පශ්චිම යාමය | සිළුමිණ

පශ්චිම යාමය

බාසුරු බියෙන් තැති ගත්තේය.

ළා හිරු රැස් මිහි මතට පතිත වෙමින් තිබුණු හිමිදිරියේ බාසුරුගේ හිත මතට ඒ බියකරු අන්ධකාරය කඩාපාත් විය. ඒ ඔහු අලසව, කුසීතව, කම්මැලිව, නිදි දෙව්දුව තුරුලේ සිටින අතරතුරේදීය.

සිහින් සරින් නැඟුණු කෙඳිරිල්ලක් එකවරම බාසුරුගේ දෙසවනට වැටුණි. එබැවින් ඔහු සෙමෙන් සෙමෙන් නිදිදෙව්දුවගෙන් මිදුණි. ඉන් පසුව බාසුරු තම 'ප්‍රාණ සමානා' ප්‍රිය බිරිය දෙසට හැරුණි. ඒ වන විටත්, ඔහුගේ වමත බිරියගේ ළමැදේ රැඳී තිබුණි.එවිටම දුටු දසුණෙන් ඔහුගේ ඇස් උඩ ඉන්දවිණි.

බාසුරුට සිය 'බිරින්දෑ තොමෝ' එකවරම පෙනුණේ බොඳවුණු සිතුවමක් සේය. දැරිය නොහැකි වේදනාවක් මැඩගෙන ඇය බාසුරු දෙස අසරණව බැලීය. ඒ මොහොතේ ඇගේ අසරණ දෑසේ කෙවෙණි අග කඳුළින් බොඳවී තිබුණි. ඇය බාසුරුගෙන් සඟවාගෙන සිටිය දුක, කඳුළ, සුසුම ඇගේ හද පතුලෙන් පිට පැන ඇති බව ඔහුට දැනුණි. ඒ මොහොතේ ඇගේ දෑසේ ලියවී තිබුණේ ද ඔහුගේ හදවතේ සැඟවී තිබුණ වේදනාවේ පිටපත ම බව එවිට ඔහුට හැඟුණි.

ඒ දුක බාසුරු යුවළ අතරේ සමසමව බෙදුනකි. එහෙත් ඉන් බාසුරු දුක් විඳිනවා දැකීමෙන් බාසුරුගේ බිරියට දැනුණු වේදනාව දෙගුණයකි. එය ඇගේ හදවතේ සිරවී ... තෙරපි .... තෙරපී .... තිබුණෙන් ඇයට මෙහෙම වෙන්න ඇතැයි බාසුරුට හැඟුණෙන් ඔහුට දැනුණු වේදනාව තෙගුණයකි.

“ලබ් බඩ් - ලබ් ඩබ්”

එසැණින් බාසුරුගේ හදවතේ රිද්මය බිඳුණේය. එලෙසින් ඔහු බියෙන් තැති ගත්තේය.

වසරක පමණ කාලයක සිට ලේලියගේ වෙස් පෙරළිය බාසුරු යුවළ පැහැදිලිව දැන සිටියහ. ඇගේ ඒ අවර ගති සියල්ලක්ම බාසුරුගේ බිරිය උපේක්ෂාවෙන් විඳ දරා ගත්තීය. එහෙත් බාසුරුට නම් ඒවා බරසාරෙටම දැනුණේය.

බාසුරු යුවළගේ සිත සසල කළ ඒ සිදුවීම සිදු වුණේ හරියටම ඊට දෙසතියකට පෙරදීය. සුපුරුදු පරිදි හිටි හැටියේම ලේලිය 'බාසුරු' නිවෙසට කඩා පාත් විය. එදින ඇය ඇයගේ කතාව සැකෙවින් පැවසුවාය.

ලේලිය, බාසුරු යුවළට එකවරම පල නොකියා 'පලා' බෙදුවාය.

“තාත්තලාට කුස්සිය පැත්තේ තියෙන කාමරේ ඉන්න පුළුවන්නේ”

ලේලිය, දෙමහල්ලන්ගේ හදවත්වලට තියුණු වචන අහුරකින් විද්දාය. බාසුරු යුවළ තම තමන්ගේ පපුවේ ඇවිළුණු දුක් ගින්දර නිහඬවම හිස් අවකාශයට මුසු කළහ.

