ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් පවත්වන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ඉකුත් සැප්තැම්බර් 1 වැනිදා පැවැති අතර, මෙවර එය පැවැත්වුණේ 13 වැනි වරටය. සම්මානලාභීන්ගේ සම්මානිත කෘති පිළිබඳ කතුවරයන් දැක්වූ අදහස් මෙසේය.
ශාස්ත්‍රීය කෘති සම්බන්ධයෙන් ද සම්මාන ප්‍රදානය කිරීම විශේෂත්වයක් - ආචාර්ය හංසමාලා රිටිගහපොල සංවිධායිකා
විද්‍යෝදය සම්මාන ප්‍රදානය
විද්‍යෝදය සම්මාන ප්‍රදානය මුලින්ම පැවැත් වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය මඟිනුයි.
නමුත් දැන් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය ඒකාබද්ධව මෙම කටයුත්ත සිදු කෙරෙනවා.
ඒ නිසා පුළුල් විෂය ධාරාවක් යටතේ කටයුතු සිදුවන අතර, එහි ප්‍රතිඵලයක් හැටියට ශාස්ත්‍රීය කෘති සම්බන්ධයෙන් සම්මාන ප්‍රදානය කිරීමට ද කටයුතු කර තිබීම විශේෂත්වයක්.
කෙසේ වුවත් සම්මාන ප්‍රදානය කෙරෙන්නේ අප වෙත ලබා දුන් කෘති විනිශ්චයට ලක් කිරීමෙන් වන අතර විනිශ්චය සම්බන්ධයෙන් කෙටි සමාලෝචනයක් ඉදිරිපත් කොට ඒ විනිශ්චයන් වෙනුවෙන් අප පෙනී සිටිනවා. මෙවරත් කටයුතු සංවිධානය කිරීමේදී අපට විශේෂයෙන්ම සහාය වූ පීඨාධිපතිතුමන් වන මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මෙන්ම මහාචාර්ය පනහමුවෙ යසස්සි හිමි, ආචාර්ය සම්පත් පුෂ්ප කුමාර, මහාචාර්ය කුසුමලතා ලංකාමුල්ල, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර යන විද්වතුන් ද මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි.
සම්මානිත ගේය පද සංග්‍රහය - ගේය පද රචනාවේ කලාත්මක බව රැකෙන්නේ එහි පෙර නොදුටු විරූ අපූර්ව බව තුළයි
කෘතිය - පමාවී පිපුණු මල් සුවඳයි කර්තෘ - වසන්ත කුමාර කොබවක
“මගේ නිර්මාණයේ තිඹිරි ගෙදර මගේ ගෙදරයි” යනුවෙන් තමාගේ නිර්මාණ මූලය ගැන කතාකරන වසන්ත කුමාර කොබවක සිය නිර්මාණ ක්ෂේත්‍රයේ ස්වර්ණමය ආරම්භයක් හැටියට 70 දශකයේ ආරම්භය දකියි. ජාතික ගුවන්විදුලියේ ස්වර්ණමය යුගය ද එය වීම ඔහුගේ ගීත කලාවේ සාර්ථකත්වයට දායකත්වයක් වූ බව ද ඔහු පවසයි. ප්‍රධාන