![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/07/22/30.jpg?itok=_lphyeaZ)
Timeboxing යනු කාල කළමනාකරණය පිණිස ඇති සරලම ක්‍රමවේදයයි
"මොනවා කරගන්නත් කාලය මදිනෙ. පැය විසි හතරම තිබුණත් මට මදි මේ තියෙන වැඩත් එක්ක." ඔහු නිතරම පාහේ අප සමඟ කියන්නට පුරුදුව සිටියේ ය.
"ඉතින් ජීවිතයට, සතුටක් වෙනසක් ?" අපි පෙරළා ඇසීමු.
" මොන ! ඉතින් ඊළඟ ආත්මෙ තමයි. " ඒ ඔහුගේ කනස්සලුසහගත පිළිතුර විය.
ඇත්තෙන්ම විවේකයක් නැතිව එසේ වැඩ කරන්නට අපට පුළුවන්ද? එය අප අපටම කරගන්නා හානියක්, හතුරුකමක් නොවේද? සැබැවින්ම අප ඔය කියන තරම්ම කාර්යබහුල ද ? අපේ එදිනෙදා වැඩ රාජකාරි මග නොහැරෙන පරිද්දෙන් අපටත් විවේක කාලයක් හදා ගන්නට නොහැකිද? මේ ආදී ප්‍රශ්න අටෝරාසියක් ඉහත දෙබසට සිත යොමු කළ සියලු දෙනා මේ වෙලේ අසන්නට සූදානම් වෙනවාට සැක නැත.
සැබැවින්ම විවේකයක් නැතුව වැඩ කිරීමට එකම හේතුව නොසැලකිල්ල පමණක් නොවේ. අපට පැවරී ඇති යම් යම් වගකීම්, අපට ඉටු කරන්නට සිදුව තිබෙන යුතුකම් ආදී මේ සියල්ල කන්දක් ලෙස අප ඉදිරියේ ගොඩ ගැසෙද්දී අපට සිතෙන්නේ පැය විසි හතරක් විසි හතරක් මදි බවය. ඒ කෙසේ වුවද එහි අහිතකර විපාක නැතුවා නොවේ. මානසික හා ශාරීරික දෙයක් සයෙන් ම අපිට යම් දවසක ඊට වන්දි ගෙවන්නට සිදුවන බව කීම මුසාවක් නොවේ.
මේ සීමාරහිත කාර්යබහුල බව බොහෝ මානසික ගැටලුවලට මුලපුරන්නකි. කාංසාව, මානසික ආතතිය, පීඩාකාරී බව, කනගාටුව, පසුතැවිල්ල, කෝපය හුදෙකලාව හා බලාපොරොත්තු රහිත තත්ත්වයකට පත්වීම, ඉනික්බිති තමා නොවැදගත් හා අසමත් පුද්ගලයකු යැයි සිතන්නට පෙලඹී අවසන ස්වයං වරදකාරී හැඟීමක තනිවන්නට යමකුට සිදුවිය හැකිය.
මේ වරදකාරී හැඟීම කුමක්දැයි යමකු අසන්නට පුළුවන. ඔබ අපට පැවරී ඇති වගකීම්, රාජකාරි බොහෝය. යම් හෙයකින් අධික හා නොනිසි කාර්යබහුලත්වය නිසා ඔබ අපට ඒවා සම්පූර්ණ කර ගත නොහැකි වුවහොත් කෙළවර වන්නේ කලකිරීමකිනි. එක්කෝ යම් කාරියක් නිසි වේලාවට අවසන් කර ගැනීමට නොහැකි වීම නිරන්තරයෙන් සිදු වුවහොත් එය ද දැඩි කනස්සල්ලට හේතුවකි.
