බැහැ කියන්න බැරි ඇයි? | සිළුමිණ

බැහැ කියන්න බැරි ඇයි?

හැමෝගෙම ‘දුක්ගන්නාරාළ’ වීමෙන් සිදුවන අවාසි

රි වැඩේ තමයි වුණේ, බොස් මා එක්ක හිත හොඳ නැති වුණාද මන්ද."

" ඇයි එහෙම කියන්නෙ? "

" ඉතින් ඒ වැඩේ හරියට කරගන්න බැරි වුණානෙ."

" ඒ වුණාට ඔයාමනේ ඒ වැඩේ කරන්නම් කියලා බාර ගත්තෙ?"

" ඔව්, ඔව්. ඒ බැහැ කියන්න බැරිකමටනේ."

‘බැහැ’ කියන්න බැරිකමට අනුන් වෙනුවෙන් පොරොන්දු වීම එක්තරා ආකාරයක මානසික වදයකි. අද සමාජයේ බහුලව දැකිය හැකි අවාසනාවන්ත තත්ත්වයකි. එය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ People Pleasing යනුවෙනි. People Pleaser යනු කවරෙක්දැයි සොයා බැලීම වටී. එයින් අදහස් වන්නේ, තමාට දහ අතේ පාඩු කරගෙන වුව අනෙකකු සැනසීමේ තදබල වුවමනාවකින් පසුවන්නෙකි.

මෙය මානසික හෝ පෞරුෂ ආබාධයක් ලෙස නොසැලකෙන නමුදු බොහෝ විටම පාහේ මේ ලක්ෂණය දැකිය හැකි වන්නේ ඉතා අඩු ආත්ම සම්මානයෙන් යුතු පුද්ගලයන් වෙතිනි. එමෙන්ම දීර්ඝකාලීන පීඩාකාරී අන්තර් පුද්ගල සම්බන්ධතා ද ඊට හේතු විය හැකිය. එබඳු චරිත ස්වභාව හඳුනාගත හැකි ලක්ෂණ ගණනාවක් පවතින බව පැවසේ. ඉන් එකක් වන්නේ " බැහැ " කියන්නට ඇති නොහැකියාවයි. කිසිවකුගේ හිත අසතුටු කරන්නට එබඳු තැනැත්තකු කැමති නොවේ. සියලු දෙනාගේ කැමැත්ත හා ප්‍රියමනාප බව ඉලක්ක කරගෙන ඔවුන්ගේ සිත් සතුටු කරන්නට යෑම ද එබඳුම තත්ත්වයකි.

ඒ හා බැඳුණු තවත් ලක්ෂණයක් වන්නේ යමක් ප්‍රතික්ෂේප කිරීමෙන් තමා පිළිබඳ අන්‍යයන් තුළ අයහපත් හැඟීමක් උපදිනු ඇතැයි බියක් ඇති කර ගැනීමය. මේ අනියත බිය කෙමෙන් එබඳු තැනැත්තකු යටහත් පහත් කොටුවකට සීමා කරන්නට සමත් වෙයි.

එබඳු තැනැත්තන්ට තමාට යැයි වෙන්කරගත් කාලයක් ඇත්නම් ඒ ඉතා අඩුවෙනි. එසේත් නැත්නම් තමාගේ "වෙන්කළ" කාලය වුව අනෙකකුගේ අවශ්‍යතාව වෙනුවෙන් වහා කැප කරන්නට සූදානම් වන්නෙකි. අනුන්ට උපකාර කිරීමේ සීමාවක් නොදැනීමද තවත් එක් ලක්ෂණයකි. අනුන්ට උපකාර කිරීම හොඳ ගතිගුණයක් බැවින් එහි සීමාවක් තබාගන්නට එබඳු තැනැත්තකුට නොසිතේ. එසේ සීමාවක් තබා ගැනීම නොමනා කටයුත්තකැයි කල්පනා කරන්නට පටන් ගනී. එය වරදකාරී හැඟීම් ස්වභාවයක් බවට පත්වෙයි.

