අඳුරෙන් එළියට | සිළුමිණ

අඳුරෙන් එළියට

ඊයේ රෑ වල් අලියා තම නිවෙසට පහරදීම නිසා තවමත් දයාපාලගෙ සිහිය විකල් වෙලා වගේ. මිදුල පුරා විසිරිලා තියෙන දිරපු වහලෙ පොල් අතු කොටස් සුළඟ සමඟ පොර බදනවා. දයාපාල යුවළ මිදුලෙ ඒ මේ අත ඇවිදිමින් කල්පනා කරනවා.

"හාමිනේ ඉදල අරගෙන ඔය මිදුලෙ වැටිල තියෙන පොල් අතු කෑලි ටික අතුගාල දාන්න. කවුරුහරි ආවොත් මට වස ලැජ්ජාවයි. අපි දෙන්න එකතු වෙලා ඉක්මනින් අලිය කඩපු පියස්ස හදමු."

ඔහු කඩිමුඩියේ වහල අලුත්වැඩියා කිරීමට වුවමනා දේවල් එකතු කරන ගමන් සුදු වැලි පොළොවෙ සටහන්ව තිබුණු අලියාගේ පා සටහන් බිරියගෙ ඉදලට මැකිල යන හැටි වරින් වර බැලුවා.

"එහෙම නම් මීට පස්සේ කළගුණ දන්න හොඳ අලින්ට විතරයි කියල බෝඩ් ලෑල්ලක් එල්ලල තියල, රෑට බොන්න වතුර ඇදල බැරල් දෙක පුරවල තියන එකයි ඇත්තෙ. මම කිව්ව ඔය අලින්ට බොන්න වතුර තියනකොට මොකක් හරි හෙණයක් පාත් වෙයි කියල. අන්න අර පැදුරු කෑල්ලට වෙච්ච දේ තමයි ඔහේට වෙන්නෙ ඔය අලි හුරතලේ නිසා. ඔන්න මම නොකිව්වයි කියන්න එපා."

අතුගාලා එකතු කරපු පොල් අතු කෑලි ටික මිදුලෙන් ඉවත් කරලා නිහඬව ගෙට යන බිරිය දිහා ඔහු බලාගෙන හිටියෙ අසරණ වෙලා.

දයාපාලගෙ ඉඩම අක්කර තුනක්. වත්ත පුරා අඹ, කොස්, බුරුත, කොහොඹ වැනි ගස් හරි හරියට වැඩිලා. අවට ඉඩම්වල මිනිස්සු උක් ගස් වගා කරද්දි දයාපාල තමන්ගෙ වත්තෙ නිදහසේ ගස් කොලන්වලට වැවෙන්න ඉඩ හැරියා. කුරුල්ලන්, මී මැස්සන්, සමනලයන් විතරක් නෙමෙයි වත්තට ඇතුළු වෙන ඕනෑම සතෙකුට දයාපාලගෙ ඉඩම නිවහනක්. වත්ත කොනක තිබුණ ළිඳ ඉඩෝර කාලෙටත් වතුර ලබා දුන්නා. අවට ළිං වේළිලා ගියපු ගමන් මිනිස්සු පිපාසාව නිවාගන්න කළ ගෙඩි අරන් එන්නෙ දයාපාල ගෙ ළිඳට. ඉර එළිය දැකපු නැති, මිදුලෙ තියෙන බංකුවෙ වාඩිවෙලා දයාපාල බිරියත් එක්ක ඒ දිහා බලාගෙන ඉන්නෙ සතුටින්. ගස් වලින් බිමට වැටෙන ඉදුණු කොළ අතුගාල ගස් මුලටම එකතු කරන එක දයාපාලගෙ දින චර්යාවෙ කොටසක්. කූඹි, ගෝනුස්සො, පත්තෑයො වැනි කෘමි වර්ග මිය යන නිසා තමන්ගෙ වත්තෙ කොළ රොඩුවලට ගින්දර ළං කරන්න ඔහුගේ හිත ඉඩ දුන්නේ නැහැ. පේනතෙක් මානයේ උක් වගාව බිලිගෙන තිබෙන ඉඩම් අතරෙ, කුරුල්ලෙකුට කූඩුවක් තනා ගැනීමට ගහක් ඉතිරිවෙලා තියෙන්නෙ දයාපාලගෙ ඉඩමෙ විතරයි. තමන්ගෙ ඉඩම හරහා නොයෙක් විට කළුරේ, පාවෙන කළු ගල් වගේ අලි ගමන් කළත් ඔහුට හිරිහැරයක් වෙලා නැහැ.

