කවියෙන් දන මන් පිනවූ ගජමන් | Page 4 | සිළුමිණ

කවියෙන් දන මන් පිනවූ ගජමන්

කවියන්ගෙන් අති බහුතරයක් දෙනා කිසි දවසක ආදරය කර නැහැ. ඔවුන් ආදරය කියන වචනය සමඟ ප්‍රේමයෙන් වෙළෙනවා. ඒ නිසා ඔවුන් මනහර කාව්‍ය, ලස්සන නවකතා නිර්මාණය කරනවා. එහෙම නොවන්න ඔවුන් ආදරය කළාට සහමුලින් ම ආදරයෙන් පරාජයට පත් වූ අය. හුදෙක් තමන් ම සනසා ගන්න ඔවුන් තමන්ගේ කාව්‍යවල ධ්‍රැවයේ ප්‍රතිපක්ෂය නිර්මාණය කළා. උදාහරණයක් ගතහොත් ලියෝ ටෝල්ස්ටෝයි ඔහුගේ මුළු ජීවිත කාලය පුරා ම බිරියගේ වධ හිංසාවලට ලක් වුණා; ඔහුගේ මරණය දක්වා ම පවා. ඒත් මේ මිනිසා ඒ තරමට ලස්සන පොත් සහ ලස්සන දේවල් ලියා තිබෙනවා ආදරය ගැන. ඒක වන්දි ගෙවීමක්; තම ජීවිතයේදී ඔහුට එය අහිමි වූවක්. ඔහු එය නවකතාවට අන්තර්ගත කරනවා. නවකතාවේදී ඔහු තම ජීවිතය තිබිය යුතු යැයි ප්‍රිය කරන ආකාරයේ ෆැන්ටසි නිර්මාණය කරනවා. හුදෙක් ඔහුගේ ජීවිතයත්, එහි තිබූ අධිකාරී අප්‍රසන්නතාවත් අමතක කරන්න‍.

මේ ප්‍රකාශය කරන්නේ ශ්‍රී භගවත් රාජ්නිෂ් නම් ලේඛකයා ය. ඔබ ඔහු ගැන වඩාත් දන්නේ ඕෂෝ නමිනි. මේ කියූ දෑ සාහිත්‍ය ලෝකයේ සිදුවූ අවස්ථා අපි අනන්තවත් කියවා ඇත්තෙමු. ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා කොරනේලියා ද සිය ජීවිතයේ එවන් අවස්ථාවලට මුහුණ දුන් කිවිඳියකි. රුහුණේ කවිකාරිය වන ඇය ගැන සත්‍ය තොරතුරු මෙන් ම ජනශ්‍රැතික කාරණා ද බොහෝ ය. ඇය පුරාවෘතයක් තරමට බොහෝ දන මන සුන්දර මතකයක් ව දිලුලන් නී ය.

වර්තමාන කාව්‍ය සම්ප්‍රදායේ මුල මාතර යුගය බවත් ගජමන් නෝනා ඊට ප්‍රධාන වන බවත් මහගමසේකරයන් පවසා තිබේ. සිංහල කාව්‍ය ඉතිහාසයෙහි පෞද්ගලික අත්දැකීම් කාව්‍යයට නැඟු මුල් ම ප්‍රසිද්ධ කිවිඳිය ගජමන් නෝනා බැව් සේකර විශ්වාස කළේ ය. ගජමන් නෝනා ගේ කවිත්වය ඇරැඹෙන්නේ වයස අවුරුදු 13 ක් තරම් කුඩා අවදියේදී ය. දිනක් ඇය කළයක් රැගෙන ළිඳට ගියා ය. කළයට වතුර පුරවා ළිං කණ්ඩිය උඩ තැබු ඇය සෙල්ලම් කිරීම පිණිස මොහොතකට ළිඳෙන් තරමක ඈතට ගියා ය. ඇය යළි එන විට කළය නැත. හැඬීම හෝ තරහ ගැනීම වෙනුවට ඈ මුවඟට ආවේ කවියකි.

“පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ

වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ

අටපහ නොදන්නා ජඩයෙකි මේක කළේ

ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කළේ”

එතැනින් ඇරැඹි ඇගේ කවිත්වය දෙස රැස සිසාරා රිදී සීනුවක් මෙන් මනරංජනය කළේ ය. ඇය සිය සිවු දරුවන්ගේ බර උසුලාගත නොහුණු ව මාතර උසස් පවුල්වල ගැහැනු දරුවනට අකුරු ඉගැන්වීමෙහි ද යෙදුණා ය. වරෙක තම අපහසුකම් පිළිබඳ දන්වමින් ජෝන් ඩොයිලි දිසාපතිතුමාට කවියෙන් ඈ මෙසේ ලිව්වා ය.

සඳ මෙන කවා ඇති කළ ළම පැටවුන්ඩ

අද දින පමණ නැත බත් උන් රැක ගන්ඩ

සොඳ ගුණ ජොන් ඩොයිලි මෙදිසා මැතිඳුන්ඩ

වැදගෙන දුක කියමි පිහිටක් ලැබ ගන්ඩ

මේ කන්නලව්වෙහි ප්‍රතිඵලයක් වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ‘නෝනාගම’ නම් ග්‍රාමය ඇය ජීවත් ව සිටිනතුරු භුක්ති විඳීම සඳහා ලැබුණු නමුත් ඇය එය භුක්ති විඳි බවක් නොපෙනෙන බව ජනප්‍රවාදයෙහි සඳහන් ය.

ගජමන් නෝනා කවියක ගීතවත් බව ඉතා අගය කොට සැලකූ කිවිඳියකි. ශබ්ද මාධුර්යය උසස් කොට සැලකූ ඇය එළිසමය, අනුප්‍රාසය යෙදීම පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය. ලක්දිව කාව්‍යකරණ ඉතිහාසයේ නවමංකඩක් සනිටුහන් කරමින් ‘දෙණිපිටියේ මහ නුග රුක වැනුම’ රචනා කිරීම ගජමන් නෝනාගේ කාව්‍යකරණ දිවියෙහි සුවිසෙස් මං සලකුණු කරයි.

පිනවන දුටු දන සැම, ගහ ළඟ පිහිටි කදි - ම

තුරු පෙළ අවට සැදී - ම, යුත් සෙවණැලි

ගන මේ කුළෙවි දිලී - ම, විහඟුන් මත රැව් දී - ම

සුළඟින් පත් ලෙල දී - ම, ඇති හැම කල්

ගජමන් නෝනා මේ මහා නුග රුකය දුටුවේ දරු සම්පත් ප්‍රාර්ථනය කරමින් වෘක්ෂ වන්දනාවට ගිය ගමනේදී බැව් කියැවේ. මනස්කාන්ත සරල සුගම සුලලිත බස් වහරකින් යුතු ව දීර්ඝ පාද අටකින් හා පද්‍යද්වයකින් සමන්විත මේ කවි පෙළ ඇයගේ රසාලිප්ත ම හා සාර්ථක ම කවි පෙළ යැයි පැවසීම යුක්ති යුක්ත ය. ගජමන් නෝනාගේ මවුපිය දෙපරපුරෙහි ම අය කවිකාරයන් වූ බවට සාක්ෂි එමට ය.

ඇයගේ සීයා, අම්මා, තාත්තා, සහෝදරයා හා සහෝදරිය ගෙතූ සමහරක් කවි පොතපතෙහි සඳහන් ය. දෝන ලුවිස් සේනාරත්න පෙරුමාල් විජයාරාම කුමාරසිංහ ගජමන් මුහන්දිරම් නම් ඇයගේ සහෝදරයා විසින් ‘විරහ ශෝකමාලය’ නමින් කාව්‍යයක් රචනා කළ බව ද දැක්වේ. මේ තොරතුරු වලින් හෙළි වන්නේ ඇයට ළදරු කලදීම ගී සින්දු ඇසීමට අවස්ථාව හිමි වූ බව ය. පසුව ඇයගේ ඇවැස්ස මාමා වූ පත්තායමේ ලේගෙන් හා කරතොට හිමියන්ගෙන් ව්‍යාකරණ ඡන්දස් අලංකාරාදිය ප්‍රගුණ කිරීමෙන් ඇය කාව්‍යකරණයෙහි නිපුණත්වයට පත්වන්නට ඇතැයි අනුමාන කළ හැකි ය.