“ලබන සතියේ අපේ නංගිලා ලංකාවට එනවනේ. ඉතින් මේ ... මේ.... මේ.. ගේ ඒගොල්ලගේ පදිංචියට දෙන්න තීරණය කළා. අනික ඕගොල්ලන්ට මේ ගේ ලොකු වැඩීනේ”

මාර දූතිය පැවසුයේ පුදුම කතාවක් යැයි සිතූ අසරණැත්තෝ එවර අන්ත අසරණත්වයේ පතුළ සිම්බහ. ලේලියගේ නොපනත්කම් හමුවේ පුතා කරබාගෙන සිටීම බිරියගේ දුකට එකම හේතුව බව බාසුරු හොඳින් දැන සිටියේය.

බාසුරු යුහුසුළුව බිරියව රෝහලට රැගෙන ආවේය. ඉන්පසුව රෝහලේදී බාසුරුගේ පෙර බිය දෙගුණ තෙගුණ විය. ඒ තුන් බිය ඒ මොහොතේම ඔහුගේ සිත එක මිටට ගෙන එවා, එහි පතුළේම සඟවා ගන්නට ඇතැයි දැන් ඔහුට සිතෙයි. බිරිය ගැන අනියත බියක්, ඈ ගැන අපමණ දුකක් වගේම හිතට පාළුවක් දැන් ඔහුට දැනෙන්නේ, ඒ නිසාවෙන් යැයි බාසුරු නිතරම සිතන්නේ ය. ඒ නිසා බාසුරුගේ සිත දැන් දෙමෝලෙන් වී කොටන්නා සේය.

රෝහලේදී ඇඟට පැන්න 'ඉස්පිරිතාල ගඳ' බාසුරුගේ නැහැයට දැනෙන වාරයක් ගානේ බිරිය ගැන අනියත බියකින් ඔහුගේ සිත වැසෙයි. එවිට ඔහුගේ සිතට ඇය ගැන එක එක විපරිත සිතුවිලි දිය රැළි සේ නැඟෙයි. ඉනික්බිති ඒවා එක් දසුනක් වී ඔහුගේ දෙනෙත් ඉදිරිපිට මැවෙයි. මේ දැනුත් එලෙසින් මැවි මැවී රඟ දී දී ඒවා නොමැකී එලෙසම තිබේ.

ඒ නිසාම මේ මොහොත වනවිටත් ඔහුගේ සිතෙන් ඒ තුන් බිය තුරන් වී නැතුවා සේම, ඔහුගේ සිත ඉන් ලිහිල්වී තාමත් නිරවුල් වී නැතුවා සේය.

එනයින් බලන කළ බාසුරුගේ සිත මකුළු දැලක පැටලී, ඉන් ගැලවී යන්න නොහැකිව අසරණව දඟලන කුරා කුහුඹුවකුගේ තත්ත්වයට දැන් පත්ව තිබේ.

හතළිස් වසක් පුරාවට ප්‍රිය බිරිය සමඟ සිත් සතොසින් ගෙවූ ජීවිතය සිහි වෙත්ම බාසුරුගේ සිත නොසන්සුන් වේ. දුක සැප සමෝ සමේ බෙදාගෙන එකම පුතාගේ වගකීම් එකාවන්ව සිරසින් දරාගෙන ඔවුහු ගෙවු ඒ කාලය එතරම් සුන්දරය; ළබැඳිය;ලෙන්ගතුය.

“ෂහ්...නෝනෙ ළඟ නෑනේ”

එවිට බාසුරුගේ සිත හැඟිම්බර වෙයි. එසැණින් ඔහුගේ මුහුණ හැඬුම්බර වෙයි.

ඒ හැඬුම්බර මුහුණත් දෑසේ කඳුළුත් සඟවාගෙන තමා බොහෝ දුරක් පැමිණ ඇති බව බාසුරුට හැඟුණෙන් ඔහුට දැනුණේ පුදුමයකි. රෝහලේ සිට නගර මධ්‍යයේ ඇති මේ පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරි පිටට බාසුරු පැමිණි මඟ ගැන ඔහුට ඇත්තේ බොඳවුණු මතකයකි.

කෙසේ හෝ තමා නිරුපද්‍රිතව නියමිත තැනට පැමිණ ඇති බව එවිට ඔහුට පෙනුණේය. ඉන් ඔහුගේ සිතට සියුම් අස්වැසිල්ලක් දැනිණ.

දෙකන් අස්සෙන් වැගිරෙමින් තිබෙන ඩාබිඳුවල කිතිය බාසුගේ ගතට තවමත් හොඳින් දැනෙයි. ඉන් ඔහුට එක් දෙයක් දැන් සක්සුදක් සේ පැහැදිලිය. ඒ රෝහලේ පරිශ්‍රයේ සිට තමා මේ දැන් සිටින වෙළෙඳ සංකීර්ණ පරිශ්‍රයට පා ගමනින්ම පැමිණ ඇති බවය.

