කෘතිය - සන්ධ්‍යානන්දය
කර්තෘ - කිර්ති වැලිසර
සරසවි ප්‍රකාශනයකි
විමසීම් - 077 039 0052
කීර්ති වැලිසරගේ “සන්ධ්‍යානන්දය” සැටවිය පිරුණ විශ්‍රාමික චරිතයක් වටා ගෙතුණකි. ඔහුගේ නම ආනන්ද ය. කතුවරයාගේ සෙසු නවකතා සමඟ සසඳන විට මෙය අත්දැකීමක් වශයෙන් මෙන්ම ආඛ්‍යාන රීතිය අතින් ද වෙනස් තැනක පිහිටි නිර්මාණ කාර්යයක් වේ. මෙතෙක් ඔහු විසින් ප්‍රස්තුත නොකර ගන්නා ලද වස්තු විෂයක් මත මෙය නිර්මාණය වී තිබීම ඊට හේතුවයි.
මෙහි එන ආනන්ද නම් ප්‍රධාන චරිතය පහළ මැද පාන්තික සමාජයකට අයත් ඒ වගේම සම්මත වීරයකුගේ හැසිරීමක් තබා ඒ අසලින්වත් යන චරිතයක් නොවේ. ඔහු වෙසෙන සමාජ පන්තියේ පසුබිමෙහි සිටින දේශපාලන හස්තයක් විසින් ද ඔවුන්ව හසුරුවනු ලබන තත්ත්වයක් දැකිය හැකිය.
කතුවරයාට අනුව නවකතාවක් යනු පවත්නා සමාජයේ කාබන් කොපියක් නොවේ. නවකතාවක් යැයි කියන්නේ ඉතිහාසයේ ප්‍රතිකථනයකි.
මෙම පසුබිමේ වීර චරිතයක් බවට පත්වීමට ආනන්ද අසමත් වේ. එය ඔහුගේ වරදක් නොවේ. මක්නිසාදයත් කතුවරයා ඉහතින් පෙන්වා දී ඇති ආකාරයට ආනන්ද යනු ඔහු ජීවත් වන ඒ සමාජ පැවැත්මේ නියෝජනයක්ම වන හෙයිනි.
කෘතිය - හින්දොස් මාලේ
කර්තෘ - සේපාලි මායාදුන්නේ
මියුසස් බුක්ස් ප්‍රකාශනයකි.
විමසීම් - 077 741 5912
ජනශ්‍රැතියේත්, වංසකථාවලත් වංශවතුන් වෙනුවෙන් ලියැවුණ මාල කාව්‍යයක් සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් ලියා තබන්නේ කොහොමද? කන්ද උඩරටත්, භාරතයේත්, වන්නිකරයේත් මහ පොළොවේ සැබෑ සුවඳ විඳින මිනිසුන් යටපත් කරන්නේ අනවරත ව ඔවුන්ගේ ජීවිතවලට ගලාඑන පෙරහැර මාලාවක් ලෙසිනුයි.
ඒ සංකේතවත් කරමින් ජනප්‍රවාදයන්ට මුල් වූ හින් යකුන් හෙවත් කුඩා යකුන් පිළිබඳ කෝල්මුරවල සඟවා තබන්නට ද වෑයම් කළේත් මේ කැළෑ බිම්වලට අධිගෘහිත වුණු දෙවිදේවතාවන්ගෙන් සඟවා තබාගන්නටමයි. ඒත් ප්‍රාතිහාර්යයන් හාරා ඇවිස්සූ විට එයින් මතු වී එන්නේ සැබෑ ජීවිතයමයි. මේ දුක්ඛදෝමනස්සයන් අතරේත් සාමාන්‍ය මිනිසුන් අතරින් ආදරය සෙනෙහස මැකී යන්නේ නැහැ. ඔවුන් ආදරය කරන්නේ මනුෂ්‍යත්වයට. පරංගි රෝගය වැලඳුණු විදේශික කාන්තාවක වෙනුවෙනුත් ඒ ආදරය ඉතිරිව තිබෙනු දැකගත හැකියි.
ගජසිංහ කොඩිය සිංහ සිරුරකිනුත්, ඇත් මුහුණකිනුත් පෙරහැරින් නුවරකලාවියට එළඹෙනවා. මේ කිනම් ස්වරූපයකින්වත් වංශවතුන් මිසක සාමාන්‍ය මිනිසුන් දැකගන්නට ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනා සඟවා තැබූ ඒ සැබෑව තුළ ගිලෙන මනුෂ්‍යත්වය නිරාවරණය කරන්නට මා මෙම නවකතාව උපයෝගි කරගත්තා.
කෘතිය - නකුල මුනි
කර්තෘ - එරික් ඉලයප්ආරච්චි
ඇස්. ගොඩගේ ප්‍රකාශනයකි.
