ශේෂ කඳු | සිළුමිණ

ශේෂ කඳු

ම මේ යන්නෙ මගේ ජීවිතේ පටන් ගත්ත තැනට. අපි හැමෝගේ ම ජීවිත පටන් ගත්ත තැනක් තියෙනවා. ඒ තමයි මං ඉපදුණු ගම. මං මේ යන්නෙ ඒ ගමට. හැමදේම වෙනස් වෙලා. අපි ඒකට කියන්නෙ දියුණුව කියලා. සෙරෙප්පු කුට්ටමක්වත් නැතුව පස් පාරවල්වල ඇවිදන් ගියපු මම අද යන්නෙ මගේ ම කියලා කාර් එකකින්. ඒත් ඒ පස් පාරක නම් නෙවෙයි. කාපට් අතුරපු පාරක. මම කාර් එක ඩ්‍රයිව් කරන ගමන් අනිත් පැත්තෙ ෂීට් එක දිහාවට හැරුණා. ඇයට හොඳටම නින්ද ගිහින්. ඇය තමයි මගේ හැමදේම. මගේ චූටි දූ සිගිත්ත නතාෂා. එයා දැන් කැම්පස් යන කෙල්ලෙක්. එයාගෙ කටකාරකමට විරාමයක් ලැබිලා. ඒත් මට නම් ඒ විරාමය කල්පයක් වගේ.

කොළඹ පාරවල්වල ඩ්‍රයිව් කරලා පුරුදු වුණත් මේ වගේ පාරක වංගුවලින් පිරිච්ච, කඳු බෑවුම් අතරින් ඩ්‍රයිව් කරන එක හැමෝටම ලේසි දෙයක් නෙවෙයි. මේ ගස්කොළන්, කඳු දිහා කොච්චර බලන් හිටියත් මට ඇති වෙන්නෙ නෑ. ඒත් ඒ සුන්දරත්වය විඳගන්න මගේ හිත මට ඉඩදෙන්නෙ නෑ. වරදකාරී හැඟීමක් හිතේ ලැඟුම් අරගෙන. ‘අම්මා...’ කොච්චර ලස්සන වචනයක් ද? මං හිතන්නෙ ලෝකෙ ලස්සනම වචනය ඒක.

මම කාර් එක පාරෙ කොනකට කරලා නතර කළා. මට පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන විනාඩියක් ඉන්න ඕන. ඇස් දෙක පියාගෙන මම හොඳ හුස්මක් ගත්තා. මට මගෙන්ම අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා.

“ඇයි මම අම්මව බලන්න මෙච්චර කල් නෑවිත් හිටියෙ?”

ඒක සරල උත්තරයක් දීලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. කැම්පස් එකේ වැඩ, ගෙදර වැඩ නිසා මං කාර්යබහුල වුණා. නෑ... ඒක ඒ වරදෙන් ගැලවෙන්න උත්තරයක් නෙවෙයි. මම කථිකාචාර්යවරියක්. හ්ම්ම්... තව දූගෙ උසස් අධ්‍යාපන කටයුතු, මම වඟකීම් සහගත බිරියක්, මවක්. ඒත්... මට එන්න ඕන තරම් වෙලාව තිබුණා. රංගි මගේ මිතුරිය. ඇයත් කථිකාචාර්යවරියක්නෙ. මාසෙකට සැරයක් එයා මහත්තයයි, දරුවො දෙන්නයි එක්ක අම්මයි තාත්තයි බලන්න මහගෙදර යනවනෙ. ඇයි මට විතරක් යන්න බැරි වුණේ?

