රත්නෙ අයියා පසෙකට වී ඉතා නිහඬව සිද්ධ වන දේවල් දෙස බලා උන්නේය. එතැන එකම ජංජාලයකි. ළමයි තිදෙනාම එකිනෙකාගේ ගොඩවල් ලොකු කර ගැනීමට වෑයම් කරති. ඔවුහු පළමුව ආන්න පාන, ඇඳුම් පැලඳුම් හා වෙනත් අඩුමකුඩුම ලෙස භාණ්ඩ වර්ගීකරණයක යෙදුණාහ. සියල්ලම රට බඩුය. ළමයි ඒවාට වශීකෘතව උන්හ. ගෙදර බල්ලා පවා ඒවා ඉව කරන්නටත් බුරන්නටත් පටන් ගත්තේය. අනෝමා බඩු භාණ්ඩවල වගතුග හා මිල ගණන් පැහැදිලි කරමින් සිටියාය. ගෙදර කිසිවකුට ගෘහමූලිකයා ගැන වගේ වගක් නැත.
රත්නෙ අයියාගේ යටි සිත කියන්නේ කසිප්පු තිප්පොළට පලයන් කියාය. එහෙත් මේ ඊට වේලාව නොවේ. බොහෝ දේවල් විඳ දරා ගත යුතුය. ඔහු වසර තුනක් පුරාවට දින ගනිමින් හෝරා එකතු කරමින් බලා සිටියේ අද වැනි දිනක් උදාවන තුරුය. එහෙත් අදහාගත නොහැකි ලෙස එම දිනය වෙනස් වී ඇත. සියල්ල සිදුවන්නේ විකෘති ආකාරයකටය.
ඔහු සුසුමක් හෙළා ඉස්තෝප්පු කෑල්ලට පැමිණියේය. ඉක්බිති බුලත්විටක් ඒදන්නට පටන් ගත්තේය.
වැල් ඇඳ මත හිඳගත් රත්නෙ අයියාට සිය බිරිය රටගිය දවස සිහිපත් විය. එදින පාන්දර ජාමය වන තෙක්ම ඔවුහු එකට ඇලීගෙන සිටියෝය. ඇතැම්විට අනෝමා හැඬුවාය.
"මං රට යන්නෙ අපේ දියුණුවට! ආපහු එනකං ඔයා ඉවසගෙන ඉන්ට ඕනෑ!"
"මං එහෙව් මිනිහෙක් නෙමෙයි අනෝමා! කවදා හරි ඔයා එනතුරු මං බලාන ඉන්නවා!"
"එහෙම බෑ! මගෙ ඔළුවෙ අත තියල දිවුරන්ට ඕනෑ!"
එවකට අනෝමාගේ වයස අවුරුදු හතළිස් එකකි. රත්නෙ අයියාට හතළිස් හතරකි. ලොකු දුවට දාහතරකි. මද්දුමයාට දහයකි. පොඩ්ඩීට අටකි. කාලය වසර තුනකුත් දවස් ගණනකින් ඉදිරියට පැමිණ ඇත. කාලය බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නේ යැයි කියූවද එය බොරුවක් යැයි රත්නෙ අයියාට සිතිණි.
අනෝමා රට යන විට කාලවර්ණ ගැහැනියකි. එහෙත් දැන් ඈ රන්වන් පාටය. හම දිළිසෙයි. කම්මුල් රෝස පැහැතිය. අතපය සම්පූර්ණ වී ඇත. නිතඹ මහතය. ඇඟේ හැඩය, කොණ්ඩය පමණක් නොව, ගමන් විලාසය පවා නූතන වී ඇත. බුලත් විට හපමින් දවස පුරා මහ පොළොව හා ඔට්ටු වන තමන්ගේ කිසි ලකයක් නැති බවත් දුක් කරදර දරා ගැනීම නිසා ශරීරය වැහැරී ඇති බවත් ඔහු තේරුම් ගත්තේය. එබඳු නොගැළපීම් සමපාත වන්නේ කෙසේදැ'යි රත්නෙ අයියාට පැහැදිලි නැත. අන්තිමට ඒ මගේ ගෑනි යැයි සිතන්නට ඔහු පෙලැඹුණේය.
