සරස්වතී | සිළුමිණ

සරස්වතී

 

වේලාව උදෑසන අට පසුවූවා පමණි. තවමත් නගරසභා සේවකයෝ එකා දෙන්නා සේවයට වාර්තා කිරීමට දුව එන අයුරු මිදුල අමදින සරත්ට දර්ශනය වේ. සිටුවීමට ගෙනා අඹ පැළයේ කොළ දෙක තුන මඳ සුළඟට සෙලවේ. උදෑසන සේවයට පැමිණෙන්නන්ගෙන් ඇතැමකු ඔහුට අතවනා ගොඩනැඟිල්ල තුළට දිව යයි. මහමඟ යනෙන වාහනවල ශබ්දය පරදවමින් අහසේ ගමන් කරනා ගුවන් යානයක හඬ ඇසෙන්නට විය. සරත් ඉඳල සිය සිරුරට හේත්තුකරගෙන අහස දෙස බැලීය. නිල්වන් උදෑසන අහසෙහි තැනින් තැන සුදුපැහැ වලාකුළු එකතු වී තිබේ. ඒ අතරින් ඈතට ඇදීයන ගුවන් යානයක් ක්‍රමයෙන් කුඩාවී නොපෙනී ගියේය. මීට ටික කලකට ඉහතදී සරස්වතී ද මේ අයුරින් නගරසභා ගොඩනැඟිල්ලට ඉහළ අහසින් රටින් පිටවී ගියා නොවේදැයි හේ කල්පනා කරන්නට විය. තමාගේ අනවශ්‍ය ක්‍රියාවන් නොවන්නට ඇය තවමත් තමා සමඟ මේ ගොඩනැඟිල්ලේම සේවය කරනු ඇත. එසේම තමාට ද වැඩ තනමකට ලක්නොවී තම රාජකාරී සේවාව අඛණ්ඩව කරගෙන යෑමට ද තිබුණි. එහෙත් දැන් අතීතය වෙනස් කිරීමට ක්‍රමයක් නොමැත. සරත් හිස් අහසට හෙළු නෙත් තවමත් අහසෙහිම තබාගෙන කල්පනා කරන්නට විය.

 

" ගුඩ් මෝර්නින් සරත් ! කොහොමද ..?

එක් වරටම අසලින් ඇසුණු කටහඬක් මෙතෙක් අහසට යොමුවී තිබුණ සරත්ගේ දෑස් පොළවට ගෙන ඒමට සමත් විය. සුදුපැහැ ඔසරියකින් සැරසුණු සාවිත්‍රී ඔහු අසල හිටගෙන හිනැහුනාය.

" ගුඩ් මෝර්නින් මිස්. මම දැක්කේ නෑ ... "

" දකින්නේ කොහොමද මම එද්දිත් සරත් උඩ බලාගෙනනේ උන්නේ.."

"නෑ මිස් මේ ප්ලේන් එකක් ගියා .. ඒකයි බැලුවේ "

" උඩ බලන් උන්නට කමක් නෑ. හැබැයි පිස්සු වැඩකරල ආයෙත් රස්සාව නැති කරගන්නව නෙමෙයි. අපි බොහොම අමාරුවෙන් තමයි ලේකම්තුමාට පින්සෙණ්ඩු වෙලා සරත්ගෙ ජොබ් එක ආයේම පාරක් අරන් දුන්නේ.."

සාවිත්‍රී සිනාසෙමින් කාර්යාලය තුළට ඇතුළු විය. වයස අවුරුදු හතළිස් පහක් පමණවූ සාවිත්‍රී ගුණසේකර සැබවින්ම කරුණාවන්ත තැනැත්තියකි. ඉතාමත් පහළ තැනකින් රැකියාවට ප්‍රවිෂ්ට වූ ඇය දැන් රැකියාවේ ඉහළ තලයකට එලඹ සිටී. නමුත් දෛවයේ කුමන හෝ සරදමකින් ඇය තවම අවිවාහකය.

