පොකාරා සිහිනය! | සිළුමිණ

පොකාරා සිහිනය!

දෑසනම ඉස්තෝප්පුවේ හාන්සි පුටුවට වී පත්තර කියවන විටත් මට නින්ද යයි. ඇතැම්විට අපූරු සිහින පෙනෙයි. බොහෝ විට එම සිහිනවලට පාදක වන්නේ අතීත සිදුවීම් ය. අතීතස්මරණය වින්දනීය ක්‍රියාවලියක් වුව අතීතයේ ගැලී ජීවත්වීම මානසික රෝගයක් හැටියට සැලකේ. වයස්ගතවූවෝ බෙහෙවින් එම රෝගයට ගොදුරු වෙති. මම ද අවුරුදු හැට ඉක්මවූවකු බව පමණක් ඔබට කියනු කැමැත්තෙමි.

මීට ස්වල්ප මොහොතකට පෙර ද සිහින වැලක් දිටිමි. එහෙත් ඒවා නැවත පෙළගැස්වීම හෝ එකිනෙක සිදුවීම් කේවල වශයෙන් ගෙන විග්‍රහ කිරීම හෝ අතිශය දුෂ්කරය. එක අතෙකින් ඒවාට හේතු ඵල සම්බන්ධයක් නැත. තව අතෙකින් ඒවා යථානුරූපී නොවේ. මේ අනුව සිහිනවලට මූලික පදනම ඇති කළ එක්තරා කතාන්දරයක් ඔබ හමුවේ තැබීමට අදහස් කරමි.

මේ කතාවේ පසුබිම ලෙස ගත හැක්කේ නේපාලයේ කත්මණ්ඩු නුවර, පොකාරා සංචාරක සංකීර්ණය, කත්මන්ඩු සිට පොකාරා තෙක් දිවෙන අධිවේගී මාර්ගය හා අන්නපුණ්ණා හෝටලයයි. කතාවේ එකම හා දැවැන්ත චරිතය වන්නේ කල්පනී චෞද්රී නම් හුරුබුහුටි නේපාල තරුණියයි. තරුණිය යැයි කියූවද ඇගේ වයස අවුරුදු තිස් එකකි.

කල්පනී චෞද්රිගේ විලාසය කිවහොත්, ඇය උසත් නැත. මිටිත් නැත. මහතත් නැත, කෙට්ටුත් නැත. ඇයට හිමිවූයේ කුඩා හැඩකාර සිරුරකි. ස්ත්‍රී ලාලිත්‍යයේ හැම ලකුණක්ම එහි මනාව සටහන් වී තිබිණි. සිංහල කාන්තාවන්ගේ තලෙළු පැහැයත් සුදු පැහැයත් අතර අමුතු දීප්තිමත් ඡවි වර්ණයක් ඇයට තිබිණි. තරමක් බොකුටු කොණ්ඩය නිරෝගී ලෙස පැවැතිණි. දෑස කුඩාය. ඇහි බැම පිහිටියේ කුඩා රේඛාවක් හැටියටය. නාසය කෙටි මුත් එය මනා හැඩයකින් යුතුවිය. ඕනෑම ස්ත්‍රී සමූහයක් මැද වුව ඇය හොඳින් හඳුනාගත හැකිය.

චෞද්රී මට හමුවූයේ නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති සංචාරක ප්‍රවර්ධන වැඩමුළුවකදීය. ඒ සඳහා විවිධ ආසියාතික රටවලින් නියෝජිතයෝ විසිපහක් සහභාගී වූහ. සංවිධායකයෝ සහභාගීවූවන් කණ්ඩායම් පහකට බෙදා වැඩමුළු පවත්වාගෙන ගියහ. ඉන්දීය තරුණියෝ දෙදෙනෙක් ද, නේපාලයේ කල්පනී චෞද්රී ද, පාකිස්ථානයේ චොප්රා ද මගේ කණ්ඩායමට අයත් වූහ.

