ස්ටීවන් හා රෙක්ස් | සිළුමිණ

ස්ටීවන් හා රෙක්ස්

 

ස්ටීවන් මහතාගේ ළඟම ඥාතියා වූ ද, කලණ මිතුරා වූ ද රෙක්ස් නමැති බල්ලා පෙරේදා මිය ගියේය. එවිට ඌගේ වයස අවුරුදු දොළහක් ලෙස අනුමාන කැරිණි. බල්ලා ගෙවී ගිය කාලය පුරාවට ස්ටීවන්ට කතා කළේය. ස්ටීවන් ද පෙරළා බල්ලාට කතා කළේය. ඔවුනොවුන් එකිනෙකාගේ හැඟීම් - දැනීම් සීරුවට වටහා ගත්තේ පුදුමාකාර ලෙසය.

ස්ටීවන් වැසිකිළියට යන විට බල්ලා ඔහු පසු පස ගියේ නැත. එහෙත් ඔහු කුස්සියේ ඉවුම් - පිහුම් කරන විට බල්ලා ඒ අසල වැතිරගෙන තම ස්වාමියා දෙස බලා සිටියේය. ඔහු කඩපොළට යන විට බල්ලා ගේට්ටුව තෙක් ගමන් කොට එහි නැවතුණේය. ස්ටීවන් බඩු රැගෙන පෙරළා නිවසට එන තුරු බල්ලා ගේට්ටුව ළඟින් සෙලවුණේ නැත.

ඔවුහු පාළු නිවෙසක හා විශාල වත්තක හුදෙකලා ජීවිත ගත කළහ. ඒ නිවසට පැමිණි එකම අමුත්තා වූයේ ජෙසීමා ය. රෙක්ස් ඇයට වලිගය වැනුවේ නැත. එලෙසම බුරාගෙන සපා කන්නට ගියේ ද නැත. ඇය ඉතා ඉක්මනින් ගෙදර වැඩ නිමාකොට වහා පිටත්ව යන්නීය. වත්ත කෙළවරකින් වාහන දුවන ප්‍රසිද්ධ පාරක් තිබුණද පාරේ යනෙ'න කිසිවකු වත්ත දෙස බැලුවේ නැත. ස්ටීවන් මහතා ටවුමට යෑම සඳහා කුලී රථයක් සොයා ගන්නේ බලවත් පරිශ්‍රමයකින් පසුවය. කුලී රථ රියැදුරෝ ඔහු දුටුවිට ඉවත බලා ගනිති.

අවුරුදු අසූහතක් වූ ස්ටීවන්ට උදැල්ලක් ගෙන වළක් කැපීමේ හැකියාවක් නැත. ඔහු ඇවිද යන්නේ ද අඩමානෙටය. ජෙසීමාට වළවල් කපා පුරුද්දක් නැත. හැරත් ඇය එවැනි වැඩවලට කැමැත්තක් නැත. ස්ටීවන් පාරට ගොස් කුලීකරුවකු සොයා ගැනීමට පැය ගණනක් රස්තියාදු විය. ඔහුගේ ප්‍රයත්නය අසාර්ථකය. මේ අනුව බල්ලාගේ අවසන් කටයුතු දිනකින් ප්‍රමාද විය. අන්තිමේ ජෙසීමාගේ ඉල්ලීම මත එක්තරා කුලීකරුවකු පැමිණ අවසන් කටයුතු නිමවා විශාල කුලියක් ද රැගෙන යන්නට ගියේය.