අනෙක් අතට එය අපේ ගත අඩ පණ කරන්නටද හේතුවකි. එකක් අධික ලෙස අපේ කටයුතු සඳහා මුළු කාලයම පාහේ යොදා ගනිමින් වෙහෙසීමය. අනෙක , ශරීරයට අවශ්‍ය ව්‍යායාම ලබාදෙන්නට, කලට වේලාවට නිසි අහරක් ලබා ගන්නට, ලෙඩ රෝග ගැන සොයා - සිතා බලන්නට ඉඩක් නොවීමය. කෙටියෙන් කිවහොත් ඒවා මුළුමනින්ම පාහේ අමතකව යෑමය. විඩාව, මාංශපේශී වේදනාව, අනිද්‍රාව, හිසරදය, ප්‍රතිශක්තිකරණ හීනතාව, දාහය, ලිංගිකාශාව හීනවීම, ආහාර ජීර්ණය හා හෘදය ආශ්‍රිත ගැටලු ඒ හරහා ඉස්මතු වන්නට ඉඩ ඇත.
මේ කාරණයෙන් ගැලවෙන්නට හෝ හිත හදාගන්නට හෝ ඔබ අප බොහෝ දෙනා කරන්නේ නිදහසට කාරණා සෙවීමය. එහෙත් ඒ කවර නිදහසට කාරණාවක් වුව ගතටත් - සිතටත් ඇතිවන පීඩාවෙන් අප මුදවා ගන්නට නොසමත්ය. අනෙක අධික කාර්යබහුල වීම යනු අධි ඵලදායීතාවම නොවේ. එසේ නම්, මේ සියල්ල යහපත් අතට එකලාසයක් කර ගන්නට ක්‍රමයක් තිබිය යුතුය. එනම් " මන සුව හිතකර කාල කළමනාකරණ ක්‍රමවේද" ය.
ඉන් කැපී පෙනෙන එකක් වන්නේ Timeboxing සංකල්පයයි. Timeboxing යනු කුමක්දැයි සොයා බැලීම අපේ ඊළඟ ගැටලුවයි. සරලව පැවසුවහොත් යම් කාර්යක් සඳහා මුළු කාලයම වැය නොකොට ඒ ඒ වැඩ කොටස් සඳහා නිශ්චිත කාල සීමා කොටස් වෙන් කිරීමය. එහිදී වන්නේ ඒ කාරිය අවසන් වන තෙක්ම එහි යෙදී ඉන්නවා වෙනුවට ඊට ගැළපෙන ලෙස සකසා ගත් කාල රාමුවක් / කාල කොටසක් තුළ උද්‍යෝගයෙන් ඒ කටයුත්තේ යෙදීමය.
ඒත් බොහෝ දෙනා පවසන්නේ ඒ ක්‍රමය ඔවුනට ගැළපෙන්නක් නොවන බවය. එක්කෝ ඒ රටාවලට හුරු වීම ලේසි පහසු කටයුත්තක් නොවන බවය. එසේ වුවද , ඊට හුරු වූ පුද්ගලයන්ගේ කතා බහෙන් හෙළිදරව් වන්නේ එය ජීවිතයට ආශීර්වාදයක් බවය. එබැවින් ඒ ගැන තව දුරටත් සොයා බැලීම ඇතැම් විට කාලය කා දැමීමක් නොවන බව පැහැදිලිය.
කොයි කවර දෙයක් වුව එකවර හුරු පුරුදු වන්නට නොහැකිය. මේ කාරණාව ගැනත් එය එසේමය. පළමු පියවර විය යුත්තේ හෙමින් ගමන පටන් ගැනීමය. Timeboxing යනු කාල කළමනාකරණය පිණිස ඇති සරලම ක්‍රමවේදයයි.
බොහෝ දෙනකුට Timeboxing ගැටලුවක් වන්නේ ඔවුන්ගේ අනපේක්ෂිත හා මේ යැයි කිව නොහැකි කටයුතු සියල්ල රාමුවකට කොටු කර ගැනීමේ නොහැකියාවයි. බාගවිට ඔවුන්ගේ වැඩ ස්වභාවය දිනෙන් දින හෝ පැයෙන් පැයට වෙනස් වෙයි. බාගවිට එය මිනිත්තුවෙන් මිනිත්තුවට පවා වෙනස්වන තරම් අස්ථිරය. එක්කෝ ඒ තමාගේ සේවාදායකයන් හේතුවෙන් හෝ ප්‍රධානියා හේතුවෙන් හෝ හටගත් වැඩ වැඩි වීමක් වන්නට පුළුවන. එහෙත් Timeboxing මේ කවර තත්ත්වයක් යටතේ වුව හෙමි හෙමින් ආරම්භ කළ හැකි දෙයකි.