රෑට ළිඳ ළඟින් ගමන් කරන අලි, ළිං මිදුල අවට තෙත් වෙලා තිබුණ පස්, හාරල තියනව දැකල දයාපාල යකඩ බැරල් දෙකක් ළිඳ ළඟ තියල, රෑට අලින්ට බොන්න වතුර තියන්නෙ මාස හත අටක ඉඳලා. වෙනදා නිහඬව වතුර බීල ගියත් ඊයෙ රෑ වෙච්ච දේ නිසා දයාපාල ගෙ සිත කලකිරීමට පත්වෙලා. තනියම වහල පිළිසකර කරල ඉවර කරපු දයාපාල කල්පනා කරමින් ළිඳ ළඟට ගියා. හිතට එන දුක සහ කේන්තිය වචනවලට හරවල මුමුණන ගමන්ම බැරල් එකක් උස්සල කර උඩින් තියාගෙන නිවෙස පිටුපසින් ගෙනත් තිව්වා. ඒක බිම දමන හඬ ඇහිල බිරිය කඩාගෙන පැන්නා දයාපාලට.

"හත් වලාවයි. ඔය මොකක්ද කරපු මෝඩ වැඩේ. දැන් ඉතින් මේ ගුබ්බෑයමේ ඉඳිල්ලත් ඉවරයි. වතුර බීල පුරුදු වෙච්ච වල් අලි ටික රෑට මේ ගේත් පෙරළාවි. "

"හාමිනේ කලබල නොවී ඉන්න. මම හොඳ උපායක් කල්පනා කළා."

"ඒ මොකක්ද ඒ පාර නටන්න හදන නාඩගම."

"ළිඳ ළඟ වතුර පොදක් හලන්න නරකයි. එතන වතුර වැටිල තිබුණම තමයි අලි හිතන්නෙ ඔය කිට්ටුව වතුර තියනව කියල. අනිත් එක, මේ බිත්තියෙ එල්ලල තියන ලන්තෑරුම භූමිතෙල් පුරවල, දැල්ල ටිකක් වැඩි වෙන්න තියල, ළිඳ ළඟ එල්ලල තියමු. ඈතින් එන වල් අලින්ට ඒක පෙනිල වෙන පැත්තකට යාවි. "

"ඔය මොනව කළත් දැන් ඉතින් ඔහේට ඔය අලින්ගෙන් නම් බේරුමක් නැති වෙයි. තව ටික දවසකින් මේ ඉන්න තියන පැලත් අතහැරල දාල යන්න තැනක් හොයාගන්න වේවි."

බිරිය කුමක් කීවත් තමන්ගෙ අදහස ඵල දරන බවට දයාපාලගෙ හිතේ විශ්වාසයක් ගොඩනැඟුනෙ, පාත් වෙලා තියෙන හෙණ ගෙඩියෙන් බේරෙන්න උපක්‍රමයක් සොයාගත්ත කියන අදහස පෙරදැරි කරගෙන.

ගස්වල රෑට ලැගුම් ගන්න එන කුරුලු වර්ග වත්තෙ ගස්කොළං අතරෙ සැඟවෙද්දි දයාපාල ගිනි පෙට්ටියයි ලන්තෑරුමයි අරගෙන ළිඳ ළඟට ගියා. වේලාසනින් සූදානම් කරල තිබුණ කහ දියර හට්ටිය අරගෙන අතේ තිබුණ අඹ කොළ අත්තෙන් ළිඳ වටේට ඉස්සා. පහන් තිරයෙ බැඳිල තිබුණ දැලිටික කඩල ඉවත් කරල, පත්තු කරපු ගිනිකූර අත් දෙකින් අල්ලගෙන තිරය දැල්වුවා. ඇළේට හිටවල තිබුණ ලීය තව ටිකක් පොළොවට තද කරල, ලණු කෑල්ලක ආධාරයෙන් කෝටුව අගිස්සෙන් ලන්තෑරුම එල්ලුවා.

