හිතයි ගතයි නිරෝගී කරන ආවේග සමබර කරන උපක්‍රම | සිළුමිණ

හිතයි ගතයි නිරෝගී කරන ආවේග සමබර කරන උපක්‍රම

- චිත්තවේගික සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා හොඳ නින්දක්, පෝෂණය සහ ව්‍යායාම සමඟ සමබරව පවත්වාගෙන යා යුතුය
- චිත්තවේගික සෞඛ්‍යය යනු මානසික සෞඛ්‍යයම නොව එහි එක්තරා ප්‍රධාන කොටසකි

මොකද ඔයා ඔහොම ඉන්නෙ අද ? " ඈ ඇසුවාය.

" කොහොමද ? "

" ඔහොම, ඔය මූණ එල්ලාගෙන. මොකක් හරි ප්‍රශ්නයක් ද, එහෙමත් නැත්නම් අසනීපයක්ද? " 

" නැහැ, මට ඇති ප්‍රශ්නෙකුත් නෑ අසනීපෙකුත් නෑ. " මම උත්තර දන්නේ නොසන්සුන් හා නොසතුටු ස්වරයෙනි. සැබැවින්ම යම් ශාරීරික අපහසුවක් හෝ ඒ හැටි හිතන්නට හෝ පැහැදිලි කාරණාවක් නොවූවද මා සිටියේ යම් අතෘප්තිකර ස්වභාවයකිනි.

එසේ වන්නට පුළුවන්ද? ඔව්, සමහරවිට ! ඒ කුමක්දැයි කීම දෙවැනි තැනට තල්ලු කර ඊට කලින් සෞඛ්‍යය ගැන ඇබින්දක් කතා කිරීම වටී. ශාරීරික හා මානසික සෞඛ්‍යය විවිධාකාර අනු කොටස්වලට බෙදෙන බව අපි දනිමු. මෙහිදී අප අසා තිබෙන්නේ බොහෝ සෞඛ්‍ය ගැටලුවල මූලය මානසික සෞඛ්‍යය මත රඳා තිබෙන බවයි. මානසික සෞඛ්‍යය යනු ගැටලු හෝ ප්‍රශ්නවලින් තොර වීම ද ? නැත, එය ඊට වඩා පුළුල් වපසරියකින් යුතු එකකි. එය සමාජයීය, මානසික හා චිත්තවේගික යන තුන් කොටසේ පුළුල් එකතුවකි. දැන් ඔන්න අපට ඒ වචනය ලැබී තිබේ. එනම් " චිත්තවේගික සෞඛ්‍යය " යි.

චිත්තවේග යනු මොනවාද ? එය ඒ සා පහසුවෙන් උත්තර දෙන්නට හැකි පැනයක් නොවන්නේ ඒවා සංකීර්ණ මානසික තත්ත්ව වශයෙන් හඳුනා ගන්නා බැවිනි. තවත් ලෙසකින් පවසතොත්, යම් පුද්ගලයකු තුළ අභ්‍යන්තර හා බාහිර වශයෙන් මානසිකව ඇති කරන හදිසි ප්‍රතිචාර තත්ත්ව මෙකී චිත්තවේග ලෙස හඳුන්වා දෙන්නට පුළුවන. ඊට එක් උදාහරණයක් වශයෙන් බිය නැමැති චිත්තවේගය පෙන්වා දිය හැකිය. අවාසනාවකට මෙන් එය අපි ඒ හැටි පැහැදිලිව හඳුනා ගන්නා තත්ත්වයක් නොවේ.

බොහෝ දෙනා කල්පනා කරන්නේ චිත්තවේගික සෞඛ්‍යය යනු මානසික සෞඛ්‍යයම බවයි. එය සැබවින්ම ඇත්තක් නොවේ. එහෙත් චිත්තවේගික සෞඛ්‍යය මානසික සෞඛ්‍යයේ එක්තරා ප්‍රධාන කොටසක් බව පැවසිය යුතුය. මානසික සෞඛ්‍යය ආරය හෝ පරිසරය හෝ නිසා සිදුවන බලපෑම්වල ප්‍රතිඵලයකි.

චිත්තවේගික සෞඛ්‍යය ඊට හාත්පසින් වෙනස් ය.

එය මුළුමනින්ම රඳා පවතින්නේ අප යම් චිත්තවේගයක් (එනම් භාවයක්) තේරුම් ගන්නා හෝ අත්විඳින හෝ ආකාරය මතය. එමෙන්ම චිත්තාභ්‍යන්තරයෙහි ඒ සම්බන්ධයෙන් කෙරෙන ප්‍රතික්‍රියා ස්වරූපය මතය. මානසික සෞඛ්‍ය හා චිත්තවේග සෞඛ්‍යය දෙකක් වුවද බොහෝ අවස්ථාවලදී එක පිට එක වැටේ. උදාහරණ වශයෙන් හොඳ චිත්තවේගික සෞඛ්‍යයක් ශක්තිමත් මානසික සෞඛ්‍යයකට දක්වන්නේ ප්‍රබල දායකත්වයකි.

