මිතුරු ඇසුරේදී වැඩි හොඳත් නරක් වෙන හැටි | සිළුමිණ

මිතුරු ඇසුරේදී වැඩි හොඳත් නරක් වෙන හැටි

- සබඳතා අතර ‘සීමා ඉර’ක් ඇඳ නොගැනීමෙන් සිදුවෙන අවාසි
- සමාජ ආශ්‍රයේ හෝ පුද්ගල ඇසුරේ සීමාවන් තේරුම් ගැනීම හෝ පවත්වා ගැනීම කිසිසේත් ආත්මාර්ථකාමී වීමක් නොවේ
- ඔබේ සීමාවන් අනුන්ට දැන ගන්නට සැලැස්වීම වගේම ඔබ ඔවුන්ගේ සීමාවන් හඳුනා ගැනීම ද වැදගත්

හැම දේකම සීමාවක් තියෙන්න ඕනෑ"

" හැමදෙයකම? "

" ඔව්, හැම දේකම. හොඳ දෙයක් වුණත් සීමාවක් නැති වුණාම නරකට හැරෙන්න ඉඩ තියෙනවා. අපේ අතේ වරදක් නැතත් වෙන කෙනෙකුට පුළුවන් ඒක අනෙක් අතට හරවා ගන්න"

සීමාවක් නැතිකම බොහෝ ප්‍රශ්නවලට මුල වෙයි. ඇතැම් පුරුදු, ජීවන රටා ආදියේ සීමාවක් නැතිකම අප ඇද දමන්නේ බරපතළ අඩියකටය. සීමාවක් නැතිව හොඳ දේ කරන්නට යෑම ද දර මිටි බඳින්නට ගත් නාගයාට සිදු වූ ඉරණම ම අත් කර දෙන්නට සමත් බව පැහැදිලි ඇත්තකි. පුද්ගල ආශ්‍රයේදී පවා එය එසේමය. ඉතින් , ඊට කළ යුත්තේ කුමක්ද ? අයහපත පුරුදු වීම, ආත්මාර්ථකාමී වීම එසේත් නැතිනම් අහංකාරය ? ඒ එකක්වත් ඊට විසඳුම් නොවේ. ඊට ඇති හොඳම විසඳුම වන්නේ සීමාවන් පවත්වා ගැනීම (Setting Boundaries ) යි.

සමාජ ආශ්‍රයේ හෝ පුද්ගල ඇසුරේ සීමාවන් තේරුම් ගැනීම හෝ පවත්වා ගැනීම කොහෙත්ම ආත්මාර්ථකාමී වීමක් නොවේ. එය අහිතකින් සිදු කරන්නක් හෝ අන් අය පිළිකෙව් කිරීමක් හෝ නොවේ. ඔවුන්ට ඇති ආදර ගෞරවය හීන කිරීමක් ද නොවේ. අනෙක් අතට එය අපගේ මෙන්ම අනෙක් අයගේ යහපත පිණිස ද හේතු වන්නකි.

බොහෝ දෙනා මේ සීමා ඉර ඇඳ ගන්නට අදි මදි කරන්නේ එය යම් වරදකාරී හැඟීමක් ඇති කරන බැවින් යැයි කීම වරදක් නොවේ. එහෙත් එබඳු සීමාවක් ඇති කර නොගැනීම කල්යෑමේදී අවාසි ඇති කරන්නට ද ඉඩ තිබේ. මෙසේ සීමාවක් පවත්වාගෙන යෑම කීප අතකින් අපට ප්‍රයෝජනවත්ය. වඩා තිරසාර හා අවබෝධයෙන් යුතු සබඳතා ගොඩනැඟෙන්නේ ඒ හරහාය. එමෙන්ම අනවශ්‍ය හිත් රිදීම්වලට ඇති ඉඩකඩ එයින් බෙහෙවින් සීමා වෙයි. අපේ කාලය, ශ්‍රමය හෝ මුදල් අනවශ්‍ය ආකාරයෙන් නාස්ති වී යන්නේ ද නොවේ.

එසේ සීමාවක් පවත්වාගෙන නොයෑමෙන් සිදුවිය හැකි අවාසි ගැන ද ඇබින්දක් කතා බහ කළ යුතුමය. පළමුව එහිදී අපට දැනෙන්නේ මහත් වෙහෙසකර බවකි. මේ මානසික විඩාව අපට දැනෙන්නේ නිරන්තරව අන් අයගේ හිත සතුටු කරන්නට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එසේත් නැත්නම් අනෙකකු විසින් තම වාසිය පිණිස අප යොදාගැනෙනු දැනීමෙන් උපදින කලකිරීම් හෝ නොසතුට ද ඊට හේතු වේ. දීර්ඝකාලීනව එය බලාපොරොත්තු කඩවීමත් ආතතියත් කෙරේ බලපාන්නාවූ සාධකයක් බවට පත් වේ.

