
පිටිසරබද ගමක තරුණයෙක් ඔලොගුවක් ද කරේලාගෙන සතුට සොයමින් ඇවිදින්නට පටන් ගත්තේය. සතුට යනු සිනාසීම යැයි ඔහු හඳුනාගෙන තිබිණි. එහෙත් පසුව ඔහු සතුට හැඳින්වූයේ සැනසීම ලෙසය. ඊටත් පසුව ඔහු පෙන්වා දුන්නේ සතුට යනු උද්දාමය මිස අන් දෙයක් නොවේ යනුවෙන්ය. කෙසේ වුව සතුට ලැබීමට අවශ්‍ය සාධක ඔහුට මෙතෙක් හමු වී නොතිබිණි.
මධ්‍යම පන්තික නිවෙසක ගේට්ටුව අසල යතුරු පැදියකට හේත්තු වී තමන් වෙත ඉඟි - බිඟි පෑ සුන්දර යුවතියක් වෙත ගිය තරුණයා ඇය හා තකිකාවක් ගොඩනැඟීමට වෑයම් කළේය.
"කියන්න ඔබ සතුටු කිරීම
සඳහා මට කළ හැක්කේ
කුමක් ද?"
"අහන්ඩත් දෙයක්ද?
මට පැට්රල් ලීටරයක්
ගෙනත් දෙන්ඩ! එතැන තමයි
මගේ සතුට!"
තරුණයා වහාම තෙල් පෝලිමක් වෙත ගියේය. විනාඩියෙන් - විනාඩියට තෙල් පෝලිම දිගු වන නමුදු එදින එම පිරවුම්හලට තෙල් බවුසරයක් පැමිණියේ නැත. තරුණයා දිගටම පෝලිමේ රැඳුණේය. දෙවැනි දිනයේදී තෙල් බවුසරය පැමිණියද "ටෝකන්" නැතිකම නිසා ඔහුට තෙල් නොලැබිණි. තෙවැනි දිනයේ ටෝකන් තිබුණද ඔහුගේ වාරය පැමිණෙන විට පිරවුම්හලේ තෙල් අවසන් විය. තරුණයා දින තුනක් නිදි වරා හිස් අතින් යුවතිය වෙත ගියේ බලවත් ශෝකයෙන් යුතුවය. යුවතිය කිසිවක් ගණනකට නොගෙන කොක් හඬලා සිනාසෙන්නට වූවාය. ඇය දිගටම සිනාසුණාය.
තරුණයාට අදහාගත නොහැකිය. තෙල් ඇතත් - නැතත් ඇය සිනාසෙයි. එය පුදුමයකි. ඔහු වහාම එතැනින් ඉවත් වී ඉබාගාතේ ඇවිදින්නට පටන් ගත්තේය. සතුට යනු උභතෝකෝටිකයක් යැයි එතැන් සිට ඔහු තොල් මතුරන්නට විය.
තරුණයා ඊළඟට සේන්දු වූයේ නාගරික ප්‍රදේශයක තට්ටු නිවාස සංකීර්ණයක් වෙතය. එහි සෑම වීථියකම ගෑස් පෝලිමක් දකින්නට ලැබිණි. ලොව ඇති ඉස්තරම්ම ඇඳුම් - පැලඳුම් හා වටිනාම පාවහන් සහිතව පෝලිම්වල සිටි ගැහැනුන් හා මිනිසුන් දුටු විට ඔවුන් ළඟ සතුට ඇතැ'යි තරුණයා සැක කළේය. එහෙත් ඒ මුහුණුවල කිසිදු තෙතමනයක් නැත. ඒ හැරත් ඔවුහු උස් හඬින් කුණුහරප කියති. තරුණයා යළිත් වරක් තහවුරු කර ගත්තේ සතුට යනු උභතෝකෝටිකයක් යන්නය.
කුමක් වුව ප්‍රශ්න කළ යුතු යැයි අදිටන් කරගත් තරුණයා ගෑස් පෝලිමේ සිටි තරබාරු ගැහැනියක වෙත ගියේය.
"අද හැන්දෑ වෙනකොට
ගෑස් එයිද?"
"පිස්සුද ඕයි!
ගෑස් නැව තවම අරාබි මුහුදෙ
මෙහෙ වරායට එනකොට තව
මාසයක් යනවා!
ගෑස් ගොඩබාන්න තවත්
දවසක් යනවා!"
