මේ ළමයාට මිනිස්සු පේන්න බෑනෙ. පුදුම බයක් මිනිස්සුන්ට තියෙන්නේ " ඕ පැවසූයේ සිය මිනිබිරිය පෙන්වමිනි.
" මිනිස්සුන්ට බයයි ? " මා ඇසූයේ තවත් ඇබින්දක් හරා අවුස්සන අටියෙනි.
"ඔව්. මනුස්සයෙක් දැක්කොත් දුවලා හැංඟෙන්නමයි හදන්නේ"
ඒ ලැජ්ජාශීලී ගතිය නිසා වන්නට ඇතැයි ඔබ දැනටමත් තීන්දු කර තිබෙන්නට පුළුවන. එය එසේ වන්නටත් ඉඩ තිබෙන නමුදු එය ඉවතලා සැලකිය යුතු කාරණාවක් ද නොවේ. ඉතා කුඩා වයස් මට්ටම්වලදී දකින්නට ලැබෙන මේ ලක්ෂණය අඩු වැඩි වශයෙන් ඔහු හෝ ඇය සමඟ වර්ධනය වන්නට පටන් ගතහොත් එය පෞරුෂ ආබාධයක් දක්වා දිග්ගැසෙන්නට ඉඩ තිබේ. ඉන් එකක් ලෙස Aviodant personality Disorder ( AVPD ) හඳුන්වා දිය හැකිය.
කිසියම් තැනැත්තකු විසින් තමා වැරදියට වටහා ගනු ලැබෙතැයි, එසේත් නැතිනම් විවේචනයට හෝ දෝෂදර්ශනයට පත්වෙතැයි මුල් බැසගත් සිතිවිල්ලෙන් යුතුව මිනිසුන් මගහැර සිටින්නට උත්සාහ කිරීම මේ පෞරුෂ ආබාධයේ ස්වභාවයයි. එය මා මුලින් කී මිනිසුන් දුටු විට හැංඟෙන පොඩි දැරියගේ කතාන්දරයට වඩා බෙහෙවින් වෙනස්ය. අනෙක් අතට ඔවුන් අන්‍යයන් සමඟ කටයුතු කරන්නට කැමති තැනැත්තන්ය. එහෙත් ඔවුන් වළක්වනු ලබන්නේ තමා අන්‍යයන් අතින් ප්‍රතික්ෂේප වේ යැයි හටගන්නා බියයි.
පුද්ගලයන් මුණ ගැහෙන්නට හෝ ඔවුන් හා කටයුතු කරන්නට හෝ පසුබට වීමේ මානසික තත්ත්වය පුද්ගල සම්බන්ධතා සහ සමාජ සම්බන්ධතා අඩාළ කරන්නට හේතු වන්නකි. L. Lampe හා G. S. Malhi 2018 වසරේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් 2.5% ප්‍රමාණයක් මේ පෞරුෂ ආබාධ තත්ත්වයෙන් පෙළෙන බව කියැවේ. අනෙක් අතට ස්ත්‍රී පුරුෂ භේදය මේ කාරණය සම්බන්ධයෙන් තීරණාත්මකව බලපාන සාධකයක් නොවන බව ද පැවසේ.
මේ තත්ත්වය කුඩා කාලයේ සිටම හඳුනා ගත හැකිද ? මේ ලක්ෂණය කුඩා කාලයේ සිටම දරුවකුගේ පෞරුෂයට කාන්දු විය හැකි නමුත් ඔහු හෝ ඇය වැඩිහිටි වියට පත් පත්වන තෙක්ම එය විශේෂයක් කොට හඳුනා ගන්නට අපහසු ය. එහෙත් යම් යම් ළමාවිය ලක්ෂණ නැතුවා නොවේ. එබදු තැනැත්තන් ළමා අවධියේදී වැඩිහිටියන් සමඟ කතාබහ හෝ ආශ්‍රයට මැළි වන්නාක් මෙන්ම සම වයස් කණ්ඩායම් සමඟ ද ඔහුට ඇත්තේ අතිශය හුදෙකලා හැසිරීමක් පමණකි. වෙනත් වචනවලින් කිවහොත් යහළුකම් ඇති කරගන්නට හෝ යහළුකම් පවත්වාගෙන යන්නට ඔවුන් අසමත්ය. ඇතැම්විට එය උත්පත්තියෙන් රැගෙන එන හැසිරීම් රටාවක් නොවන්නට ඉඩ තිබේ. එය ඔහුගේ වටපිටාව හා සමීපතමයන්ගේ හැසිරීම් රටා අනුව ද තීරණය වේ. ඇතැම් විට කුඩා කල එබඳු කිසියම් ලක්ෂණයක් නොපෙනුණු දරුවන් පවා හිටිහැටියේ ලැජ්ජාව හා පසුබැසීම මුසු මෙබඳු හැසිරීම්වලට හුරු වන්නට ඉඩ තිබේ. එහිදී පරිසරය හා ඔහු හෝ ඇය ලද අත්දැකීම් ද ඊට හේතු වේයැයි සිතිය හැකිය.