සරත්ගේ සිත වහා අතීතයට ඇදී ගියේය. මීට වසර තුනකට පමණ පෙර එක් දවසක් පිළිබඳ මතකය සරත්ගෙ සිතෙහි ගල් කැටයමක් මෙන් නොසෙල්වී සලකුණුව තිබිණ. ඒ සරස්වතී මුලින්ම නගරසභාවේ සේවය සඳහා පැමිණි දිනයයි. කොළඹින් බොහෝ ඈත කඳුකරයේ තරුණියක වූ සරස්වතී නගරසභා සේවයට එක්වුවද ඇය කෙරෙන් පළවූයේ වැදගත් පවුලක තරුණියකගේ පෙනුමකි. සරත් සහ සරස්වතී මුල්වරට මුණගැසුනේ නගරසහා ගොඩනැඟිල්ල ඉදිරිපස වූ සුවිසල් අඹ ගස යටදීය. කළු පැහැති සාරියක් හැඳ , සාරි පොට ඉන වටා දවටාගෙන හුන් සරස්වතී පාර අමදමින් සිටියාය. මුල් දිනවලදී සරත් හට සරස්වතී පිළිබඳව එතරම් තැකීමක් තිබුණේ නැත. නමුත් ටික දිනක් ගතවෙද්දී එක් උදෑසනක තේ පානය කරන වෙලාවකදී සරත් හට ඈ සමඟ කතා කිරීමට ඉඩ ලැබිණ.

නගරසභා ගොඩනැඟිල්ල කෙළවර වූ කුඩා කාමරය නගරසභා සුළු සේවකයන්ගේ විවේකාගාරය විය. උදෑසන දහය පමණ වනවිට වැඩකරන සියල්ලෝම එක්වී නිවෙසින් හෝ කඩයකින් ගෙන ආ දෙයක් සප්පායම් වෙමින් තේ බීම සාමාන්‍ය සිරිතක් කොට ගෙන තිබිණ.

" අයියා තේ එකක් දෙන්ඩද..?

තමා අසලට පැමිණි දෙමළ තරුණිය කැඩුන සිංහලෙන් එසේ ඇසූවිට සරත් යම්තමට ඈ හා සිනාසුණි.

" හා බොමු බොමු.. මෙන්න මේකට තේ ටිකක් දාන්නකෝ."

එසේ පැවසූ සරත් සරස්වතී දෙසට තම කෝප්පය දිගු කළේය. සිනාමුසු මුහුණින් සරත් දෙස බැලූ සරස්වතී කෝප්පය පිරෙන්නම තේ වත්කොට එය දෝතින්ම සරත් හට දිගු කළාය. සරස්වතී තමන් වෙත හෙළුෑ බැල්ම මේ ලෙසින් මුළු ජීවිත කාලය පුරාවටම තමා පීඩාවට පත්කරනු ඇතැයි සරත් හට එවේලෙහි නොවැටහිනි.

දින, සති, මාස ඔහේ ගෙවී ගියේය. නගරසභා ගොඩනැඟිල්ල ඉදිරිපිට වූ අඹ ගස කොළ හලමින්ද, දලු දමමින් ද, මල් පූදමින් ද ඉන් අනතුරු ඵල හටගන්වමින් ද නොයෙක් සිරි දැක්වීය.

" ඔයා තවම මට ඔයාගේ සම්පූර්ණ කතාව කිව්වෙ නැහැනෙ.."

දිනක් අඹ ගස පාමුල වූ බංකුවේ තමා අසලින් හිඳගෙන සිටින සරස්වතීගේ කනට ළංවී සරත් එසේ විමසුවේ බැරිම තැනය. සරස්වතී නිහඬව බිම බලා සිටියාය.

" ඒක කියන්න තරම් ලස්සන කතාවක් නෙමෙයි අයියා.. ඇරත් මට සිංහල හොඳටම බැහැනෙ. ඒ නිසා අයියට මගේ කතාව තේරුම් ගන්න අමාරු වෙයි.. "

" නෑ මම තේරුම් ගන්නම්. අනේ කියන්නකෝ.."

සරත් නොඉවසිල්ලෙන් ඇවිටිලි කළේය.

" මට අම්ම නෑ අයියා.. අප්ප තමයි පොඩි කාලේ ඉදලම මාව බලාගත්තේ. මගේ අම්ම මම පුංචි කාලෙදිම වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා. මම තනිවම අප්ප එක්ක තමයි හැදුනා.."