දූ මටත් වඩා බුද්ධිමත්. ඒත් ඇය හැඟීම්බරයි. මම දරදඬුයි. ඒ මගේ හැටි. මම ජීවිතේ ගොඩක් දුක් වින්දා. ඇස් දෙකට දකින්න අමාරු දේවල් දැක්කා. ඒත් මම දැන් ඉන්න තැන ගැන සතුටුයි. හැබැයි ඒක භෞතික සතුටක්. ආධ්‍යාත්මික සතුටක් තමයි මනුස්සයෙකුට ඕන කරන්නෙ. සරලව කිව්වොත් මානසික සතුටක්. අපිට උපයගන්න අමාරුම දේත් ඒකයි.

“නෝනා, කාර් එකේ අවුලක් ද?”

මම තිගැස්සුණා. අපි ඇස් දෙක පියා ගත්ත ගමන් අපි අපේම ජීවිතවල ගැඹුරටම කිඳා බහින්න උත්සාහ කරනවා. ඒ පාරෙ යන මනුස්සයෙක්. මම කිව්වා ප්‍රශ්නයක් නෑ කියලා.

“මමී... ආ යූ ඕකේ ?”

මම ඔළුව වැනුවා විතරයි. මම ආපහු ඩ්‍රයිව් කරන්න පටන්ගත්තා.

“මමී... මං කාර් එක ඩ්‍රයිව් කරන්න ද? මමී පොඩි රෙස්ට් එකක් ගන්න.”

“අපි දැන් ළඟටම ඇවිත් ඉන්නෙ පුතේ... බලන්න මේ තමයි මමීගෙ විලේජ් එක. ලස්සනයි ද? ”මම හිනාවෙන්න උත්සාහ කළත් ඒක සාර්ථක වුණේ නෑ. ඒක හිනාවක් නෙවෙයි විරිත්තීමක්.

“සෝ බියුටිෆුල්. බලන්න මමී අර මවුන්ටන්ස් දිහා...”

ඇය ඉන්නෙ පුදුම සතුටකින්. මගේ දිහා බලලා හිනාවෙලා ආපහු කඳු පන්ති දිහාවට හැරුණු ඇය ඒ දිහා බලන්නෙ හරිම ආසාවෙන්. මම ගේ ඉස්සරහ මිදුලේ කාර් එක නතර කරලා නතාෂා එක්ක ගේ දිහාවට යන්න ගත්තා. ගෙදර හොඳටම දිරාපත් වෙලා. ඉස්සරහට ආපු අක්කගෙයි මගෙයි ඇස් එකට අහු වුණා. ඇය මොහොතක් නතර වුණා. ඇයට එක්වරම මා හඳුනාගන්න බැරි වුණාවත් ද? කාලයට ගතින් අපිව වෙනස් කරන්න පුළුවන් වුණත් බැඳීම්වලින් ඈත් කරන්න පුළුවන්ද? මම මගේ දෑස් පහතට දමා ගත්තෙ තවත් ඒ ඇස් දෙක දිමා කෙළින් බලන් ඉන්න තරම් ශක්තියක් මට ඒ වෙලාවෙ නොතිබුණ හින්දා. කොහොමත් මට බෑ කෙනෙක්ගෙ ඇස් දිහා කෙළින් බලන් කතා කරන්න. ඒක මට පොඩි කාලෙ ඉඳලම කරන්න බැරි දෙයක්. මම ආපහු අක්කගෙ මූණ දිහා බැලුවා. අපේ පවුලෙ ලොක්කි. පවුලෙ බර කරට ගත්ත ලොක්කි. ඒත් මගේ ඉස්සරහ ඉන්න ලොක්කිගෙ ඇස් ගිලිලා. ඇඟපත වැහැරිලා. මූණ කළු වෙලා. කෙස් සුදු වෙලා. මගේ මුළු ඇඟම ක්ෂණයකින් පිච්චිලා ගියා වගේ දැනුණා. අපි ආදරය කරන චරිත අපි ඉස්සරහම වයසට ගිහින් කියලා පෙනෙද්දි ඇතිවෙන ඒ පරාජිත හැඟීම වචනවලට පෙරළන්න හරි අමාරුයි. ලොක්කිගෙ ඇස් දෙකෙන් කඳුළු කඩන් වැටෙනව මං දැක්කා. පොඩ්ඩි කියලා මාව වැලඳගන්න හදපු ලොක්කි එක්වරම නතර වුණා. ඒ තමන් ඇඳගෙන ඉන්න වැරහැලි නිසා බව මට තේරුණා. වැරහැලි ඇන්දත්, දිව්‍යමය සළු ඇන්දත් ලොක්කි ලොක්කිම තමයි. මම පැනපු ගමන් ලොක්කිව බදාගෙන ඇඩුවා. නතාෂා මේ හැමදේම හැඟීම්බරව බලන් හිටියා.