මේ ආකාරයේ පෞරුෂ ගැටලුවලින් පෙළෙන තැනැත්තන් හඳුනාගන්නට මඟක් තිබේදැයි ඔබ අසනු ඇත. පළමුව ඔවුන් යම්කිසි රැකියාවකට, වෘත්තියකට සම්බන්ධ ක්‍රියාකාරී ජීවිතයකට මැළිය. ඒ එහිදී විවිධ පුද්ගලයන් සමඟ එකට කටයුතු කිරීමට සිදුවෙන නිසාත්, එහිදී යම් විවේචනයකට ලක් වීමකට හෝ ප්‍රතික්ෂේප වීමකට ඉඩකඩ ඇතැයි සිතන නිසාත්ය. අනෙක් අතට තමාට කැමති හෝ තමා පිළිගන්නට කැමති බවක් පෙනෙන කණ්ඩායමක් , පිරිසක් සමඟ මිස වෙන කිසිවකු සමඟ ආශ්‍රය නොකර ඉන්නට කැමතිය. ඒ කවරක් වුව හැම මොහොතක ම පවා ඔවුන් පසුවන්නේ ලැජ්ජාවට පත් වේයැයි උපන් හැඟීමෙන් යුතුවය. එබැවින් ඔවුන්ගේ සමාජ ආශ්‍රය කිසිවිටෙකත් සැහැල්ලු හෝ නිදහස් හෝ එකක් නොවේ.
මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වන්නේ ආත්ම සම්මානය හීන වීමය. තම හැකියාවන්, පෞරුෂය හා සාමාජයීය කුසලතා පිළිබඳ නිතරම පාහේ දෙගිඩියාවෙන් පසුවන්නෝය. මේ කාරණය හේතුවෙන් අලුත් වැඩකට අත ගසන්නට හෝ නිර්භීත තීන්දුවක් ගන්නට හෝ නොහැකිය. අවදානමක් ගන්නට නොකැමතිය.
අතිශය සංවේදී පුද්ගලයන් වන ඔවුහු ඉතා ඉක්මනින්ම විවේචනයකදී හෝ මත ගැටුමකදී හෝ සිත් රිදවා ගනිති. ඉතා කිට්ටු යැයි සැලකිය හැකි යහළුවන් ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. එසේත් නැතිනම් කිට්ටු යහළුවකු නොමැති තරම්ය. හැකි තරම් සමාජ ක්‍රියාකාරකම් අවස්ථා මග හරින්නෝය. තමා අතින් යම් වරදක් අඩුපාඩුවක් සිදුවේයැයි උපන් බියෙන් හා ලැජ්ජාවකින් නිරන්තරව පෙළෙන්නෝය.
අනාගතයේ මුහුණ දෙන්නට සිදු විය හැකි ගැටලු ගැන අතිශයෝක්තියෙන් කල්පනා කිරීම ද එබඳු තැනැත්තන්ගේ ලක්ෂණයකි. ආත්ම විශ්වාසය, ස්වයං ඇගයීම ආදිය බොහෝ පහළ මට්ටමකට වැටෙන බැවින් බියගුලු හෝ අසමත් පුද්ගලයකු යැයි තමාවම හංවඩු ගසා ගන්නන්ට මෙබඳු පුද්ගලයෝ පෙලඹෙති.
