අරගලයක සුසුම්
උතුම් වු අරගලයේ
සැබෑ සුව දැනෙන්නෑ....
ඒ සුවය විඳිනු බෑ....
බුර - බුරා නැගෙන ඒ
වියරුවේ ගිනි ජාල
අබිමුවේ....
දැවි - දැවී අළු බවට පත්වෙනා
යළි කිසිදු ගනු නොහැකි
කල්ප කාලාන්තර කලක්
දැනුම දුන් සම්පත්ද
ඒ ලබපු ජීවිතද
දුලි වී......
අරගලයෙ ප්රබෝධය අවසන්ව
මෙයද මා පැතු සැබෑ
අරගලය......?
සංජය ක්‍රිශාන්ත
ගුරු පියාණනි
අහෝ ගුරුපියාණනි
සිහිවෙනවා තවම ඔබ
කිසියම් විෂයක් පිළිබඳ
ගැටලුවක් පැන නඟින සඳ
මැවෙයි ඔබේ රුව හදවතේ
විසඳ ගන්නට සිතෙයි
දුරකතන ඇමතුමක්
ඔබේ අංකයට
සුපුරුදු විදිහටම
සැණෙකින් දැනෙයි මතකයට
ඔබ අප අතැරගොස් ඇති බව
දැඩි වේදනාවෙන් පෙලෙයි සිත
හෘදයංගම ගුරු පියාණනි
ජයලාල් රෝහණ
ජයනාත් ඉන්ද්‍රජිත්
අමරණීය ප්‍රේමකීර්ති
නළදත පෙන්වල හසරැළි නංවල සේවය කළ අන්දම සිහිගන්වල
රස විඳ විඳ අපි සැනසෙමු නිතරම එතුමා ලිව් ගී පදවැල් මුමුණල
මධුරස වෑහෙන ගී තැටි තිබෙනව තවමත් සුරැකිව ජාතිය සතුවෙල
සුන්දර මිනිසෙකු ලෙස එතුමගෙ නම ලියවී ඇත ජනතාවගෙ සිත්වල
එතුමගෙ වැඩසටහන් හැම එකකම හාසය, ප්‍රේමය ජීවය තිබුණි
පරිණතභාවය, නිහතමානිකම, මනුස්සකම ඉස්මතු වී පෙනුණි
පිරිසිදු, නිවැරදි, පැහැදිලි කටහඬ ගුවන් විදුලියෙන් කාටත් ඇසුණි
නිවේදක තනතුර දරමින් ඔහු ඉටු කළ සේවය රටටම දැනුණි
අසූනවයෙ ජුලි තිස්එක ලක්මව සෝදුක් සයුරක ගිල්වා දමමින්
නිහඬ කළා හඬ එක වෙඩි උණ්ඩෙන් ප්‍රේමකීර්තිව බිල්ලට ගනිමින්
නන්දන උයනේ කප්රුක මුදුනේ පිපුණත් පරසතුමල හැඩ මවමින්
සිටියා ඇති යළි උපදිනු මැන මෙහි ප්‍රේමකීර්තිගෙ නම රැකගනිමින්
ඒ. විතාරණ
ඇසළ සිහින
තුන් යම සුන්දරයි ඔබ ඉන්නා හීන
පැල්පත එළිය වී පිරුණා සඳ කිරණ
ඇසළ සඳ වගේ දුටුවා නුඹේ මුහුණ
මා හද නුඹටමයි දිනුවා මගේ සිහින
පී.එච්. නිහාල් රංජිත්
පැරණි සිත්තරුන් සිහිවී
අවුකන මහා බුදු රුව සැදු කොළාම් පුර
සිතුවම් කලාවේ නමගිය බොහෝ දුර
දම්සෙන් හෙන්රි සුහදාණෙනි කුලුණු බර