සරත් හට මුල්වරට සරස්වතී කෙරෙහි අනුකම්පාවක් දැනෙන්නට විය. එක් වරටම ඇයගේ අතකින් අල්ලා ගැනීමට ඔහුට සිත් විය. එහෙත් සරස්වතී යනු ලැජ්ජාශීලී දමිළ යුවතියකි. ඉක්මන් වුවහොත් ඈ තමා පිළිබඳව අහිතක් සිතන්නට ද බැරි නැත. ස‍රත් ඉවසීමෙන් යුතුව සරස්වතීගේ කතාව අසා සිටියේය.

" පස්සෙ අප්ප වෙන කසාදයක් බැඳගත්තා. ඒ කසාදෙ හින්දා මට තව නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නව ..."

" ඉතින් .. ඉතින් ඊට පස්සෙ.. ?

සරත් කතාව ඉක්මන් කළේය.

" අප්ප දෙවැනි පාර බැඳපු පුංචි අම්ම මට සෑහෙන්න වෙනස්කම් කළා. ඒව බලන් ඉන්න බැරිතැන අප්ප මාව ආච්චිලගෙ ගෙදර ගිහින් නැවැත්තුව. මම ඉන්පස්සෙ දිගටම හැදුනෙ ආච්චි ළඟ. අප්ප ඉන්පස්සෙ අවුරුද්දකට සැරයක්, දෙකක් මං බලන්න එනවා. දැන් මං ලොකුයි.. ගෙදර ප්‍රශ්න වැඩියි. ඒ නිසයි මම මේ ජොබ් එකට කොළඹ ආවේ.. "

සරත් හට වැලපීමට ඕනෑතරම් කරුණු ඒ කතාව තුළ විය. ඔහුට එක්වරම ඇයගෙ හිස අතගා ඇයව සැනසීමට සිතිණ. නමුත් කුඩා කාලයේ සිටම ප්‍රගුණක " හැදිච්චකම " ඔහුගේ එම සිතුවිල්ල ක්‍රියාවට නැංවීමට එරෙහිව නැඟී සිටියේය.

 

ඉන්පසු ගෙවීගිය බොහෝ සන්ධ්‍යාවල සරත් හා සරස්වතී නගරසභා ගොඩනැඟිල්ල ඉදිරිපස අඹ ගස යට නිතරම දැකිය හැකි චරිත දෙකක් විය. ඔවුන් දෙදෙනා දකින බොහෝ අය සිතූවේ ඔවුන් පෙම්වතුන් ලෙසටය. නමුත් ඔවුන් දෙදෙනාගේම සිත් තුළ එකිනෙකා කෙරෙහි එවැනි හැඟීමක් ඇතිවී තිබේදැයි ඔවුන් දෙදෙනාම නොදත්තෝය. වැඩ කරන අතරවාරයේ මෙන්ම වැඩ ඇරී නවාතැන් කරා යන තුරුත් ඔවුහු ඔවුන්ගේ ඇසුරෙහි ගතකළෝය. ආයතනයේ ඉහළ නිලධාරීන්ගෙන් ද ඔවුනට එතරම් බාධාවන් එල්ල නොවිණි.

කඳුකරයේ සිට කොළඹට පැමිණි දෙමළ තරුණයකු වූ " සෙල්වම් " නගරසභාව අසල බැංකුවක පිරිසුදු කරන්නකු ලෙස සේවයට ආවේ මේ අතරය. ඇතැම් දිනවලදී ඔහු තම සේවාව හමාර කළ පසු අඹ ගස පාමුල වූ බංකුවේ ඉඳගෙන සිටින්නටද, නගරසභා උද්‍යානයේ ඇවිදීමට ද පුරුදුව සිටියේය. එසේම බැංකුවෙහි රාජකාරී අවශ්‍යතා මත ඇතැම් දිනයක නගරසභා කාර්යාලයට ද පැමිණියේය. කල්යත්ම ඔහු නගරසභා සේවකයන්ගේ හිතවතකු බවට පත්විය. දිනක් උදෑසන රාජකාරියට පැමිණෙමින් සිටි සරත්ගේ හිත සසල කළ දර්ශනයක් විය. තමා හා සරස්වතී නිතර හිඳගෙන සිටිනා අඹ ගස පාමුල සෙල්වම් හා සරස්වතී හිඳගෙන උන්හ. ඒ දර්ශනය දැකීමෙන් සරත්ගේ සිත අන් කවරදාකටත් වඩා කැලඹීමට පටන්ගත්තේය. උඩට ගත් හුස්ම පහළට දැමීමට ඔහුට අමතක විය. විශාල ගලක් විත් තම පපුව මත පතිත වූවාක් වැනි හැඟීමකින් ඔහු පෙළෙන්නට විය. ඒ අතරින් තමාගේ යටි හිත කෑගසා යමක් පවසනු ඔහුට ඇසිණ.