චිත්තවේග සෞඛ්‍යය වඩා හොඳ අතට හරවා ගැනීම සඳහා යම් වැඩපිළිවෙළක් හෝ ව්‍යායාම මාලාවක් හෝ තිබේදැයි බොහෝ දෙනා විමසනු ඇත. ඔව්, එහෙත් ඒවා එක රැයෙන් ප්‍රතිඵල පෙන්වන්නේ නොවේ. කාලයක් තිස්සේ මනා පාලනයකින් හා කැපවීමකින් යුතුව ඒ කටයුතු කිරීමේදී එහි ප්‍රතිඵලයක් වශයෙන් චිත්තවේග සමබරතාව හා චිත්තවේග සෞඛ්‍යය යම් පුද්ගලයකු තුළ පැලපදියම් වේ. මෙහිදී දකින්නට ලැබෙන විශේෂම කාරණය නම්, ඉතා පහසු මේ ඇතැම් ක්‍රියාකාරකම් නොදැනුවත්වම පාහේ අපේ චිත්තවේගික සෞඛ්‍යය ඉහළ නංවන්නට සමත් වීමයි.

චිත්තවේගික සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා වඩාත් වැදගත්ම මෙන්ම අත්‍යවශ්‍ය සාධකවලින් එකක් ලෙස සැලකෙන්නේ නිසි හා ප්‍රමාණවත් නින්දයි. මෙහිදී නින්ද පමණක් ප්‍රමාණවත් නොවන අතර, එය පෝෂණය හා ව්‍යායාම යන දෙක සමඟ සමබරව පවත්වාගෙන යා යුතුය. මේ තුනෙන් එකක් හෝ නියමිත හා අපේක්ෂිත මට්ටමට ළඟා නොවන කල්හි ඇතිවන්නේ අසමබරබවකි. ශාරීරික මානසික මෙන්ම චිත්තවේග සෞඛ්‍යය කෙරෙහි ද සෞඛ්‍යය කෙරෙහි ද දැඩිව බලපාන්නකි.

නින්ද අපට යථාවත් වීම සඳහා උපකාර වන්නකි. නිසි හා ප්‍රමාණවත් නින්දක් නොලැබුණහොත් අපට සිදු වන්නේ නිසි යථාවත් වීමකින් තොරව එදිනෙදා ජීවිතයේ අපට හමුවන සිදුවන අවස්ථාවලට මුහුණ දෙන්නටය. මේ අවස්ථා සැමවිටම සුබදායි ඒවා නොවේ. බොහෝ පීඩාකාරී මෙන්ම ගැටලු සහගත අවස්ථාවලට අපි එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්නෙමු. හැඟීම්වලට එකී චිත්තවේගවලට අපට නිසි ප්‍රතිචාර දක්වන්නට හැක්කේ අර කී විවේකයක් සමඟිනි. ප්‍රමාණවත් නින්දක් නොලැබුණු විට ඒ සියල්ල නරක අතට හැරෙන්නට ඉඩ ඇත.

ව්‍යායාම ඇත්තේ ශරීරයට පමණද ? මනසට ව්‍යායාම නැත්තේදැයි යමෙකු අසන්නට පුළුවන. බොහෝ විට ව්‍යායාම කී සැණින් අපට සිහිවන්නේ ශාරීරික ව්‍යායාමයි. එහෙත් අප වටහා ගත යුතු දේ වන්නේ මේ බොහෝ ශාරීරික ව්‍යායාම සෘජුව හා වක්‍රව අවසානයේ මානසික හා චිත්තවේගී සෞඛ්‍යය ඉහළ නංවන්නට හේතුවන බවය. අප ව්‍යායාමයක් කරද්දී සිදු වන්නේ මොළයත් ශරීරයත් එකට එකතුව ක්‍රියාදාමයක යෙදීමය. මෙහිදී සාමාන්‍යයෙන් පැවසෙන්නේ ව්‍යායාම කැමැත්තෙන් හා සතුටු සිතින් යුතුව කළ යුතු බවයි. මන්ද යම් ව්‍යායාමයක් අවසානයේදී ශාරීරික යෝග්‍ය භාවය මෙන්ම මානසික තෘප්තිය ද එක ලෙසින්ම දැනිය යුතු බැවිනි. එබැවින් අපේ අරමුණ, අපේ ශරීර ශක්තිය හා අපට කැප කළ හැකි කාලය අනුව ව්‍යායාම තෝරා ගැනීම වැදගත්ය. ඒ ආකාරයෙන් සතිපතා පැය කීපයක් ශාරීරික ව්‍යායාමවලට යොමු යොමු වීම හරහා චිත්තවේගී තෘප්තියක්, මනා චිත්තවේග සමබරතාවක් පවත්වාගෙන යන්නට අපට හැකි වෙයි.