හිමි වේවා ඔබට මතුදා නිවන් පුර
මහ දෙවොලේ සීනිගම දෙවියන් මැව් වේ
ඩැනියෙන් කලා කරුවාණනි හික්කඩු වේ
සිතුවම් කලාවට ජීවය පන පෙව් වේ
ඔබ සිහි කර වදිමි මම දෙවියන් හමු වේ
සිතුවම් කලාවෙන් හැමදන මන බැන්දු
කාටුන් නිමැවුමෙන් හදවත් රස කැන්දු
කා අතරත් හොඳහිත නිරතුරු රැන්දු
මම සිහි කරන්නෙමි ජී.ඇස්. පර්නැන්දු
සිතුවම් කලාවෙන් ලකඹර එකළු කල
පව්ලිස් කලා කරුවාණෙනි ගෝන ගල
ඔබ නැති වුවත් ඇඳි සිතුවම් වෙහෙර වල
සිහි කර මා නමදිමි ඔබේ පා යගල
ජේමිස් කලාකරුවාණෙනි කලා ලොවේ
ඇඳි සිතුවම් තවමත් මගෙ හිතේ මැවේ
සිහිවන විටදි එය මගෙ හද සොවින් තැවේ
අපි හමුවෙමු නැවතත් මතු බවෙන් බවේ
ටියුරින් කලාකරුවාණෙනි අම්බලන් ගොඩ
සිතුවම්වලින් පන්සල් බොහො කළා හැඩ
ඔබ සිහි කරමි මම කරනා අතර වැඩ
ඔබටත් ලැබෙනු ඇත මතු සුර පුරෙහි ඉඩ
ඩී. මිල්ටන් ප්‍රනාන්දු
සසරමඟ සුවඳ
වර්ණ හතකින්
පාට ගෑවෙන්න
සුමුදු සුදු මුදු
ඉන්ද්‍රචාපය
දියවු බව සිතුවත්
අහස් ගැබ තුරුලේ
සැඟවිලා ඉඳ
පෙනී නොපෙනි
සිනාසෙයි රහසේ
ඉරට මැදිවී
පිණි වැස්ස යට
කළු වලා අස්සේ
සුසුම් සුවඳින්
මතක මත්කළ
සිහින මල් වැස්සේ
දෙතැන ඉමු අපි
දියවෙලා යමු
ඇහිපියන් ඔස්සේ
සසර යන මඟ
දුටුවොතින් හෙම
නොයන් පිය සබදේ
නාඳුනන විලසේ
සුවඳ මඟ දිග
ඇතිරුවෙමි රහසේ
නොහරින්න අත
වෙළා ගනු මැන
ඔබේ දෑතට
මැදිකරන් රිසිසේ
නිවෙමු නිවනින් අපිත්
එක්ව එක දවසේ
තුෂාරි ජයසිංහ
සඳ වරුණ
හිරු එළියෙන් ලොව නැහැමී බැසයන කල සඳ
අඳුරු වලා පටල මැදින් එබී බලන සඳ
තරු පිරිවර සමඟ තුටින් ලොවට වඩින සඳ
සැමට සිසිල දේ අහසේ පායන පුන් සඳ
සක් දෙවිඳුගෙ තෙලිතුඩගින් සාවෙකු ඇඳි සඳ
ලෝකය නොනැසී පවතී ඇතිතෙක් ඉර සඳ
ඇමරිකාවෙ "ආම්ස්ට්‍රෝං" තරණය කළ සඳ
තවමත් ලොව පායනවා නොඅඩුව මදු සඳ
කවියන් හට උපමාරූපක ගෙන එන සඳ
ලලනාවන්ගේ නළලට සම කළ අඩ සඳ
අමාවකට අහස් කුසේ සැඟ වී ගිය සඳ
පායාපන් මගේ පැලට හෙටදින පුන් සඳ
නැකැත් ඇදුරො ලිත බලලා නැකැත් ගණින සඳ
