අපි පොත් කියවා බැණුම් ඇසූ අවසන් පරපුරේ අය විය හැකියි | සිළුමිණ

අපි පොත් කියවා බැණුම් ඇසූ අවසන් පරපුරේ අය විය හැකියි

 

l ඔබ සාහිත්‍යකරණයට පිවිසුණේ කොහොමද?

බොහෝ සාහිත්‍යකරුවන් කුඩා කල සිටම ලේඛනයට, නිර්මාණකරණයට යම් හැකියාවක් තිබුණු අයයි. සාහිත්‍යකරණය උගත හැකි ද යන්න මා නොදන්නා නමුත්, එම හැකියාව අමතකව යා හැකි බව නම් මට විශ්වාසයි. පාසල් කාලයේදී විවිධ සාහිත්‍ය තරගවලින් ජයග්‍රහණ ලබාතිබුණත්, ඉන් අනතුරුව අධ්‍යාපන කටයුතුවල කාර්ය බහුලත්වය සමඟ විෂයානුබද්ධ යමක් හැර, නිර්මාණාත්මක රචනය සම්පූර්ණයෙන්ම පාහේ මගේ ජීවිතයෙන් අත් හැරුණ බව කීවොත් නිවැරදියි. මම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත්, ඉන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී විශේෂ උපාධියත් ලබා ගත්තා. පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියත්, කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ නීතිපති උපාධියත් සම්පූර්ණ කොට මේ වන විට නීතිඥවරියක ලෙස කටයුතු කරමින් නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින් සිටිනවා. මේ සම්පූර්ණ කාලය තුළ නිර්මාණකරණයේ යෙදීමට නොලැබුණත් විවිධාකාරයේ පොත්පත්,ලේඛන රාශියක් කියවූවා. ඒ විදිහට මම කියවූ බොහෝ ගණනක් වූ පොත පත, ජීවිත අත්දැකීම් හා පවුලේ ආභාසය විසින් මා තුළ යම් නිර්මාණකරුවකු වී නම්, ඇය නොමියෙනු පිණිස ජීවන හුස්ම සපයා ඇතැයි මට සිතෙනවා. කියැවීමට ලැදි ගුරුවරියක වූ ධම්මිකා හේවාවිතාරණ වන මාගේ මවත් රාජකාරියට කැපවුණු පරිපාලන නිලධාරියකු වුවත් අමාත්‍යාංශ ලේකම්වරයකුව සිටියදී පවා නිර්මාණකරණය අත් නොහළ, කවියකු සහ ලේඛකයකු වූ රවීන්ද්‍ර හේවාවිතාරණ වන මාගේ පියාත් ඒ අතරින් මුල් තැන ගන්නවා. කුඩා කාලයේදී අපි කෙතරම් රුචියකින් පොත් කියෙව්වා ද කියනවා නම්, ඕනෑවට වඩා පොත් කියවීම නිසා බැණුම් ඇසූ අවස්ථා ද තිබෙනවා. සමහරවිට අපි පොත් කියවා බැණුම් ඇසූ අවසන් පරපුරේ අය විය හැකියි. අහම්බෙන් මෙන් තමන්ට කියවන්නට ලැබුණු පොතක් එහි රසවත් බවත්, වටිනාකමත් හේතුවෙන් මා වෙත ලබා දී, එය පරිවර්තන කරන ලෙස මාගේ ආදරණීය සැමියා වන ආචාර්ය අරවින්ද ශ්‍රී මෙවන් විසින් කළ දිරිමත් කිරීම නොවන්නට සාහිත්‍යකරණය වෙත මාගේ පිවිසීම ප්‍රමාද විය හැකිව තිබූ බව කිව යුතුමයි.

 

l ‘පොල් රුප්පා’ සහ ‘මුතු පංති’ කෘතිය ඔබ දකින්නේ කොහොමද?

මම ඒ කෘති දෙක සිංහල පරිවර්තන සාහිත්‍යයට එක් කරන්නේ, දහ නව වැනි සියවසේදී මෙරට සංචාරය කොට, සිලෝනයේ ජන ජීවිතය හා සොබාදහම පිළිබඳවත් අගනා ලෙස නිරීක්ෂණය කොට රසවත් ලෙස සටහන් කළ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි ලත් ස්කොට්ලන්ත ජාතික විද්වතකු වන ආචාර්ය ඇලන් වෝල්ටර්ස් ගේ “පාම්ස් ඇන්ඩ් පර්ල්ස්” කෘතියයි. එහි පරිච්ඡේද දහයක් පුරා මෙරට ඉතිහාසය, සිලෝනයේ මිනිසුන්, දහනව වැනි සියවසේ දී කොළඹ, පේරාදෙණිය, මහනුවර, නුවරඑළිය සහ අනුරාධපුරය නගරවල ස්වභාවය, මෙරට ගංගා සහ කඳු පන්ති, වන සතුන්, වෘක්ෂලතා සහ මුතු මැණික් සම්බන්ධයෙන් සුවිශේෂී වූ විස්තර ඇතුළත් කොට තිබෙනවා. මම වෝල්ටර්ස් ගේ මෙම කෘතිය සම්පූර්ණ ලෙසත්, සමාන හා අසංක්ෂිප්ත ලෙසත් වෙහෙසින් හා විශේෂ උනන්දුවෙන් යුතුව පරිවර්තනය කළේ මෙහි අන්තර්ගතය අප රටට ඉතා වැදගත් බවට වූ හැඟීම සහ මෙම වටිනා ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ සියලුම දෙනා විසින් කියවිය යුතු යැයි යන අදහස මුල් කරගෙනයි.