අනෙක් අතට ව්‍යායාම නින්ද කෙරේ ද බලපාන්නකි. නින්දේ ගුණාත්මකභාවය වැඩි කරන්නට මෙන්ම නින්දට පිවිසීම ඉක්මන් කරන්නට ද ව්‍යායාම හේතු වෙයි.

ප්‍රාණයාම පිළිබඳව ඔබ බොහෝ දෙනා අසා ඇති බව මගේ හැඟීමයි. සරලව පැවසූවොත් එය හුස්ම ගැනීමේ ව්‍යායාමයකි. පුරාතන සම්ප්‍රදායයන්ට හා සංස්කෘතීන්ට අනුව එය ආධ්‍යාත්මික හා ශාරීරික අභිවෘද්ධිය සඳහා සෘජුව දායකත්වය සපයන්නකි. ආශ්වාසය හා ප්‍රශ්වාසයට හිත යොමු කිරීම මානසික හා චිත්තවේගික සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා කදිම ව්‍යායාමයකි. නූතන වෛද්‍ය විද්‍යාව පවා තහවුරු කර ඇත්තේ හුස්ම ගැනීමේ ව්‍යායාම මානසික ආතතිය දුරලන්නට හේතු වන බවකි.

විශේෂයෙන්ම එදිනෙදා ජීවිතයේදී අපේ මානසික නිස්කලංක බවට තර්ජනයක් විය හැකි චිත්තවේගවලට මුහුණ දෙන්නට අපට සිදුවේ. එබඳු අවස්ථාවලදී මේ හුස්ම ගැනීමේ ව්‍යායාමවලින් ලැබෙන හුරුව, පුහුණුව බොහෝ වැදගත්ය. එය කෝපය දරා ගන්නට ද, කුපිතවීමෙන් වැළකී සිටින්නට ද උපකාරී වෙයි. එබැවින් බොහෝ ගැටලු ඇති කරන්නට සමත්වන චිත්තවේග මනා ලෙස කලමනාකරණය කරගන්නට හුස්ම ගැනීමේ ව්‍යායාම වැදගත්ය.

තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ මෙකී හුස්ම ගැනීමේ ව්‍යායාමය ඔබට කවර තැනකදී හෝ සිට පුහුණු වන්නට හෝ යෙදෙන්නට හැකි වීමයි. යම් කතාවක් හෝ දේශනයක් පවත්වන්නට පෙරාතුව මනස නිස්කලංක කර ගැනීමේ සිට මඟතොට වාහන තදබදයක හිර වී සිටිද්දී, හවස විවේකයේදී මෙන්ම හදිසියේ ලැබෙන ඕනෑම කෙටි විවේකයකදී එහි යෙදෙන්නට ඔබට පිළිවන් වෙයි.

