සුනිල් ගුණවර්ධන
වතින දේහි වන විශේෂත්වයත්, සාමාන්‍ය පුද්ගලයා දකින දෙයින් ඔබ්බට දකින්නට හැකි මනසකුත් නිර්මාකරුවන්ට ඇත්තේ ය. සියුම් දෙයෙහි ඉසියුම් බවත්, සාමාන්‍ය දෙයෙහි අසාමාන්‍ය බවත්, විශිෂ්ටත්වයෙහි සුවිශිෂ්ට බවත් දකින්නට හැකි නම් ඒ නිර්මාණකරුවකුගේ සාර්ථකත්වයෙහි මුල් පියවර ය. ඉපදුණ දා සිට අප ඉගෙන ගන්නා පොතපත, කටපාඩම් කරන කරුණු නිර්මාණකරණයේ ලා මහත්සේ ප්‍රයෝජනවත් නොවන බැව් ඔබ දැනටමත් දනී.
එහෙත් කලා නිර්මාණ බිහි වූයේ කෙසේදැයි සොයා ගැනීමට කිසිවකුටත් හැකි නොවූ බව ඔබ දනී. නිර්මාණකරණය පිළිබඳ ෆොයිඩ් කළ සියලු පර්යේෂණ අවසන කියා සිටියේ කලා නිර්මාණය බිහිවන්නේ කෙසේද යන්න තමාට නම් අවබෝධ කර ගැනීමට නොහැකි බව ය. එනිසා කලා නිර්මාණය යන්න ඈත අතීතයේදී මෙන් ම විද්‍යාවේ හිණිපෙත්තට නැඟි අද පවා ආශ්චර්යවත් දෙයකි; ලොව විශිෂ්ටතම ගුරුවරයා, චින්තකයා ගෙන්වූව ද උගැන්විය නොහැක්කකි. නිර්මාණකරුවකු සිය නිර්මාණය සුමට කරද්දී අත්දැකීම් ඒ සඳහා හේතු පාදක වන ආකාරය ගැන අප ඔබට කියන්නේ ඒ නිසා ය.
අද පෙරනිමිති ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ සුනිල් ගුණවර්ධන ලේඛකයාගේ නිර්මාණ අත්දැකීම් පිළිබඳවයි. දූලගෙ තාත්තා, රේස් ආච්චි, මෙත්තම්මා, නොසිතූ විරූ, බීකා, ඩ්‍රයිවර් නැන්දා හා අහසට පෙම් බැඳි ගැහැනිය සුනිල් ලේඛකයා විසින් පාඨක ප්‍රජාවට තිළිණ කරන ලද කෙටිකතා සංග්‍රහ ය. ඊට අමතර ව මේ ලේඛකයා කාව්‍ය සංග්‍රහ 7ක් ද පාඨක ප්‍රජාවට තිළිණ කර තිබේ. හැත්තෑව දශකයේදී සුබාත්මක නොවේ ජිවිතය කාව්‍ය සංග්‍රහය පාඨක ලොවට ප්‍රදානය කරමින් හේ කාව්‍යකරණයට පිළිපන් වෙයි. ඉන් අනතුරුව වරින්වර
ඔහු විසින් ලියන ලද සඳයි පෙම්වතියයි අමතක කළෙමි, හිරු නොදකින්නෝ ( තවත් දෙදෙනකු සමඟ), මහපොළවේ දෙවියෝ අපියි, සඳමඬල හා පිනි කඳුළ, කැලණි ගඟට හිරු එනතුරු සහ දැන් වැටුණු හුස්මක් ඔහු ලිවිසැරියේ කාව්‍ය සලකුණු වෙයි. ගේය පද රචකයෙක් ලෙස සිය සලකුණ දශක 5ක පමණ සිට ගේය කාව්‍ය ක්ෂේත්‍රයේ සටහන් කරන හේ සිංහල විෂයය දරුවන්ට උගන්වන ගුරුවරයෙකි.
ඔහු ලියූ අහසට පෙම් බැඳි ගැහැනිය කෘතියේ එන රත්තරන් මිනිස්සු කෙටිකතාව බර්ගර් ජාතික පවුලක් ගැන ලියැවුණකි. රත්තරන් මිනිස්සු කෙටිකතාව නුගේගොඩ ජම්බුගස්මුල්ල ආශ්‍රය කරගෙන රචිතය. සුනිල් ලේඛකයාගේ කෙටිකතා සංග්‍රහ හතේ ම බර්ගර් කතාවක් ඇතුළත් ය. ඒ ඔහුගේ විශේෂත්වයකි. බර්ගර් ජාතිකයන් ගැන ලියූ කාල් මලර්ගෙන් පසුව බර්ගර් ජන ජීවිතය විදාරණය කරන එක ම සිංහල කෙටිකතාකරුවා සුනිල් ගුණවර්ධන බව කිවිවර පරාක්‍රම කොඩිතුවක්කු කියා තිබේ.