ගජමන් නෝනාගේ දෘඩ ශක්තිය වූ ඇයගේ පියාගේ මරණයෙන් පසුව අපමණ කම්පනයට පත් ඇය ශෝකාත්මක හැඟීම් තීව්‍ර කරන අන්දමෙන් කවි ගෙතුවා ය. ශෝකය ඉස්මතු කිරීමට එළිසමයත් පද හරඹයත් අපූරුවට කැලතීමට ඇය එහිදී සමත් වුවා ය.

සොබමන් සක නිරිඳු වසින් එක්

දහසින් සත් සියක් වෙමින් විසී

දෙකවන් මස මැදින’ව - ජලවක ගුරු දින පැමිණීලා

දිනිඳුන් නර ලොවට - සැපත් දස පායකින් බුද හෝරාවෙන්...

ඇලපාත මුදලි හා ගජමන් නෝනා කාව්‍ය ඉතිහාසයේ වැඩි වශයෙන් ම කතාබහට ලක් වූ පෙම්වතුන් යුවළක සේ හැඳින්විය හැකි ය. ගජමන් නෝනා කෙරෙහි වූ ප්‍රේමයෙන් ඇලපාත මුදලි සිවුරු හැරිය බව ද සමහර තැන් හි කියැවේ. ගජමන් නෝනා කරතොට ධම්මාරාම හාමුදුරුවන් සමඟ සම්බන්ධයක් පවත්වන බවට අවලාදය මුසු කටකතාවක් මෙකල පැතිර ගියේය.

මේ කටකතාව ඇලපාත මුදලිටද දැන ගන්නට ලැබිණි. ඔහු වහාම ඒ ගැන ලියූ හසුනක් ගජමන් නෝනාට යැව්වේය. තම අදහස මුඳුන්පත් කර ගැනීමට නොහැකි වූ ඇලපාත මුදලි ගජමන් නෝනාට අවමන් කරමින් ලියන මේ පැදියට ගජමන් නෝනා මහත්සේ කිපෙයි. සතු කර ගැනීමට නොහැකි වූ කල අවමන් කිරීම අද පමණක් නොව එදා ද තිබිණි.

මුනි පුතුන් ඇසුරු සිප් සත දත් රුවැතී

ගජ නමින් පතළ අඟනක් ළඟම ඇතී

සැම කතුන්ගේම සිරිතක් වූ පැවැතී

හොර හිමින් ගැනුම අත නෑරම කරතී

ඇය මහත් ඇල්මෙන් ශිල්ප ලත් ගුරු හාමුදුරුවන් සම්බන්ධයෙන් මෙවැනි චෝදනාවක් නැඟීම ඇගේ හිත කම්පාවට පත් කරන්නට ඇත. රිදුණු සිතැති ගජමන් නෝනා ඇලපාත මුදලිට මෙසේ පිළිතුරු බඳින්නේ ය.

සායේ වැදිලා පත් මෙපුර කිවියරු

මීයේ වදය මෙන් රස කොට කියති බොරු

ලීයේ ඇදය හරිතත් හූයලා අගුරු

වෑයේ කුදය බැලුවම ඊටත් නැඹුරූ

ගජමන් නෝනා පිළිබඳ යම් යම් තොරතුරු ජනගත වී තිබුණත් ඇය පිළිබඳ සහෘදයනගේ සිත්හි නොමැකෙන පැහැදිලි චිත්‍රයක් සනිටුහන් වූයේ දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘ගජමන් පුවත’ නාට්‍යය හේතුවෙනි. නූතන පරම්පරාවට ගජමන් නෝනා ජනප්‍රිය ප්‍රවේශයක් වූයේ විමලරත්න අධිකාරීගේ ‘දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනා’ රූපවාහිනී මාලා නාටකයෙනි. එදා දුටු දුටුවන්ගේ මන රංජනය කළ සුලලිත ගජමන් නෝනා මුදලිවරුන්ට රසඳුනක් වූවා සේම, අද එක් යුගයක් නියෝජනය කළ ජීවමය ගුණයෙන් යුත් කාව්‍යකරණයේ ඉතිහාසයක් ද නියෝජනය කරන්නී ය.

