හෘද සාක්ෂිය උසාවියක් නම්; දැන් සෑම රාත්‍රියක ම එහි නඩු විභාග පැවැත්වේ. ඔහු රට හැර ගොස් මාසයකුත් දවස් පහක් ගෙවී යන මේ රාත්‍රියේ ද උසාවිය නඩු විභාගයට සූදානම්ය. එහි ලා මතුවන තර්ක - විතර්ක සියල්ල තමාගේම අවාසියට හේතු වන බවක් ද තමන් දිනෙන් - දින වරදකාරිය ලෙස දඬුවම කරා තල්ලු වන බවක් ද ඇයට හැඟෙයි.
"නාලිනී, තමන්ගෙ මනුස්සයට
ඔය විදිහට සලකන්න එපා!"
අම්මා එසේ කියන්නට ඇත්තේ මේ ගෙදර සිට සියල්ල නිරීක්ෂණය කරමින් හොඳ වැටහීමකින් විය යුතුය. නැන්දම්මා එවැන්නක් කීවේ නම් අත හරින්නට ඉඩ තිබිණි. එහෙත් තමන්ගේම අම්මා එබඳු අවනඩුවකින් තමාට දමා ගසන්නේ ඇයි?
"පල! බල්ලා!
මෙතන මඟුල් නටන්ඩ
එනවා!"
එක්තරා දිනෙක මහා රාත්තිරියේ ඔහු ඇඳෙන් බිමට තල්ලු කළ හැටි ද, ඉන් නොනැවතී සිය කාමරයෙන් එළියට ඇද දමා 'දඩාස්!' යන හඬින් දොර වසා ගත් හැටි ද ඇයට සිහිපත් වේ. ඔහු කීවේ කෑගහන්ඩ එපා ළමයින්ට ඇහැරෙයි යන්න පමණි. එදින රාත්‍රියේ සැටියේ නිදාගත් ඔහු පසුදා සිට ගබඩා කාමරයේ පැදුරු කඩමාල්ලක නිදාගන්නට පටන් ගත්තේය. රාජ්‍ය සංස්ථාවක උසස් රැකියාවක් කරමින් නම්බුකාර ජීවිතයක් ගත කළ ඔහුට "බල්ලා!" යැයි බැණ වැදීම කෙතෙක් දුරට යුක්ති සහගතද? එබඳු අපහාසයක් විඳින්නට ඔහු කළ වරද කුමක්ද?
සැබවින්ම ඔහු ආදරණීය සැමියෙකි. ගෞරවනීය පියෙකි. ඔහු කිසි දිනෙක තමන්ට පහර දී නැති බව ද බැණ වැදී නැති බව ද ඇයට සිහිපත් වෙයි. තමන් කෝපයට පත් හැමවිටකම විහිළුවක් කියා එය මගහරින්නට ඔහු දක්ෂය. ගෙදර වගකීම් නොපිරිහෙලා ඉටු කළ සැමියා සිය බිරියගේ වැටුප ගැනවත් විමසුවේ නැති බව නාලිනීට යළි සිහිපත් වෙයි.
මේ සියලු විලම්බීත සිදුවන්නට පටන් ගත්තේ ආණ්ඩු පෙරැළියකින් පසු ඔහු වැඩ තහනමකට ලක්වීමත් සමඟය. ආයතනයෙන් ලබා දී තිබූ මෝටර් රථය හා ජංගම දුරකථන දෙක ආපසු භාර දෙන්නට සිදු විය. මාසික වැටුප හා දීමනා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබිණි. ඔහු වෙනුවෙන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා නඩු මඟට යා යුතු විය. නිවෙසක් හා වත්තක් තිබුණද ගෙදර සියලු කටයුතු සිදුවූයේ ඔහුගේ ආදායමෙන්ය. නාලිනීගේ වැටුප මෙන් හතර ගුණයක පඩියක් ඔහුට ලැබිණි. ඒ හැරත් රැකියාවෙන් ඔහු ලැබූ අමතර වාසි ද බොහෝය.
නාලිනී තම සැමියා කෙරෙහි උරණ වන්නට බලපෑ තවත් හේතු දෙකක් තිබිණි. පළමුවන්න රැකියාව අහිමිවීම පිළිබඳ කිසිදු පසුතැවීමක් ඔහු ළඟ නො තිබීමය. දෙවැන්න මේ අකරතැබ්බය මැද පවා ඔහු පරණ පුරුදු ජීවිතය ගත කරන්නට සූදානම් වීමය. කොහොමටත් කමල් යනු නිදහස්කාමී ජීවිතයකට හුරු වූ තැනැත්තෙකි. නාලිනී ඊට කැමැති නැත.