පෙළේ මාධ්‍යයකට අදහස් දක්වමින් සිය නිර්මාණකරනයේ හැඩ ගැසීම ගැන තවදුරටත් ඔහු පවසා ඇත්තේ මෙසේ ය. “බොහෝ දෙනා දරන මතයක්, කලාත්මක ගී නිර්මාණයක් සඳහා මටසිලිටි වදන් රාගාශ්‍රිත තනු සහ ඉතා ලයාන්විත සන්සුන් ඉරියව්වෙන් ගැයිය හැකි සමාධිගත වන ආකාරයේ ගායනා පැවතිය යුතුයි යන්න. එය උත්තරීතර භාරතීය සංගීතය ඇසුරේ ආ සිතුවිලි පරම්පරාවට අයත් දෙයක්. නමුත් අප ජීවත් වන රට ආදීවාසින් ඇතුළු විවිධ කලාපීය ජන කොටස්වල එකතුවෙන් ජනශ්‍රැතිය පෝෂණය වෙමින්ද, බෞද්ධ හැදියාව මගින් ආජීවය පුරුදු වෙමින්ද, පරදේශක්කාරයන්ගේ ආක්‍රමණ නිසා සංස්කෘතිකමය බලපෑම්වලට නතුවෙමින්ද, ගෝලීයකරණය හා නාගරීකරණය නිසා ගමෙන් නගරයට, නගරයෙන් විදේශයට සංක්‍රමණය වෙමින්ද වරින්වර වෙනස් වූ සමාජ ස්ථර සහිතව පවතින්නක්. ඉතින් ගේය පද රචනාවට වස්තු විෂය තෝරා ගැනීමේදී අප සෑමවිටම මටසිලිටි වදන් භාවිතයේම සිටිය යුතු යැයි මා සිතන්නේ නැහැ. ඒ පරිසරයට උචිත වදන් මාලාවක් අපි උපයා සපයා ගත යුතුයි. කලාත්මක බව රැකෙන්නේ එහි පෙර නොදුටු විරූ අපූර්ව බව සහ සපයන විලාසය අනුවයි.
මා ගම සහ ජනශ්‍රැතිය ඇසුරෙන් ලියූ ගීත වගේම දුප්පත් නාගරික දිවියේ අනුසාරයේ ලියූ ගීත තිබෙනවා.
එනමුත් ජනශ්‍රැතිය ඇසුරේ ජනගීයේ ගැමියන්ගේ ජනකතා සිද්ධි ගවේෂණයෙන් ලබන පන්නරයෙන් බිහිවූ ගීත තුළ ප්‍රබල කතාවක් තිබෙනවා. මිනිසා නගරයේ හිටියත්, මහල් නිවාසයේ හිටියත්, තරු පහේ හෝටලයක හිටියත් ඉඩ ලැබුණු වෙලාවට ගමට, ප්‍රත්‍යන්ත ප්‍රදේශවලට සංචාරයේ යෙදෙනවා වගේම තමයි එය.” ඔහු සිය නිර්මාණ පසුබිම ගැන එසේ පවසා ඇත.
සම්මානිත නවකතාව - ප්‍රේමානිශංස මට පූර්ණ ආස්වාදයක් දුන් නිර්මාණ රතියක්
කෘතිය - ප්‍රේමානිශංස කර්තෘ - චන්ද්‍රරත්න බණ්ඩාර
“නවකතාව නම් කලා ශානරය මනුෂ්‍ය වර්ගයා වෙත බලපාන ආකාරය ගැන මට තියෙන්නෙ යම් වියුක්ත අදහසක්. එය පළමුව සෞන්දර්යයම කටයුත්තක්. මේ සෞන්දර්යය කටයුත්තට භාෂාව හා ශෛලියය යන දෙකරුණ වඩාත් මුල් වෙනවා. මට අනුව මම යන කේන්ද්‍රිය චරිතය මා විසින් නිමවන චරිත එකකට හෝ වැඩි ගණනකට ආවේෂ නොවී සාර්ථක නවකතාවක් නිමකළ නොහැකියි.”