බරසාරෙට බඩු මලු දෙකක් බැරි බැරි ගානේ දෑතින්ම දරාගෙන තරබාරු ලියක් වෙළෙඳ සංකීර්ණය තුළින් එළියට බැස්සේ ඔය අස්සේය. ඇය එලෙස පැමිණියේ මුළුතැන්ගෙයි දී සෑම ගෘහනියකටම උරුම කිසිබිසි කලබලෙන්මය. ඒ වන විටත් බාසුරු කල්පනා සාගරයේ ගිලෙමින් දොරටුව අබියස සෙල් රුවක් සේ සිටියේය. එලෙස සිටිය බාසුරු දුටු කිසිවකුට ඔහු දොරටුපාල සේවයේ නියැළෙන අනියම් සේවකයකු ලෙස නොපෙනුණේ නම් එය පුදුමයකි.

ඒ තරබාරු ලිය බාසුරුගේ මුහුණට මුහුණ වදින තරමට වේගයෙන් ඔහු දෙසට පැමිණියාය. ඇයගේ ගමනේ වේගය හා බැඳුණු තාලයක් ද තිබුණි. තාලවතිය ආ වේගය ද, තාලය ද පාලනය කරගෙන බාසුරුගේ ඇඟේ නොගැටී යෑමට එකවරම තැත් කළාය. එවිට ඇගේ තාලය ද සමබරතාවය ද සැණින් බිඳුණි. ඒ ප්‍රතාපවත් පංචස්කන්ධය බාසුරුගේ උරහිසේ වැදුණි. අහඹුව කඩාපත් වුණු හෙන පතයෙන් බාසුරු පැත්තකට ඇළවුණි. වෙළෙඳ සංකීර්ණයේ ප්‍රධාන දොරටුව අබියස දී බාසුරුට එලොව පොල් පෙනුණි.

තාලවතියගේ හිසට යක්ෂයා ආරූඪ වුණේ එවිටය. ඇය බාසුරු දවා හළු කර දමන සේ නපුරු බැල්මක් හෙලීය. එකෙනෙහිම ඇය හොඳ පද හතරකින් බාසුරුව අමතන්නට ද අමතක නොකළාය. ඒ වනවිටත් වියවුල් මානසිකත්වයේ අගාධයටම ඇද වැටී සිටිය බාසුරුට ඒ තාලවතිය එලෙසින් පැන පැන ඇන්නාය. ඇයගේ සැහැසි අතවරයට ලක්ව බාසුරු මොහොතකට අනාථ විය.

ඉන්පසුව කෝපාග්නියෙන් දැවෙමින් බාසුරු දෙස හැරි හැරී, රව රවා බලමින් එතැනින් පිටව ගිය ඒ තාලවතිය, නැවත පිටතට හොඳ මුහුණ ආරූඪ කරගෙන ඉදිරිය බලා ගියාය.

එපමණකි. අහඹු සිදුවීමේ සියල්ල එතැනින් අවසන් විය.

ඒ සංග්‍රාමය නිමාවීමෙන් පසුවත් බාසුරු මොහොතක් වික්ෂිප්තව මෙන් එතනම සිටියේ එනිසා විය යුතුය. තමා මෙතැනට පැමිණි කාරණය ඔහුට සිහිවුණේ ඉනික්බිතිවය. බාසුරු ‘සිරිමාන්න එළවළු වෙළෙඳ සැල' දෙසට පිය නැඟුවේ එනිසාය.

“ආ .......... අපේ මහත්තයා එමු...... එමු.....කෝ අද අපේ නෝනා.....අම්මපා...... මහත්මයා තනිපංගලමේ මේ දැක්කමයි. ඇයි අප්පා..... ඉදිකට්ට පස්සෙ නූල්පොට වගේ තිස්සෙම දෙන්නා එකටමනේ” සිරිමාන්න මුදලාලි සිනාවක් පාමින් පැවසීය.

සිරිමාන්න මුදලාලිගේ කතාවේ සැඟවුණු යටි පෙළක් ඇති බව බාසුරුට වහා වැටහිණි. තමාත් තම බිරියත් අතර තිබෙන ආත්මීය බැඳීම, ලෝකයාගේ විමසිලිමත් දෑස් නළවන අසිරිමත් රසඳුනක් වී ඇතැයි බාසුරුට සිතුණි.

“නෝනාට ටිකක් සනීප නෑ...”

එසැණින් මුදලාලිගේ මුහුණේ ඉදුණු තක්කාලි ගෙඩියක පැහැය තැවරිණි.