මීට දින හතරකට පෙර මුදල් ටිකක් ද ලිපි දෙකක් ද ඔහු එවා තිබිණි. මුදල් එවා තිබුණේ නාලිනීගේ නමටය. ලිපි දෙක පුතාට හා දුවට =ය. තමන්ට ලිපියක් නොතිබීම ගැන ද, දරුවන්ගේ ලිපිවල තමන් ගැන සඳහන් නො වීම ගැන ද මහා පසුතැවීමක් ඇයට තිබිණි. එය සංකීර්ණ හැඟීමක් වන අතර විස්තර කිරීම අමාරුය. අඩුම ගණනේ වචන දෙකක් ලියා තැපැල් කිරීමේ යුතුකමක් ඔහුට තිබිණි. ඔහු පළිගැනීම දිගටම කරගෙන යන බවක් ඇයට හැඟෙයි. තමාට වඩා උගත් හැම අතින් ම විනීත යැයි සිතිය හැකි කමල්ට මෙසේ කළ හැකිද?
ඇය දරුවන්ගේ ලිපි හොරෙන් ගෙන කියෙව්වාය. ඒවායෙහි සඳහන්ව ඇත්තේ ඉතාලිය ගැන හා ඔහු ගැන තොරතුරුය. ඔහුට තවම සුදුසු රැකියාවක් ලැබී නැත. මේ දිනවල මිදි වතුවල කුලියට වැඩ කරන බව ද එය දුෂ්කර කාර්යයක් වුව යහමින් මුදල් ලැබෙන බව ද සඳහන් කර තිබිණි. ඉතාලියේ දේශගුණය ගැන විස්තර ද, මිලානෝ නුවර කාර්ය බහුලතාව ගැන විස්තර ද ලිපිවල අඩංගුය. ඔහු ඉතා හොඳින් වාක්‍ය ගළපා ලිපි සකස් කොට ඇත්තේ දරුවන්ට ලිවීම උගන්වන්නට මෙනි. හොඳින් ඉගෙන ගත යුතු බව ද හොඳින්ම හැසිරිය යුතු බව ද ලිපිවලින් කියා තිබිණි. කිරි අම්මාගේ සැප දුක් විමසා තිබුණද අම්මා ගැන සඳහනක් එහි නැත.
අහිමිවීම හා හුදෙකලාව යන වචන දෙක ඇයට සිහිපත් විණි. දැන් තමා තනි වූ ගැහැනියක බව ද කාලය අපරාදේ ගෙවී යන බව ද ඇයට දැනෙයි. කමල්ගේ රැකියාව අහිමිවීමට පෙර සුන්දර ජීවිතයක් ඇයට තිබිණි. දැන් ඒවා එකින් - එක කැඩී - විසිරී විනාශ වී ගොසිනි.
දැන් ඔහු නැත. යළි කවදා පැමිණේදැ'යි නිශ්චිත නිගමනයක් නැත. ආපසු පැමිණිය ද, නැවතත් ඔහු යනු ඇත. රට ගිය මිනිසුන්ගේ විවිධාකාර තොරතුරුවලින් ඇගේ සිත විකාර වී ඇත. වයස හතළිස් දෙකක් වුව ඔහු තවම කඩවසම්ය. යුරෝපීය සමාජය වෙනස් ය. ඔහු ද කාලයත් සමඟ ඊට අනුගත වනු ඇත. දරාගත නොහැකි ශෝකයකින් හා පාළුවකින් ඇගේ සිත තෝන්තු විය.
ඔහු ඉතාලි යන තීරණය ගෙදර අයට දැනුම් දුන්නේ එකවර ගහෙන් ගෙඩියක් පාත් වන්නා සේ ය. එදින රාත්‍රී කෑම පිටින් රැගෙන ආ කමල් සියලු දෙනාටම මේසයට ආරාධනා කළේය. ඔහු අත මුදල් නෝට්ටු ගණනාවක් ද තිබිණි. මුදල් නාලිනී දෙසට දිගු කළ ඔහු “මේ මාස දෙකක වියදමට සල්ලි” යැයි කියා සිටියේය. තමන් හෙට පාන්දර ඉතාලි යන බව ද එහි සිට රැකියාවක් කරමින් මුදල් එවන බව ද වෙන විකල්පයක් තමන්ට නැති බව ද ඔහු සඳහන් කළේය. “මං හෙට පාන්දර ඉතාලි යනවා” යන වාක්‍යය මේ දැන් ද ඈතින් ඇයට ඇසෙයි.