"ඉතින් ඕකට
විකල්පයක් නැද්ද?"
තරබාරු ගැහැනියට හොඳටම කේන්ති ගිය අතර තරුණයාගේ බෙල්ලෙන් අල්ලා ඔහු විදුලි පහන් කණුවකට හේත්තු කර ගත්තාය. ඉක්බිති එතැනට වට වූ පිරිස් විවිධ කතා කියන්නට වූහ. කෙනකුගේ මතයට අනුව තරුණයා අමු පිස්සෙකි. තව කෙනකුගේ මතයට අනුව මැට්ටෙකි. තවත් කෙනකුගේ මතයට අනුව තරුණයා ආණ්ඩුවේ හෙංචයියෙකි. ඔහු ඔත්තුකාරයකු වෙන්නට පුළුවන් බව ද සමහරු පෙන්වා දුන්හ. ඒ වනවිටත් ඔහුගේ ඔලොගුව, මුදල් පසුම්බිය, අත් ඔරලෝසුව, සෙරෙප්පු කුට්ටම හා කමිස සාක්කුවේ රැඳුණු බෝල්පොයින්ට් පෑනත් අතුරුදහන්ය.
නාසයට හා බොරු ඇහැ ළඟට පහර කිහිපයක් ද තට්ටමට පා - පහරක් ද ලබා දීමෙන් පසු තරුණයා නිදහස් කැරිණි. ඔහුගේ නියම ගමන ආරම්භ වූයේ එතැන් සිටය. ඔලොගුව නැත. මුදල් නැත. ඇවිදීමට සිදු වී ඇත්තේ ද කොර ගසමින්ය. ඒ හැරත් ඔහුගේ දකුණු බොරු ඇහැ ළඟින් විදුලි කොටන්නා සේ තරු විසිවෙන්නට පටන් ගත්තේය. බොහෝ දේවල් අපැහැදිලිය.
මේ සිදුවීමෙන් පසු තරුණයාට අලුත් වැටහීමක් ලැබී තිබිණි. ඒ අනුව ගමේත් - නගරයේත් සමාජ අතර බරපතළ පරතරයක් තිබේ. ඒවා තේරුම් ගැනීමට අපහසුය. උන් සතුටු වෙන්නේ පහරදීමෙන් යැයි තරුණයා අවසන් නිගමනයකට පැමිණ සිටියේය. ප්‍රචණ්ඩත්වය යන වචනය ඔහුගේ සිහියට නැඟිණි.
තරුණයා ඊළඟට පෙනී සිටියේ මහ රෝහලේ ප්‍රධාන ගේට්ටුව ළඟය. ඔහු දුටු සැණෙන් සාත්තු සේවකයෝ වහා කලබල වූහ. අරගලයට ගහනවා! යැයි කෑගැසූ ඔවුහු තරුණයා ඔසොවා රෝද පුටුවක් මත තබා වේගයෙන් එය තල්ලුකරගෙන වාට්ටුවකට ඇතුළු වූහ. එහි සිටි වෛද්‍යවරයා තරුණයාගේ මුළු සිරුරම පරීක්ෂා කළේය.
"ඔළුවට ඩැමේජ් ද දන්නෙ නෑ!
එක්ස් රේ එකක් ගන්ඩ!
සමහර විට ස්කෑන් කරන්ඩත් වෙයි!"
එතැන් සිට තරුණයාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු යුහුසුලුව සිදු වන්නේය. ඒ අතර මාධ්‍යවේදීන් පැමිණ ඔහුගේ ඡායාරූප ලබා ගන්නට වූ අතර වරින්-වර දේශපාලකයෝ පැමිණ ඔහුගේ සුවදුක් විමසූහ. ඒ සෑම අවස්ථාවකම කැමරා ක්‍රියාත්මක වන ආකාරය තරුණයා දුටුවේය. කිසිදු අවශ්‍යතාවක් නැතත් එම තරුණයාට සේලයින් ලබා දී තිබිණි. පළමුවරට ඔහු අරගලය ගැන කල්පනා කරන්නට වූ අතර එතැන සතුට ඇතැ'යි විශ්වාසයක් ඇති කර ගත්තේය.
පසු දා වන විට තරුණයාගේ ප්‍රතිකාර අවසන් වූ අතර රෝහලෙන් මුදා හැර තිබිණි. ඔහු වාට්ටුවෙන් පිටත් වන විට "අරගලයට ජයවේවා!" යැයි සුළු සේවකයෝ හඬ නැඟූහ. තරුණයා කිසිදු කතාබහක් නැතිව රෝහල් ගේට්ටුවෙන් එළියට පැමිණ යළිත් ඇවිදින්නට පටන් ගත්තේය.