දුකකදී වගේම සතුටකදීත්, එකවගේ ඔහුගේ මුහුණ ඉදුණු තක්කාලි ගෙඩියක රත්පැහැ ගනී. බිරියගේ අසනීපය ගැන වැඩිමනත් පැවසීම පවා තමාගේ හිත පෙළන්නට දුකට කෙරෙන කැඳවීමක් බව බාසුරු නිසැකවම දනී.

එබැවින් මෙවර මුදලාලිට පෙර බාසුරු වැට පැන්නේය. ඒ බිරියගේ 'අසනීපය' ගැන මාතෘකාවෙන් පිට පැනීමටය.

“මුදලාලි අද මට සුප් එහෙකට එළවළු ටිකක් තිබ්බනන් ඇති”

එවිට මුදලාලිගේ මෙතෙක් තිබූ ප්‍රබෝධමත් ඉරියවු මැකී ගියේය. ඒ මුදලාලිගේ සිතට දැනුණු ව්‍යාපාරික දුක නිසාවෙන් යැයි බාසුරුට නිකමට වගේ සිතුණේය.

එළවළු මිල ගණන් විමසමින්, ළබැදි සිනාපාමින්, විටක මුදලාලි සමඟ කවට කමක් කරමින්, තමාගේ ලෝකයේ හොඳම ගෘහණිය, එළවළු මිලදී ගත් සැටි බාසුරුට මේ දැන් වගේ මැවී පෙනෙයි.

එවේලෙට හිස් කූඩය අතේ තබාගෙන, හොඳ බිරියකගේ භූමිකාවේ එක් පැතිකඩක් තම මාතෘ භාර්යාව හදවතින් රඟ දක්වන අයුරු බාසුරු නැරඹුවේ සිත් සතොසින්ය.

“ෂහ්”

බාසුරුට කියවුණේය.

මුදලාලි ඒ මොහොතේ තෝරාගත් සාරවත් 'ලීක්ස්' ගසක් අතැතිව සිටියේය. බාසුරුගේ දෙතොලඟින් ලිස්සා ගිය “ෂහ්” ශබ්දය මුදලාලි තේරුම් ගත්තේ නුහුරුටය.

“ඇයි මහත්තයෝ සුප් එකට ලීක්ස් ඕනෙමනෙ”

බාසුරු කල්පනා ලොවෙන් ලිස්සා නැවත වෙළෙඳ සැල ඉදිරිපිටට වැටුණේ, මුදලාලිගේ ඒ රළු බැරැඬි හඬ ඇසුණාට පසුවය.

උදැහැනැක්කෙ බාසුරුගේ සිතේ ලැඟුම්ගත් තුන් බිය තාමත් ඔහුගේ සිත පතුලේ සැඟව ඇත. අකලට ආ රුදුරු කුණාටුවක් සේ තාලවතියගෙන් එල්ල වූ සැහැසිකම් හමුවේ ඇතිවූ බිය ද තවමත් ඔහුගේ සිතේ නොමැකී තිබේ. එතුළින් බැසුරුගේ සිත කැලතෙන කැලඹෙන වාරයක් ගානේ ඔහුගේ මානසික ඒකාග්‍රතාව බිඳෙන්නේය. ඒ බියත් මේ බියත් එකට මුසු වී බාසුරුගේ සිත කම්පිතව පෙ‍ළන්නේය.

සුප් එකට ගත් එළවළු සොච්චම බහාලු සිලි සිලි බෑගය බාසුරුගේ වමතේ රැඳී තිබේ. ගොරවාගෙන ඔරවාගෙන වගේ පාරේ දෙපසට ඇදී යන වෛවාරණ වාහන කන්දරාව දෙස බලාගෙන බාසුරු මේ මොහොතේ මහ පාරේ කහ ඉර අද්දර රැඳී සිටී.

පාරේ වාහනවල නැඟී සිංහ සෙයියාවෙන් ඇදී යන ජන ගඟකි. පදික වේදිකාවේ පා ගමනින් නිහඬව දෙපසට ඇදෙන ජන ගඟකි. ඒ හැමෝගෙම හිස්ගෙඩි තුළ සැඟවුණු නැවුම් බලාපොරොත්තු දහසකි. එලෙසම ඔවුන්ගේ සිත් තුළ බිඳුණු බලාපොරොත්තු කන්දකි. හඬ නගා හෝ රහසින් හෝ පවසා ගත නොහැකි දුක් ගැනවිල්ලක් ඒ කාගෙ කාගෙත් සිත් තුළ ගුලිවී ඇතැයි බාසුරුට සිතෙයි. ඒ බව වක්‍රව පවසන හෝඩුවාවක් ඔවුන්ගේ මැළවුණු මුහුණුවල තැවරී ඇති බව බාසුරුට පෙනෙයි. එහෙත් කිසිවකු යමකු වෙත හෙළන බැල්මකින්වත් ඒ පිළිබඳව තතු නොවිමසයි. ඒ දුක බෙදාගන්නට සුසුමක් හෙළා හෝ දායක වීමට ඔවුනොවුන්ගේ සිත් මැළි වෙයි.