"අනේ මම ලන්තෑරුම පත්තු කළේ උඹලට වතුර දෙන්න අකමැති නිසා නෙමෙයි. මගේ ජීවිතේ බේර ගන්න ඕන නිසා. මට සමාවෙලා උඹල වතුර තියෙන තැනකට ගිහිල්ල වතුර බීපල්ලා. මේ වත්තෙ තියෙන ඕන දෙයක් කාල පලයල්ල මට කරදරයක් කරන්නෙ නැතුව. මම අහිංසක මිනිහ. මටයි මගේ හාමිනේටයි නිදහසේ මේ ගස් කොළං යට හුස්මක් අරගෙන ඉන්න දීපල්ලා.”

ලන්තෑරුමට වැඳගෙන, දන්න තරමින් වල් අලින්ටයි දෙවියන්ටයි කන්නලව් කළා. ඈත අහසෙ ඉබාගාතෙ යන රත්පැහැ ගැන්වුණු වලාකුළු නොපෙනෙන තරමට අඳුර වැඩි වේගෙන එද්දි ඔහු නිවෙසට පියමැන්නා.

"හාමිනේ වේලාසනින් නිදාගමු. අපට ඊයෙ රෑත් හරියට නින්දක් නැහැනේ."

රාත්‍රී ආහාරයෙන් පස්සෙ දයාපාල සුපුරුදු පරිදි ඉස්තෝප්පුවෙ ඇඳ මතට වැටුණා.

"අද ගෙයින් නිදා ගන්න. රෑ ආපු අලිය අදත් ආවොත්?"

" මම ගෙයි නිදා ගන්න ආවොත් හාමිනේටත් නින්දක් නැති වෙනව. ගේ ඇතුළෙ මට දාඩියයි. මම මෙතනම නිදාගන්නම්. හාමිනේ ගිහිල්ල නිදාගන්න. අර ලාම්පුවත් පත්තු වෙන්නෙ හරි අගේට. මාස ගණනක් මගෙන් වතුර බීපු එක උඹල නැති කරගත්තට මට කරන්න දෙයක් නැහැ."

සුළඟට සෙලවෙන ගස් අතරින් ඉඳහිට දිස් වෙන ලන්තෑරූම් එළිය දැකල දයාපාල කිව්වා.

දයාපාල ලණු ඇඳ මත නින්දට වැටුණත්, වැඩි වෙලාවක් නොගිහිල්ල එක්වරම ඇහැ ඇරුණා. ඊයෙ රෑ ඇති වූ මරණ භය තවමත් ඔහුගෙ සිතේ හොල්මන් කරනවා. වැඩි වෙලාවක් යන්න කලින් ළිඳ පැත්තෙන් ඇහුණු ශබ්දයක් දයාපාල කලබලයට පත් කළා. ඇඳ මත වාඩිවෙලා ළිඳ දෙස එබී බැලුවත් ලන්තෑරුම් එළිය පේන්න නැහැ. ඔහුට එකවරම ඇහුණේ නිවෙස පිටුපස ඇති බැරල් පෙරළෙන හඬ. ඔහු කළුවරේ ම ගිහිල්ල බිරියට අත තියල සෙලෙව්වා. ඒ වන විටත් ඇය නින්දෙන් ඇහැරී ඇති බව ඔහුට වැටහුණේ ඇය ඔහුගේ අතින් අල්ලා ගත් නිසා. දෙන්නම එකට ගුලිවෙලා එළියෙ සිද්ධ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බැරුව කන් දීගෙන හිටියා. බැරල් පෙරළන හඬත් එක්කම, ගෙය පිටුපස වරිච්චි බිත්තය එක්වරම ගෙය තුළට ඇලවුණා. බිත්තියෙන් පිට වූ දූවිල්ල නිවෙස ගිලගද්දි දයාපාල එක්වරම බිරියගෙ අතින් අල්ලාගෙන ඉදිරිපස දොරෙන් පිටවී පාර දෙසට දුවන්න ගත්තා. ඔවුන් නතර වු‍ණේ පාරෙන් එහා පැත්තෙ ලතාගෙ නිවෙසේ.