" ඒකි කාත් එක්ක කතාකළත් උඹට මොකද ? ඒකි උඹේ කවුද.....? ඇරත් උන් දෙන්නම දෙමළ. සිංහල දෙමළ දෙන්නෙක් කතාකරනවට වැඩිය එකම ජාතියක උන් දෙන්නෙකුට මොනතරම් දේවල් කතාකරන්න ඇද්ද..? "

මේසා විශාල ප්‍රශ්න හා පිළිතුරු තොගයක් සරත් ගේ සිත තුළ ඒ අතටත් මේ අතටත් විසිවෙන්නට විය.

උදෑසන දහවල බවටත්, දහවල සැඳෑව බවටත් පරිවර්තනය විය. නගරසභාව ඉදිරියේ වූ හතරමං හන්දියෙහි ඔරලෝසු කණුවේ පස්වරු පහේ සංඥාව නිකුත් විය. ඔරලෝසු කණුව මත වැසූ කපුටෝ තොර තෝංචියක් නොමැතිව කෑගසමින් සිය පිරිස එක් තැනකට කැඳවන අයුරු මහමඟට වන් සරස්වතීට පෙනිණ. ඈ සෙමෙන් සෙමෙන් පැමිණ අඹගස පාමුල බංකුවේ හිඳගත්තාය. මේ වෙලාව එනතෙක් බලාහුන් සෙල්වම් පාර පැනවිත් සරස්වතී අසලින්ම හිඳගත්තේය. සේවය නිමකොට නවාතැන කරා යෑමට ආ සරත් අඹගස පාමුල හුන් සෙල්වම් හා සරස්වතී දුර තියාම දුටුවේය. ඔහු, ඔවුන් දෙදෙනා මගහැරයෑමට සිතුවද සරස්වතී දුරතියාම අතවැනූ බැවින් ඔහුට සෙල්වම් හා සරස්වතී අසලට යෑමට සිදුවිය.

" සරත් අයියා.. මේ සෙල්වම්. හැටන් පැත්තේ ... අපේ ගෙවල්වලට බෝම ළඟයි.."

සරස්වතී සරත්ට සෙල්වම් හඳුන්වා දුන්නාය. සරත් සෙල්වම් හා සිනාසුණි.

" සෙල්වම්, මේ සරත් අයියා. මෙයා හරිම හොඳයි. මට මෙයා මගේම සහෝදරයෙක් වගෙයි.කොළඹ ගැන දන්නෙ නැති මට සරත් අයිය තමයි හැමදේම කියල දුන්නේ.."

සරස්වතී ද්‍රවිඩ භාෂාවෙන් සෙල්වම් හට සරත් පිළිබඳ කෙටි හැඳින්වීමක් කළාය. කුමක් කිවයුතුදැයි හරිහැටි නිනව්වක් නොවූ සරත් ඔවුන් දෙදෙනා දෙස බලා සිටින්නට විය. ඔහුගේ දෙතොල් වෙවුළුවේය. දෙපා පණ නැතිවේගෙන එන්නාක් මෙන් දැනුණි. ඒ ඇයිද යන්න ඔහු නොදත්තේය.