නව අවුරුදු ශුභ නැකතට බලනා නව සඳ
ෆාතිමාලා අවුරුදු කන රාමලාන් සඳ
කල්ප ගණන් පවතීවා 'තරුපති' ඔබ සඳ
ආනන්ද අබේවික්‍රම
ඉඩ
සඳ එළියට
ඉඩ දී කළුවර
එහාට මෙහාට
වෙන හැටි
එන්. ඩබ්.පී. ලාල්
මරණය අමතමි
සසරෙහි ගමන්ගෙන මවුකුස සුවය ලැබ
ඉපදී නැසි නැසී ඉපදුන මුහුණ සිඹ
ආලෝකමත් කළ මගෙ දිවි ගගන ගැබ
අමතමි තුටු සිතින් "මරණය"! මිතුර ඔබ
කායික මානසික වේදනා නොමැති හෙයින්
පියවර තබද්දි පෙරටම තෙදැති ලෙයින්
පෙරමඟ තිබුණ රුපු බලකොටු කෙරුණි අයින්
මරණය ඔබට ලොකු සතුටක් වුණිද එයින්
හැම විට දුන් තුන්දෙන බෑනලා හට
සම්පත් ඉසුරු පින් ඵල දේ බොහෝ විට
මා ගැන වෙහෙසවන නිරතුරු අගේ කොට
මරණය ඔබ ද පසු වෙන්නැති විනෝ දෙට
දෙවරක් වැන්ද දඹදිව මතුවෙලා පින
දුක සැප සමලෙසට සැලකු බොහෝ දින
ඇස් දෙක පියාගත් සුමනා තිබු ගුණ
මගෙ පණ රැක්කෙ ඇයි මරණය එදා ද ින
ඇස් දෙක නොපෙනීම අත්දෙක වෙව්ලීමෙන්
පෙර මෙන් ලියන්නට දැන් බෑ සැනසීමෙන්
අවුරුදු අසු අට නව මස පැනයා මෙන්
මරණය ඉතින් නැත ඵලයක් දැඟලීමෙන්
ජයත් පතිරණ
සංවරය
පොදු තැන්වලදි යන එන අපෙ මිනිසාම
නිවසේ නුගුණ ගති පා එහි හැසිරීම
තබනා අඩිය වචන ද ඉස්මතු වීම
නොතකන සංවරය මිනිසා පිරිහීම
චාරිත සිරිත් ගරුකර වැඩි හිටියන්ට
සලකන වාසනා අය නැත පෙනෙන්නට
පිරිහෙන තැනට මිස නැත ගුණ දකින්නට
අමතයි වචන සංවරකම නසන්නට
ගහපිය, දියව්, වනසව්, රුදු වචන පෙළයි
මහ මඟ හඬ නඟන මිනිසුන් රකුසු වෙලයි
මොනයම් අසංවරයක් එහි පෙනෙනවදැයි
හැදෙමු ද සිතමු රැකගමු සංවර වීමයි
ආර්. එම්. ජයසේකර අබේරුවන්
නුඹ ගිය පසුත්
ගෙවුනු අතීතෙක මහා හීන ගොඩක් මැද
නුඹයි දිවියේ අසිරිය මල් යහන් ඇතිරුව
සදා සුවඳ මල්, සුවඳ දුම්, හැරදා කවුළු
සැතපුවා මහමෙරක් තරම් උස පැතුමක්
නොඉල්ලීය නුඹ මගෙන් කිසිවක්
සෑදුවා පුංචි පැලක් හද තුළ නොකියාම
පැදුරටත් හොරා නුඹ ගිය පසුව
උන් හිටි තැන් ද නොදන්වා මට
හිස් කළෙමි අහුමුළු සිඳ අතුපතු ගා නුඹ හුන් තැන
ඒත්......
