සිංහල සාහිත්‍යයේ ඉතා ප්‍රචලිත කතා පුවතක් වන ගුත්තිල ජාතකය පසුබිම් කරගනිමින් අද්‍යතන සමාජය පිළිබඳ පුළුල් දේශපාලනික විග්රහයක නිරත වෙමිනි. අධිකරණයක් තුළ සිදුවන නඩු විභාගයක් නවකතාවේ ආකෘතිය වශයෙන් භාවිත කර ඇත. ඒ තුළ චරිත නිරූපණය අවකාශ ලබාගන්නා ආකාරය සිත්ගන්නා සුලුය. සමාජය තුළ වෙසෙන සෑම පුද්ගලයකුගේම දේශපාලන මනසට සෞන්දර්යාත්මකව ආමන්ත්‍රණය කිරීමට කතුවරයා ගෙන ඇති ප්රයත්නය අගනේය.
කෘතියේ නම - ඇවැත්
කර්තෘ - පංචමී හේවාවිසෙන්ති
ප්‍රකාශක- කුවේනි ප්‍රකාශන
මිල - 500/= පිටු ගණන -174
විමසීම්- 0766 877 178
මාධ්‍යවේදිනි පංචමී හේවාවිසෙන්ති විසින් මෙම කෙටිකතා සංග්‍රහය රචනා කර ඇත්තේ සමාජයේ ජීවත්වන මිනිසුන්ගේ අත්දැකීම්වලට සිය පරිකල්පනය ද මුසු කරමිනි. ගැඹුරු සමාජ කාරණා පිළිබඳ කතුවරිය සතු මුහුකුරා ගිය දැනුම මෙම කෙටිකතා සංග්‍රහය තුළින් විද්‍යාමාන වේ. ඇය මේ සඳහා උපයෝගී කර ගෙන ඇති ලේඛන ශෛලිය මෙන්ම එය හසුරුවා ඇති ආකාරයට ද කියවීමේ රුචියෙන් පිරිපුන්ය.
කෘතියේ නම - බෞද්ධ රාජ්‍ය පරිපාලන මූලධර්ම සහ භාවිතය
කර්තෘ - වජිර නාරම්පනාව
කර්තෘ ප්රකාශනයකි
මිල - 1,000 /=
පිටු ගණන - 324
විමසීම් - 071 8 051 139
බුදු දහම හා නූතන කළමනාකරණ සංකල්ප පිළිබඳ පර්යේෂණ කරන ප්‍රවීණ ලේඛකයකු වන මේ කෘතියේ කතුවරයා අමාත්‍යාංශ ගණනාවක ලේකම් ධූරය දරා ඇති අතර, ප්‍රවීණ රාජ්‍ය පරිපාලන සේවා නිලධාරියෙකි. දැහැමි රාජ්‍ය පාලනයක් රට තුළ ස්ථාපිත කිරීම මඟින් සංවර්ධිත දැහැමි සමාජයක් නිර්මාණය කිරීමට මඟපෙන්වන මූලධර්ම සහ භාවිතයන් රැසක් ත්‍රිපිටකගත දේශනා තුළ අන්තර්ගත වේ. එම කරුණු ගවේෂණය කරමින් දැහැමි රාජ්‍යයක් ගොඩනැංවීමට බුදුන් වහන්සේ ලබාදුන් උපදේශනා සහ මඟපෙන්වීම් කතුවරයා විසින් මෙම ග්රන්ථයට ඇතුළත් කර ඇත.
කෘතියේ නම- නිවැරදි පෝෂණයෙන් බුද්ධිය අවදි කරවමු
කර්තෘ- ප්‍රියන්ත ඩී. පීරිස්
ප්‍රකාශක- ප්‍රියාන් ප්‍රකාශකයෝ
මිල - 490 /= පිටු ගණන -98
විමසීම් -0776 573 409
පෝෂණවේදී ප්‍රියන්ත ඩී. පීරිස් විසින් රචිත මේ කෘතියේ අරමුණ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා නිවැරදි ආහාර රටාවේ වැදගත්කම ඉස්මතු කොට දැක්වීමය. පෝෂණය පිළිබඳ ඉතා වැදගත් අදහස් රාශියක් ඉතා සරල 8 සුගම බස් වහරක් මඟින් පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට කතුවරයා මේ කෘතිය තුළින් සමත් වී ඇත.