එදත් වෙනදා මෙන්ම නගරසභා ගොඩනැඟිල්ලට එපිටින් හිරු බැස ගියේය. නවාතැනෙහි තනිවූ සරත්ගේ සිතට නිවනක් නොවීය. තමන් මෙතෙක් කල් තමාටත් නොදැන සරස්වතීට පෙම් කර ඇති බව ඔහුට තේරුම් යමින් තිබිණ. නමුත් දැන් ඊට ප්‍රමාද වැඩිය. සෙල්වම් ක්‍රමයෙන් සරස්වතී වෙත ළංවෙමින් ඇත. එය කෙසේ හෝ නැවැත්විය යුතුය. එහෙත් එය කෙතරම් සාධාරණද, කෙතරම් සදාචාරසම්පන්නද යන ගැටලුව සරත්ගේ සිත පෙළන්නට විය. ඔළුව විකාර වී ගෙන එන බවත් තමන් විශාල මකුළු දැලක පැටලී ඇති බවත් සරත් හට ක්‍රමයෙන් අවබෝධ වෙමින් ඇත. වේලාව රාත්‍රී අටට ආසන්නය. එහෙත් කුසගින්නක සේයාවක් හෝ නොදැනේ. සරත් තම කාමරයේ සවිකර ඇති කණ්ණාඩිය ඉදිරියට ගියේය. තමන් මෙතෙක් වේලා සිට ඇත්තේ වැඩට ඇඳගෙන ගිය ඇඳුම පිටින්ම බව ඔහුට දකින්නට ලැබිණ. දැන් දැන් තම හිස හොඳටම අවුල් වීගෙන එන අයුරු සරත් හට දැනේ. පිස්සකු මෙන් කාමරයේ ඔබ මොබ ගමන්කළ සරත්ගේ දෙපා නැවතුනේ නවාතැනට මීටර් සියයක් පමණ ඈතින් වූ කුඩා තැබෑරුම ඉදිරිපිටදීය. එතන තමා කොපමණ වේලාවක් ගතකළේද කුමන මත්පැන් වර්ගයක් පානය කළේද , ඊට කොපමණ මුදලක් වියදම් කළේද යන්න පවා අමතක තත්ත්වයකට ඔහු පත්විය. යන්තම් දෙපා කළමනාකරණය කරමින් පාරේ එන සරත් හට දුර තියාම දර්ශනය වන්නේ නගරසබා ගොඩනැඟිල්ල ඉදිරිපිට වන අඹ ගසයි. තමාත් සරස්වතීත් කොපමණ කාලයක් කොපමණ වාර ගණනක් මේ ගස යට හිඳගෙන සිටින්නට ඇත්දැයි ඔහුගේ මනසට ගලා එයි. එහෙත් දැන් සරස්වතී හා ළඟින් ඉඳගෙන සිටින්නේ සෙල්වම් ය. තමාගේ රුව සරස්වතීගෙන් ඈතින් ඈතට පාවී යනු බමන මතින් සිටි සරත් හට පෙනෙන්නට විය. අඹ ගසේ අතු පහළට නැමී සරස්වතීට සහ සෙල්වම්ට පවන් සලන අයුරු ඔහුට පෙනේ. අඹ ගස සිය අතු පාත්කර මොහොතකින් සරස්වතී සහ සෙල්වම් සඟවා ගනු ලැබිණ. ඒ අතු අතරින් ඔවුන්ගේ සිනා හඬ සරත්ට ඇසෙන්නට විය. ඒ සිනා හඬ ක්‍රමයෙන් මිහිරි කෙඳිරියක් වී ගුවන් තලයට එක්වන අයුරුත් අඹ ගසේ ගෙඩි සෙමෙන් සෙලවෙන අයුරුත් සරත්ට දර්ශනය විය. සරස්වතීගේ දෙපාවල වූ ගිගිරි වැල් වේගයෙන් සෙලවෙන අයුරුත් ආශාවෙන් මත්වූ ඇගේ සිනා හඬත් විටින් විට සරත්ගේ සවන් කරා ඇදී එන්නට විය. සරත්ගේ සිතෙහි වූ ශෝකය ක්‍රමයෙන් ද්වේශයක් බවට පරිවර්තනය විය. වියළි සුළඟක් අවට ගස්කොළන් සොලවමින් ඇදී ගියේය. රාත්‍රියෙහි දුබල විදුලිඑළි අතරින් මහමඟ යනවුන් දුටුවේ වැටි වැටී නගරසභාව දෙසට දුවයන සරත්ගේ රූපයයි.