මහා මාලිගයක් වී නුඹ ඒ පැල ඉනි මත
ඒ පදනම් පවුරු යටපත් කර නැගෙන අපූරුව
බලා හදිමි පුදුමයෙන් මම
සංජය ප්‍රියදර්ශන
සියුමැලි අත්
සුදු සඳ රැස් කිරණ එන තුරු ගුවන මැද
මදු මල දකින තුරු සැඟවී සිටිය සඳ
මදු රස ගෙනෙන ජීවිතයේ අඳුර බිඳ
මුදු සියුමැලි දෑත සනසයි ලොවෙහි හද
උදයෙම කුස්සියෙන් මිහිදුම් පටල ඉරා
මුදවාලයි ලිපෙන් දුම් බත ඉදෙන තුරා
නිදහස නොමැති අතැගිලි මුළු දවස පුරා
සිඳවයි අපේ කුසගිනි ඇගෙ කුසට හොරා
කුකුළා සමඟ අවදිව ගොස් මැෂිම වෙත
හකුලා තිබු නූල් පන්දුව වෙළුන ගත
කපලා රෙදි කෑලි එක්කර මහන අත
හදලා සතපවයි අප සිරියහන මත
දිය කර ආදරය රස තේ එකට දමා
පිය සුන්දර අතින් දුන් හැටි නැතිව පමා
ළය කර සිසිල් ලොව ජීවන අඳුර නිමා
ඇය සුළඟිලි තුළින් දුනි ලොව රසය අමා
සුගතදාස කුරුවිට
මතක සුවඳක්
පන්සලේ සමිඳුන්ට
සලාකය ගෙනගිය දවසෙ
මගේ අත අල්ලගෙන
පන්සලේ ගල් පඩි පෙළ
මහත් අපහසුවෙන් නැඟ
බුදු කුටිය අබියස දණගසාගෙන
මට ඇහෙන්නට කී ගාථා
මියුරු ගීයක් වගේ
තවමත් ඇහෙනවා අම්මේ
ගම්දොරේ කල විටෙන්
නෙළා ගෙනවිත් එළවළු උයා
අලුත් හාලෙ බත සමඟ මුසු කොට
අනා කටවල් කැවු හැටි
හරිම සුන්දරයි අම්මේ
වැලි අතුල මිදුලෙ
දොළ පාරෙ පෙඟුන
පොල්අතු ඇදගෙන ඇවිත්
රටාවකට වියන අයුරු
පැත්තකට වී බලා සිටියා
හරිම සුන්දරයි අම්මේ
කේ.ජී. සංඝදාස
දහම
රට තුළ
අර ගල
හද තුළ
කල බල
පුහු දුන්
මිනි සුන්
හර සුන්
කෙළෙ සුන්
අබිමාන ය
අවසාන ය
අවදාන ය
නිම වුනා ය
ක. ආ. ජයරත්න සිරිසේන
සොබා දහමේ අරුමය
හැමදාම නියඟයද
කවදා හරි වහිනවා
කොළ හැළුණු ගස්වලත්
අතු රිකිලි දමනවා
දිය සිඳුණු ඇළ දොළද
පෙන බුබුළු නඟනවා
රාහු හඳ ගිල්ලාට
යළි අහසෙ දිළෙනවා
පිපුණු මල් පරවුණත්
නිතර මල් පිපෙනවා
හිරු සවස සැඟවුණත්
හෙට උදේ වඩිනවා
සයුරු රළ අලස නෑ
වෙරළ දිය කරනවා
නැවතීමේ තිතක් නැති
බව පේනවා
සුනේත්‍රා ප්‍රේමසුන්දර
සතිමත් වි
ඉහිරි යයි වලා පෙළ ද හැඩතලයද වෙනස් කරන්
මසිත උපන් සිතිවිලි ටික හිරකරගෙන මටද හොරෙන්
නුඹ පමණක් එහි රජ වී ඉන්නා බව මට දැනේවි
ඉතින් සබඳ සිහිනෙකවත් දැවටීගෙන මා වෙත එන්න
අත්තටු සිඳ දැමු විලස ඉන්නට මට නොහැකි
සිත් අහසේ මල් පිපිලා තරුයායක් විලසේ