“මට සමාවෙන්න අක්කේ...”

“මේ උඹේ දුවද පොඩ්ඩි?” ලොක්කි නතාෂා දිහාවට හැරුණා.

“ඔව් අක්කේ... මේ මගේ දූ පැටික්කි, නතාෂා.”

“උඹ පුංචි සන්දියෙ වගෙමයි බන් ” ලොක්කි කිව්වා.

“පුතේ... ලොකු අම්මට වඳින්න.”

මම ඊළඟට ගියේ අම්මා ළඟට. ගොම පොළොවෙ දාපු මෙට්ටයක් උඩ ඉඳන් ඇස් දෙක පියන් අම්මා මොනවද කියනවා.

“අම්මා නිතරම කිව්වෙ ‘මැරෙන්න කලින් පොඩ්ඩිව දැක ගත්තොත් මට ඒ ඇති’ කියලා.” ලොක්කි කඳුළු පෙරමින් කිව්වා.

“අම්මේ...” මම වඩාත් අම්මාට ළං වෙලා කිව්වා. අම්මා හෙමිහිට ඇස් ඇරලා මගේ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. මුහුණ පුරා හිනාවක රේඛාවක් එක්කම ඒක කැපෙන්න වගේ කඳුළු බිඳුත් සට සට ගාලා වැටුණා.

“ලොක්කියේ... මේ බලපන් පොඩ්ඩි ඇවිත්. මගේ පුංචි එකී මාව බලන්න ඇවිත්. රත්තරනේ ඇයි මාව බලන්න නාවෙ? ඇත්ත, මට උඹට හරිහමන් අම්ම කෙනෙක් වෙන්න බැරි වුණා.”

මම කොච්චර දරදඬු වුණත් එතනදි මගේ හදවත වෙඬරු පිඩක් වගේ උණු වුණා. මං හිතන්නෙ අපිට පිටින් දරදඬු වගේ පේන චරිත ඇතුළතින් හරිම මෘදුයි.

“නෑ... එහෙම කියන්න එපා අම්මේ... මට සමාවෙන්න අම්මේ...” මට අම්මගෙ මූණ දිහා බලන් කියන්න පුළුවන් වුණේ එච්චරයි. නිරායාසයෙන් ගලා එන හැඟීම් පිට කරන්න මට වචන එන්නෙ නෑ. මගේ මුව ගොළු වුණා... හදවත බර වුණා... දෑසේ කඳුළැලි පිරුණා...

“දැන් නම් මගේ ඇස් පිය වුණත් කමක් නෑ බන්. මං උඹව දැකගත්තනේ... මේ කෙලි පැටික්කි උඹේද?” අම්මා නතාෂා දිහා ඕනෑකමින් ආදරයෙන් බැලුවා.

“ඔව් අම්මේ... මගේ දුව.” මම අම්මගේ අත් දෙකෙන් අල්ලගත්තා.

“උඹ පුංචි සන්දියෙ වගේමයි හැඩරුව. දුවේ... පොඩ්ඩක් මගෙ ළඟට වරෙන්.” නතාෂා අම්මා ළඟින් දණගහගෙන අතින් අල්ලාගත්තා.