එය එක්තරා ආකාරයක සංසාරගත බැඳීමක් යැයි කියන්නට මගේ යටි සිත පෙලඹී සිටියේය. දින දහනමයක් වූ අපගේ නිල කාලය තුළ ඈ මගෙන් වෙන්වූයේ නින්ද සඳහා ගත කළ පැය කිහිපය පමණි. අපි එකිනෙකා කෙරෙහි මහත් සේ බැඳී සිටියෙමු. උදෑසන පාතරාසයෙන් ආරම්භ වන අපේ කතිකාව රාත්‍රියේ "ගුඩ් නයිට්!" කියන තෙක් ම එක එල්ලේ ගලා ගියේය. ඇතැම් විට මම ඇගෙන් නිශ්චිත හා ඍජු පිළිතුරු අපේක්ෂා කළෙමි.

"ඔයා බැඳලද?"

"තවම නෑ!"

"ඔයා ශ්‍රී ලංකාවට කැමැතිද?"

"අපොයි ඔව්! මං ලංකාවෙ කෙනෙක් හොයනවා!"

"ඒ මොකටද?"

"ආදරය කරන්ඩ ළමයෝ,ආදරය කරන්ඩ!"

ඇය මහ හඬින් සිනාසෙන්නට වූවා ය. සිනහව නිමවෙත්ම සීගිරිය ගැනත් අපේ වෙරළ තීරය ගැනත් මධ්‍යම කඳුකරයේ දිය ඇලි ගැනත් කියවන්නට පටන් ගත්තාය. ඇගේ ඉංග්‍රීසි උච්චාරණය එතරම් සතුටුදායක නොවූව ද ඕනෑම විෂයයක් ගැන කතා කිරීමට අවශ්‍ය වාග්කෝෂයක් ඇය ළඟ තිබිණි. ඇය මෙතෙක් කිසි දිනෙක ලංකාවට පැමිණ තිබුණේ නැති වුව රට ගැන හොඳ කියැවීමක් තිබිණි. චෞද්රි මට ගතින් සිතින් දෙකෙන්ම වඩාත් සමීප වූයේ පොකාරා ගමනේදීය. කත්මණ්ඩුවේ සිට පොකාරා වෙත ඇති දුර ප්‍රමාණය කි.මී. දෙසීයක් වුව ඒ සඳහා ගතවන කාලය පැය හතකට වැඩිය. නේපාලයේ අධිවේගී මාර්ගවලට පවා හොඳ නිමාවක් නැත. රථ මාර්ගයේ දුවන සුඛෝපභෝගී රථ පවා ඕනෑවට වඩා ගැස්සෙයි. වේගය සීමා කරයි. අපි දෙදෙනා එකම අසුනේ එකිනෙකාට ඇලීගෙන වාඩි වී සිටියෙමු. අපේ සාමාජිකයෝ ඒ වන විටත් "නිව් කපල්" යනුවෙන් අන්වර්ථ නාමයකින් අප හැඳින්වූහ. චෞද්රී එක දිගට කියවාගෙන යන අතර, කෙටි කාලයක් තුළදී නින්දට වැටෙයි. ඇය බසයේ සිට නිදාගත්තේ මගේ දකුණු උරය ප්‍රයෝජනයට ගනිමිනි. වරක් ඇගේ දෙතොල මගේ බෙල්ලේ ස්පර්ශ විය. එවිට ඈ වහා හිස ඔසවා නැඟී සිට “කනගාටුයි! සමාවෙන්න” කීවා ය. සන්සුන්ව ටික වේලාවක් සිටින ඇය නැවත එක දිගට කතා කිරීමටත් පසුව නිදාගැනීමටත් පටන් ගනී. හරියට එය චක්‍රයක් මෙනි. ඇතැම් විට එම චක්‍රය බිඳී ගියේ චෞද්රිගේ ප්‍රශ්න කිරීම් හමුවේය.

"යම් යම් දේවල් ඉබේ සිද්ධ වෙනව නේද?"

"ඒ කියන්නෙ!?"

"පැත්තකට ඇලවීම, නින්ද යෑම, සමහර වස්තු එකිනෙකට ගැටීම ඒවා ඉබේ වෙන්න පුළුවන්!"

"ඔය වගේ දේවල් හිතා මතා කරන්ඩත් පුළුවන්!"

"හ්ම්....හ්!"