ප්‍රේමානිශංස නම් සිය නවකතාව ගැන එසේ පවසන චන්ද්‍රරත්න බණ්ඩාර සිය අදහස් දැක්වීම තවදුරටත් කරගෙන ගියේ මෙසේය. “එසේ නොවූ මගේ නවකතා (උදා විමන් දොරකඩ) අසාර්ථක වුණා. ‘ප්‍රේමානිශංස’ යනු මගේ වියපත් වීමට සාපේක්ෂව ලැබුණු ලෝකාවබෝධය අනුසාරයෙන් වත්මන් තාරුණ්‍යය විමසීමක් විදිහට තනි අදහසකට ගන්න පුළුවන්. නිදහස් අධ්‍යාපනයේ සාරාර්ථයන් විකෘති කළ 56 පෙරළියෙන් පසු උපන් අපේ පරම්පරාව තමයි එහි කටුක ඵල විපාකවලට වැඩියෙන්ම මුහුණ දුන්නේ. නමුත් සම්භාව්‍ය වාමාංශික දේශපාලනයේ (පැරණි වාමාංශය) නිරත වීම නිසා 56 ව්‍යාපෘතියේ හිර නොවී ලෝකය වෙනත් විදිහකට සංජානනය කරගන්න මට පුළුවන් වුණා.”
“ප්‍රේමානිශංස සඳහා මා හට විෂය වූ චරිත, සම්භාෂණ, සමාජ දේශපාලන පර්යේෂණ හා දෙස් විදෙස් කලා කෘති බොහෝ ගණනක් තිබුණා. මේ සියල්ල සමඟ වසර පහකට වැඩි කාලයක් ස්පර්ශය විඳිමින් කලලය නිර්මාණය කර ගත්තා. ඒ කලලය දරුවෙක් දක්වා විකාශනය වූයේ මවක් හා කලලයක් දරුවෙක් දක්වා වැඩෙන සම්බන්ධයක් වගේ. ප්‍රේමානිශංස යනු මට පූර්ණ ආස්වාදයක් දුන් නිර්මාණ රතියක් යයි කියන්න පුළුවන්.
ප්‍රේමානිශංස ලිවීම පමණක් නොව ඒ සමඟ ජීවත් වීම මට කිව නොහැකි ප්‍රහර්ශයක් ගෙන දෙනවා.”
සම්මානිත කෙටිකථා සංග්‍රහය කෘතිය - ජාත්‍යන්තර පාපෝච්චාරණය කර්තෘ - එරික් ඉලයප්ආරච්චි - සමාජ ව්‍යසනයේ විවිධ පැතිකඩ ඉතා සැලකිල්ලකින් හා නිපු තාවකින් යුතුව කළ සිතුවමක්
නූතන ජීවිතයේ නොයෙකුත් අලුත් මුහුණුවර කලාත්මක තීව්රතාවකින් යුතුව නිර්මාණයට පසුබිම් කර ගන්නා ලේඛකයකු ලෙස එරික් ඉලයප්ආරච්චිගේ මෙම කෙටිකථා සංග්‍රහය විශේෂයෙන්ම අද අප රට මුහුණ දී සිටින අර්බුදය සහ ඉන් පළ කරනු ලබන මානසිකත්වය ඔහුට ආවේණික පරිකල්පනයකින් යුතුව පිළිබිඹු කරන බව පැහැදිලිය.
මෙහි එන උධෘතයක් වන වෝල්ටෙයාර්ගේ දර්ශනවාදී ශබ්දකෝෂයෙන් උපුටා ගන්නා “මිනිස් වැරදිවල එකතුවට වැඩිමනත් අදහස් ඉතිහාසයක් අපට නැත” යන යෙදුමෙන් ද පැහැදිලි වන්නේ වර්තමාන ජීවිතය සහ මෑත අතීතය තුළ සිදු වුණු සමාජ වැරදි හා අපරාධ, සාවද්‍ය දේවල්, පීලි පැනීම්, මර උගුල්, ලාංකික මිනිසුන්ගේ ජීවිත වින්දනය අහුරන ලද දේවල් තේමාව කර ගත් කෙටිකථාවලින් මේ කතා සංග්‍රහය සමන්විත වී තිබෙන බවය. ඒ අනුව මේ කෙටිකථා සංග්‍රහයේ ඇතුළත් කථා දහය ඩෙකමරන්ගේ ‘දස දවස’ මෙන් බොහෝ දුරට සමාජ ව්‍යසනයේ විවිධ පැතිකඩ ඉමහත් සැලකිල්ලකින් හා නිපුණතාවකින් යුතුව සිතුවම් කර ඇති බවක් පෙනී යයි. අවසානයේදී ඒ කථාවල අරමුණ වී තිබෙන්නේ ඉතාමත් ඉහළ අංශකයක සමාජ දේශපාලන සත්‍යයයි.