අනවශ්‍ය අවස්ථාවලදී , එනම් ඉතා සුළු හා නොවැදගත් අවස්ථාවලදී පවා සමාව ගන්නට පෙලඹීම ද එබඳු පුද්ගලයන් වෙතින් දැකිය හැකි තවත් එක් ලක්ෂණයකි. බොහෝවිට මෙහිදී සිදුවන්නේ අනෙක් අයගේ හැඟීම්, ප්‍රතිචාර වෙනුවෙන් ඔවුන් කනස්සලු වීමය. සමහරවිට එය ඔහුට හෝ ඇයට කිසිලෙසකින්වත් අදාළ දෙයක් නොවන්නට ද ඉඩ තිබේ. මෙබඳු පුද්ගලයන් නිරන්තරවම පාහේ අන්‍යයන්ගේ අනුමැතිය පතන්නෝ ය. තවත් විදිහකින් පවසතොත් හැම විටම පාහේ ඊළඟට කළ යුත්ත ගැන වක්‍රාකාරව අවසරය, උපදෙස පතන්නෝය. එබඳු තැනැත්තන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ හැඟීම් අනෙකකු සමඟ බෙදා හදා ගන්නේ නොවේ. ඊට හේතුව වන්නේ තමන්ගේ ප්‍රශ්න ඉතා සුළු ලෙසත් බාහිර තැනැත්තන්ගේ ප්‍රශ්න වඩා බැරෑරුම් ලෙසත් කල්පනා කරන්නට කාලයක් තිස්සේ හුරු වීමයි.

තවත් ලක්ෂණයක් වන්නේ අඩු මට්ටමේ ආත්ම සම්මානය (low self esteem)යි. දීර්ඝකාලීනව පවතින කාංසාව, ආතතිය හෝ එබඳු වෙනත් චිත්තවේගික හෝ මානසික සෞඛ්‍යය පිළිබඳ ගැටලුවක් අඩු ආත්ම සම්මානය හෙවත් තමා පිළිබඳ අවතක්සේරුවෙන් කල්පනා කිරීමට හේතු වේ. එබැවින් ඒ අඩුපාඩුව මකා දැමීම සඳහා බාහිරව යම් සහායක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වුවමනාවටත් වඩා අනුන් වෙනුවෙන් කැපවන්නට ඔවුහු ඇතැම් විට උත්සාහ කරති.

තවත් සමහරකු අනෙකාගේ ප්‍රසාදය දිනා දිනා ගැනීම පිණිසම , ඇතැම් විට අප සමාජයේ කතා කරන අන්දමට " එක දාගැනීම " පිණිස හැම දෙයකටම " ඔව් " හෝ "හා" හෝ කියන්නට පුරුදු වී සිටී. අනෙක් අතට ඔවුන් එසේ කරන්නට පුරුදු වී සිටින්නේ " ආත්මාර්ථකාමී " ලේබලය ඇලවේ යන බිය හේතුවෙනි.

අනෙකකු වෙනුවෙන් තම කාලය කැප කිරීමේ ඇති වරද කුමක්දැයි යමකු අසන්නට පුළුවන. එහෙත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැතැයි කියන්නාක් මෙන් එහි ද යම් යම් පාඩු අවාසි සිදුවන්නට පුළුවන. හැම විටම අනෙකාට මුල්තැන දෙන්නට යෑමෙන් අපේ මානසික, චිත්තවේග මෙන්ම ශාරීරික සෞඛ්‍යය ද අපට නොදැනීම පාහේ අයහපත් පැත්තට ගමන් කරන්නට පුළුවන. එහිදී සිදුවන්නේ අනෙකා සතුටු කරන්නට යෑමෙන් තමාට තමා අහිමි වී යෑමය. අනෙකාගේ සතුට තමාගේ තමාගේ සතුටට වඩා ඉහළින් යයි කල්පනා කිරීම අතිශය අසීරු කාරණයකි. කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි පීඩනයකි.

පුද්ගලයන් සතුටු කරන්නට යෑම යමකුගේ මානසික සෞඛ්‍යයට අයහපත් ලෙස බලපෑ හැකිය. තමන්ගේ වගකීම් හා අන්‍යයන් වෙනුවෙන් සිදු කරන කැපවීම අතර සමබරතාව පවත්වා ගෙන යෑමට සිදු කරන මහත් වෙහෙස හේතුවෙන් මේ තත්ත්වය ඇති ඇතිවන්නට ඉඩ තිබේ. තමා වෙනුවෙන් ඇති කාලය සීමා වීම නිසා මානසිකව මෙන්ම ශාරීරිකව ද දැඩි වෙහෙසක් විඳින්නටද එබඳු පුද්ගලයකුට සිදුවෙයි. එහිදී අන්තර් පුද්ගල සම්බන්ධතාවලට, විශේෂයෙන්ම පවුලේ සාමාජිකයන් හෝ සේවා ස්ථානයේ සමීපතමයන් අතර ඇති සම්බන්ධතාවලට එය අහිතකර ලෙස බලපාන්නට පුළුවන. මනෝ විද්‍යාඥවරියක මෙන්ම කතුවරියක ද වන හැරියට් බී. බ්‍රෙයිකර් ඇගේ "Disease to Please (2002)" කෘතියේ මෙසේ පවසන්නීය. " බැහැ කියලා කියන්නට අවශ්‍ය බොහෝ අවස්ථාවල ඒ වෙනුවට " හා" කියන්නට යෑම බොහෝ ගැටලු ඇති වීමට හේතුවක්. අනෙක් අතට සෑම දෙයකටම පාහේ අනුන්ගේ අවසරය - අනුමැතිය පතන්නට යෑම ඇබ්බැහියකින් නවතින්නකි."