‘රත්තරන් මිනිස්සු කෙටිකතාවේ පීරිස් මහත්තයා කියලා චරිතයක් ඉන්නවා. ඒකටත් මගේ මව සම්බන්ධයි. ඇය ගෙයක් හදද්දි පීරිස් මහත්තයා ආවා. ඇවිල්ලා මෙතන ගෙයක් ද හදන්නෙ කියලා ඇහුවා. අම්මා කිව්වා ඔව් කියලා. පීරිස් මහත්තයා කිව්වා මට මේ ගේ අවුරුදු පහකට දෙන්න කියලා. මම ගේ හදන්න සල්ලිත් දෙන්නම්; අවුරුදු පහකින් පස්සෙ මම අනිවාර්යයෙන් ඔස්ට්‍රේලියා යනවා කියලා. මේ මනුෂ්‍යා හරිම සුන්දර මනුෂ්‍යයෙක්. මගේ අත්දැකීම් අනුව බර්ගර් ජාතිකයන් හරි සුන්දරයි. බිම බලාගෙන වැඩට යනවා; බිම බලාගෙන ගෙදරට එනවා. කිසිම කෙනෙක් ගැන හොයනවා බලනවා මට පේන්නෙ නෑ. හැබැයි අහල පහල කෙනෙක්ගෙ මළ ගෙයක් වුණොත් එතැන මූලිකයා වෙන්නෙ පීරිස් මහත්තයා. පීරිස් මහත්තයගෙ නෝනා තමයි මේ වගේ දේවල් පීරිස් මහත්තයට දැනුම් දෙන්නෙ. ඒ සැණින් පීරිස් මහත්තයා වාහනයක් අරන් එනවා. කෙරෙන්න ඕන කටයුතු ඔක්කොම අහලා කෑම බීම දීලා සියලු කටයුතු ඉවර වෙනකම් හොයලා බලනවා.
ගමේ ධර්මදාස කියලා මනුස්සයෙක් හිටියා. ඒ මනුස්සයා බීලා බිරින්දෑ ව එළවනවා. අවසානෙ ගමේ කවුරුවත් මේ ගැහැනු කෙනාව තමන්ගෙ ගෙදරට ගත්තෙ නෑ. ඒකට හේතුව ධර්මදාස තමන්ගෙ බිරියගෙ නම පාරේ කිය කියා කෑ ගහද්දි මේ මනුස්සයා තමන් ඉන්න ගෙදර ඉඳන් මම මෙහේ කියනවා. ඒනිසා කවුරුත් එයාව ගෙදරට ගත්තෙ නෑ. ඒත් පීරිස් මහත්තයා අර මනුස්සයා බීගෙන ඇවිත් බිරිය ව එළවද්දි දරුදෙන්නත් එක්ක මේ මනුස්සයා ඇතුළට අරන් කිව්වා කෑගහන්නෙ නැතිව ඉන්න, මම ඔයාලට එළිවෙනකම් ඉන්න දෙන්නම් කියලා. ධර්මදාස කියන මනුස්සයා බිරියගෙ නම කිය කිය පාරෙ එහෙට මෙහෙට යද්දි මේ කාන්තාව මම මෙහේ කියලා කිව්වා. අර බීපු මනුස්සයා අසභ්‍ය වචනෙන් නිමක් නැතිව පීරිස් මහත්තයට බැන්නා. පීරිස් මහත්තයා නිශ්ශබ්ද ව සිටියා. පහුවෙනිදා උදේ පාන්දර ධර්මදාස ඇවිල්ලා පීරිස් මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වැදලා කියනවා සමා වෙන්න, මම දන්නෙ නැතිවයි ඒක කළේ කියලා.
පීරිස් මහත්තයා කියනවා ඒකට කමක් නැහැ, ඔයා හොඳ මනුෂ්‍යයෙක්, බොන එක තමයි ඔයාගෙ එකම වරද කියලා. ඕකෙන් වළකින්න බැරිද කියලා.
