මම පෙරළිකාරියක් වුණේ මා ජීවත්වන සමාජය නිසයි | සිළුමිණ

මම පෙරළිකාරියක් වුණේ මා ජීවත්වන සමාජය නිසයි

 

l ඔබේ අලුත් නවකතාව ‘දූවිලි’ මොන වගේ පදනමකින් ලියවුණු එකක් ද?

කාලයක් තිස්සේ ලද අත්දැකීම් මීට මුල්වුණා යැයි කියන්න පුළුවන්. අපේ සමාජ සංස්කෘතික සම්ප්‍රදායක් වන දැරියක් තරුණියක වීමේ මල්වර මඟුල එදා ළඟම ඥාතින් කිහිප දෙනකුගේ ආරාධනයෙන් විනීතාචාරයෙන් යුතුව පැවැත්වුණා. අද වන විට එය කමින් බොමින් බොහෝ විට මල්වර වූ දැරිය ද අනාරක්ෂිත කරමින් පැවැත්වෙන විකෘති සාදයක් බවට පත්ව තිබෙනවා. ඇතැම් විට ඇය අතවරයට ලක්වීමේ අවධානමකට ගොදුරු වෙන තත්ත්වයක් ද ඒ නිසා මතු වෙනවා.

‘දූවිලි’ නමින් මම ලියූ නවකතාවේ එසේ අතවරයට ලක් වූ තරුණියක් ඒ නිසා සිය පවුල තුළ ද අනාථ වී මවගේ රැකවරණය මත යැපෙමින් අධිකරණ ක්‍රියා මාර්ගයකට ද යොමු වෙනවා. මෙවැනි නඩු විභාගවලදී එවැනි තරුණියක් නැවත වරක් දූෂණය කෙරෙන්නාක් වැනි ප්‍රශ්න කිරීම්වලට ලක් වන බව අප කවුරුත් දන්නවා. කෙසේ හෝ වේවා මෙම තරුණියගේ සානුකම්පිත ඉරණම ගැන සංවේදී වන පොලිස් නිලධාරියකු ඇය විවාහ කරගන්නට ඉදිරිපත් වෙනවා. නමුත් ඒකම නෙවෙයි මෙතැන තියෙන එකම කතාව. මෙය සුළු නාගරික සමාජ වටපිටාවක් පසුබිම් කරගෙන ලියවුණු, ඒ වගේම ත්‍රිරෝද රථ රියදුරකු එමෙන්ම අවර ගණයේ චරිතයක් ලෙස ගැනෙන පාදඩ මැරයකුගේ සම්මතයට අසු නොවන චරිත ලක්ෂණ ද සහිතව මෙම කතාව ඒ සමාජ පරිසරයේ පිළිබිඹුවක් හැටියට විකාශනය වෙනවා.

 

l ඔබ ගොවි ජනපද සංස්කෘතිය ඇතුළත හැදී වැඩුණු ලේඛිකාවක් වුවත් මෙතැනදී වෙනස්ම සමාජ සංස්කෘතියක් ගැන ලියූ බවක් පෙනෙනවා. ඊට විශේෂ හේතුවක් තියෙනවද?

සුළු නාගරික සමාජ පැවැත්මක් තුළ සිදුවන මේ කතාව මම ලියුවේ ඇතැමුන් පවසන අන්දමට ගොවි ජනපද සමාජ සංස්කෘතිය තුළම කාල්ගාමින් සිටිනවා යන කතාවලට පිළිතුරක් හැටියට නම් නෙවෙයි. මෙතැනදී අප මතක තියාගන්න ඕනෙ සමාජ පැවැත්මක්ය කියන්නෙ වෙනස් නොවන තත්ත්වයක් නොවේය කියන කාරණය. 70 දශකය අවසානය වනවිට මේ සමාජ පෙරළිය වේගවත් වුණා. බොහෝ කරදර කම්කටොලු සහිත ජීවත්වීමේ මූලික පහසුකම් ද අහිමි කාලයක් තමයි අපි මේ ගත කරන්නේ. එහෙම බැලුවම ගොවි ජනපද සමාජ සංස්කෘතියක් තුළ මා එදා ලැබූ අත්දැකීම්වලට වඩා වෙනස් වූ සමාජ තත්ත්ව ගණනාවකට මම මුහුණපාලා තියෙනවා. සමහර විට ඒ හැමදෙයක් ගැනම මම ලියන්න තීරණය කළොත් මට මගේ ජීවිත කාලයත් මදි වේවි. ‘දූවිලි’නමින් මම ලියන නවකතාවට පදනම් වන්නේත් එදා මා විසූ ගොවි ජනපද සංස්කෘතියෙන් බැහැර වූ වෙනස් සමාජ සංස්කෘතීන්හි මා ලැබූ අත්දැකීම් හා ඇසුරු කළ පුද්ගලයන් අනුව යමින් බව කියන්න ඕනෙ.

 

l නිර්මාණකරණය ගැන ඔබේ සැබෑ අත්දැකීම කුමක්ද?

නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණයට අවංක විය යුතුයි. එය තමා තමන්ටම අවංකවීමක් ලෙස ද ගත හැකියි. නිර්මාණයකට සාධාරණය ඉටුවන්නේ එහෙම වුණාමයි. උදාහරණයක් හැටියට මට ධීවර සමාජය ගැන අත්දැකීම් නෑ. ඉතින් මම එවැනි පසුබිමක සිට යමක් ලියනවා නම් ඒ කෘතියට සාධාරණය ඉටුවන්නේ එය තාත්තිකව ඉදිරිපත් කිරීමට මා කැප වන තරමටයි. ඒ සඳහා මම සූදානම් වන තරමටයි.