කෘතියේ නම - සහස්නාවී
කර්තෘ - මින්දිකා බණ්ඩාර
කර්තෘ ප්රකාශනයකි
මිල - 870/= පිටු ගණන -216
විමසීම් - 0716 273 576
අත්හැරුණු ප්‍රේමය නමින් සහසක් බලාපොරොත්තු තබා ඔහු නොදුටු ස්නෙහයේ සලකුණු අත දරා තම තුන් හිතෙහිම හුස්ම ගන්නා ඔහු යළි එනතුරා ප්‍රේමයේ විශ්වාසයෙන් මඟ බලා සිටිනා ඇය සහස්නාවියයි. සුන්දර ඒ ආදරය ගැන කියැවෙන මේ නවකතාවේ කතුවරිය යොවුන් ලේඛිකාවකි.‘කැමේලියා’නම් පළමු නවකතාවෙන් ලේඛන දිවිය ආරම්භ කළ කතුවරිය, සිය දෙවැනි නවකතාවෙන් ලේඛන කලාව තුළ සාර්ථක පියවරක් ඉදිරියට තබා ඇති බවක් පෙනේ. සුන්දර මටසිලිටු බස්වහරකින් නිර්මාණාත්මක වියමනක යෙදීම ද කතුවරියගේ විශේෂත්වයකි.
කෘතියේ නම - ජාතික මාධ්‍ය සංකථන
ප්‍රධාන සංස්කරණය- මහචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්
ප්රකාශනය - රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
පිටු ගණන -398
මේ ග්‍රන්ථය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට ගේ උපදේශකත්වය යටතේ මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් ප්රමුඛ සංස්කරණ මණ්ඩලයක් විසින් සම්පාදිතය. කොටස් තුනකින් සමන්විත කෘතියේ පළමු කොටස මාධ්‍ය විචාර ශික්ෂාව සහ ගුණාත්මක ප්‍රවේශය යන මාතෘකාව යටතේ පරිච්ඡේද 5ක් යටතේ විග්රහ කොට ඇත. දෙවැනි කොටස මාධ්‍ය නව ප්රවණතා සහ සමකාලීන ස්වරූප නම් මාතෘකාව යටතේ පරිච්ඡේද 8ක් යටතේ විවරණය කර ඇත. මාධ්‍ය සංස්කෘතික ප්‍රවර්ධන දිශානති නම් තුන්වැනි මාතෘකාව යටතේ පරිච්ඡේද 21ක් ඇතුළත්ය.
කෘතියේ නම - රතු පිච්ච මල්
කර්තෘ - උඩවත්තව රවීන්ද්‍ර ප්‍රදීප්
ප්‍රකාශක - නෙත්රෝ ප්‍රකාශන
මිල - 176/= පිටු ගණන -850
විමසීම්-0776 217 25
මේ නවකතාව, ගමක සිට කොළඹට පැමිණ රැකියාවක් උදෙසා දේශපාලන බලවතකුට ආත්මය අලෙවි කිරීමට සිදුවීම නිසා වීදි ගැහැනියක් බවට පත්වූ මාලා සහ සමාජය දෙස වැරදි කෝණයකින් දකින ත්‍රිරෝද රථ රියැදුරකු වන සුරේන් අතර දිවෙන කතාවකි. ගෙන්දගම් පොළොව මත නිරුවත් දෙපයින් සිටගෙන ජීවිතය ගනුදෙනු කරන තවත් චරිත කිහිපයක් මෙන්ම සඳලුතලයක සිටියද මහපොළොව මත දෙපයින් ඇවිද යන දූවිලි කුමාරයකුට ආදරය කරන යුවතියකගේ චරිතය ද මෙයින් විවරණය වන්නේ කතාවට සුන්දරත්වයක් එක්කරමිනි. ලේඛකයකු සේම රංගන ශිල්පියකු ද වන උඩත්තව රවීන්ද්‍ර ප්‍රදීප් නවකතා, ළමා කතා, අධ්‍යාපන සහ යොවුන් නවකතා, තිර නාටක ආදී කෘති රැසක කතුවරයා වන අතර, මේ ඔහු විසින් රචිත 29 වැනි කෘතියයි.
කෘතියේ නම- මිඩ් මාර්ච්
කර්තෘ- චින්තනී අමරසිංහ
ප්‍රකාශක- සූරිය ප්‍රකාශකයෝ
මිල - 1680/= පිටු ගණන -400
විමසීම්-0715 859 135
සම්මතයෙන් පිටස්තර සම්බන්ධයක් හේතුවෙන් මෙලොවට බිහි වූ අට හැවිරිදි දැරියකගේ ජීවිත කතාවෙන් ඇරඹෙන චූටික්කාගේ කතාව ඇය වැඩිහිටි තරුණියක් වන තෙක්ම සුන්දරව ගලායන අයුරු මේ නවකතාවෙන් කියැවෙයි. ඇය ජීවිත අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය සහ ඇගේ ආදරය සිත් ගන්නාසුලු අයුරෙන් ගොඩනැඟීමට කතුවරිය උත්සාහ දරා ඇත. වෘත්තියෙන් ගණකාධිකාරිනියක වන යොවුන් ලේඛිකා චින්තනී අමරසිංහ විසින් රචිත තෙවැනි කෘතිය මෙයයි. මිඩ් මාර්ච් හෙවත් ‘සිහින ඇහිඳින මාර්තුවක කතාව’ නම් මේ කෘතිය සරල බස් වහරකින් ලියැවුණද ජීවිත යථාර්ථය ගෙනහැර පෑමට දරන ලද සාර්ථක උත්සාහයකි.