“අම්මේ... අපි කොළඹ යමු. ගිහින් අපේ ගෙදර ඉන්න පුළුවන්නෙ අම්මට. කොළඹින් බෙහෙත් ගන්නත් පුළුවන්.” “දැන් මට තවත් ජීවිතේ ගැන බලාපොරොත්තු නෑ බන්. එකම බලාපොරොත්තුව වුණේ උඹව දැකගන්න එක. අනිත් එක අපි මේ ගම දාලා කොහේ යන්නද බන්? දේස දීපංකරේ එක්ක යනවා කිව්වත් මේ වහල යට මැරෙන තරම් සැපතක් මට නෑ. උඹේ තාත්තගෙ අන්තිම හුස්ම පොද වැටුණෙ මේ ගේ ඇතුළෙ. උන්දැ තවම මාත් එක්කම ඉන්නවා වගේ මට දැනෙන්නෙ.” අම්මගෙ වියළිච්ච මූණ තෙත් වුණේ වැටිච්ච කඳුළු බිංදු ටිකකින්. අම්මගෙයි, තාත්තගෙයි බැඳීම අපූරු සාංසාරික බැඳීමක්. අද වගේ කඩදාසි කොළයකට ලඝු වෙච්ච ආදරයක් නෙවේ ඒක. ඒ ආදරේ ලියවුණේම ඔවුන්ගේ හදවත්වල ගැඹුරුම තැන්වලයි. මම ගෙදරින් එළියට ඇවිත් වත්ත පහළට ඇවිදන් ගියා. ඒ මතක පිරිච්ච හැම තැනක්ම ආයෙ බලන්න තියෙන ආසාවට.

“අම්මේ........ අම්මේ......” ඒක ආමන්ත්‍රණයක් නං නෙවෙයි. ඒක විලාපයක්... එකපාරටම ලොක්කිගේ යටිගිරියෙන් මාව ගල් ගැහුණා. ලෝකෙ ම මං වටේ කැරකෙනවා වගේ මට දැනුණෙ. මොනව කරන්නද කියලා සිහියක් පතක් නැතුව මං ගේ පැත්තට දිව්වා.

දවස් හතකට පස්සෙ හීල් දානෙත් උයාගෙන උදේ පාන්දරම අපි පන්සලට ගිහින් ඇවිත් මම ගෙදර පඩිය උඩ වාඩි වුණා. ඒ හිතේ තිබිච්ච බර උහුලන් ඉන්න බැරිකමට. නතාෂාත් මං ළඟින් ඇවිත් වාඩි වුණා.

“මමී... තාත්ති මට කෝල් එකක් ගත්තා. මේ කොරෝනා සිටුවේෂන් එකත් එක්ක එයාට ලංකාවට එන්න තව කාලයක් යයි කිව්වා. මං වෙච්ච ඉන්සිඩන්ට් එක තාත්තිට කිව්වා. එයා ගොඩක් ෂොක් වුණා. මට මමීව බලාගන්න කිව්වා. මමීට කියන්න කිව්වා තාත්තිගෙ කෝල්ස් ආන්සර් කරන්න කියලා...”

නාතාෂා කියවගෙන යන දේවල් දැන මම අවධානයෙන් නෙමෙයි හිටියෙ. අතීත කාමය කියන්නෙ වෙලාවකට දුකක්. මිනිස්සු වර්තමානයේ ජීවත් වුණත් හිත්වලින් ඉන්නෙ අතීත මතකයන් එක්ක.

“මමී... මං කියපු දේවල් අහගෙන ද හිටියෙ?” නතාෂාගෙ කටහඬින් මම අතීතය නැමැති පාවෙන වලාවෙන් බිමට වැටුණා.

“ආ... හරි දුව, මං තාත්තිට කෝල් එකක් ගන්නම්.”