ඔහු කිව්ව විදියට ම අවුුරුදු පහකින් ඔස්ට්‍රේලියා යන්න පිටත් වුණා. යන්න කලින් ඔවුන් පාවිච්චි කළ සියලු භාණ්ඩ නැති බැරි අයට බෙදලා දුන්නා. පීරිස් මහත්තාගේ ක්‍රියාකලාපය මගේ සිතට තදින් වැදුණා. ඒක තමයි මේ කතාවට පසුබිම් වුණු අත්දැකීම‘
නිර්මාණකරුවා සිය අත්දැකීම් ජීවන තක්සලාවක් කොට එය තවත් අයගේ ඥාණනය පිණිස ලේඛනගත කරන්නේ ය. අත්දැකීම් හුදු ක්‍රියාවකින් ඔබ්බට ගෙන ගොස් එය පරිකල්පනයේ ද දවටා බොහෝ අයගේ ජීවන පරිඥානය වෙනුවෙන් හේ ලියා තබන්නේ ය.
නිර්මාණ බිහිවන ක්‍රමවේදය උගැන්විය නොහැකි අතර ම, ඔවුහු සිය ජීවිත ඥානයෙන් හා අත්දැකීම්හි පරිමාවෙන් ම එකී කාර්යයෙහි නිමග්න වූවෝ වෙති. රටක ආර්ථිකය දියුණු කළ පමණින් කලාකරුවෝ බිහි නොවන්නේ ඒ නිසා ය.
සුනිල් ගුණවර්ධන ලේඛකයා ලියන පළමු කෙටිකතා සංග්‍රහය දූල ගේ තාත්තා ය. එහි එන ගෙයක් කුලියට දීමට තිබේ යන කෙටිකතාවේ නිර්මාණ අත්දැකීම ඔහු අප හා බෙදා ගත්තේ මෙලෙසිනි.
‘මම ඒ කෙටිකතාව ලිව්වෙ මගේ මවගේ චරිතය ඇසුරෙන්. මගේ මව ගෙවල් කුලියට දීලා තමයි අපි ව හැදුවෙ වැඩුවෙ. පියා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කළේ. නව දෙනෙක්ගෙන් යුත් අපේ පවුල තාත්තාගේ වේතනයෙන් පමණක් ජීවත් කරවීම අපහසුයි. මුල් කාලයේ ලොකු තනතුරක හිටියෙත් නැහැ. පසුව තමයි ප්‍රධාන ඡායාරූප ශිල්පී තනතුරට ආවෙ.
කුලියට දුන් සියලු ගෙවල් හැදුවෙ මගේ මව. තිබුණෙ එක ගෙයයි. ඊට පස්සෙ ඒකටම ඈදලා අම්මා ගෙවල් අටක් හැදුවා. නුගේගොඩ හයිලෙවල් පාරේ ඉඳලා ශාන්ත ජෝසප් පාරට වෙනකම් ම ඒ ගෙවල් අට හැදුවා. ඒවට ප්ලෑන් ඇන්දෙ නෑ, විදුලි බලය සපයන්නෙක් ඕන වුණේ නෑ. එක ගේකට ඈදලා තමයි ගෙවල් හැදුවෙ. අම්මාගෙ ඔළුවෙ තමයි ඔක්කොම තිබුණෙ. එහෙම හදපු ගෙවල් ඇය කුලියට දුන්නා. ඈ ඒ සඳහා අපේ තාත්තාගේ රැකියාව පාවිච්චි කළා. ඇය නිතර කියන කතාවක් තමයි ළමයින්ගෙ තාත්තා රජයේ සේවකයෙක් කියන එක. පාසල්, කළුබෝවිල රෝහල ළඟ තියෙන හැටි කියනවා. ගෙයක් කුලියට දෙන්න දැනට ඒ ගෙදර ඉන්න අය යනකම් ඇය ඉන්නෙ නැහැ. ගෙදර මිනිස්සු ඉන්නකොටම අලුත් අයට ඒ ගේ පෙන්වනවා. ඇතැම් අයට ඒ නිසා අවහිරතා ඇතිවෙන්නත් ඇති. නමුත් මගේ මව ඒ ගැන සැලකිල්ලක් දැක්වුවෙ නැහැ. මොකද දරුවන් නවයක් ඇතිදැඩි කරන්න ඇයට තිබුණා. නමුත් මවගේ ක්‍රියාදාමය නිසා සමහර තැන්වලදි ගැටලු මතු වුණා. සමහර වෙලාවට ඉන්න අයට යන්න කියලා දැනුම් දීලා, ඒ දිනයට ම හරියට අලුත් අයට පදිංචියටත් එන්න කියලා තිබුණා. ඒවගේ වෙලාවල්වල ගැටුම් ඇති වෙලා තියෙනවා. මවගෙ චර්යා රටාව නිරීක්ෂණය කරලා තමයි මම මේ කෙටිකතාව ලිව්වෙ. එය ඉතාමත් සංවේදී කෙටිකතාවක් කියලයි මට අදටත් හිතෙන්නෙ.