එදින මැදියම් රැය පසු වී හෝරා භාගයක් පමණ ගෙවී යන විට සියල්ල සන්සුන් විය. ළමයි තම බඩු පොදි රැගෙන තමන්ගේ ස්ථාන කරා ගොස් නිදන්නට පටන් ගත්හ. අනෝමා දත කට මැදගෙන කාමරයට යන ආකාරය ඔහු දුටුවේය. ඇය තව සුළු මොහොතකින් තමාට කතා කරනු ඇතැ'යි රත්නෙ අයියා සිතා සිටිය ද ඒ මොහොත ටිකෙන් ටික කල් ගියේය. අන්තිමට අනෝමා නිදා සිටි කාමරයේ එළිය නිවී ගියේය. රත්නෙ අයියා ඉස්තෝප්පුවේ වැල් ඇඳට බර විය.
හැබෑවටම අනෝමා කැටුව කතා කළ යුතු බොහෝ දේ ඔහුගේ සිත තුළ තෙරපෙයි. එහෙත් කුවේටයේ සිට පෙරළා පැමිණි ඇය තවම එක වචනයක් හෝ ඔහු සමඟ කතා කර නැත. ගෙට ගොඩ වූ අනෝමා ළමයින් බදාගෙන කතා කළද, රත්නෙ අයියාට සිනාසුණා පමණි. අනෝමා තමන්ට දැක්වූ ගෞරවය හා ළෙන්ගතුකම එහෙම පිටින්ම අහෝසි වී ඇතැයි ඔහුට සිතේ.
නෑ! ගෑනිට ගමන් මහන්සිය ඇති! රත්නෙ අයියා නැවත හිත හදා ගත්තේය. ඔහු වැල් ඇඳෙහි ඒ පැත්තට පෙරළුණේය. නැවත මේ පැත්තට පෙරළුණේය.
පසුදා ඉර එළිය වැටී සෑහෙන කාලයක් ගෙවී යන තුරු ද ගෙදර පැවැතියේ තද නිහඬතාවකි. රත්නෙ අයියා හැර අන් සියල්ලෝම නිදි සුව ලබති. ඔහු හිත එකලස් කරගෙන කිරිබතක් ද සැර ලුණුමිරිසක් ද සකස් කළේය. ඉක්බිති ඔහු ගේ පුරාම ඇවිද්දේය. බැරිම තැන ඔහු අනෝමාගේ කාමරයට එබිමක් කළේය. අනෝමා කොට්ටයක් බදාගෙන හොඳටම නිදිය. රත්නෙ අයියා කිහිපවරක් රැල් බුරුල් හැරියද ඈ නැඟිට්ටේ නැත.
"අනෝම එවපු සල්ලි පොතක දැම්මා! ඒ පොත ලොකු ළමය ළඟ පරෙස්සමට ඇති!"
අනෝමාගෙන් ප්‍රතිචාරයක් නැත. ඔහු ආපසු හැරී කුඹුර දෙසට වේගයෙන් ඇවිද යන්නට පටන් ගත්තේය. රත්නෙ අයියා යනු කඩිසර මිනිසෙකි. ඔහු කුඹුරු වැඩ කරමින්, බුලත් කොටු හදමින් හා ඇතැම්විට කුලී වැඩ කරමින් ද ජීවිකාව සරිකර ගත්තේය. ලොකු දියුණුවක් නැති වුවද දරුවන්ගේ සියලු කටයුතුවලට මුදල් ඔහු ළඟ තිබිණි. ගම පුරා ඔහුට හොඳ පිළිගැනීමක් තිබුණු අතර ඔහු නැති මඟුලක්, අවමඟුලක් පැවැතියේ නැත.