මාතර කවීන් පැදි හුවමාරු

කරගනිමින් විනෝදයෙන් කල්ගත කරනා විට ගජමන් නෝනා ද ඊට නොදෙවෙනි ලෙස මුඛරි ව එඩිතර ව සභා මැද පිළිතුරු කවි ගොතන්නී ය. ඇයගේ පිළිතුරු හා මනමෝහනීය රූප සෝබාවට වශී වූ සමහරෙක් මේ තරුණ වැන්දඹුව දෙස නොපනත් බැලුම් හෙළන්නට ඇති බවට සාක්ෂි අනවශ්‍ය ය. පිරිමින් පමණක් නොව ගැහැනුන් ද ගජමන් නෝනා කෙරෙහි ඊර්ෂ්‍යා පර්වශ වූහ. එයට හේතු කිහිපයක් බලපෑහ. සමකාලීන කිවිඳියන් ඇගේ රූප සොබාවට, වත් පොහොසත්කම්වලට මෙන් ම අසීමිත පිරිමි ආකර්ෂණයට ද ලොබ බැන්දහ; ඊර්ෂ්‍යා කළහ. දරුවන් සිවු දෙනකුගේ අම්මා කෙනකු වූව ද ඇය රූපයෙන් අගතැන්පත් වූවා ය. කොතැන කොහේ ගිය ද ඇගේ කාව්‍යක්කාරකමෙන් මෙන් ම රූපයෙන් ද ඈ කැපී පෙනුණා ය. දුටු දුටුවන් නෙත රූ සිරියෙන් පොබ කරවන ඇය පහස පතා බොහෝ වංසක්කාර, නිලමක්කාර ආදීහු ආහ. එහෙත් ඒ කිසිවක් ගණන් නොගත් ඈ සිය දෙවන

විවාහයෙන් කලකට පසු තම සිතැඟි පළ කළේ ඇලපාත මුදලිඳු ට පමණී.

ඇලපාත මුදලි ගජමන් නෝනා පිළිබඳව සිතේ ඇතිවන ආදරණීය හැඟීම් කවි පදවලට පෙරළා ඇයගෙන් ආදරය ඉල්ලා සිටියේ ය. ආදරය මෙන්ම ගෘංගාරය ද මුසුව කවියෙන් ඉදිරිපත් වූ යෝජනාවලට ගජමන් නෝනා කවියෙන්ම පිළිතුරු දුන්නාය. ඇලපාත මුදලි හා ගජමන් නෝනා අතර හුවමාරු වූ කවි, මාතර යුගයේ කවිය රසවත් කිරීමට හේතුවිය. මුලින් අකැමැති වුවත් පසු ව ගජමන් නෝනා ඇලපාත මුදලිට බහ දෙයි. එයට සිය රැකවරණයට සිටි පියා අලියකු පහර දීමෙන් ජිවිතක්ෂයට පත් වීමත් බලපාන්නට ඇත. සැමියාගේ අභාවයෙන් ඒ වනවිට වසර හයකට වඩා ගත ව තිබිණි. ප්‍රේමයේ මල් පිපෙන්නට කවිය ඉවහල් වූ බවට සාක්ෂි අවැසි නැත. ගජමන් නෝනාගේ සිතේ කවි මල් පූදින විට ඇලපාත මුදලි නැවතත් ප්‍රේමයේ මන්දහාසය රැගෙන කවියක් එව්වේ ය.

නෙතට දුකයි නුඹෙ උවනත නොදැකීම

කනට දුකයි නුඹෙ අම බස් නොඇසීම

කයට දුකයි නුඹෙ සුපහස නොලැබීම

හිතට දුකයි මෙලෙසින් නිති පසුවීම

තවදුරටත් සිය පතිවත රකින්නට තරම් ධෛර්යයක් ගජමන් නෝනාට තිබුණේ නැත. ඇය තුරුණු තනි ගැහැනියකි. සිය හදවතේ නැඟුණු ප්‍රේමය ඇය කවියක් කර ඇලපාත මුදලිට යැව්වා ය.

