l ඔබ මුලින්ම ලිවීමේ කටයුතුවලට යොමු වුණේ කොහොමද?
මගේ ලේඛන ජීවිතය ආරම්භ වුණේ සිළුමිණ පත්තරේ එදා තිබුණු කාව්‍ය තීරයට කවියක් ලිවීමෙනුයි. ඒ නිසා සිළුමිණ පුවත්පත සමඟ මෙවැනි සාකච්ඡාවක් සිදුකිරීමට ලැබීම ගැන මම ඉතා සතුටුවෙනවා. ඉන්පසුව ලේක්හවුස් එකෙන් පළවූ සිංහල ඉංග්‍රීසි පුවත්පත්වලට ලිපි සහ නිර්මාණ දිගටම යොමු කළා වගේම දවස, රිවිරැස වගේම සන් වැනි ඉංග්‍රීසි, සිංහල පුවත්පත්වලටත් ලිව්වා. මම සිංහල ඉංග්‍රිසි යන භාෂා දෙකෙන්ම ලියන ලේඛකයෙක්. ඒ වගේම මාස කිහිපයක් වැනි කෙටි කාලයක් ලේක්හවුස් එකේ දිනමිණ කතෘ මණ්ඩලයේත් කටයුතු කර තිබෙනවා.
l වෘත්තීය පත්‍ර කලාවේදියකු හැටියට දිගටම කටයුතු නොකළේ ඇයි?
මම අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි භාෂාවෙන්. එස්. එස්. සී. විභාගය සමත් වීමෙන් පසු ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරයෙක් හැටියට සේවයට බැදුණා. ඒ කාලයේ ඒ විභාගය සමත් වුණාම ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට කටයුතු කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඊට පසුව තමයි අධ්‍යයන නිවාඩු පිට විශ්වවිද්‍යාලයට ගොස් ඉංග්‍රීසි විශේෂ උපාධිය හැදෑරුවේ. බී. ඒ. ඉන්ග්ලිෂ් මේජර් සහ බී. ෆිල්. ඉන්ග්ලිෂ් ස්පෙෂල් වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කොට කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා එහි ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ කතිකාචාර්යවරයකු හැටියට කටයුතු කළා. පසුව මම නයිජීරියාවට ගිහින් ඉංග්‍රිසි භාෂා කතිකාචාර්යවරයකු හැටියට සේවය කර යළි මෙරටට පැමිණ සිටි කාලයේ තමයි දිනමිණ කතෘ මණ්ඩලයේ සේවය කළේ. ඊට මාස කිහිපයකට පසු මට අවස්ථාවක් ලැබුණා ඕමාන්වල තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කතිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන්න. ඒනිසා තමයි මගේ වෘත්තීය පත්‍ර කලා ජීවිතය මාස කිහිපයකට සීමා වුණේ.
l ගත් කතුවරයකු හැටියට ඔබේ ජීවිතය ආරම්භ වුණේ කොහොමද?
මම මුලින්ම ලියූ නවකතාව ‘නොනිවෙන ගින්න’ නමින් 1962 දී ප්‍රකාශයට පත් වුණා. එදා ප්‍රකාශන සමාගමක් පොතකට ගෙව්වේ රු. 250 යි. ඒත් එවරස්ට් නම් අලුත් ප්‍රකාශන සමාගමක් මට රුපියල් තුන්සීයක් ගෙවන්න පොරොන්දු වුණා. ඒ නිසා මම අත් පිටපත ඔවුන්ට බාරදුන්නා. පොත හොඳින් අලෙවි වුණා. නමුත් අධ්‍යයන කටයුතු සහ විදේශගතවීම් නිසා පොතපත ලිවීමේ කටයුතු මගහැරුණා. පුවත්පත්වලට ලිවීම නම් දිගටම සිදු කළා.
නැවතත් මා ග්‍රන්ථකරණයට පිවිසෙන්නේ වසර 2000දී. එතැනදී වැඩිපුරම පරිවර්තන කටයුතු තමයි සිද්ධ වුණේ. පුවත්පත්වලට ලිවීම නිසා සිළුමිණ පත්තරේ කතුවරුන් වශයෙන් සිටි මීමන ප්‍රේමතිලක, විමලසිරි එස්. සුබසිංහ, ඩී. ජේ. කරුණාරත්න යන අය සමඟ ඇසුරක් ගොඩ නැඟුණා. ඒ වගේම මගේ සමකාලීනයන් වූ කුලසේන ෆොන්සේකා, ධර්මසිරි ගමගේ වැනි අය ද මෙහිදී මතක් වෙනවා. ඩේවිඩ් කරුණාරත්න, ගුණදාස ලියනගේ, සිරිල් ඒ. සීලවිමලත් ඒ අතර සිටිනවා. දවස ඒ වගේම සන් වැනි පුවත්පත්වලට ලියද්දී සයිරස් ඩබ්ලිව් සුරේන්ද්‍ර වගේම ජී. ඩබ්ලිව් සුරේන්ද්‍ර යන අයව කිට්ටුවෙන් ඇසුරු කරන්න අවස්ථාව මට ලැබුණා.
l 2000 වසරේදී නැවතත් ග්‍රන්ථකරණයට පිවිසෙන ඔබ එතැන් සිට කළ කී දෑ ගැන කියනවා නම්?