ජීවන අත්දැකීම් ස්වකීය නිර්මාණකරණය සඳහා යොදා ගත් බොහෝ නිර්මාණකරුවන් අපට හමු වේ. ඔවුහු අත්දැකීම් එකතු කරති. ඒවා අවැසි පරිදි නිර්මාණ බීජවලට යොදා ගනිති. සුනිල් ගුණවර්ධන ද එවැන්නෙකි.
සුනිල් ගුණවර්ධන දැන් වැටුණු හුස්මක් කාව්‍ය සංග්‍රහයේ අසිරිමත් නගරය නමින් කවි පන්තියක් ලියයි. ඔහු ලියන්නේ නුගේගොඩ ගැන ය. ඒ නුගේගොඩ මේ අප දන්නා දැන් නුගේගොඩ නොවේ ය.
‘මට මේ කවි පන්තිය ලියන්න හේතු කාරණා වුණේ මා ඉපදී හැදී වැඩුණු නුගේගොඩ ගැන. අද ඉන්ධන අර්බුදය නිසා බොහෝ පීඩාවට පත්වෙලා. එදා මගේ පියාත් තව බොහෝ දෙනාත් නුගේගොඩ ඉදලා කොළඹට රැකියාවට ගියේ පාපැදියෙන්. රංචු ගැසෙමින්, කතා කරමින් තමයි යන්නෙ එන්නෙ. ඒ විතරක් නොවෙයි, ඒකාලෙ නුගේගොඩ දුම්රිය පළ අසල තිබුණා පොල් අතු කරත්ත. ඒ පොල් අතු කරත්තවල එන මිනිස්සු උයා පිහාගෙන කාලා, ගොනුන් ව නිදහස් කරලා පොල් අතු විකිණෙනකම් ම එතැන ඉන්නවා. එහෙම එන මිනිස්සු රා පානය කරලා බොහොම සුන්දර විදියට ජිවත් වුණු ආකාරය මගේ අත්දැකීමට හසු වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි, මං පාසල් යද්දි සෙල්ලම් ලොජ් කියලා නුගේගොඩ අලුත් පාර හන්දියේ සයිවර් කඩයක් තිබුණා. සත 10ක් හෝ 15ක් අරන් ගියාම අපට ඕන විදියට බඩ පිරෙන්න කන්න පුළුවන්. නුගේගොඩ අද ලංකා බැංකුව තියෙන තැන මයිනර් කාර් නවත්තන තැනක් තිබුණෙ. එතැන දෙහිවලට, මහරගමට ගිය විවෘත බස් රථ තිබුණා. සියල්ල මගේ මතකයේ තිබුණා. මම ඉපදිලා අවුරුදු 29ක් හැදිලා වැඩුණෙ නුගේගොඩ. අද නුගේගොඩට යන කිසිවෙක්ට ඒ දේවල් දකින්න ලැබෙන්නෙ නැහැ. එදා තිබුණු සුන්දරත්වය මම මනසින් දකිනවා. සමරකෝන් ඡායාරූප ශාලාව ළඟින් යද්දි ජාතික ගීයේ නිර්මාතෘ අපේ දෑසට ම දකින්න ලැබෙනවා. කලාකරුවෝ බහුතරයක් හිටියෙ නුගේගොඩ. ඒ සුන්දර නුගේගොඩ වෙනස් වුණු විදිය ගැන මට ඇතිවුණු කම්පනය නිසයි මේ කවිය ලියැවුණේ.
සුනිල් ගුණවර්ධන දශක පහකට වැඩි කාලයක් තිස්සේ නන් විධ ඉසව් ඔස්සේ නිර්මාණකරණයේ යෙදුණෙකි. කෙටිකතා, කවි මෙන් ම හේ ගේය කාව්‍යකරණයේ ද නිපන් නිර්මාණකරුවෙකි. සිය ජිවිතය දරුවන්ට ඉගැන්වීම වෙනුවෙන් කැප කළ හේ ඒ වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු වූයේ නැත. දරුවන් ඉහළ තැන්වල වැජඹෙනු බලා ගුරුවරයකු ලබන උපරිම සන්තුෂ්ටිය හේ ලැබුවේ ය. ඒ අත්දැකීම් සිය ජීවිතයට උකහා ගනිමින් හේ නිර්මාණ කළේ ය. අප මේ විඳිමින් සිටින්නේ එකී නර්මාණ කාර්යයන් ය. ඒවා තව දශක ගණනක් පාඨක මනරංජනය කරනු ඇත.