විමසීම් 071 681 2949
සංස්කෘතික අධිෂ්ඨානයක් මුල් කර ගනිමින් ජීවිතය පවත්වා ගෙන යන චරිත රැසක් ඔස්සේ වර්තමාන සංස්කෘතික දේශපාලනයේ අඳුරු අවිඥානක තලය විවෘත කර පෙන්වන නවකතාවක් ලෙස සමකාලීන ලාංකේය සමාජය පිළිබඳ විවාදාත්මක කියවීමකි. කලාව සහ වෙළෙඳාම, බුද්ධිය සහ විපරිතකම, ගැහැනිය සහ පිරිමියා, පවුල සහ සමාජය, අධ්‍යාත්මික පාරිශුද්ධතාව සහ අපවිත්‍රතාව, ජීවිතය හා මරණය යන මේ ප්‍රතිවිරුද්ධ දේවල් අතර දෝලනය වන ජීවිත මෙහි පිළිබිඹු වී ඇත.
නකුල යන වචනය තුළ ශෝකය (නකුල පිතා), දිව්‍යමය සංගීතය (නකුල වීණා) සහ මුගටියා යන තේරුම් තිබීම මඟින් නවකතාව ඒකාබද්ධ කර තිබේ. මුගටියා පිළිබිඹු කරන්නේ සම්භාව්‍ය සාහිත්‍ය කලාවේ සංකේතයක් ලෙස මෙරට වැල්ලවත්තේ සිටි පැබ්ලො නෙරුඩා නම් ප්‍රසිද්ධ චිලී කවියාය. චරිතයක් මිය ගිය මහා සංගීතකරුවකුගේ භෂ්මාවශේෂ බොරැල්ල කනත්තෙන් සොරා ගෙන සුරකිමින් තම අසම්මත පවුල කොළඹ මුඩුක්කුවක පවත්වා ගෙන යයි.
තව චරිතයක් දේවාර් සූරසේන පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ස්විස්ටර්ලන්තයේ සිට ලංකාවට ගොඩ බසියි. ඒ අතර පැබ්ලො නෙරුදා ජීවත් වූ පරණ අබලන් බංගලාව සම්භාව්‍ය අතීතයක පැවතුන සැටියෙන් වෙස්ගන්වා මුගටියකු සහ ඉන්දියානු ගැහැනියක සමඟ කොළඹ දේපළ වෙළෙන්දකු තවත් සම්භාව්‍ය සංගීතකාරයකුට විශාල මුදලකට විකුණයි.
කෘතිය - මගේ චිකාගෝ හදවත
කර්තෘ - ශාමෙල් ජයකොඩි
සරසවි ප්‍රකාශනයකි.
විමසීම් - 1 437 776 0725
‘කළු ජීවිත වැදගත්’ black lives matter යන සංකල්පය යටතේ බටහිර රටවල උද්ඝෝෂණ, විරෝධතා පවතින අවධියක ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ වාසය කළ ලාංකික පවුලක දාහත් හැවිරිදි දරුවකු වන ‘උදාර’ගේ ජීවිත කතාව මේ නවකතාවෙන් එළි දැක්වෙයි.
විටෙක කළු ඇමෙරිකානු මිතුරන් හා ගැටෙමින්, වෙළෙමින්, පන්නරය ලබමින්, සිය අනන්‍යතාව නිර්මාණය කරගන්නා ගැටවරයකු ලෙසත්, විටක උන්මාදනීය කල්පිතයක දිවි ගෙවන සෙල්ලක්කාර යෞවනයකු ලෙසත්, විටක තම මවුපියන් හා බැඳුණු ලාංකික චින්තනය මැදින් අපූර්වත්වය සොයා ඇදෙන මානවකයකු ලෙසත් මෙම නවකතාව අපට ඔහු ගැන පවසයි. එලෙසම බටහිර සිතුම් පැතුම්, සුදු කළු භේදය, ආසියානු අක්මුල්වල මිහිර සමඟ ගැටෙන පාසල් සිසුවකු ලෙස ඔහු තමන්ගේම ආකල්ප හා දැක්ම වෙත ඇදෙන සැටි, අභියෝගවලට මුහුණ දෙන සැටි, තමන් සතු දුර්වලකම්වලින් ආරක්ෂා වන සැටි, තමන් ළඟ සැඟවී තිබූ වටිනාකම් එළියට ගෙන ඒවා වැඩි දියුණු කරගත් සැටි ආත්ම මූලික දෘෂ්ටි කෝණයකින් අපට කියවීමට සලස්වයි.
ලෝක ගෝලය තුළ සංචරණය වන සැබෑ ලාංකික චරිත ඇත්තටම නිහඬයි. ඔවුන්ගේ රස්තියාදුව කාගේවත් ඇහැ ගැටෙන්නේ නැහැ. මේ නවකතාව ඒ චරිත උළුප්පා දක්වයි. කළු ජාතික අප්‍රිකා-අමෙරිකානු ජීවන රටාව තුළ සිටින ලාංකික පවුලක් සතු නොපසුබට වීර්යය, වේදනාත්මක අතීත සැමරුම් ගැන ද මෙහි කියැවේ.