එලෙසින් බලන කළ ළතැවිල්ලක්, පසුතැවිල්ලක් නූපන් සිතක් නොමැති තරම්ය. එය හරියටම කිසිවෙක් නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීම තරම් අපහසුය. 'තමන්ගේ මට්ටම් තම්මැට්ටම්' යැයි සිතා ඔවුන්ගෙන් සමහරකු ආඩම්බරකාර වාහනවලින් වහා ඉගිල යති. තවත් සමහරකු පදික වේදිකාවේ දෙපසට නිහඬව ඇදී යති. එහෙත් මේ දෙගොල්ලෝම එකම 'ඉරණමකින්' ඇඳී එකම ඉරක එක පෙළට ඇදෙන බව ඔවුහු නොදනිති. ඒ හැඟීම් සමුදාය බාසුරුගේ සිතේ ඇදී යෑමෙන් පසුව ඔහුගේ දෙතොලඟ රැඳුණේ උපහාසාත්මක සිනාවකි. 

බාසුරු වරක් පාර මාරුවීමට තැත් කළේය. එවර පිඹගෙන ආ රථයක නොගැටී ඉන් බේරීමට ඔහු පසු පිම්මක් පැන්නේය. ඇත්තටම එය ඔහු අතින් ඉබේටම වගේ සිදු වුණු දෙයක් මිස ඔහු එය සිතා මතා කළ දෙයක් නොවේය. ඉන් උගත් පාඩම නිසාවෙන්දෝ දෙවැනි උත්සාහයට පෙර ඔහු වඩාත් පරෙස්සම් විය. ඉගිල්ලී වහා යන වාහන පෙළට යෑමට ඉඩ හැර පාර මාරුවීමට ඉස්පාසුවක් ලැබෙන තුරු බාසුරු දකුණු පැත්ත බලාගෙන මොහොතක් සිටියේය.

එකවරම ඔහුට පෙනුණේ එදෙසින් මතුවී එන ගිලන් රථයකි. ආදි කල්පික මකරකු සේ මතු වුණු ගිලන් රථය දැකීමෙන් ඔහුගේ සිත තැති ගත්තේය. මර ළතෝනි දීගෙන ඇදී ආ ඒ ගිලන් රථය සිය අඳෝනාව බාසුරුගේ හදවතේ තවරාගෙන ඉදිරියට ඇදී ගියේය.

ගිලන් රථයේ අඳෝනාව ඇසීමෙන් බාසුරුගේ සිත එකවරම ගිලන් වූවා සේ විය. ඉන් ඔහුගේ සිත වහා පෑරුණි. ඒ ගිලන් රථයෙන් නැඟුණු අඳෝනාවත් උදේ සිට තමාගේ හදවත නඟන අඳෝනාවත් දෙකක් නොව එකක් බව බාසුරුට හැඟුණි. එකෙනෙහිම ඔහුගේ සිරුරම සලිත විය.

එසැණින් බාසුරු කපා හෙළුෑ කෙසෙල් කඳක් සේ එතැනම ඇද වටිණ.

බිමට වැටුණු බාසුරුගේ වමතින් සිලි සිලි බෑගය ගිලිහී ගියේ නැත. එය ඔහුගේ දඹරැගිල්ලේ තාමත් සුරැකිව දැවටී ඇත. එහෙත් සුප් එකට ගත් ඔහුගේ එළවළු සොච්චම දුටු කෙනකුට දුක හිතෙන විදිහට ඒවා බෑගයෙන් පිට පැන තැන තැන විසිර ඇත.

බාසුරු මහත් ආයාසයෙන් නැඟී සිටින්නට උත්සාහ කළද, ඔහුගේ ඒ උත්සාහය ව්‍යාර්ථ විය. ගිලන් රථයේ හඬ ද ඈතින් ඈතට ඇදී එකවරම නෑසී ගියේය. තමා අසලින්ම දෙපසට කඩිමුඩියේ ඇදෙන දහසක් දෙපා බාසුරුට පෙනුණේ බොඳවී වගේය.

“ෂහ්... නෝනෙ.... ළඟ.... නෑනෙ...”

බාසුරුගේ මුවෙන් එවදන් පිටවූයේ කෙඳිරිල්ලක් ලෙසිනි.

Comments