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ශාරීරික සෞඛ්‍ය මානසික සෞඛ්‍ය මෙන්ම සාමාජීය සෞඛ්‍යද වැදගත්ය. පුද්ගල සම්බන්ධතා පවත්වාගෙන යාමේ ඇති අකමැත්ත හා පසුබෑම හේතුවෙන් ඔවුන්ට මේ අවස්ථාව මඟ හැරේ. එබැවින් මෙබඳු තැනැත්තන් හැමවිටම පසු වන්නේ තමා පිළිබඳ උපන් අතෘප්තියෙන් යුතුවය. ඔවුන් මෙකී සමාජ සම්බන්ධතා නොපවත්වන්නේ අර කී ලැජ්ජාව මුසු බිය හා අවිනිශ්චිත බව යළි යළිත් ඉස්මතු වන බැවිනි. එහෙත් මනා සමාජ සම්බන්ධතාවකට යාළු මිත්‍රයන් ආශ්‍රය කරන්නට ඔවුන් සිත යටින් කැමති බව ඇත්ත කතාන්දරයයි. මෙන්න මේ අඩුව අන්තයේදී මානසික සෞඛ්‍ය හා ශාරීරික සෞඛ්‍යය යන දෙඅංශයටම දැඩිව බලපාන්නට පුළුවන.
ක්‍රිස්ටීන් ඩී. සොරෙන්සන් හා පිරිස 2020 වර්ෂයේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව දරුවන් ඔවුන්ගේ මුල් ළමාවියේදී අත්දකින ඇතැම් දේ නිසා මෙවැනි සංකීර්ණතා ඇතිවිය හැකි බව හඳුනාගත හැකිය. මවුපිය රැකවරණ නිසිලෙස නොලැබීම, රැවටීමට හෝ හිංසාවට ලක් වීම, සමවයස් කණ්ඩායම් අතින් පාසලේදී පීඩාවට ලක්වීම යනාදිය මේ කාරණය සම්බන්ධයෙන් බරපතළ ලෙස දායක විය හැකිය.
ළමා කාලය තුළදී ඔවුනට සිදුවන වෙනස්කම් මේ ආකාරයෙන් ඔවුන්ගේ හැසිරීම් රටාවලට මුල් බැස ගන්නා අතර පසුව ඒවා අකා මකා දැමීම කොහෙත්ම සරල හෝ සුළුපටු කාරණයක් නොවේ.
යම්කිසි රැකියාවක යෙදීම වර්තමාන සමාජයේ අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබේ. නිසි සමාජ ජීවිතයක් ගත කිරීම සඳහා කවර තැනැත්තකු වුවද තමා කැමති එමෙන්ම තම හැකියාවට ගැළපෙන වෘත්තියක යෙදිය යුතුය. එහෙත් සමාජ ආශ්‍රයට බිය මෙබඳු පුද්ගලයකුට පළමුවම අහිමිවන්නේ මෙකී රැකියාව පිළිබඳ අවස්ථාවයි. අඩු පුද්ගල සම්බන්ධතාවලින් යුතු රැකියා ඇතත් එවැනි රැකියා සොයා ගත හැක්කේ කලාතුරකිනි. ඇත්තෙන්ම පැවසුවොත් අන්තර් පුද්ගල සම්බන්ධතාවකින් තොර වෘත්තියක් හෝ ව්‍යාපාර කටයුත්තක් හෝ නොමැති තරම්ය. වෘත්තයක හෝ ව්‍යාපාරයක හෝ සාර්ථකත්වය රඳා පවතින්නේ එහි ඇති අන්තර් පුද්ගල සම්බන්ධතාවල නිර්මාණාත්මක හා ක්‍රියාශීලීබව මතය. එහෙත් මෙවැනි තැනැත්තකුට ඒ අවකාශය, අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ ශක්තියක් හෝ නිර්භීතකමක් හෝ ඇත්තේ නොවේ. අනෙක් අතට යම් යම් සමාජ සම්බන්ධතා හා තත්ත්වයන්ට ඇති බිය හා නොකැමැත්ත හේතුවෙන් ඇතැම් තැනැත්තන් තම වෘත්තියේ උසස්වීම් ගැන පවා නොසලකා සිටින්නට පෙලඹෙන්න බවක් පැවසේ. මෙහිදී බලපාන්නා වූ ප්‍රධාන කාරණය නම් ලජ්ජාව හෝ බිය නොවේ. තමා ඊට සුදුසු නැති බව හා විවේචනයන්ට හා දෝෂ දර්ශනයට ලක් වන්නට ඉඩ ඇති බව කල්පනා කිරීමය.
මේ කාරණය යමකුගේ වෘත්තීය හා සමාජ ජීවිතය සම්බන්ධයෙන් පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ද අතිශය තීරණාත්මක ලෙස බලපාන්නට ඉඩ තිබේ.