සම්මානිත කාව්‍ය සංග්‍රහය මේ බිමේ ඉන්නා බහුතරයක් ආදරය බෙදන්නන් බව තහවුරු කළ නිර්මාණයක්
කෘතිය - ගිනි වැදුණු පියාපත් කර්තෘ - සඳරැසි සුදුසිංහ
කෘතිය ගැන අදහස් දක්වමින් කතුවරිය මෙසේ කියන්නීය,“මගේ උපතට වසර කීපයකට පෙර සිදුවුණු මහා ඛේදවාචකයක් වූ යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීම මට මෙන්ම දකුණේ වූ මිනිසුන්ගේද හද පෑරු සිදුවීමක් විය. මේ රටේම උපන් මේ උරුම කරුවන් වූ ද්‍රවිඩ ජනතාව ට රිදවිය හැකි උපරිම තුරුම්පුවක් ලෙස මේ මහා අපරාධය සිදුකරන්නට ඇත. ඒ කවදාකවත් සමාවක් දිය නොහැකි සමාවක් අයැදිය නොහැකි වරදකි.
ඒ දුක පිටකරන්නට කවිය මාධ්‍යයක් කරගත් අතර එය ‘ගිනි වැදුණු පියාපත්’ ලෙස සමාජය වෙත පියඹා යන්නට විය.
මට අවැසි වූවේ උතුරේත් දකුණේත් ඉන්නේ එකම මනුස්ස කොට්ඨාසයක් වග නැවත ජාතිවාදී අසත්පුරුෂ මිනිසුන්ට මතක් කරදෙන්නට පමණක් නොව අපේ රට අත්විඳි තිස් වසරක යුද්ධයට හේතු සාධක වූ මේ වැනි අපරාධ යළිත් මේ ලොව සිදු නොවිය යුත්තක් බව මතක්කර දෙන්නටය.
ඒ සඳහා මට තොරතුරු සොයන්නට සාක්ෂි සොයා යන්නට සිදුවිය. පර්යේෂණ ක්‍රියාවලියකට මම මටත් නොදැනීම ඇදී ගොස් තිබිණ. ඒ සියල්ල මම සෑහීමකට පත්වන තෙක් සිදු කළෙමි.
ඇතැම් කරුණු ඒ ඔස්සේ නිවැරදි කරගතිමි.
මා සමඟ මේ නිර්මාණ වෙනුවෙන් හුන් මගේ ගුරුතුමා වන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිරතුරුවම මට අමතක තැන් වෙත මාව තල්ලු කරමින් ඒ තැන් මතක් කර ගන්නට අවස්ථාව උදා කළේය. එසේම මේ නිර්මාණය හරහා මම සැබවින්ම ලෝකයට ආදරය කරන මිනිසුන් කොපමණ මා වටා ඇද්ද යන්නත් මා සොයා එනවාද යන්නත් තේරුම් ගත්තෙමි. අවසන බහුතරයක් මේ බිමේ ඉන්නේ ආදරය බෙදන්නන් බව තහවුරු කරගතිමි.”
සම්මානිත තීරු ලිපි සංග්‍රහය - පරිසරයට, මවුබිමට ඇති ආදරය උතුරා යන සටහන් එකතුවක්
කෘතිය - වන්නිගේ කොලම කර්තෘ - නයනසේන වන්නිනායක
“තීරු ලිපියක් කියවනවිට අකුරු ‘ඉස්පොල්ලේ’ යයි නම් ඒ මා විඳින්නට කැමති රසයයි. ඇත්තේ ‘සිරා’ගෙනුත්, චන්ද්‍රා අනගිරත්න, සුනිල් මාධව, දයාසේන ගුණසිංහ, මානි, පනාපුත්‍ර කූඹිපැණියා (Jack son ant honey) සහ අශෝක හඳගමගෙනුත් ඒ රසය මම විඳ ඇත්තෙමි.”