චෞද්රි බසයේ කවුළුවෙන් ඈත බලාගෙන කට කොණකින් සිනාසෙනු දක්නට ලැබිණි. එවිට ඇගේ පෙනුම හැබෑවටම සුරතල්ය. තරුණියක කෙරෙහි සිත ඇදී යන්නට බලපාන ප්‍රධාන සාධකය ලස්සන නොවේ යැයි වරෙක මට සිතේ. ඒ වනවිට මගේ මුළු සිතිවිලි ලෝකය තුළ සරන හා රඟන එකම චරිතය චෞද්රී වූවා ය. මම ඇය වෙනුවෙන් බොහෝ සිහින දුටුවෙමි.

මම විවාහ ගිවිසගෙන සිටි අතර, එය නැවැත්විය හැකි උපාය මාර්ග සොයන්නට උත්සුක වීමි. කොහොමටත් එය යෝජිත විවාහයකි. පෙරළා ලංකාවට ගිය පසු ඊට අදාළ පැහැදිලි තීරණයක් ගත හැකි ය. අප දෙදෙනාට නේපාලයට එමින් යමින් ජීවිතයේ ඉතිරි කාලය සුන්දර ලෙස ගෙවා දැමිය හැකිය. ඇය ශ්‍රී ලංකාවට ආදරය කරන්නා සේම මම ද නේපාලයට ආදරය කරන්නෙමි. මම මුළුමනින්ම චෞද්රීට වශීකෘත ව සිටියෙමි. ඈ නැතත් ඇගේ සුවඳ හිතට දැනෙන තරමට බැඳීම දුර ගොස් තිබිණි.

පොකාරා සිට කත්මණ්ඩු දක්වා ආපසු එන ගමනේදී ගුර්කාවරුන් ගැන ද, ගුර්කා පිහි ගැන ද කරුණු ඇය මට කියා දුන්නාය. චෞද්රිගේ පාඩමට අනුව නියම ගුර්කාවරු පිහි දෙකක් භාවිත කරති. ඒවා පිරිසක් සමඟ සටන් කිරීම සඳහා යොදාගන්නා අතර, එදිනෙදා ජීවන කටයුතු සඳහා ද පාවිච්චි කෙරේ. ගුර්කා පිහි පිළිබඳ ඉතිහාස කතාව ක්‍රි.පූ. හත්වැනි සියවස දක්වා අතීතයට යන බව ඇයගේ මතය විය.

අවසන් දිනයේ අපට සහතික පත් ලබා දුන් අතර වෙන්වීමේ ශෝකය තදින් දැනෙන්නට විය. එකිනෙකා අතට අත දී සමුගන්නා අතර, මම ඇය වැලඳගෙන බොහෝ වේලාවක් නිසොල්මන්ව සිටියෙමි. ඇය එකවරම මගේ පිටට තට්ටු කළාය.

"එන්න, මම ඔයාට විශේෂ දෙයක් පෙන්වන්නම්!"

මම නිහඬව ඇය පසුපස ගියෙමි. අන්නපුණ්ණා හෝටලයේ ඉදිරිපස කොරිඩෝවක් වෙත ගිය ඇය ඈතින් නවතා ඇති නිල් පැහැති මෝටර් රථයක් ද, ඊට පිට දී හෝටලය දෙස බලා සිටින කඩවසම් තරුණයෙක් ද මට පෙන්වූවාය.

"ඒ මගේ එක්කෙනා! එහෙනම් මට යන්ඩ අවසර! දැන් ඉතින් බායි කියන්ඩ!"

මම "බායි!" කියන්නට උත්සාහ කළෙමි. හඬ පිටවන්නේ නැත. හැකි වෙර යොදා "බායි!" කියා කෑගැසුවෙමි. එවර හඬ පිට වී ඇත.

"තනියෙන් කතා කරන එක පිස්සුවක්! මහත්තයට නම් හොඳටම පිස්සු!"

මගේ බිරිය තේ කෝප්පයක් ද රැගෙන විත් ඉස්තෝප්පුවේ සිට කියා සිටින්නීය. මම හිස වනා එය අනුමත කළෙමි.

Comments