අනෙක් අතට ඔවුන්ට අනෙකකුගේ චිත්තවේග හෝ හැඟීම් හඳුනා ගැනීම අපහසුය. බොහෝවිට ඔවුන් කරන්නේ ඈත සිට සැකමුසු දෑසින් යුතුව බාහිර තැනැත්තන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කිරීමය. මේ හුදෙකලා නිරීක්ෂණ බොහෝ හැමවිටම ගෙන එන්නේ වැරදි නිගමනයකි. ඉනික්බිති ඒ සියල්ල තමාට ආරෝපණය කරගෙන සමාජයෙන් දුරස් වන්නට උත්සාහ කරන බැවින් තවදුරටත් සිදු වන්නේ ඔහුගේ හෝ ඇයගේ සමාජ ජීවිතය අනපේක්ෂිත මට්ටමින් පහතට වැටීමය.
මීළඟට අප විමසිය යුත්තේ මෙකී තත්ත්වය සමනය කරගන්නට ගත හැකි පියවර මොනවාද යන්නයි. එය දෙයාකාරයකින් කල්පනා කළ යුතු දෙයකි. ඉන් පළමුවැන්න නම් දැනටමත් එබඳු පෞරුෂ ගැටලුවකින් පෙළෙන තැනැත්තන් සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීමයි. අනෙක මතු අනාගතයේ එබඳු පෞරුෂ තත්ත්ව නිර්මාණය වීම වළක්වනු පිණිස අප විසින් ගත යුතු පියවර මොනවාදැයි කල්පනා කිරීමයි.
මනෝවිද්‍යාඥයන්ගේ හා මනෝ වෛද්‍යවරුන්ගේ අදහස වන්නේ මේ සිතිවිලි රටා හා හැසිරීම් වසර ගණනාවක් තිස්සේ එබඳු පුද්ගලයන්ගේ මනසට පත්තියම් වී තිබෙන බැවින් ඊට ප්‍රතිකාර කිරීම සිතන තරම් පහසු කටයුත්තක් නොවන බවය. එහෙත් මෙහිදී ඇති වාසිය නම් එබඳු තැනැත්තන් ඔවුන් මුහුණ දී තිබෙන මේ තත්ත්වයෙන් මිදෙන්නට කැමැත්තක් පෙන්වීමය. එනම්, ඔවුන් සමාජශීලී වන්නට, යාළු මිත්‍රකම් ඇති කරගන්නට සමාජයේ නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වන්නට කැමතිය. එබැවින් ඒ කාරණය අභිප්‍රේරණයක් කර ගෙන ඊට පිළියම් හා ප්‍රතිකාර සෙවිය හැකි බව පැවසෙයි.
මීට ඇති එක විසඳුමක් වන්නේ ඖෂධ මඟින් කෙරෙන චිකිත්සාව ( medication therapy ) එහෙත් එය හැම විටම පාහේ සිදු කළ යුත්තේ මනෝ චිකිත්සාව ( psychotherapy)ක් සමඟ බව වෛද්‍ය මතයයි. තමා අත්විඳින ගැටලුව තේරුම් ගන්නා කවර වැඩිහිටියකුට වුවද අදාළ ප්‍රතිකාර ලබාගැනීම සඳහා මනෝ වෛද්‍යවරයකු වෙත යොමුවීම කිසිවිටකත් ලැජ්ජාවට කාරණයක් නොවේ. අනෙක් අතට මෙබඳු තත්ත්වයකින් ගොඩ එන්නට පවුලේ සාමාජිකයන්ගෙන් සහ කිට්ටුවන්තයන්ගෙන් ලැබෙන සහාය අතිශය ප්‍රයෝජනවත්ය.
මීළඟට අප කතා කළ යුතු වන්නේ වැඩිහිටියන් වශයෙන්, විශේෂයෙන්ම මවුපියන්, ගුරුවරුන් වශයෙන් මෙම පෞරුෂ ගැටලුව පිළිබඳ ඇති වගකීමයි. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා අසන ප්‍රශ්නයක් වන්නේ එය ළමාවිය කම්පනය ( childhood traumas ) හෝ මවුපියන්ගේ නොසැලකිල්ල නිසා හටගන්නා තත්ත්වයක් ද යන්නයි. එය මුළුමනින්ම පාහේ ළමාවිය කම්පනය හෝ අප්‍රසන්න අත්දැකීම් හෝ නිසා ඇති වන්නක් නොවේ. වෛද්‍යවරුන්ට අනුව එය ආරයේත් පරිසරයේත් එකතුවකි. එහෙත් දරුවකුට අවැසි ආදරය හා රැකවරණය නිසි ලෙස සැපයීමෙන් එබඳු පෞරුෂ ගැටලුවක් ඇතිවීම අවම කර ගන්නටද පුළුවන. පාසලේදී ඇතිවන අඩන්තේට්ටම් (bullying ) ද යම් පමණකට මීට හේතු විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටීමද වැදගත් වනු ඇත.