නගරසභාවේ ස්ටෝරු කාමරය වෙතට දිවගිය සරත් හට එහිවූ ආම්පන්න අතරින් පොරවක් සොයාගැනුමට වැඩි වේලා නොගියේය. පොරවත් රැගෙන වියරුවෙන් ස්ටෝරු කාමරයෙන් පිටවූ සරත් නතර වූයේ අඹගස අසලයි. සරස්වතී හා සෙල්වම් ආවරණය කොටගත් අඹ අතු පෙරසේම පෙම්වතුන් සඟවාගෙන හිඳී. පොරව දෑතින් ගත් සරත් ඉවක් බවක් නැතිව හැකි වෙර යොදා අඹගසේ කඳට පහර දෙන්නට විය. පොරෝ පහරවල්වලින් අඹ ගසේ කඳ පෙති පෙති කැපී ඉවතට විසි වෙන්නට විය. උදෑසන නගරසභාව ඉදිරියේ වූ මාර්ගයේ පැවතියේ දැඩි රථවාහන තදබදයකි. නගරසභාව ඉදිරියේ වූ අඹ ගස පෙරදා රැයෙහි කිසිවකු විසින් කපා මාර්ඝය හරහා දමා තිබිණ.

" සරත් තවම මෙතනද..?

සාවිත්‍රී නැවතත් තමා අසලට පැමිණ කතාකළ හඬින් සරත් අතීතයේ සිට සැණෙකින් වර්තමානයට පැමිණියේය.

" මිස් ළඟට එනකම්ම මම දැක්කෙ නෑනේ.. මම මේ අඹ පැළයක් හිටවන්නයි හැදුවෙ.."

" හොඳයි හොඳයි සරත් හිටවන්නකෝ .. හැබැයි බලාගෙන. මතකයිනෙ එක පාරක් අඹ ගහක් නිසා රස්සාව නැතිකරගත්ත.."

එසේ කී සාවිත්‍රී නැවතත් කාර්යාලය තුළට ඇවිද ගියාය.

උදේ සිටුවීමට ගෙනා අඹ පැළය තවමත් පසෙක වෙයි. වමතෙන් උදැල්ලත් දකුණතින් අඹ පැළයත් ගත් සරත් සෙමෙන් සෙමෙන් නගරසභාව ඉදිරිපිට මාර්ගය දෙසට පියවර මනින්නට විය. තමා අතින් පෙර දවසක විනාශවූ අඹ ගසෙහි සලකුණක් හෝ දැන් එතන නොමැත. නව අඹ පැළය සිටුවිය යුත්තේ කොතැනදැයි කල්පනා කළ සරත් අන්තිමට ඒ තැන තීරණය කළේය. ඉන්පසු අඹ පැළය බිම තබා උදැල්ල රැගෙන පොළවට උදලු පහර දෙක තුනක් දුන්නේය. පපුවේ දකුණු පස සිට නැඟ ආ වේදනාවක් සැණෙකින් හිස් මුඳුන කරා ගමන් කරනා බව හැඟී ගිය සරත් වහා බිම හිඳගත්තේය. අවට පෙනෙනා සියල්ල උඩු යටිකුරුවී කැරකෙන බවත් ඒ අතරින් සිනා හඬක් නැඟෙනා බවත් ඔහුට දැනෙන්නට විය. තමා අසල වූ අඹ පැළය ක්‍රමයෙන් උස් වෙමින් මහා ගසක් බවට පරිවර්තනය වෙමින් ඇත. අඹ ගසේ සෑම තැනක්ම ගෙඩිවලින් පිරී ඇත. කුරුල්ලන් රංචු පිටින් ගස කරා පියඹන අයුරුත්, අඹ ගසෙහි අතු අතරින් පෙනෙන ඉහළ අහසෙහි පාවෙන ගුවන් යානයක සේයාවකුත් පපුවේ වේදනාව අතරින් සරත්ට පෙනී නොපෙනී ගියේය.

 

වචන 2,000ට නොවැඩි ඔබේ කෙටිකතා නිර්මාණ පහත ලිපිනයට යොමු කරන්න.

සිළුමිණ කෙටිකතාව,

ලේක්හවුස්, කොළඹ 10.

දුරකථනය : 011 2429265

editor.silumina@lakehouse.lk

Comments