බල්ලා භූමදාන කළ වළෙහි පස්ගොඩ මත ඉටිපන්දමක් දැල්වූ මහලු ස්ටීවන් ඒ දෙස බලා සිටින්නට පටන් ගත්තේය. බලවත් ශෝකයකින් හා තනිකමකින් ඔහුගේ සිත විඩාවට පත්ව තිබිණි. බල්ලාට පෙර තමන් මිය ගියේ නම් යෙහෙකැ'යි ඔහුට සිතිණි. එහෙත් එවැන්නක් සිදුවූයේ නම්, ඌ කුසගින්නේ මිය යනු ඇත. එය අපරාධයකි. ස්ටීවන් දිනපතාම මස් තම්බා බල්ලාට කෑම පිළියෙල කළේය. උදේට කිරි කෝප්පයක් ලබා දුන්නේය. සෑම කෑම වේලකටම පෙර බල්ලා සිය ස්වාමියාට කෘතඥතාව පළ කළේය. බල්ලා සතුටින් නම්, ස්ටීවන් ද සතුටෙන් සිටියේය.

"රෙක්ස් උඹ දන්නව ද?

ඊළඟ පාර මං උඹට

එළුමස් ටිකක් ගේනවා!"

බල්ලා වලිගය වනන්නට පටන් ගත්තේය.

"චිකන් වගේ නෙමෙයි එළුමස් ඊට වැඩිය රහයි;ගුණයි!"

බල්ලා නොනවත්වාම වලිගය වැනුවේය.

"දැනගනිං! උඹ තමයි මේ පළාතේ සැප විඳින බල්ලා! මං උඹට ආදරෙයි!"

බල්ලා වේගයෙන් වලිගය වනමින් ද බුරමින් ද ස්ටීවන් මහතාගේ ඇඟෙහි දැවටෙන්නට වූයේය.

ස්ටීවන් මහතාට හදිසියේ එකවරම උපන් දිනය සිහි විය. අද දිනය, මාසය, වසර පිළිබඳ නිශ්චිත දැනීමක් ඔහුට නැත. ස්ටීවන්ට දැනෙන්නේ රාත්‍රිය, දහවල, හැන්දෑව, උදෑසන ආදී කාලගුණික වෙනස්කම් පමණි. එහෙත් උපන් දිනය දා වෙනස් ය. එදිනට දුරකථන ඇමැතුම් දෙකක් හෝ තුනක් හෝ ඔහුට ලැබෙයි. මාස ගණනකට එම දුරකථනය හැඬවෙන එක ම අවස්ථාව එය වෙයි. එංගලන්තයේ සිටින පුතා හෝ ප්‍රංශයේ සිටින දුව හෝ කතා කරයි. "හැපී බර්ත් ඩේ පපා!" ඔවුහු කියති. සංවාදය මිනිත්තු කිහිපයකට සීමා වෙයි. එහෙත් එම මිනිත්තු කිහිපය තවත් කාලයක් ජීවත්වීමට ගැම්ම දෙයි.

පිළිකා රෝගයකින් මිය පරලොව ගිය සිය බිරිය වයලට්, ස්ටීවන්ගේ උපන් දිනයක් වෙනුවෙන් පැවැත්වූ සාදයකදී කී දෙයක් මේ දැන් ඔහුට සිහිපත් වෙයි.

"ස්ටීවන් තනියම ජීවත්වෙන්ඩ පුරුදු වෙන්ඩ! දෙවියන් වහන්සේට කිට්ටු වෙන්ඩ! දරුවො ගැන

ලොකුවට බලාපොරොත්තු තියාගන්ඩ එපා!"

ස්ටීවන් එදා මේ කතා නො පිළිගත් අතර බිරියට සැනසීමෙන් සිටින්නැ'යි අවවාද කළේ ය. එහෙත් අද වන විට ඇගේ කතාව යථාර්ථයක් බවට පෙරළී ඇත. හදිසියේම දුරකථනය නාද වන්නට පටන් ගත්තේය. ස්ටීවන් දෙපැත්තට වැනෙමින් මහත් වැර යොදා ගෙට ඇතුළු වී දුරකථනය ළඟට යන විටම ඇමතුම විසන්ධි විය. එකත් එකට ම අද උපන් දිනය විය යුතු යැයි සිතට ගත් ඔහු දුරකථනය ළඟ බොහෝ වේලාවක් රැඳුණේය. ඇමතුමක් ගැනීමට නොම්මරයක් ඔහුට මතක නැත. ස්ටීවන් එබඳු සබඳතා පවත්වන මනුෂ්‍යයෙක් ද නොවේ.