මේ, සිය තීරු ලිපි සංග්‍රහය හඳුන්වා දෙමින් රචකයා ලියා ඇති සටහනෙන් කොටසකි. විවිධ මාතෘකා ඔස්සේ සිය බස හසුරුවන කතුවරයාගේ ස්වාධීන චින්තන ධාරාව පාඨකයාගේ සිතුවිලි ද අවදි කරවමින් නිදහසේ ගලා යයි. අභාවප්‍රාප්ත නයනසේන වන්නිනායකගේ ‘වන්නිගේ කොලම’ තීරු ලිපි සංග්‍රහය ගැන එසේ පවසන්නේ ඔහු සහ ඔහුගේ නිර්මාණකරණය ගැන සමීප හැදෑරීමක් ඇති වසන්තා කේ. මිහිඳුකුලසූරියයි. ඇය තවදුරටත් මෙසේ ද පවසන්නීය.
පරිසරයට, මවුබිමට ඇති ආදරය බොහෝ ලිපිවලින් උතුරා යන අතර, අපේ පැරණි සාහිත්‍යය මෙන්ම විශ්ව සාහිත්‍ය ඇසුර ද ඔහුගේ ලේඛනය අර්ථවත් කරයි. “නාරී රූ” ලෙස නම් කර ඇති තීරු ලිපියක තමා දකින නාරි රූ ඔහු මෙසේ සිහිපත් කරයි.
“ලෝකයේ උසම ගොඩනැඟිල්ල වූ කලීෆා ටවර් ඇතුළු ලෝක වාර්තා පිට වාර්තා තබන බොහෝ ආශ්චර්යමත් දේ ඩුබායි නගරයට එන කෙනෙකුට දකින්න පුළුවන්. ලොව වඩාත්ම සුන්දරම ළඳුන් ගැවසෙන්නෙත් මෙහේද කියාත් මට හිතුණ වාර අනන්තය.” ඒ සමඟම 14 වැනි සියවසේ ලියැවුණු ඉපැරණි සාහිත්‍ය කෘතියක් වන සද්ධර්මාලංකාරයෙහි සාලිය - අශෝක මාලා ආදර අන්දරය අරඹමින් ලියැවුණු අපූරු නාරි වර්ණනාවන් ද උපුටා දක්වයි.
සිය හෘදය සාක්ෂියට අවනතව අකුරු කළ නයනසේන වන්නිනායක, කිසිවකුටත් ගැති නොවී නිර්භයව අදහස් ප්‍රකාශ කළ ලේඛකයෙකි. “අපි ලියන්නේ කාටද?” යැයි ප්‍රශ්න කෙරෙන ලිපියක ඔහු මෙසේ ලියයි.
“පැරණි අරාබි ලෝකයේ ඉරාන ජාතික ඔමාර් ඛය්යාම්, අකුරින් හපන්කම් පෑ ශ්‍රේෂ්ඨ කවියකු, දාර්ශනිකයකු හා ගණිතඥයකු හැටියට සැලකෙයි. ඔහු ද සේවය කළේ රජ පැළැන්තියටම වන අතර බටහිර ලෝකයේ පවා උසස් යැයි සැලකෙන ‘රුබයිය්යාට්‘ මහා කාව්‍යය ඇතුළු ඔහුගේ නිර්මාණවලින් පැවසෙන්නේ ස්ත්‍රිය, මධුවිත පෙරටු කරගත් කාම සුඛල්ලිකානු ජීවන දර්ශනයි. එවකට ද මහා මන්දිරවල වහල් සේවයේ යෙදුණු හා වාලුකා කාන්තාරයේ අහිගුණ්ඨිකයන් හා එඬේරුන් ලෙස තවලම් යමින් මැරි මැරී දුක් විඳි අනන්ත ජනතාව ගැන කියූ ‘ඛයියාම්’ ලා ගැන අප අසා නොමැත.