එසේ සීමාවක් මායිමක් නැතුව පුද්ගල සම්බන්ධතා පැවැත්වීම යමකුගේ තීන්දු තීරණ ගැනීමේ හැකියාව දුර්වල කරන්නට ද හේතු වන බව පැවසේ. මන්ද යත් එබඳු තත්ත්වයකදී යමකුට සිදු වන්නේ වැඩිමනත් කාලයක් අන් අයගේ අවශ්‍යතා අනුව කටයුතු කරන්නටය. දීර්ඝ කාලයක් තිස්සේ එසේ හුරුවීම නිසා අවශ්‍ය මොහොතක තමා වෙනුවෙන් නිවැරදි තීරණයක් ගැනීම බරපතළ ගැටලුවක් අභියෝගයක් බවට පත්වෙයි.

පෞද්ගලිකත්වය පිළිබඳ සීමා මායිම් නැති පුද්ගලයකුට බොහෝවිට සිදුවන්නේ අනෙක් අයගේ සැලසුම් මත කටයුතු කරන්නටය. හැම විටම පාහේ අනෙකකුගේ හිත රිදවන්නට නොකැමැති බැවින් යම් හෙයකින් තමා අතින් එසේ සිදුවේයැයි උපදින බියෙන් හා කනස්සල්ලෙන් දවස ගෙවන්නට ඔහුට හෝ ඇයට සිදුවෙයි.

එබඳු තැනැත්තකු බොහෝවිට ඉක්මනින් මිතුරන් ඇති කර ගන්නා අතරම තමාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ බොහෝ දේ ද , තමාගේ සැලසුම් පිළිබඳව ද ඉතා ඉක්මනින් හෙළිදරව් කරන්නට පෙලඹෙයි. එයද යථා කාලයේ දී ඉතාමත් නරක ප්‍රතිඵල අත් අත් කර දෙන ඒවා බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ වීමෙන් අවසානයේ දී සිදුවන්නේ තමා හැම අතින්ම අනෙකකුගේ ගොදුරක් බවට පත් වීමයි. හැමදෙයටම කර ගසන්නට සිදුවීමයි. එපමණක් ද නොව ,එහෙයින් එබඳු තැනැත්තකු තැනැත්තකු ගේ පෞද්ගලික ජීවිතයට හානියක් පාඩුවක් වෙද්දි ඔහු හෝ ඇය අතින් තම පවුලට, තම සමීපතමයන්ට සිදුවිය යුතු යුතුකම් හා ඉටුවිය යුතු වගකීම් ද පැහැර හැරෙයි. එය ගෙදරදොර සාමයට ප්‍රබල තර්ජනයකි.

අනෙකකුගේ ගෞරවයට හෝ ඇගයුමට පාත්‍ර වීමේ ප්‍රමාණය ක්‍රමයෙන් පහත ඇද වැටෙන්නට ද සීමාවන් පවත්වා නොගැනීම හේතු වෙයි. ඇතැම් විට අනෙකකු විසින් එබඳු තැනැත්තකු ප්‍රයෝජනයට ගැනෙන්නට ද පිළිවන. අක්‍රීය ආවේගශීලීත්වය එහි තවත් අතුරු ප්‍රතිඵලයකි. පළමුව එබඳු තැනැත්තකු අන් අයට තමාගේ වාසිය ලබාගන්නට ඉඩ දෙයි. ඉනික්බිති ඔහු හෝ ඇය උත්සාහ කරන්නේ ඒ පාඩුව හෝ අවාසිය මකා ගන්නටය. තත්ත්වය ආපසු අනෙක් අතට හරවා ගන්නටය. බාගවිට ඒ සඳහා යම් රිදවිල්ලකට වුව ඔවුන් පසුබට නොවේ. නිරන්තරව අනුන්ගේ ඇද කුද අඩුපාඩු කියන්නට ද පටන් ගනී. එය පොදුවේ ගත් කළ එබඳු තැනැත්තන් පමණක් නොව අනෙක් අයට ද බලපාන්නාවූ ගැටලුවක් බවට පත්වෙයි. නිසැකවම යාළු මිත්‍රකම් දෙදරා යයි. ඊට මීට වඩා ගුණදායක වන්නේ සීමාවක් හඳුනා ගැනීමත් ඒ සීමාව පවත්වාගෙන යෑමත්ය.