අද අලුත් කෑමක් පිළියෙල කළ යුතුයැයි කල්පනා කළ හෙතෙම සෙමෙන් කුස්සිය දෙසට ගියේය. එළුමස් බැදිය යුතු යැයි ඔහුට සිතිණි. පාන්, බටර්, දොඩම් යන සියල්ල කුස්සියේ ඇත. ස්ටීවන් එළුමස් බැදීම ආරම්භ කළේය. ඒ සමඟම දුරකථනය යළි නාද විය. ස්ටීවන් ඒ - මේ අත හැපෙමින් දුරකථනය වෙත ගොස් රිසීවරය ගෙන හලෝ කියන කොටම ඇමතුම විසන්ධි විය. ඔහු තමන්ගේ ප්‍රමාදය ගැන තමාට ම දොස් නඟමින් යළි කුස්සියට ගියේය. එළුමස් ගණනට බැදී ඇත.

ස්ටීවන්ට බ්‍රැන්ඩි ස්වල්පයක් පානය කිරීමේ සිතක් පහළ විය. ඔහු රාක්කය වෙත ගොස් පරණ බ්‍රැන්ඩි බෝතලයක් තෝරා ගත්තේය. දිනපතා අඩියක් ගැසීමේ පුරුද්දක් ඔහු ළඟ නැත. එහෙත් ඉඳ - හිට බ්‍රැන්ඩි ටිකක් ගත් විට ඇඟට මෙන්ම හිතට ද නව පණක් ලැබෙන බව ඔහු දනී.

ස්ටීවන් බ්‍රැන්ඩි ස්වල්පයකට උණු වතුර මිශ්‍ර කොට එය පානය කළේය. ගත - සිත පිනා ගියේය. ඔහු එළුමස් බුදිමින් බ්‍රැන්ඩි පානය කරන්නට විය. මත වැඩිවෙත්ම ඔහුගේ සිත ඇදී ගියේ රෙක්ස් නම් බල්ලා වෙතය.

ඌ අවසන් සතියේ කෑම ප්‍රතික්ෂේප කළේය. කිරි දුන් විට ස්වල්පයක් තොල ගා ඉවත බලා ගත්තේය. ඌ සතියක් පුරාවට එක තැන වැතිර සිටියේය. ඒ සෑම අවස්ථාවකම දෑස් හැර ඉතා දුකින් සිය ස්වාමියා දෙස බලා සිටියේය. බල්ලාගේ දෑසෙහි වූ කඳුළු ස්ටීවන් දුටුවේය. අවසන් ලෙස ඌ කිහිපවරක් ගැස්සුණේය. ඉක්බිති උල් දත් සහිත කට අයාගෙනම බිම වැතිරුණේය.

හොඳටම බීමත්ව බල්ලා මෙන් ගැස්සී මිය යා යුතු යැයි මහලු ස්ටීවන්ට සිතිණි. ඔහු තව - තවත් බ්‍රැන්ඩි පානය කළේය. අවසන් ලෙස හඬමින් හා දෙපැත්තට වැනෙමින් බල්ලාගේ වළ වෙත යන්නට ඔහු සමත් විය. ඔහු බල්ලා මෙන් බිම වැතිරුණේය. බල්ලා මෙන් ගැස්සුණේය. මරණය යන්න ඔහු සිහිපත් කළේය.

පසුදා හිරු උදාවෙන් හෝරාවකට පසු වත්තට ඇතුළු වූ ජෙසීමාට දකින්නට ලැබුණේ ස්ටීවන් නැඟිට ගත නොහැකිව බල්ලාගේ මිනී වළ උඩ දඟලන බවය. ස්ටීවන්ට අත දිය යුතුද? නැති ද යන්න ඇයට නිශ්චය කළ නොහැකි විය.

Comments