සම්මානිත ශාස්ත්‍රීය පර්යේෂණ කෘතිය - ජනකවිය සම්බන්ධයෙන් පවතින සාවද්‍ය අදහස් නිවැරැදි කර ගැනීම මගේ ප්‍රයත්නයයි
කෘතිය - සිංහල ජන ගායනා ශෛලී කර්තෘ - ආචාර්ය සමන් පනාපිටිය
“අපි පාසල් යන කාලයේ සිටම ජන කවිය ගැන ඉගෙන ගන්නවා. පැල් කවි, නෙළුම් කවි, කරත්ත කවි වශයෙන් මේවා වර්ග කරනවා. නමුත් මෙය නිවැරැදි ද? මකුලොළුව මහතා පවා මේ වර්ගීකරණයට දායක වෙලා තියෙනවා. නමුත් සාහිත්‍යමය වශයෙන් සිදු කරන මෙම වර්ග කිරීම සාධාරණ නැහැ.”
“ජනකවි යනු සාහිත්‍යමය නොව නාදමාලා අන්තර්ගතයක් සහිත ගායනා විශේෂයක්. එනිසා එය වර්ග කළ හැක්කේ නාදමාලා අනුවයි. යසෝධරා වතේ කවි හැමතැනම තියෙනවා. පන්සලට ගියාම නිතර ඇහෙන යසෝධරා වතේ කවි ගායනා ගැමි ලියන් නෙළුම් කවි විදිහටත් ගයනවා. හැබැයි එතැනදී එහි නාද රටාව නෙළුම් කවි ආරයට වෙනස් වෙනවා. එතකොට අපි අර සාහිත්‍යමය වශයෙන් කරන බෙදීම නිවැරැදි ද? මේ කවි ගායනා දෙක වෙනස් වෙලා තියෙන්නේ රිද්මයෙන් විතරයි. ජනකවි ගැමියන් විසින් ගායනා කරපු කවි විශේෂයක් විදිහටයි සැලකෙන්නේ. නමුත් ඒක වැරදියි. - කළගෙඩි මාලය - මහනුවර යුගයේදී ලියවුණු ජනකවි සංග්‍රහයක්.
ඒක සාහිත්‍ය කෘතියක්. ඒ අනුව ජනකවි සාහිත්‍යමය කෘති වශයෙන් ද පළවී තිබෙනවා. කළගෙඩි මාලයේ එන කවියක් පාසල් පොත්වල පවා සටහන් වී තිබෙන්නේ - නොබිඳින් නෑනෝ මගේ කළේයා. - කියළයි. නමුත් එහි නොබිඳින් යන වචනය වැරදියි. එහි සැබෑ වචනය නොපිබින් යන්නයි. මේ වගේ වැරදි ව්‍යවහාර අප අතර තියෙනවා විතරක් නොවෙයි පාසල් පොත් පත්වලත් තියෙනවා.”
අනිත් එක තමයි ජනකවි නූගතුන්ගේ කවි ගායනා හැටියට සැලකීම. ගැමි ජනතාවට තියෙන ජීවිතාවබෝධය උගතුන් කියන අය අතරවත් නැති අවස්ථා තියෙනවා. ජනකවි ගැන කරන විශ්ලේෂණයකදී අපට දකින්න පුළුවන් ඒවා මනා සැලසුමක් සහිතව නිර්මාණය වෙලා තියෙනවා කියන කාරණය. මම මේ ශාස්ත්‍රීය කෘතියෙන් උත්සාහ කළේ ජනකවිය සම්බන්ධයෙන් පවතින මෙවැනි සාවද්‍ය තත්ත්ව නිවැරැදි කර ගැනීමටයි. ” ඔහු වැඩිදුරටත් එසේ ද කීවේය.