එතැන් සිට මම බොහෝදුරට කටයුතු කළේ පරිවර්තන සාහිත්‍යය තුළයි. මුලින්ම දයාවංශ ජයකොඩි සමාගම සමඟ කටයුතු කළ අතර පසුව තවත් ප්‍රකාශන සමාගම්වලින් මට ආරාධනා ලැබුණා. ගුණසේන සමාගම මගේ පොත් තිහක්ම ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
මෙතෙක් මා කළ විශාලතම පරිවර්තන කෘතිය වන්නේ පිටු 950කින් යුත් සිංහලේ අන්තිම රාජධානියයි. එය කැප්ටන් එල්මෝ ප්‍රනාන්දු ඉංග්‍රීසි බසින් ලියූ කෘතියක සිංහල පරිවර්තනයක්. ඊළඟට කළ විශාලතම කෘතිය තමයි පරාජයේ උරුමක්කාරයෝ. එය අමෙරිකාවේ වෙසෙන ඉන්දියානු ලේඛිකාවක වන කිරාන් දේශායිගේ කෘතියක්. මේ අතර සම්භාව්‍ය කෘතිවල එන කතා පුවත් සිංහල බසින් සංක්ෂිප්තව පොත් පෙළක් වශයෙන් පළ කරන්නට ගුණසේන සමාගම හා එක්ව කටයුතු කළා. මගේ පරිවර්තන කෘති අතර වඩාත් ජනප්‍රිය වූ කෘතිය වන්නේ පොත් හයකින් යුත් ඈන් නම් පොත් පෙළයි. එහි මුල් කතුවරිය කැනේඩියානු ලේඛිකාවක්. මේ වනවිට එම පොත් පෙළේ දසවැනි මුද්‍රණයත් නිකුත් වෙලා තියෙනවා.
l පරිවර්තන සාහිත්‍යයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
අද වෙනකොට පරිවර්තන කෘතිවලට ලොකු වෙළෙඳපොළ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා පරිවර්තන කෘති විශාල වශයෙන් බිහිවීමකුත් තියෙනවා. කොහොම නමුත් මෙය බැරෑරුම් ලෙසින් ගත යුතු කාරණයක්. සමහර කෘති කියවද්දි අපට දැනෙනවා ඒ ලේඛකයා ඉංග්‍රීසි පමණක් නොවේ සිංහල භාෂාව ගැනද දන්නේ හරි අඩුවෙන්ය කියළා. සිංහල බස හොඳින් පරිහරණය කිරීමේ නොහැකියාවක් ද ඇතමුන්ට තියෙනවා. වචනයෙන් වචනයට වාක්‍යයකින් වාක්‍යයකට කරන පරිවර්තනවලින් සාර්ථක පරිවර්තන කෘතියක් ඉදිරිපත් කරන්න බැහැ. මුල් කෘතිය හොඳින් කියවා අවබෝධ කරගෙන පසුව එය සිංහල බසින් මනා ලෙස ගළපමින් ඉදිරිපත් කිරීම තමයි සාර්ථක පරිවර්තන කෘතියක මූලික පදනම වන්නේ. මුල් කෘතියේ කතුවරයාට අසාධාරණයක් නොවන ආකාරයෙන් ඒ දේ කළ යුතුයි. ඒ අනුව මුල් කෘතියේ ආකෘතිය, එහි විලාශය යන මේ දේවලට සාධාරණය ඉෂ්ට කරන්න පරිවර්තකයා බැඳී සිටිනවා. මුල් කෘතිය එහි කතා වස්තුව ඒ වගේම කතුවරයා පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට පරිවර්තකයා කටයුතු කළ යුතුයි. එවැනි වගකීමක් අවබෝධයක් නැතිව කටයුතු කිරීම සාහිත්‍ය අපරාධයක් හැටියට සලකන්න පුළුවන්.
l මුලින්ම ලියූ නවකතාවෙන් පසු තවදුරටත් නවකතාකරණයේ යෙදෙන්න ඔබ අදහස් කළාද?
වැලිකතරේ පියසටහන් නමින් මා ලියූ තවත් නවකතාවක් මෑතදී සරසවි ප්‍රකාශකයන් විසින් නැවතත් මුද්‍රණය කරනු ලැබුවා. අරාබිකරයට ගෘහ සේවයට යන අපේ ස්ත්‍රීන්ගේ දුෂ්කරතා සහිත දිවි පෙවෙත එහි විස්තර වෙනවා. ඒ වගේම අරාබි මිනිසුන්ගේ විශේෂයෙන්ම අරාබි ගැහැනුන්ගේ අප නොදත් ඇතුළාන්ත විස්තර ද එහි සඳහන් වී තියෙනවා. මේ වනවිට මම නවකතා හතරක්ම ලියා තිබෙනවා. ඒ හැර සිංහලේ ඉතිහාසගත කාන්තාවෝ, ඉතිහාසය කැළඹූ පෙම් කතා නමින් කෘති දෙකක් ද පළ කොට තිබෙනවා.
l ඉදිරි නිර්මාණ කටයුතු ගැන විශේෂයෙන් යමක් කිව හැකිද?
මේ වන විට මම ජීවිතයේ සැඳෑසමය ගෙවමිනුයි සිටින්නේ. මේ වනවිට ප්‍රංශයේ සම්භාව්‍ය ලේඛකයකු වන බල්සැක්ගේ ගෝරියෝ ෆාදර් කෘතිය ගෝරියෝ අප්පච්චි නමින් සිංහලට පරිවර්තනය කොට තිබෙනවා. ළඟදි දයාවංශ ජයකොඩි සමාගමෙන් ඇහුවා අලුතෙන් කළ පොතක් එහෙම නැත්ද කියලා. ඔවුන්ගේ සූදානමක් තියෙන බවක් පෙනෙනවා පොත පළ කරන්න. එහෙම වුණොත් එය මගේ අලුත්ම පොත වශයෙන් හඳුන්වන්න පුළුවන්.