පළමුවෙන්ම කළ යුත්තේ අපේ සියලු වැඩ දෙගොඩකට වෙන් කර ගැනීමය. පළමු ගොන්න ප්‍රතික්‍රීයක වැඩ කොටස (Reactive work ) ය. එනම් අන්‍යයන්ගේ වුවමනාවන් වෙනුවෙන් කරන්නට සිදුවන වැඩ කොටසයි. මෙහිදී නිතර බාධා වීම් සිදුවන අතර ඒවා ඔබේ සාමාන්‍ය වැඩකටයුතුවලට ද අවහිරයකි. දෙවැනි කොටස වන්නේ අන්‍යයන්ගේ බාධාවකින් තොරව කරගෙන යා හැකි වැඩ (Reflective Work) ය. ලිවීමේ, සැලසුම් කිරීමේ හා කල්පනාව මෙහෙයවීමේ කටයුතු මීට අයත්ය.
Timeboxing පුහුණුව ඇරඹිය යුත්තේ මෙකී දෙවැනි වැඩකොටස සමඟය. එය කැමති කාල ප්‍රමාණයකින් අරඹන්නට පුළුවන. විනාඩි පහළොවක් වුව ඊට ප්‍රමාණවත්ය. අනෙක් කාලය මුළුමනින්ම පාහේ ඔබේ අනෙකුත් කටයුතු , සේවා ස්ථානයේ රාජකාරි වෙනුවෙන් යොදා ගන්නට පුළුවන. මේ සඳහා ඇවැසි නම් අන්‍යයන් දැනුම්වත් කර තබන්නට ද ඔබට පුළුවන. ඒ ඔබේ කාල කොටසට බාධා නොවනු පිණිස ය. මේ කාලය වෙන් කර ගැනීම සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ ඔබේ කාර්යබහුල කාල හෝරා පෙළ ඇරඹන්නට පෙර හෝ ඉන් පසුවය. එනම් හිමිදිරිය හෝ රාත්‍රියය. මේ ආකාරයෙන් සුළුවෙන් හෝ නො අරඹන්නේ නම් ඔබට ඒ සඳහා වෙනත් මඟක් නැත.
එහෙත් එහි ඇති වෙනස නම් යමකු මේ කෙටි අත්දැකීම ලදොත් , තව තවත් ඒ කාලය දිගු කර ගන්නට උත්සාහ දැරීමය. බාධාවකින් තොරව ඔබේ කටයුත්ත කරගෙන යාමේ ඉඩක් ලැබෙන බව මනසට තහවුරු වීමත් සමඟ මේ කාල කොටස වැඩි කර ගන්නට හෝ තවත් විශේෂ කටයුත්තක් වෙනුවෙන් නව කාල කොටසක් වෙන් කර ගන්නට ඔබට සිතෙනු ඇත. එය පියවර පහකින් යුතුය. පළමු පියවර වන්නේ නිශ්චිත කාර්යයක් තෝරා ගැනීමය. එය ඔබේ හිතට අල්ලන කටයුත්තක් විය යුතුමය. දෙවැන්න වන්නේ එහි අරමුණ කුමක් විය යුතුදැයි තහවුරු කර ගැනීමය. නිශ්චිත කාල සීමාව ලකුණු කර ගැනීම ඊළඟ පියවරයි. එහි යෙදීමෙන් අනතුරුව ප්‍රතිඵල විමසා බැලීමක් කළ යුතුය. අවසන් පියවර වන්නේ ඔබේ ස්වයං ඇගයුම හෙවත් එහි වටිනාකම භුක්ති විඳීමය.
මේ ආකාරයෙන් කාල කොටස් කොපමණ විශාලත්වයකින් යුතුව නිර්මාණය කර ගත හැකිද ? ඕනෑ තරම් දිගු කාලයක් ? නැහැ, බොහෝ දෙනා පවසන්නේ විනාඩි 45 නොඉක්මවිය යුතු බවය. එය අපේ ජෛව රිද්මය හා බැඳුණු රීතියකි. බොහෝ රටවල පාසල්වල කාලච්ඡේද විනාඩි 40 -45 අතර උපරිමයකට සීමා කර ඇත්තේ එබැවිනි. මේ සීමාව ඉක්මවා යන්නේ නම් එය කෙටි විවේකයක් සහිතව කළ යුතුය. එහෙත් විවේකී, විනෝදාංශ කටයුත්තක් වෙනුවෙන් එය ඊට වඩා දිගු කර ගන්නට පුළුවන්කමක් නැතිවා නොවේ. එහෙත් එය සීමාවකට යටත් විය යුතුමය.