එහෙත් වරදකාරී හැඟීමක් සිත නූපදින ලෙස මේ සීමා සකසා ගැනීම අතිශය අසීරු කාරණයකි. එය පැහැදිලිවම අනෙකා පිළිකෙව් කිරීම හෝ තමා අන්‍යයන්ගෙන් වෙන්වී හුදෙකලා වීම හෝ නොවිය යුතු ය. මේ සීමා අවශ්‍ය වන්නේ අපට පමණක් නොවේ. එහි වාසිය අප ආශ්‍රය කරන පුද්ගලයන්ට ද බෙදී යයි. එය අප්‍රකාශිත ද්වීපාර්ශ්වික අවබෝධයක් ලෙස ද දැක්විය හැකිය. ඔබේ කැපවීම, කරුණාවන්ත බව හා අවංක බව අන්‍යයන් විසින් වැරදි ලෙස පාවිච්චි කිරීම වළක්වා ගැනීමේ අගුල වන්නේද එයයි.

එබැවින් හිත අපහසුවට, අසහනයට, වරදකාරී හැඟීම් ඉපදීම ඉතා අවම වන අන්දමින් මේ කාරිය ආරම්භ කළ හැක්කේ කෙසේදැයි සලකා බැලීම වටී. පළමුව වටහා ගත යුතු කාරණය නම් සීමාවක් තබාගැනීම යනු මුළුමනින්ම පාහේ ආත්මාර්ථකාමීත්වයට සමාන පදයක් නොවන බවයි. එය කාගේත් මානසික සෞඛ්‍යයට හිතකර දෙයකි.

තේරුම් ගත යුතු තවත් කාරණයක් වන්නේ පුද්ගල සම්බන්ධතාවලදී සීමාවක් පවත්වාගෙන යෑම ශක්තිමත් අන්තර්පුද්ගල බැඳීමකට මඟ පාදන බවයි. උදාහරණයක් වශයෙන් මවුපියන් තමාගේ සීමාවන් අනුව සමාජ ආශ්‍රය කටයුතු කිරීම දරුවන්ගේ යහපතට හේතු වේ. අනවශ්‍ය ආරවුල් හෝ සිත් අමනාපකම් ඇති වන්නේ ඉතා අඩුවෙනි. එහෙත් ඉතාම කිට්ටුවන්තයන් හෝ සමීපතමයන් අපට නැතුවා නොවේ. එබඳු තැනැත්තන් සමඟ මේ සීමා අපට අවශ්‍ය පරිදි ලිහිල් කරගන්නට ද පුළුවන. අපට හැකි සීමාව හඳුනාගෙන කටයුතු කිරීමේදී අප අමාරුවට වැටෙන්නේ හෝ අපෙන් උදව් උපකාර බලාපොරොත්තු වන තැනැත්තන්ට බලාපොරොත්තු කඩ කරගන්නට හෝ එහිදී සිදු නොවේ. එයින් බැඳීම් බිඳී යෑම වෙනුවට අවබෝධය හරහා දිගු කාලයක් පවත්වාගෙන යන්නට අපට පිළිවන් වෙයි.

ඊළඟ කාරණය නම් අපට ද ප්‍රමුඛතා තිබෙන බව හඳුනා ගැනීමය. එය සීමා පවත්වාගෙන යෑමේදී ඇතිවන වරදකාරී හැඟීම යටපත් කරන්නට උදව් වන්නකි. අපේ අවශ්‍යතා හුදෙක් පුද්ගල අවශ්‍යතා ම පමණක් නොවේ. අපේ දරුවන්, පවුලේ සාමාජිකයන් ආදීන්ට අප අතින් ඉටු විය යුතු වගකීම් තිබේ. ඒවා ද හැකි තාක් දුරකට සම්පූර්ණ කිරීම සඳහා මෙකී සීමා හඳුනාගෙන තිබීම වැදගත්ය.

සීමාවක් පවත්වාගෙන යෑම ඇත්තෙන්ම හිත අසතුටු කරගන්නට කාරණයක් නොවේ. එසේ සීමා මායිම් හඳුනා ගැනීමෙන් පසුව උදව් කළ යුත්තේ කාටද, ආශ්‍රය කළ යුත්තේ කෙසේද යනාදිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් අපට ලැබේ. එය අපේ එදිනෙදා ජීවිතය පහසු කරවයි. තෝරා ගැනීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති බැවින් සිත සතුටක් උපදවන්නට ද එය හේතු වෙයි. අනෙක් අතට අප මෙහිදී මතක තබා ගත යුතු තවත් කාරණයක් වන්නේ මේ සීමා කිසි විටෙකත් ගලේ කෙටූ ඒවා නොවන බවය. ඒවා අවශ්‍ය අවස්ථාවලදී, පුද්ගල ස්වරූපය අනුව, වගකීම් හා යුතුකම් තරාදියට අනුව වෙනස් කරන්නට අපට නිදහස තිබේ. එසේ සීමාවක් පවත්වාගෙන යෑම තුළින්ම එබඳු විශේෂ වෙනස්කම් කළ යුත්තේ කෙසේදැයි අවබෝධ කරගන්නට ද අපට අවස්ථාවක් ලැබේ.