අනෙක් ප්‍රශ්නය වන්නේ එබඳු තත්ත්වයක් හට ගන්නට යන්නේ නම් හේ එය හඳුනාගත හැකි ක්‍රමයක් තිබේද යන්නයි.
ප්‍රාථමික අවදියේ පසුවන සියලු දරුවන් පාහේ පෙරපාසල්වල හෝ රජයේ පාසල්වල හෝ ඉගෙන ගන්නා බැවින් ඔවුන්ට සම වයස් මිතුරු අවස්ථාවක් හමුවෙයි. එහෙත් යම් දරුවකු අහේතුකව මේ සම වයවයස් කාණ්ඩ මග හරින්නේ නම් හෝ යම් බියක් දක්වන්නේ නම් හෝ මේ ගැන වඩා වැඩි සැලකිල්ලකින් සොයා බැලීමේ වරදක් නැත.
යම් තැනැත්තෙකු, මිත්‍රයකු හෝ පවුලේ සාමාජිකයකු හෝ කෙමෙන් මෙබඳු හැසිරීම් රටාවකට හුරු වෙමින් සිටින්නේ නම් ඔවුන් වෙනුවෙන් අපට කළ හැක්කේ කුමක්ද ? කලකිරීම් හෝ අප්‍රසන්න අත්දැකීම් හේතුවෙන් ඔබ අපට ද ඇතැම් විටෙක සමාජ ආශ්‍රයෙන් දුරස් වන්නට සිතනු ඇත. එය පෞරුෂ ආබාධයක් නොවන්නේ නමුදු දීර්ඝකාලීනව එවන් හුදෙකලාවක් පවත්වාගෙන යෑම ශාරීරික හා මානසික වශයෙන් අයහපත්ය.
පෝෂ්‍යදායී ආහාර, නිසි හා ප්‍රමාණවත් ව්‍යායාම සහ නින්ද මානසික සෞඛ්‍යය නංවන කුලුනු 3 වශයෙන් හැඳින්විය හැකිය. අනෙක් අතට ස්වාභාවධර්මය ද මානසික හා පෞරුෂ ගැටලුවලට ප්‍රතිඵලදායක ඔසුවකි. සාමාජයීය කුසලතා දියුණු කර ගැනීමට උත්සාහ කිරීම ද ප්‍රතිඵලදායකය. ඒ සඳහා උපකාර කෙරෙන ආයතන බොහොමයක් පවතී. විවිධ සංවිධාන, විශ්වවිද්‍යාල එවැනි කාරණා සම්බන්ධයෙන් පාඨමාලා හෝ වැඩමුළු හෝ පවත්වනු අප අසා ඇත.
පෞරුෂය හා මානසික සෞඛ්‍ය සෞඛ්‍යය පිළිබඳ ගැටලුවලදී බල කිරීම නොකළ යුත්තකි. ඔහුට හෝ ඇයට හෝ නොදැනෙන්නට එක්තරා ආකාරයක සමාජයානුයෝජනයකට මඟ සලසනු විනා ඔහුගේ හෝ ඇයගේ කැමැත්තට පිටින් බලහත්කාරයෙන් සමාජ ආශ්‍රයක් ලබා දෙන්නට නොහැකි වේ. උදාහරණයක් වශයෙන් පවසතොත් චිකිත්සකයන් සතුව එය සඳහා සැලසුම්ගත ක්‍රියාමාර්ගයක් පවතී. එයාකාරයෙන් ක්‍රමයෙන් ඔහුට හෝ ඇයට ද එහි අවශ්‍යතාව ආශාව දැනට සලස්වමින් ඉදිරියට යෑමක් සිදු කළ යුතුය.
මේ කාර්යය සඳහා තවත් හොඳ විකල්පයක් වන්නේ විනෝදාංශවලට හුරු කිරීමයි. යම් විනෝදාංශයක් හරහා තවත් මිතුරු ඇසුරකට, යම් සමාජ ආශ්‍රයකට මඟ සැලසෙන බව නියතයකි. මේ අලුත් මිතුරු සම්බන්ධතා බොහෝවිට පෙරකී ලජ්ජාශීලීබව හා සමාජ ආශ්‍රය පිළිබඳ බිය කෙමෙන් දුරලන්නට සමත් වනු ඇත.