සේවා ස්ථානයේදී සීමාව ඉක්මවා අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නට යෑම, අන්‍යයන් සනසන්නට යෑම ඒ හැටි හොඳ කටයුත්තක් නොවේ. එයින් වළකින්නට හැකි හොඳම මාර්ගය වන්නේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගැනීමත් අනෙකකුට වැරැද්දක් කියන්නට නොහැකි ආකාරයෙන් තම සේවය ඉටු කිරීමත්ය. එහිදී එසේ සිදු කරන තැනැත්තාගේ වටිනාකම ඉහළ යෑම මෙන්ම රැකියා තෘප්තිය ඉහළ යෑම ද සිදුවේ. යම් නිලධාරියකු හෝ සේවා ස්ථාන සගයකුගේ හෝ සිත දිනාගත හැකි පරිදි කටයුතු කිරීම වරදක් නොවේ. එහෙත් ඔවුන්ගේ සිත් සතුටු කිරීම වෙනුවෙන්ම වුවමනාවට වඩා කැපවීම අන්තිමේදී ඉතිරි කරන්නේ කනස්සලු හැඟීමක් පමණි. අවසානයේ එහිදී සිදුවන්නේ ආත්ම ගෞරවය ද බින්දුවට වැටීමය.

තමා අතින් පැහැදිලිවම වරදක් සිදු වුවහොත් පමණක් සමාව අයැදීම සිදු කළ යුතුය. අපට මුළු ජීවිත කාලය පුරාම අන්‍යයන් සනසන්නට නොහැකිය. මිනිසුන් යනු යන්ත්‍ර නොවේ. ඔවුන් අතින් ඕනෑම විටක වරදක් සිදු වන්නට පුළුවන. අපේ ඉදිරි ගමන ඇත්තේ වැරදිම් මතයි. වරදක් සිදු වූ හැම මොහොතක්ම පාසා තමාට දෝෂාරෝපණය කරගන්නට යෑම නිෂ්ඵල ක්‍රියාවකි. විශේෂයෙන්ම සේවා ස්ථානයේදී අනෙක් අය වෙනුවෙන්, තමා සෘජුව සිදු නොකළ වැරැද්දකට හෝ අතපසුවීමකට ලතැවීම හෝ සමාව ගන්නට යෑම අවශ්‍ය නොවේ.

මෙහිදී තදින් සිතට ගත යුතු කාරණයක් වන්නේ රාජකාරි ස්ථානයේදී හෝ වේවා වෙනත් තැනකදී හෝ වේවා මිනිසුන් ඔබ අගය කළ යුත්තේ තුළ ඇති සැබෑ ගති ගතිගුණ හා ලක්ෂණ නිසා මිස ඔබ අතින් සිදුවන උදවු උපකාර නිසාම පමණක් නොවිය යුතු බවය. ආත්මාර්ථකාමී නොවී නොසිටීමේ සීමාවත්, සීමාරහිත ලෙස අන්‍යයන් වෙනුවෙන් තමාගේ කාලයත් ශ්‍රමයත් වැය කිරීමත් අතර ඇත්තේ විශාල පරස්පරයකි.

යම් හෙයකින් අප ද මේ තත්ත්වයට ඇබ්බැහි වී හෝ හුරු වී හෝ ඇත්නම් මේ ඉන් මිදෙන්නට ද මඟක් තිබෙන්නට පුළුවන. පළමුව කළ යුත්තේ ඉඳහිට හෝ "නැහැ - බැහැ " කියන්නට හුරු වීමයි. බැලූ බැල්මට එය මුරණ්ඩු හා සදාචාර විරෝධී ප්‍රකාශයක් ලෙස පෙනෙන්නට පුළුවන. එහෙත් තමාට ඉටු කරන්නට බැරි කාරණයකට " හා " කියන්නට යෑම ඇතැම් විට නැති ප්‍රශ්නයක් හැදෙන්නට ද මඟකි. එබැවින් බැරි දෙයට, එනම් කරන්නට අපහසු දෙයට " බැහැ " යයි කියා කීමට හුරුවීම වරදක් නොවේ. අනෙක නැහැ - බැහැ නොකියන පුද්ගලයකැයි හංවඩු ගැහීම ද මේ කපටි සමාජයේ ඒ හැටි හොඳ දෙයක් නම් නොවේ.