සිත පමා නොවන පදරුත් දන්න

සිත යොමා වසන සරසවි පමණ මෙන

සිත පෙමා කරන මැතිඳුනි සුපසන්න

මම පමාවුණයි නොසතුටු නොමවන්න

ඇලපාත මුදලි බලා සිටියේ මේ අවනත වීම එනතෙක් ය. කවියෙක් හා කිවිඳියකගේ එක්තැන් වීම අතිශය චමත්කාරජනක මෙන් ම ශෘංගාරාත්මක ද විය. සියලු රස එක්තැන් විය. ලෝකයට ද තටු ලැබිණි. කවි මඬුවල පවා මේ ප්‍රේමයේ රහස් විවෘත විය. රංචාගොඩ ළමයාගේ කටට ද වෙනදාටත් වඩා පණ විත් තිබිණි. එහෙත් සුකුමාර ගජමන් ද නිකම් සිටියේ නැත. මේ අපහාසවලට ඈ කවියෙන් පිළිතුරු බන්දා ය. එදා එහෙම ය. පිහි ඇන ගැනීම් වෙනුවට බිහි වූයේ කවි ය. රණ්ඩු විරසක හා නොගැළපීම් මතින් පවා බිහි වූයේ සාහිත්‍යයක් ය. මාතර යුගය එකලු කරන කවි කෙත ඉතිහාසය අස්වැද්දුවේ එලෙසිනි.

ප්‍රේමය ට නම් නික්ම යෑමක් නැත. ගජමන් නෝනා ප්‍රේමය යැයි කියූ හා සිතූ දෑ රාගය පමණක් බව ඔප්පු වෙන්නට වැඩිකල් ගියේ නැත. ගජමන්ගේ තුරුණු සුකුමාර දේහය වයසත් සමඟ ටිකෙන් ටික වැහැරෙන්නට පටන් ගති. ඇලපාත මුදලිගේ මල් සමය නිම විණි. ගජමන් නෝනාගේ පහසත් ඇල්මත් ඇලපාතට එපා වීමට වැඩිකලක් ගියේ නැත. ඉදිරි දොරෙන් ආ ප්‍රේමය නික්ම ගියේ පෑල දොරෙනි. කලක් නිහඬ ව ම සිටි ගජමන් නෝනා ඉවසා ගත නොහුණු විටෙක ඇලපාත මුදලිට කවියක් යැව්වා ය. ඇය කිසිසේත් නොසිතූ නොපැතූ පිළිතුරක් ඇලපාතගෙන් ලැබිණි.

මුලින් බැඳුණු මුත් දැඩි ප්‍රේමයක් හදේ

කෙමෙන් එය නැතිව නුඹ සිටි නිසා තදේ

මේ දැන් කියමි කරුණක් දැනගන්න හොඳේ

නිවන් දකින තුරු මට ඔබ එපා ලඳේ

විටෙක තමාගේ යැයි තදින් ඇල්මෙන් බදා ගන්නා බොහෝ දෑ කලක් ඇවෑමෙන් එපා වෙන්නේ කලක් මී පැණි සේ මිහිරි දෑ තව කලෙක වහ කදුරු සේ තිත්ත කරමිනි. ඒ බැඳීම්වල හැටි ය. සංසාරේ හැටි එහෙම ය. සැබෑ ආදරය යැයි තමා සිතූ දේ බාල රස පහස වෙනුවෙන් වූ රැවටීමක් බැව් ගජමන් නෝනා දැන ගත්තා ය. උණු කඳුළු බිඳු රූරා වැටෙද්දි ඈ ඇලපාත මුදලිට අවසන් වතාවට කවියක් ලිව්වා ය.