තරුණයා බොහෝ දේවල් කල්පනා කරමින් ඉදිරියට ඇදුණේය. සතුට කෙසේ වෙතත් සෑම මිනිසකුම විශාල මුළාවක වැටී ඇති බවක් ඔහුට දැනෙයි. ඒ පමණක් නොව; මිනිසුන්ගේ හැසිරීම මුළුමනින්ම ව්‍යාජ ස්වරූපයක් ගන්නා බව ද ඔහුට හැඟෙයි. තව වරෙක ඔහුට සිතෙන්නේ මුළු ලෝකයම විකාරයක් බවය. එහෙත් ඔහුට එය විග්‍රහ කොට පැහැදිලි කිරීමට හැකියාවක් නැත. මිනිසුන් අරගල කරන්නේ මන්දැ'යි තවත් වරෙක ඔහු තමාගෙන්ම විමසන්නට විය. නිශ්චිත පිළිතුරක් නැත. ඇතැම් විට සතුට - සැනසීම - තෘප්තිය හා සිනාව උදෙසා එසේ කරනවා විය යුතු යැයි තරුණයාට සිතිණි. ඒ අතර තමන් සවිඥානික මිනිසකු දැ'යි ඔහු තම හෘද සාක්ෂියෙන් විමැසුවේය. ඊට ද හරි පිළිතුරක් නැත. කුසගින්නට - ආහාර, රෝගපීඩාවලට - ඖෂධ, නූගත්කමට - ඉගෙනීම, රාගයට - ස්පර්ශය, මිථ්‍යාවට - යථාර්ථය ආදී ලෙසින් පිළිතුරු රැසක් ඔහුට ලැබිණි. එහෙත් ඒවා ඉබේ පහළ වන්නේ නැති බව ද ඔහු දනී. කුමක් සඳහා වුව අරගලයක නිරත විය යුතුය. අරගලය යනු යුක්තිය උදෙසා සටන් වැදීම යැයි තරුණයා අවසන් ලෙස තීරණයකට එළැඹියේය.
කල්පනා ලෝකයක් සමඟ ඉදිරියට තල්ලු වූ තරුණයා මෙවර ප්‍රවේශ වූයේ තවත් දිගු පෝලිමක් වෙතය. එය "පාස්පෝට් පෝලිම" ලෙස සඳහන් විය.
ලිතුවේනියාව, ටියුනීසියාව, ඊජිප්තුව, ගෝතමාලාව, දකුණු සූඩානය ආදී ලෙසින් රටවල් ගණනාවක් ඔහුගේ සිහියට නැඟිණි. එම රටවල් වෙත පියාසර කරන්නේ කවුරුන්දැ'යි සිතා ගත නො හැකිව හෙතෙම පෝලිමේ කෙළවර සොයන්නට පටන් ගත්තේය. එය ඔහුට සොයා ගත නොහැකි විය.
කිසියම් දෙයක ආරම්භය හෝ අවසානය හෝ සෙවීම අර්ථ - විරහිත උත්සාහයක් සේ ඔහුට දැනිණි. එය කිකිළිය ද? බිත්තරය ද? වැනි ප්‍රශ්නයක් යැයි තරුණයා නැවත කල්පනා කළේය. මේ අතර පෝලිමේ රැඳී සිටි ගැහැනියක වේදනාවෙන් ඇඹරෙන බව ඔහු දුටුවේaය. පසුව ඇය රෝහල වෙත රැගෙන යනු දක්නට ලැබිණි. ඇය ගර්භණී මාතාවක බව කවුදෝ කියනු ඔහුට ඇසිණි. ඒ සමඟම ඔහුගේ සිතට ඇතුළු වූයේ නව උපතක් යන්නය. සියලු දෙනාම නැවත ඉපදීමක් වෙත රැගෙන යා යුතුයැයි ඊළඟට ඔහු කල්පනා කළේය.
තරුණයා අවසන් ලෙස තීරණය කළේ ලොව කිසිදු තැනෙක සතුට නැත යන්නය. මිනිසුන් කොක් හඬලා සිනාසෙන්නේ බොරුවට බව ඔහු අවබෝධ කර ගත්තේය.