මම වත්ත පහළට ඇවිදන් ගියේ ජීවිතේ අමිලම වස්තුව මුණ ගැහෙන්න. ඒ හැඟීමම මටම කර ගන්න සරදමක්. අම්මා ජීවත්වෙලා ඉද්දි මට ඇය ළගින්ම ඉන්න තිබුණා කියලා හිතෙද්දිම හිත කීරි ගැහෙනවා. මට අම්මගේ දේහය මිහිදන් කළ භූමිය ස්පර්ශ කරන්න ඕන වුණා. මට ඇයත් එක්ක ආයෙ කතා කරන්න ඕන වුණා. මම අවුරුදු ගණනක අතීතයට ගමන් කළා. ඒක හරියට කාලය හරහා ගමන් කළා වගේ හැඟීමක්.

“උඹට මං සැරයක් කිව්වා... උඹ විස්සවිද්‍යාලෙ ගියා කියලා රජ වෙන්නද? ජීවිතේ බේරගෙන උඹේ ඉස්කෝලෙ රස්සාව කරපන්...”

අම්මා එදා ඒ බැන්න විදිය අදටත් මට ඒ විදියටම මතකයි.ඒ භීෂණ කාලෙ. මම උසස් පෙළ ඉවර වෙලා ගෙදර ඉන්න කොට ගුරු පත්වීම්වලට ගැසට් එකක් ආවා. මම ඒ විභාගයෙන් සමත් වුණා. මට ඉස්කෝලෙ පත්වීමක් ලැබුණා. ඒ කාලෙ තමයි මට අසේලව හම්බ වුණේ. එයා ඒඉස්කෝලෙ ගුරුවරයෙක්. මුලින් හිනාවෙන් කතාබහෙන් ආරම්භ වෙච්ච අපේ හිතවත්කම පස්සෙ අපිටත් නොදැනිම ආදරයකට පෙරළුණා.

මම විශ්වවිද්‍යාලයට තේරුණු බව ආරංචි වෙලා වැඩියෙන්ම සතුටු වුණේ අසේලයි, ලොක්කියි.

අපේ අම්මටයි, තාත්තටයි ඒ ගැන එච්චර අවබෝධයක් තිබ්බෙ නෑ. ගමේ කවුරුත් නොකරපු වික්‍රමයක් කරපු දූ ගැන එයාලා සතුටු වෙන්න ඇති. ඒත් ඒ බව මට පෙන්වන්නෙ නැතුව ඉන්න ඇති. මොකද ඒ කාලෙ රටේ තිබිච්ච භීෂණ තත්ත්වෙත් එක්ක මං කොළඹ යනවට එයාලා ගොඩක් බය වුණා.

කොළඹ ගැන ගම පුරාම පැතිරිලා තිබ්බෙ හොඳ ආරංචි නෙමෙයි. අසේලත්, ලොක්කිත් මගේ විශ්වවිද්‍යාල ගමනයට බාධා කරන්න එපා කියලා නිතරම අම්මටයි, තාත්තටයි කිව්වා. පස්සෙ අම්මයි, තාත්තයි කැමති කරවගන්න අපිට පුළුවන් වුණා. පවුලෙ අයයි, අසේලයි, ඉස්කෝලෙ පුංචි පැටව් ටිකයි දාලා යන්න මට හිත දුන්නේම නෑ. ඒත් මං හිතුවා මං මගේ හීනෙට කොහොමහරි යන්න ඕන කියලා. ඒ කාලෙ අපි කොච්චර නම් දුක් වින්දද? අපිට ඕන වුණේ ගෙදරට, ගමට කොටුවෙච්ච ඒකාකාරී ජීවිතෙන් මිදිලා මේ රාමුවෙන් පිටතට යන්න. නවකතාවලින්, සඟරාවලින් කියවලා තිබුණු ඒ කොළඹ හැබැහින් දකින්න හිතේ තිබුණෙ පුදුමාකාර ආසාවක්. අසේල මට අවශ්‍ය කරන ගොඩක් දේවල් ඔක්කොම අරන් දුන්නා. මම කොළඹ යන්න ඔක්කොම දේවල් සූදානම් කරලා තිබ්බෙ. අසේල උදේ පාන්දරින් මාව එක්ක යන්න එනවා කිව්වා. ඊට කලින් දා රෑ මට නින්ද ගියෙත් නෑ. එක පැත්තකින් ලොකු සතුටක්. අනිත් පැත්තෙන් කියාගන්න බැරි දුකක්.