එකවර උත්තරයක් දෙන්නට ඉක්මන් නොවීමද හොඳ පුහුණුවකි. ගත්කටටම "හා" කියනවාට වඩා ටිකක් කල් වේලා ගැනීමෙන් මීට වඩා හොඳ උත්තරයක් හදා ගන්නට අපට පුළුවන් වනු ඇත. එමෙන්ම , සැබවින්ම අපට අසීරු කටයුත්තකට එකඟ වී වැඩ වරද්දාගැනීමේ අවදානම ද එහිදී අඩු වෙයි.

ඊළඟට අපේ වැඩ වෙනුවෙන් නිශ්චිත කාල සීමාවක් සැලසුම් කිරීම වැදගත්ය. වෙන්කිරීම පමණක් නොව එය හැකි තාක් දුරට තමා වෙනුවෙන් කළ යුතු අනිවාර්ය වැඩ කොටස ප්‍රායෝගිකව කරන්නට හුරු වීම ද අනිවාර්යයෙන්ම කළ යුත්තකි.

අනෙකකු වෙනුවෙන් කාලය වැය කරන්නට පොරොන්දු වන්නට පළමු තමාගේ ප්‍රමුඛ කටයුතු හඳුනා ගැනීම ද වැදගත් ය. අනෙක් තැනැත්තන් ඔවුන්ගේ කටයුතුවලට මුල් තැන දෙන බැවින් අපත් අපේ වැඩක් බලා ගත යුතුයැයි කීම එහි අදහස නොවේ. එහෙත් තමාගේ අවශ්‍යතා නොඉටුවෙද්දී අන් අය වෙනුවෙන් මුළු කාලයම පාහේ කොන්දේසි විරහිතව වැය කිරීම අපරාධයකි. අන් අයට උදවු වීම තරම්ම තමාගේ වැඩකොටස ඉටුකර ගැනීමද වැදගත්ය.

යම් කටයුත්තක් හේතුවෙන් නැහැ - බැහැ කී යම් මොහොතක අන්‍යයන්ගේ ප්‍රතිචාරය ඒ හැටි හොඳ නැතිනම් එයින් කියැවෙන්නේ අප දැන් සීමාවක් ඇති කර ගත යුතු බවය. එසේ කිපෙන්නේ හෝ යම් සෘණාත්මක ප්‍රතිචාරයක් දක්වන්නේ ඔබ සැබවින්ම ඇලුම් කරන අයකු වන්නට නුපුළුවන. ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔබේ උපකාරය හෝ කැප කිරීම පමණි. එබැවින් එවැනි තැන්වල සීමා හඳුනා ගැනීම හොඳම විකල්පයයි.

එහෙත් මේ සියල්ලෙන් කියවෙන්නේ අප අනෙකකුට උපකාර නොකොට ආත්මාර්ථකාමී ලෙස කටයුතු කළ යුතු බව නොවේ. පවුලේ සාමාජිකයන් හා සමීපතමයන් සම්බන්ධයෙන් අපට එසේ කරන්නට නුපුළුවන. දැඩි මිත්‍ර සම්පත්තියකින් වෙළෙද්දී එහි සීමා ඇති කර ගත නොහැකි බව පැහැදිලිය. පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් ද එය එසේමය. එහෙත් එකී සීමාවලින් බොහෝ එපිටට ගොස්, කෙළවරක් නැතිව අනුන් වෙනුවෙන් පෙනී ඉන්නටත් බැරි බව දැන දැනත් එය නොකියා ඉන්නට නොහැකිකම නිසා නිදහසත් මානසික සහනයත් නසා ගැනීම පිළිබඳය.

අනුන් සනසන්නට යෑමේ නොඑසේ නම් ඔවුන් වෙනුවෙන් දුක් ගන්නට යෑමේ පුරුද්ද ආපහු හරවන්නට එක රැයෙන් නුපුළුවන. ඊට ඔබේ අපේ ඇතැම් පුරුදු හා සටන් වදින්නට අපට සිදු වෙයි. එහිදී අපේ සීමා වටහා ගන්නටත්, ඒවා ප්‍රායෝගිකව යොදා ගන්නා ආකාරය තේරුම් ගන්නටත් බොහෝ වෙහෙසක් ගත යුතු වෙයි. එය තනිව සිදු කර ගන්නට නො හැකි විටෙක උපදේශනය සම්බන්ධ වෘත්තියමය සුදුසුකම් සහිත පුද්ගලයකුගේ උපදෙස් හා මඟපෙන්වීම පතන්නට ද අපට පුළුවන.

එසේත් නොමැති නම් අවබෝධයෙන් යුතු විශ්වාසවන්ත මිතුරකුගේ හෝ පවුලේ සාමාජිකයකුගේ සහාය වුවද අපට මෙහිදී වැදගත් ලෙස බලපාන්නට පුළුවන.

Comments