අපේ දින චර්යාව ගැන මොහොතක් අවධානය යොමු කිරීමෙන් මේ සීමා ලකුණු කර ගන්නට අපට හැකිය. වඩාත්ම පහසු වන්නේ තමාට හැකි හා නොහැකි දේ වෙන වෙනම ලයිස්තුගත කර ගැනීමය. අපට නිතිපතා අනවශ්‍ය පීඩනයක්, අපහසුවක් ඇති කරන්නේ කවර කටයුතුද, කවර පුද්ගලයන් හා ආශ්‍රය කිරීමේදී ද , නොකැමැත්තෙන් හෝ ඉතා වෙහෙසකර බවින් යුතුව කරන්නට සිදුවී ඇත්තේ මොනවාද , සිත සතුට කැඳවන ක්‍රියාකාරකම් මොනවාද, යනාදී වශයෙන් ප්‍රශ්න නඟමින්ම අපේ සීමා තේරුම් ගන්නට අපට හැකි වෙයි.

අපේ සීමා හා අපේ අපහසුතා එළිපිටම ප්‍රකාශ කිරීමට හුරු වීමෙන් ද අනවශ්‍ය චිත්ත පීඩා හා ගැටලු අවම කර ගන්නට අපට හැකි වෙයි. අපේ සීමා අන්‍යයන්ට දැන ගන්නට සැලැස්වීම තරම්ම අන් අයගේ සීමාවන් හඳුනා ගැනීම ද වැදගත් ය. අපට මෙන්ම අන්‍යයන්ට ද කාලය සම්බන්ධ සීමා තිබේ. " ඔන්න, මට නම් පැයකට වඩා ඉන්න බැහැ. " පැහැදිලිවම ප්‍රකාශ කිරීම නිරවුල් තීන්දුවක් ලබා දෙන්නකි. තමාගේ හැකියාව පිළිබඳ සීමාව පැහැදිලි කරන්නට ද යමකුට හැකි විය යුතුය. " ඔය වැඩේ නම් මට බැහැ" යි කියන්නට බැරි මොහොතක දී අපට හැකි විය යුතුය. මේ ආකාරයෙන් චිත්තවේග, පෞද්ගලිකත්වය, කතාබහ , අදහස් දැක්වීම, මානසිකත්වය පමණක් නොව සමාජ මාධ්‍ය පාවිච්චි කිරීමේදී පවා එකිනෙකාට විශේෂ වූ සීමා තිබෙන්නට පුළුවන් බව අවබෝධ කර ගත යුතුම ය. 

සීමා පවත්වාගෙන යන්නට උපකාර වන තවත් මෙවලමක් වන්නේ නොහැකි හා අපහසු දේට " බැහැ " කියන්නට හුරු වීමය. එය ආත්මාර්ථකාමී වීමක් නොව, බැරි දේට බැරි යැයි කියන්නට නිර්භීත වීමය.

තමා වෙනුවෙන් ද කාලය වෙන් කර ගැනීම තවත් හොඳ උපක්‍රමයකි. එවිට ඉබේටම පාහේ අපේ සීමාව ලකුණු කරන්නක් ද වෙයි. මේ තරගකාරී සමාජය තුළ තමා ගැන කල්පනා කිරීම ආත්මාර්ථකාමීකමක් හෝ නිරර්ථක ක්‍රියාවක් නොවේ. තමා වෙනුවෙන් ද කාලය වෙන්කර ගැනීම කායික හා මානසික සෞඛ්‍යය කෙරේ සෘජුවම බලපාන්නකි.

මේ කාරිය ආරම්භ කිරීමට ඇති හොඳ උපක්‍රමයක් වන්නේ තමාටම කාලයක් වෙන්කර ගැනීමය. එය සතියකට පැය දෙකක උපරිමයකට යටත් කිරීම ප්‍රමාණවත්ය. එය කිසිවකුගේත් බලපෑමකින් තොරව තමාගේ නිදහස වෙනුවෙන්ම පමණක් යොදා ගන්නට ද වග බලා ගත යුතුය.

තමාටත් අන් අයටත් අගතියක් සිදු නොවන පරිදි සීමා පවත්වාගෙන යෑම කලාවකි; කුසලතාවකි. එය හුරු වන්නට වෑයම් කරන තරමට වඩා පහසු වෙයි. එහෙත් නැවතත් මතක් කළ යුතු කාරණය වන්නේ එය ආත්මාර්ථකාමී මඟකට වැටීමක් නොව ඔබේ අපේ නිදහස වෙනුවෙන් සියල්ල සමබරව පවත්වාගෙන යෑමට උපකාර වන යහපත් තෝරාගැනීමක් පමණක් වන බවය.

Comments