මිතුරු ඇසුර ද මෙහිලා බෙහෙවින් වැදගත් ය. සමාජශීලි සත්ත්වයකු වන මිනිසාගේ හොඳට, නරකට දෙකටම සමාජ ආශ්‍රය, මිතුරු ආශ්‍රය හේතු වෙයි. එහෙත් නියමාකාර මිතුරු කවයක්, කිට්ටුවන්තයන් පිරිසක් අපේ චිත්තවේගික සෞඛ්‍යය මනාව පවත්වාගෙන යන්නට උපකාරයකි. ඔවුන් හා ඇති බැඳීම් හා ක්‍රියාකාරකම් මනස වඩා නිරවුල්ව පත්වාගෙන යන්නට සහාය වෙයි. ඒ කොයි හැටි වෙතත් පුද්ගල ආශ්‍රය නිරන්තරව අප තුළ ඇති කරන්නේ උද්‍යෝගයකි. තමා කෘතගුණ සැලකිය යුත්තේ කාටදැයි ලැයිස්තුවක් සැකසීම ද ඇතැම්විට චිත්තවේග සෞඛ්‍ය ඉහළ නැංවීමට දායකත්වය දක්වන්නකි. ඊට අමතරව යම් යම් සිදුවීම් ද මේ ලැයිස්තුවට එක් වන්නට පුළුවන. විනාඩි කිහිපයක් වැය කර ලැයිස්තුව ලියන අතරවාරේ තමා දැන් සිටින තැනට එන්නට කොපමණ දෙනෙක් උදව් කර ඇත්දැයි , කොපමණ දේ හේතු හේතුවී ඇත්දැයි යමෙකුට වැටහෙනු ඇත. වක්‍රාකාරව එය හෝ ඇය වටා කොපමණ පිරිසක් සිටින්නේදැයි කියාපාන කැඩපතක් ලෙසද සිතන්නට පුළුවන. අන්තයේදී තමා වටා එපමණ ශක්තියක් ඇතැයි කල්පනා කිරීමම විශ්වාසවන්ත මනසකට හේතුවෙයි. එයද චිත්තවේග සෞඛ්‍යයට අවශ්‍යම කාරණයකි. නූතන තාක්ෂණය යුගයේ අප සැම විටම සිටින්නේ එකක් ආකාරය තාක්ෂණ මෙවලම් හා උපාංග හා බැඳෙමිනි. ඇතැම් ඒවා අපේ ජීවිතයට බද්ධ වූ තරම්ය. සමහර ඒවා ඒවායෙන් මොහොතකටවත් ඈත් වන්නට අපට නොහැකිය. තාක්ෂණික මෙවලම් අපේ මානසික සහනයට නම් ඒ හැටි හොඳ නැත. එබැවින් කෙටි කලකට හෝ නැත්නම් තෝරාගත් එක් නිශ්චිත කාල සීමාවන්වලදී හෝ තාක්ෂණයෙන් හෝ එබඳු මෙවලම්වලින් මුළුමනින්ම ඈත් වී පොඩි විවේකයක් ගැනීම චිත්තවේග සෞඛ්‍යයට බොහෝ සෙයින් වැඩදායි විය හැකිය. සංචාරය, සංගීතය , විවේක ක්‍රීඩා හෝ විනෝදාංශ එකී හෝරා කීපය ඔබේ සැහැල්ලුව වෙනුවෙන් යොදා ගත හැකි වෙයි.

අකුරු ද යම් ආකාරයකින් ඔබේ අපේ චිත්තවේග කළමනාකරණය කරන්නට ප්‍රබල දායකත්වයක් දරන්නකි. තවත් ආකාරයකින් කිවහොත් ඔබේ සිතට නැගෙන විවිධාකාර චිත්තවේග ලියා තැබීමට හුරු වීම ද එකී පීඩනය සමනය කරන්නටත් චිත්තවේග සෞඛ්‍යය වඩා වර්ධනය කරන්නටත් හේතු වෙයි.

බොහෝවිට හිතට නැඟෙන විවිධාකාරයේ හැඟීම් ප්‍රතිචාර නොදක්වා හෙළි නොකර සඳහා සිරකරගෙන සිටීම ඒ හැටි හොඳ කටයුත්තක් නොවේ. ඔබේ හැඟීම් ගැන කතාබහ කරන්නට ඉඩක් හදා ගන්නට හැකිනම් හැකි නම් එය ද කදිම චිත්තවේග අභ්‍යාසයකි. විශ්වාසවන්ත සගයකු හෝ පවුලේ පවුලේ කිට්ටුවන්තයකු සමඟ අපට අපේ හැඟීම් හා චිත්තවේග ගැන කතාබහ කළ හැකිය. එපමණක් ද නොව කතා කරන්නට කිසිවකුත් නැතිනම් එකී චිත්තවේග ගැන අදහස් තමා තනිවම පිටකිරීම වුව යම් සැහැල්ලුවක් ඇති කරන බව පැවසෙයි.

චිත්තවේගී සෞඛ්‍යය පිළිබඳ ගැටලු යනු ඒ හැටි ආගන්තුක හෝ අමුතු ඒවා නොවේ. ඒවා අප කාටත් අපේ එදිනෙදා ජීවිතේ කීප වතාවක් හෝ අත්විඳින්නට ලැබෙන ඒවායැයි කිව හැකිය. ඒවා සැබැවින්ම සෘණාත්මක අත්දැකීම් වුවත් ඒ හැටිම ප්‍රබල ඒවා නොවේ. විවිධාකාරයේ ක්‍රියාකාරකම් හරහා ඒවා ඉක්මනින්ම යටපත් කර දමන්නට අපට පුළුවන. කොයි ලෙසකින් වත් ඒවා මුළු ජීවිත කාලයක් පවතින්නේ නොවේ. යම් ආකාරයක කැපකිරීමකින්, නිසි උපදෙස් ලබා ගනිමින් වඩා යහපත් ජීවන රටාවකට හුරු වූ පසු ඉබේම පාහේ ඒවා ඇකී මැකී යනු ඇත.

Comments