 

l මෙම කෘතියේ ඓතිහාසික වටිනාකම ඔබ දකින්නේ කොහොමද?

පොල් රුප්පා සහ මුතු පංති යනු ඉතිහාස විස්තර හෝ දේශාටන අත්දැකීම් එකතුවක් පමණක් නොවේ. එහි ඇත්තේ අපූර්ව වූ සාහිත්‍යයක්. සමහර විට සම කළ නොහැකි රෝමාන්තික සෞන්දර්යයක්.

උදාහරණ ලෙස, පළමු ඉංග්‍රීසි නවකතාව ලෙස ද බහුලව සැලකෙන “රොබින්සන් කෲසෝ” ලිවීමේදී ඒ සඳහා ඩැනියල් ඩෙෆෝ හට වස්තු බීජ සැපයූ ග්‍රන්ථ අතරට පවා එක්වන, සිලෝනයේ ඉතිහාස තොරතුරු ගෙන එන රොබර්ට් නොක්ස් ගේ “ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් සිලෝන්” කෘතිය ගතහොත්, එහි වූ විස්තරය, මා දකින ආකාරයට, සෘජු යි, අවංක නිරීක්ෂණයක් පමණක් යැයි කිව හැකියි. නොක්ස් සිංහල භාෂාව ගැන කියන්නේ මෙහෙමයි. “ඔවුන් ගේ භාෂාව සාරවත් ය, මෘදු ය, අලංකාර ය, එහි ආචාරශීලි බව, එය කථා කරන පුද්ගලයාට අනුව වේ.“ නමුත් ඇලන් වෝල්ටර්ස්ට හුදු නිරීක්ෂණයෙන් ඔබ්බට ගොස්, පර්යේෂණ තොරතුරු ද එක් කොට ඒවාට දේදුන්නක වර්ණ හා සූකිරි කන්දක රස ද තවරා මිස සිය අදහස ඉදිරිපත් කළ නොහැකි වූ බවක් පෙනී යයි. නොක්ස්, බ්‍රෝහියර්, ස්පිට්ල් ආදීන් ගේ ලේඛන තුළින් ගොඩනැඟෙන විදේශිකයන් දුටු සිලෝනයේ මගහැරුණු කොටසක් ආවරණය වන මෙම කෘතිය පුරාම ආචාර්ය වෝල්ටර්ස් විසින් ඉදිරිපත් කරන්නේ සිය නිරීක්ෂණයන්ට අවංක වූ, එනමුත් හැඟීම් කවන ලද, අත්දැකීම් ගොන්නක් යැයි කියන්න පුළුවන්. එය පාඨකයා වෙත මීට පෙර නොදැන සිටි දැනුම් සම්භාරයක් ගෙන එනවා වගේම ජාතිය පිළිබඳ වූ සියුම් අභිමානයක් ද පුබුදුවනු ඇතැයි සිතනවා. එය ඔබගේ හද ගැස්මට ද, දෑස් කෙවෙනිවලට ද දැනෙනු ඇත. මම මෙම පරිවර්තනයේ කවරයට ද යොදා ගත්තේ අපේ රට සම්බන්ධ පැරණි චිත්‍රයක්. ඒ ජර්මන් ජාතික අර්නස්ට් හැකල් විසින් වර්ෂ 1882 දී අඳින ලද කැලණි ගඟේ භූ දර්ශනයක වර්ණ සිතුවමක්.

 

l ඔබගේ අනාගත සාහිත්‍ය වැඩ කටයුතු පිළිබඳ සඳහනක් කළ හැකිද?

මම ලේඛන කාර්යයේදී වඩාත් උනන්දු වන්නේ අපට මගහැරුණු විශ්ව සාහිත්‍යයේ වටිනා ග්‍රන්ථ පාඨකයා වෙත ගෙන ඒමටයි. මේ වන විටත් මම ඇමෙරිකානු ළමා සාහිත්‍යයේ ඉතාම උසස් ග්‍රන්ථ මාලාවක් ලෙස සැලකෙන ෆ්‍රෑන්ක් බවුම් ගේ “වොන්ඩෆුල් විසඩ් ඔෆ් ඕස්” පරිවර්තනය කොට අවසන් කර තිබෙනවා. එය නුදුරු දිනයකදී එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා.

Comments