Timeboxing හිත සැහැල්ලු කරන්නේ කෙසේද ? විවේකයක් ලබා දෙන්නේ කෙසේද ? ඇයි, අච්චාරුවක් වී තිබුණු අපේ දින චර්යාව පිළිවෙළකට හැඩ ගැසෙන්නේ නම් ඔබට අපට විවේක මනසක් ලැබෙන්නේ නැතිද? අනෙක් අතට එය ප්‍රතිඵලදායක බව වැඩි කරන බැවින් මානසික තෘප්තිය ඉහළ නංවන්නට ද සමත් ය. අනෙක, Timeboxing කලාවේ ඇති සුන්දරත්වය නම් ජීවිතයේ කවර වුවමනාවක් පිණිස වුව මේ ආකාරයෙන් නිශ්චිත කාලයක් වෙන් කර ගත හැකි වීමය. විනෝදාංශයක, විනෝද කටයුත්තක යෙදෙන්නට, දරුවන් හා පවුලේ ආදරණීයයන් හා කාලය ගත කරන්නට ආදී වශයෙන් වුව මේ නිශ්චිත කාල පංගු වෙන් කර ගන්නට පුළුවන.
මෙබඳු විවේක කාල පංගුවක් තිබීම ( Timeboxing leisure) කවරකුගේ වුව සිත සැනසිල්ලේ තබන්නට සමත් වන්නේ සෑම දවසකම පාහේ විවේකී , සතුට උපදන කාලයක් තමාට හිමි බව ඒත්තු යෑම හේතුවෙනි. බාගවිට වෙබ් මාලා නාටකයක එපිසෝඩයක් වෙනුවෙන් වුව කොටසක් වෙන් කර ගන්නට අපට හැකි වනු ඇත. මේ විවේකී හා සහනදායි හැඟීම හේතුවෙන් කාර්යබහුලත්වය හේතුවෙන් ඇතිවන කනස්සල්ල හා වරදකාරී සිතිවිල්ලෙන් අප නිදහස් ය.
Timeboxing බොහෝ වාසි කැන්දන හුරුවකි; සංකල්පයකි. එය ඔබේ කටයුතු කෙරේ ඇති අවධානය ඉහළ නංවයි. ප්‍රබෝධයෙන් තබන්නට සමත් වෙයි. ඊළඟ දවසේ නවතාවකින් හා ඵලදායීතාවකින් යුතුව කටයුතු කරන්නට පුළුවන. ඊළඟට සිදුවන්නේ කුමක්දැයි කියන්නට ඔබ දනී. ඒ සෑම කටයුත්තක් ම පාහේ යම් නිශ්චිත කාලයකදී අවසන් වන බැවිනි. මා කල්පනා කරන අන්දමට මේ සියල්ලටම වඩා එය ප්‍රයෝජනවත් වන්නේ විවේකයක් විනෝදයක් ලබන්නට කාලයක් නැතැයි මැසිවිලි නගන්නවුන්ටය.
ඔන්න, කැමති නම් ඔබට එය මේ සති අන්තයෙන් පටන් ගන්නට පුළුවන. ඒ දරු පැටවුන් වෙනුවෙන් , ක්‍රීඩාවක් හෝ ව්‍යායාම වෙනුවෙන්, චිත්‍රපටයක් වෙනුවෙන් නිශ්චිත කාලයක් වෙන් කර ගන්නට ඇරඹුමක් ලබා ගත හැකිය. නැත්නම් යමක් ලියන්නට, ගී පෙළක් රසවිඳින්නට විනාඩි විස්සක් තිහක් කොටු කර ගන්නට ඔබට පුළුවන. බාගවිට ඒ ජීවිතයේ නව ඇරඹුමක් වන්නට ද පුළුවන !