ඒ වගේම අද මා මෙවැනි තැනක සිටින්නේ නිදහස් අධ්‍යාපනය නිසා බව මට අමතක කරන්න බැහැ. මා උපන් දේශය ගැන මට තිබෙන හැඟීම් විසින් වගකීමක් ද කාර්යභාරයක් ද මට පවරා දී තිබෙනවා. තමන් ලියන නිර්මාණයට සාධාරණය ඉටු කළ යුතුයි කියළා මා පවසන්නේ ඒ නිසායි.

 

l මුල් කෘති සමඟ ගත් කළ කිසියම් ආකාරයකට පෙරළිකාරීත්වයක් ඔබ තුළින් දැකිය හැකි යැයි කිවහොත් ඊට එකඟ වෙනවාද?

මම පෙරළිකාර චරිතයක් යැයි ඔබ කියනවා නම් මම කියනවා ඒක එහෙම වෙන්න ඕන කියලා. ඒක එහෙම නොවේ නම් අපි ජීවත්වන මේ සමාජය සර්ව නිර්දෝෂි සමාජ ක්‍රමයක් වෙන්න ඕනෙ. බොහෝ අකටයුතුකම්, දූෂණ ක්‍රියා හැම දෙයක්ම එක්කයි අපි ජිවත් වෙන්නෙ. මෙතැනදී දේශපාලනය විතරක් නෙවෙයි සමාජ සංස්කෘතික වශයෙනුත් බොහෝ සීමාවල් තවමත් අප අතර පවතිනවා. ආගම මුල් කරගත්ත සීමා වගේම කුල භේදය පවා අදටත් නොනැසී පවතිනවා. මේවා හරිම ප්‍රාථමිකයි. ඔබ මගෙන් අහනවා මා පෙරළිකාරියක්ද කියළා. ඔව්, ඒක එහෙම තමයි. මාව පෙරළිකාරියක් කළේ මා අවට සිදුවන මේ හැම දෙයක්ම තමයි.

ඉතිහාසයෙ මුල ඉඳලම මිනිස්සු තමන්ගේ සමාජ පැවැත්ම පවතින තත්වයෙන් ඔසවා තබන්න පෙරළි කරලා තියෙනවා. ඒක දේශපාලනය තුළ විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයකමත් සිද්ධ වෙලා තියෙනවා.

ඒ වගේම ගොවි ජනපද සමාජ සංස්කෘතියක් තුළ හැදී වැඩුණත් ඇතමුන් පවසනවා මම ඉන් එහාට ගිය නූතනවාදි අදහස් සහිත චරිතයක්ය කියළා. මම ආවේ ගොවි ජනපදයක ඉඳලා වුණත් නමුත් වෙනස් වන සමාජ තත්ත්ව ගැන මා ලැබූ අවබෝධය මාව ගොවි ජනපද සංස්කෘතියටම කොටු කළේ නැහැ. බොහෝ පාරිසරික ප්‍රශ්න මැද අද අපි ජීවත් වෙනවා. ඒ දේවල් එසේ සිදු වෙද්දී අපි අතීතයේදී විඳපු පරිසර සුන්දරත්වය ගැනම කතා කරන එකේ තේරුමක් තියෙනවද? අපි කැමති වුණත් අකමැති වුණත් අපිට සිද්ධ වෙනවා නූතන තත්ත්ව සමඟ ගනුදෙනු කරන්න. එවැනි නූතනවාදී අදහස් සමඟ ගැටීමෙන් ලැබූ අවබෝධය නිසා මා නූතනවාදී චරිතයක් හැටියට ඔවුන්ට පෙනී යනවා විය හැකියි.

 

l ඔබ දේශපාලනික වශයෙන් යම් ස්ථාවරයක සිටනවාද?

දේශපාලනය ගත්තොත් අපි දන්නවා දේශපාලනය කුමන තත්ත්වයක් යටතේ වුණත් සීමාවන් ඉදිරිපත් කරනවාය කියන කාරණය. උදාහරණයක් හැටියට නිලධාරිවාදය නිසා කොමියුනිස්ට් පාලන ක්‍රමය විවේචනයට ලක් වෙනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තියෙනවාය කිව්වට බොහෝ දූෂණ අකටයුතුකම් සිදුවෙලා තියෙන්නෙත් ඒ තුළම තමයි. මගේ අතීතය දිහා ආපසු හැරිලා බැලුවොත් ඒ ගම ඒ පරිසරය හරිම සුන්දරයි. ඒත් ඒ මිනිසුන්ගේ ජීවිත හරිම දුෂ්කරයි. මෙවැනි දේවල් අපේ දේශපාලන ස්ථාවරයට බලපානවා. මම වාමාංශික දේශපාලන නැඹුරුවක් ඇති කෙනෙක්. කිසිදු හේතුවකින් තොරව කෙනෙක් දේශපාලන පක්ෂයක සිරගතවීම විහිළුවක් වුණාට අවස්ථානුකුලව සමාජ ප්‍රශ්න හමුවේ ඒ මොහොතේ ඒවාට විසඳුම් සෙවීම සඳහා දේශපාලන පක්ෂයක් තෝරා ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. එය පොදු සමාජ යහපත වෙනුවෙන් ගන්න තීරණයක් හැටියටයි මා සලකන්නේ. කලාකරුවකුගේ මුනිවර දැක්ම තුළ දේශපාලනයේ පක්ෂවාදි බව පිළිගත නොහැකි තත්ත්වයක් වුණත් මේ මොහොතේ යථාර්ථය හමුවේ කෙනෙකු සිය දේශපාලන ස්ථාවරය වෙනුවෙන් තමා නිවැරැදි යැයි සිතන දේශපාලන පක්ෂයක් තෝරා ගන්න පුළුවන්. මම වුණත් එහෙම කටයුතු කරලා තියෙනවා.

Comments