පහුවදා උදෙන් ම මම අවදි වෙනකොට අම්මා උදෙන්ම නැඟිටලා බත් උයලා තිබුණා. මම මගේ ඇඳුම් ටිකයි, අවශ්‍ය දේවලුයි සූට්කේස් එකට දාගත්තා. හැමදේම ලෑස්තියි. අම්මයි, තාත්තයි, ලොක්කියි හිටියෙ මම ගෙදරින් යන එක ගැන දුකෙන්. නිවාඩුවක් ලැබුණ ගමන් මම ආපහු එනවා කියලා මම එයාලගේ හිත් හැදුවා. ලොක්කි සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණත් පවුලෙ අගහිඟ නිසා උසස් පෙළ කළේ නෑ. එයා මගේ ඉස්කෝල ගමන වෙනුවෙන් එයාගෙ අධ්‍යාපනය කැප කළා. තමන්ගේ හීන අතෑරලා දාලා මගෙ හීනෙ වෙනුවෙන් වැඩ කරපු ලොක්කිව දැකලා මට ඇඬුම් ආවා. මම ඇයව බදාගෙන ඇඬුවා. මම ලොක්කිගෙ ඒ කැපකිරීමට සාධාරණයක් කරන්න ඕන කියන දැඩි අධිෂ්ඨානය මගේ ඇස්වල දිලිසුණා.

අසේල එනතුරු පැයක් තිස්සෙ මඟබලන් හිටියත් එයා ආවෙ නෑ. මම හොඳටම බය වෙලා හිටියෙ. තවත් බලන් හිටියොත් බස් එකට පරක්කු වෙනවා කියලා තාත්තා ටවුමට යන්න ලෑස්ති වුණා. මමයි, තාත්තයි අඩ අඳුරෙම ගෙයින් පිටත් වුණා.මගේ හිතට එක එක සිතුවිලි ආවා. වංගු දෙකක් විතර යද්දි දැකපු දෙයින් මම ගල් ගැහුණා. “අසේල...” කෑගැහුවත් මගේ කටහඬ පිට වුණේ නෑ. මට දැකගන්න ලැබුණෙ අසේලගේ කඳ නැති හිස් කබල විතරයි.

මම වෙව්ලලා ගියා. අම්මගේ සුසානය මතින් නැඟිටලා අසේලව බලන්න මම හෙමින් හෙමින් ඇවිදන් ගියා. කන්දක තියෙන සුන්දරත්වය ඛාදනයකට ලක්වෙච්ච කන්දකින් දකින්න බෑ. මමත් ඒ වගේ ශේෂ වුණු කන්දක් හිස මත දරන්නියක්. මේ වගේ ශේෂ කඳු අපි හැම කෙනෙක් ළඟම තියෙනවා. ශේෂ කඳු බර නිසාමයි මම කොළඹ ගෙන්දගම් පොළොවටම කොටුවෙන්න තීරණය කළේ. ඛාදනය වුණු කන්දක් වුණත් වල් පැළෑටි එකිනෙක එකතු වෙලා මහා වනාන්තරයක් නිර්මාණය කරාවි. ඒත් සෘතුවක කඩා වැටෙන නා කපන වැස්සකින් ශේෂ වුණු පස් පිඬලි ආයෙත් මතු වේවි !

පූජ්‍ය හොරගල විමලතිස්ස හිමි

Comments