මුලින් ඔබ දුටුව දින බැඳුන පෙම හදේ

කෙමෙන් එය දැඩිව අලි කළුගලක් ලෙදේ

මෙදැන් ඔබගේ බස් මොන පුදුමයද වදේ

නිවන් දකින තුරු මා හැර කවුද හොඳේ

ඇලපාත මුදලිඳු වෙතින් ප්‍රතික්ෂේප වූ පසුව ගජමන් නෝනා ගතකළේ අතිශය දුෂ්කර වූ ජීවිතයකි. විටෙක ඇයට සිදුවූයේ බඩගින්නට වතුර විතරක් බී නිදාගන්නටය. කෑමක් නැතිව දින ගණනක් ගත වූ අවස්ථා තිබිණි. ඇයට පිහිටට සිටියේ නෝනාගම වැව පමණකි. කලක් දන මන රංජනය කළ, දුටු දුටුවන් වශී කළ ගජමන් නෝනාගේ අවසන් කාලය අතිශය දුක්ඛිත ව ගෙවුණකි.

කුසගින්නත් තනිකමත් දරාගත නොහැකි වුණු එක් රාත්‍රියක ඈ දැඩි තීරණයක් ගත්තී ය. ඒ සිය ජීවිතයෙන් සමුගැන්මට ය. කවියෙන් සුමුදු වූ ජීවිතයක් එසේ වීම අදහාගත නොහැකි යැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් මුදු සිත් දරාගත නොහැකි අවස්ථා පසු කරන්නේ දරුණු ලෙසිනි. ඒ ජීවන දහමේ හැටිය. තනිකමත් පීඩාවත්, කුසගින්නත් විසින් ඇගේ සිහිය විකල් කර තිබෙන්නට ඇත. අත ගැටුණු පිහිය බෙල්ලට තබන්නට පෙරත් ඈ කවියක් ලිව්වා ය.

සත විසි නෙත් දහස් සතිස් වස

වත ලෑ කෙලෙස් උඳුවප් අඩහැර දවස

නෙත ගුණ ඉසබෙල් පෙරුමල් දිගැස

සතපුර පැමිණි දිව සිරි සැප විඳින ලෙස

තමාගේ ජීවිතය වන් වූ කවිය අවසාන මොහොතේදීත් ඈට අමතක වූයේ නැත. කවිය ලියා අවසන පිහිය ගෙල මුල තබා තද කරගත් ඇය සියදිවි හානි කර ගත්තා ය. ඇගේ මරණය ගම් දනව් පුරා පැතිර ගියේ ඇසුරු සැණිනි. නරක ආරංචිවලට කොහොමත් පියාපත් ඇත. එතෙක් ඈ කෑවා ද බීවා ද කියා නොසෙයූ බොහෝ දන මරණයට හේතු සාධක සොයන්නට උත්සුක වූහ; සුන්දර ඈ ජීවිතය අතහළ විට කෙබඳුදැයි බලන්නට දුර කතර ගෙවා පැමිණියහ.

කලක් සිය ජීවිතය රසයෙන් කුල්මත් කළ ගජමන් නෝනාගේ මරණය ගැන ආරංචි වූ සැණින් ඇලපාත මුදලි ආවේ පශ්චාත්තාපයෙන් විය යුතුය. සිය වගකීමක් සේ ඇගේ මරණය හිතට ගත් ඇලපාත ඇගේ අවමඟුල් කටයුතු සාර සුබාවට කළේ ය. එහෙත් ජීවත් වෙද්දි තමා පිනවූ ඒ ගැහැනිය, තමා සමඟ ජීවිතය බෙදා ගත් ඒ ගැහැනිය, තමා සමඟ කවි සිත බෙදාගත් ඒ ගැහැනිය මැරුණාට පසු දුක් වී ඵලක් තිබේ ද? සැලකිය යුතු වන්නේ ජීවත් ව සිටියදී නොවේද? ඔහුට සිය හෘදය සාක්ෂියෙන් ගැලවිය හැකි වූයේ ද? මේවා මේ සමාජයෙන් නිරන්තරයෙන් ඇහෙන දකින දෑ ය. එදා අද කියා වෙනසක් නැත. විඳින්නට හැකි කල ලොබ ව උරා බී හපයක් වූ පසු අතහරින ඉතිහාසයක් අපට තිබේ. කුවේණියගෙන් පටන් ගන්නා ඒ ඉතිහාසයේ ගජමන් නෝනා ද ලකුණකි. නෝනාගම හන්දියේ ඉදිවූ ගජමන් නෝනාගේ පිළිරුව දකින වාරයක් පාසා මේ සියල්ල ම සිතට දැනේ.

Comments