එදින ඔහු හැසිරුණේ නන්නාඳුනන - ආගන්තුක මනුස්සයකු ලෙසය. ගබඩා කාමරයේ දොර වසාගත් කමල් එහි විදුලි ලාම්පුව ද නිවා දැම්මේය. දොරට තට්ටු කළ ද ඔහු එය විවෘත කළේ නැත. මේ තීරණාත්මක අවස්ථාවේ ඔහුට ළං වී කිවයුතු බොහෝ දේවල් ඇයට තිබිණි. එහෙත් ඒ කිසිවකට ඉඩක් ලැබුණේ නැත. හරියටම පාන්දර තුනට ඔහු පිටත් වුණේය.
කමල් සිය දරු දෙදෙනාගේ හිස අත ගා මුහුණු සිප ගනිමින් “පරිස්සමට ඉන්න” යැයි කියා සිටියේය. සිය නැන්දම්මාට දණ නමස්කාර කළ ඔහු "අම්මේ ගෙදර බලා ගන්න!" යැයි ඉල්ලීමක් කළේය. අවසන් අවස්ථාව නාලිනීගේ ය. එහෙත් ඔහු එකම - එක වචනයක් වත් කතා කළේ නැත. අඩුම ගණනේ “ගිහින් එන්නම්” යැයි කීවේ ද නැත. මෝටර් රථය තෙක් ඔහු කැටුව ගිය නාලිනී "ඔයා මාත් එක්ක තරහද?" යනුවෙන් විමසුවාය. පිළිතුරක් ලැබුණේ නැත. කමල් පිට වී ගියේය.
රැකියාව අහිමි වී ඇද වැටුණු පිරිමියකුට බිරිය සැලකිය යුත්තේ කෙසේ ද? තමන් දිගින් - දිගටම හැසිරී ඇත්තේ අකාරුණික - දුෂ්ට ගැහැනියක ලෙස යැයි ඇයට සිතෙයි. තමන් ඔහුට බැණ වැදුණු බව ද, අපහාස කළ බව ද, වෙනස්කම් කළ බව ද ඇයට දැන් සිතෙයි. ඒ කුමන හේතුවක් නිසා ද යන්න ඇයටම නිශ්චය කළ නොහැකිය.
ඔහු පිටත් ව ගිය දා පටන් උදා වූ සෑම රාත්‍රියක්ම නිදිවර්ජිත මූසල රාත්‍රි විය. එය ඉදිරියටත් එසේම වනු ඇත. ඔහුගේ සුවඳ මුළු කාමරය පුරා විහිදී පවතී. යාන්තමට ඇහැ පියවෙන විට ඔහු පැමිණ තමන්ගේ නළල සිප ගන්නා බවක් ඇයට දැනෙයි. එහෙත් ඒවා සිහින පමණි.
ඇය කාටත් නොපෙනෙන සේ ඉදිරිපස දොර ඇරගෙන මිදුලට ගියාය. ඉඩහසර පුළුල්වන තරමට පාළුව, තනිකම හා කාන්සිය උත්සන්න වන්නේ වුව නාලිනී අහස දෙස බලා සිටියාය. සඳ නැතත් තාරකා සිය දහස් ගණනක් අහස පුරා පැතිර පවතී. මේ දසුන මේ අයුරින්ම ඉතාලියේ මිලානෝ නුවරටත් පෙනේවා යැයි ඇය ප්‍රාර්ථනා කළාය. අප සියල්ලෝම එකම පෘතුවියක එකම චක්‍රාවාටයක ජීවීන් බව ඇයට සිහිපත් විය.
තවත් සුළු වේලාවකින් කුරුල්ලන්ගේ කෑගෑම ඇසෙන්නට විය. ආපසු නිවෙස දෙසට හැරුණු නාලිනී, ගෙවා දැමිය යුතු තවත් දවසක් පැමිණ ඇති බව තමාටම කියා ගත්තාය.