කෘතිය- ආදරය දැනෙන නැති තැනක්
කර්තෘ- මාලනි විජේසිංහ
කර්තෘ ප්රකාශනයකි
මිල- රුපියල් 250/= පිටු ගණන-66
ප්‍රකට රේඩියෝ සඟරා, පුවත්පත් කවි පිටු, මුහුණුපොත ආදී මාධ්‍ය කිහිපය තුළ නිදහසේ සැරිසරන කිවිඳියක වන මාලනි විජේසිංහ සරල අව්‍යාජ නිසඳැස් කවියට වැඩි ප්‍රියතාවක් දක්වන්නියකි. කවියට මෙන්ම ගීතයට ද ඇලුම් කරන ඇයගේ කුලුඳුල් පද්‍ය කාව්‍ය සංග්‍රහය
වන්නේ මේ කෘතියයි.
ජීවිතය තුළ අප බොහෝ දෙනා මුහුණ දෙන මනෝ භාවයන් ඉතා සංවේදීව කවියට නැඟීමට කිවිඳිය සමත් වී ඇති බව මෙම කාව්‍ය සංග්‍රහය තුළින් මනාව පැහැදිලි වේ. සුලබ අත්දැකීම්වලට විවිත්රත්ත්වය මුසු කර නැවුම් ආකාරයකින් රසිකයා වෙත තිළිණ කරන්නට ඇය සමත්කමක් දක්වන්නීය.
මිනිස් ජීවිතයක් ලබන්නට කල්ප කාලාන්තරයක් කුසල් වැඩිය යුතු බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඒ නිසාම ජීවිතය දුන් මවුපියන්ට කෘතවේදී වන්නට පසුබට නොවන්නෝ අල්පය.
නොදුටුව දෙවියන් යදින දෙවොලේ
මා දුටු දෙවියන් දෙවොලද ඔබ වේ
යනුවෙන් කිවිඳිය මවුපියන්ට ප්‍රණාමය පුද කරන්නේ කෘතියේ පළමු පද්‍ය මඟිනි. මවුපිය දූ දරු බැඳීමේ අපූර්වත්වය කියවෙන එවැනි පද්‍ය කිහිපයක්ම මේ කෘතියට ඇතුළත්ය.
කුස මෝරා දරු උපත ලබද්දී
අම්මා විඳි දුක මටත් දැනෙනවා
අම්මගේ වටිනාකම හඳුනාගෙන
මවක් වෙලා සතුටින් ඉපිලෙනවා
මවු පදවියේ අපූර්වත්වය කිවිඳියගේ සිතට දැනුණු අයුරුය ඒ...
විරහ වේදනාව නාඳුනන හදවතක් වේ නම් ඒ ඉතා කලාතුරකිනි. ප්‍රේමයෙන් බැඳුණු දෙහදක සමුගැන්ම හදවතේ වූ සදාකාලික තුවාලයක් සේ රිදුම් දෙන විට පෙර මතක සිහිවී නෙතඟට කඳුළක් නැඟෙන ප්‍රේමවන්තයෝ අප අතර බොහෝ වෙති.
මාලනි විජේසිංහ මේ කියන්නේ ඒ හිත් ගැන නොවේද?
බැඳුණු හදවත රිදුණු තරමක්
දන්නෙ නෑ නුඹ ඒ හැටි
මගේ හදවත තරම් සුන්දර
හදවතක් නුඹ දැක නැතී...
මේ තරම් ඇයි නුඹට බැඳුණේ
තවම ඒ ගැන දන්නැති
අරුම පුදුමයි මගේ මේ හිත
නුඹෙන් මගහැර යන්නැතී...
විඳින විඳවන හදවතේ දුක
නුඹට ගානක් නැති හැටි
සිතිඡයක් යැයි දැන දැනම මම
නුඹේ පසුපස යන හැටී...
පෙම් කරන හැම හිතකටම විවාහයෙන් එක්වන්නට වරම් තිබේ නම් විරහ කවි සාහිත්‍යයක් බිහි නොවන්නට ඉඩ තිබිණ. එදා තමා පෙම් කළ ඔහු වෙනත් යුවතියකගේ ලෝකයේ කිරුළු දරද්දී ඇයට දැනෙන දුක කිවිඳිය අකුරු කරන්නේ මෙලෙසිනි.
ආ ගිය හමුවුණු නටබුන් ළඟදී
නතර වෙයිද හිත සසල වෙලා
සසල සිතින් මම මතකෙට ආවොත්
ඈ දෙස බලපන් නිසල වෙලා
බිරියගේ දෙවියා සැමියා යැයි කතාවට කීවත් එවැනි සැමියකු ලබන්නට හැම පතිනියක්ම පින්වත් නොවේ.
එසේ වුවද එවැනි හිමි කෙනකු ලැබූ පතිනිය සැබෑ වාසනාවන්තියකි. එවැනි ගැහැනියකගේ සිතුම් මාලනි විජේසිංහ සිය පද්‍ය පන්තිය තුළට එක්කර ඇත්තේ හරි අපූරුවටය.
සමන් ගිර මහා කන්ද වාගේ
තනි නොතනියට ළඟ ඉඳන්
නුග රුකක සිසිලසෙන් නහවනු
පුළුල් පපුතුර සඟවමින්
කඳු වැටිය සේ නැමී දෙපතුල්
වැඳ සිඹින්නෙමි සෙනෙහසින්
විඳින්නට මට ඇවැසි
සෙනෙහස දෙන්න මට
ඔබේ උණුසුමක්
බැඳීම්, හමුවීම්, වෙන්වීම්වලින් අඩුවක් නැති මේ සසර ගමන ගැන ද රසිකයා තුළ හැඟීමක් ඇතිකරවන්නට කිවිඳිය අමතක කර නැත. ප්‍රේමය සුවදායී සුවය කාමය හැම විටම සුවදායී නොවේ. ඒ යථාර්ථය කිවිඳිය මෙසේ ඉස්මතු කරන්නී, සුන්දර පදවැල් තුළිනි.
ප්‍රේම හැඟුමන් දැවීමක් මිස
නොවේ කිසිදා නිවීමක්
හදේ ගිනිගෙන දැවෙන කාමය
නිවන අහුරන කඩුල්ලක්
ජීවිතය, ආදරය ඇතුළු එදිනෙදා ජීවිතයේදී අත්විඳින සිදුවීම් රාශියක් පිළිබඳ අපූර්වතම පද්‍ය කාව්‍ය 66කින් සමන්විත මේ පද්‍ය සංග්‍රහය සහෘදයා තුළ රසාලිප්ත බව මෙන්ම යථාර්ථය ද අවදි කිරීමට සමත්ය.
සුරේකා ඉලංකෝන්