විස්තර නම් කියනු කුමට සෙනෙහස් ගංගා වේ
බාධක මැඩ ගන ජය ගමු සති මත් වි සැබවින්
කුසුමා ප්‍රේමරත්න
අපූරු දරුවෝ
වැදුනා ඔන්න බෙල්එක හරියට අටය
කාගෙත් සිත දුවන්නේ සිල් පද පිටය
සිල් පද හමාරයි වැඩ ටික දැන් මටය
සුමනා අඬන්නේ දුවලා වැටුණාටය
මුතු ඇට වගෙයි ලුසි හාමිගේ අකුරු ටික
ලීලගේ සිරිත මොනවා හෝ අඳින එක
ඩිංගිරි නොතේරෙන පදයක් පොතක දැක
ඇවිදින් අහන හැටි කාටත් බැලිය හැක
සිරිමල් සිනා මල් මුවඟින් නිසි වස්සයි
සෝමාවතී ගී ගැයුමට හරි දක්ෂයි
පැනයක් ඇසුව සැණෙකින් දෑතම උස්සයි
ජයසේනගේ මුවේ ඇත්තේ දත් විස්සයි
කමලා මිරිස් කරලක් පොඩි කුසුමාට
කැවුවෙන් එදා බර නඩුවක් පන්තියට
ඒකට පාර තුන හතරක් තැලුවාට
මට කනගාටු දරුවන් සැම ඇඬුවාට
පියසේන රන්වල
හිරු නැගෙන මොහොතෙත්
හිරු බැස යන මොහොතෙත්
මුළු දහවල් පුරාත්
සිත ළග
දුව පැන ඇවිදින
දඟ කරන
ඉඟිබිඟි නොකරන
සුකුමාල දසුන් මවන
හංස ගීතය ගයනා
දැකුම්කලු හංසධේනුව
ඔබ සුපුෂ්පිතය
නයනාවියම වුවාය
මුහුදු රැල්ලෙත්
අලුයම පිබිදෙන මල්පෙත්තෙන්
මැවෙන දසුනින්
කියන අටලෝ දහමින්
සියලු සංස්කාරයේ
නැසෙනා බව කියන
නයනාවිය ඔබමය
මුළු රාත්‍රිය පුරා
දැවටෙමින් විටෙක ඔබ
බිම වැටී දෙදන ඇන
පිරිමදින දෙපතුල
ලිහිල් වු සළුපොට සකස්කරමින්
හිරු නැඟෙන්නට පෙර
නොපෙනී යන්නට ගියාය
රත්නපාල ගමගේ
උද්ධමනය
මිල...
ළං වන හැම මොහොතකම මට,
නුඹ,
ඈත් වෙන්නට වෙර දරයි
අශීලාචාරයි...
සාධාරණ හේතු
කෙතරම් කීවත් හඬ නඟා
පලක් නැත
චපලකමමයි
මතුව ඒන්නේ...
උපාලි ටෙනිසන් රුවන්පුර
පැරදුන මරු දිනන තුරා
හිරු දෙවි රාහු ගිලන්නා බව කියන
දෝසත අනුව දිනයක රූසිරි වඩන
වදකහ සුදිය බොනු දැක නෙකදන රිසින
බීවෙමි මමත් වැරදුණි පැතුමන් රැඳුණ
සිදුවිය ගතවෙන්න රෝහල් නොපැතු ලෙසින්
වමනය, පාචනය වැලඳින දරුණු වෙසින්
පිරිසක් එයින් මියැදුන බව ඇසුන බසින්
දිවි බේරුණි බියව ඉන්දදි සතර දෙසින්
රැකියාවක් ලැබී එහි යන එන අතර
ඉඳහිට දුවන බස්රිය වරදින නිතර
දුවමින් දිනක් එල්ලුන පුවරුව අතැර
පය ලිස්සා වැටුණි බිම ගාතෙන් හතර
මරණය අඹිමුවට ගිය ඒ හැම දිනක
පිහිටට පැමිණි අය ගැන මට ඇත මතක
රූපසේන මුදලාලි ද සිත කොනක
ඇත දොස්තර අබේසිහ මැතිඳුද මිණක
ඒ. කේ. ඩබ්ලිව් පෙරේරා