රත්නෙ අයියා කුඹුරට යන්නට ගියද ඔහු නැවතුණේ උක්කුවාගේ කසිප්පු තිප්පොළ ළඟය. ඔහු බේබද්දකු නොවූවද සිය බිරිය රට හැරයෑමත් සමඟ කාන්සිය මකාගන්නට මෙන් හැන්දෑවට ස්වල්පයක් පානය කළේය.
"රත්නෙ අයියා මේ මොකද? පාන්දරම!"
"මගෙ බඩේ අමාරුවක් උක්කුං මල්ලියෙ! පොඩ්ඩක් දාගත්තහම හරි යයි!"
"ඊයෙ අනෝම අක්කත් ආවලු නේද? රට කෑම කාල වෙන්ටැ!"
රත්නෙ අයියා එක වීදුරුවක් බීවේය. දෙවැනි වීදුරුවත් බීවේය. වීදුරු තුන හතර විය. ඉනික්බිති කඩපොළට ගිය ඔහු ආප්ප දෙකක් හා වඩයක් කෑවේය. මේ වන විට ළමයින් ඉස්කෝලවලට ගොස් ඇති බව ද සිය බිරිය තනියම ගෙදර සිටින බව ද ඔහු දනී. රත්නෙ අයියා ආපසු ගෙදර දෙසට හැරුණේය. රට ගිය ගැහැනුන්ගේ කතාවලින් ද, අරාබිකාරයන්ගේ කතාවලින් ද ඔහුගේ ඔළුව අවුල් වී තිබිණි. ඔහුට පන්නා පිහි, කැති, පොරෝ ආදිය සිහිපත් විය. ඒවා තමන්ගේ අතට ඉතා හුරු බව ද සිහිපත් විය. රත්නෙ අයියාගේ ගමන වේගවත් ය. ඔහුගේ දෙපාවල මස්පිඬු වේගයෙන් චලනය විය.
මේ අතර ඔහුගේ යටි සිත මුරගා කියන්නට වූයේ දැන් ගෙදර යෑම සුදුසු නැති බවය. රත්නෙ අයියා වෙරි මරගාතේම ගමන් මඟ වෙනස් කළේය. ඔහු වවුල්කැලේ මැදින් කඩා හැලෙන තොටුපීල්ල ඇල්ල ළඟට ගියේය. උදෑසන ඇල්ල නැවුම්ය. තටාකය නිල් කැටේට පවතී. ඔහු කිසිදු කතාබහක් නැතිව සරම ගලවා අමු හෙළුවෙන් වළට පැන්නේය. රත්නෙ අයියා ඒ පැත්තට මේ පැත්තට පීනුවේය. දිය යට කිමිදුණේය. අඩ හෝරාවකට පමණ පසු ගොඩ ආ ඔහුට අමුතු සනීපයක් දැනෙන්නට විය.
ආපසු ගෙදර යමින් සිටි ඔහුට හැඟුණේ ජීවිතය යනු විඳවීමක් බවය. එහෙත් ඊට හේතු - සාධක විග්‍රහ කිරීමට ඔහු නොදනී. එන විදිහකට මූණ දෙනවා යැයි ඔහු අන්තිමට තීරණය කළේය. එහෙත් අනෝමාගේ මුහුණ දෙස කෙළින් බලා කතා කිරීමේ ගැම්මක් රත්නෙ අයියාට නැත. ඔහු ගෙට ගොඩ වී වැල් ඇඳමත ඉඳගත්තේය. අනෝමා ඔහු ඉදිරියේ පෙනී සිටියාය.
"මං ආයෙත් රට යනවා!"
රත්නෙ අයියා කිසිවක් කීවේ නැත. ඔහු ඉලත්තට්ටුව ගෙන බුලත් විටක් ඒදන්නට පටන් ගත් අතර මහ හයියෙන් කියා සිටියේ දැන් තියෙන දුම්කොළ කිසි කමකට නැති බව පමණි.