මඳ වේලාවකින් අවට ගෙවල්වල පිරිමි හත් අට දෙනෙක් එකතු වෙලා රතිඤ්ඤා පත්තු කරමින් පන්දම් උඩට උස්සල අල්ලගෙන කෑ ගහන ගමන් දයාපාලගෙ නිවෙස දෙසට ගමන් කළා. ගෙයි පිටුපස බිත්තිය බිම පතිත වෙන්න ඔන්න මෙන්න වගේ ගේ ඇතුළට ඇලවෙලා.

"ඔය දර ටිකක් එකතු කරල ගිනි මැළයක් පත්තු කරලා යමල්ල. නැත්තන් එළි වෙනකොට මේ ගේ තිබුණ තැනක්වත් හොයා ගන්න බැරි වේවි."

"දයාපාල අයියෙ ඕව ඉතිං උඹ විහිං කරගන්න දේවල්. ගමට වල් අලි ගෙන්නන්නෙ උඹයි කියල තමයි ගමේ කතාව තියෙන්නෙ. යමක් කරන්න ඉස්සර වෙලා ටිකක් හිතල බලාපන්."

"සියලු සත්වයන්ට අනුකම්පා කරන මට ඇයි මෙහෙම වෙන්නෙ?" තමන්ගෙ හිත යට තෙරපෙන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු හොයාගන්න බැරුව අසරණව දයාපාල රැය පහන් කළා. පාන්දරම ළිඳ ළඟට ගිය ඔහු තැළී පොඩි වී ගිය ලන්තෑරුම මානං කැළේට වීසි කරලා ගෙදර ගියා.

"මම යනවා අපේ ගෙදර. මට බැහැ වල් අලින්ගෙන් මැරුම් කන්න. ඔහේ ඕන කුදයක් ගහගන්න එකයි ඇත්තෙ අලිත් එක්ක."

බිරියගේ චෝදනායට පිළිතුරු දෙන්නවත් හිත ප්‍රාණවත් නැතිව දයාපාල නිරුත්තරව බලා ඉද්දි, ඇය රෙදි පෙරෙදි ටික බෑග් එකක දාගෙන නිවෙසින් පිටවෙලා ගියා.

දවස නිමා වෙන්න කලින් දයාපාල අලි පෙරළපු කටු මැටි බිත්තියට මුක්කු ගහල කෙළින් කරල මැටි තිව්වා. නැවී පොඩිවී තිබුණ බැරල් දෙක මහත් වෙහෙසක් දරා ඇද ඇර, ළිඳ ළඟට ගෙනවිත්, මහන්සිය නොබලා වතුර ඇදලා බැරල් පුරවලා තිව්වා. තමන් මුහුණ දී සිටින අකරතැබ්බයෙන් ගොඩ එන්නෙ කොහොමද කියල කල්පනා කරද්දි දයාපාලට එක්වරම මතක් වුණේ පොඩි අප්පුහාමි. දයාපාල කඩිමුඩියේ පොඩි අප්පුහාමිගෙ ගෙදරට ගියා.

"දයාපාල මල්ලි වාඩි වෙයන්. මට ආරංචියි ඊයෙ රෑ උඹට වෙච්ච දේ. අලිය කඩපු බිත්තිය හදාගත්තද?"

"බිත්තිය නම් හදාගත්ත. ඒත් ගෙදර නිදාගන්න එක හිතට බයයි පොඩි අප්පුහාමි අයියෙ. මම රෑ වෙන්න ඉස්සර වෙලා ආවෙ ලොකු උදවුවක් ඉල්ලන්න."

"මට පුළුවන් දෙයක් නම් මම කරල දෙන්නන්. මොකක්ද මගෙන් ඕන උදවුව."

"අනේ පොඩි අප්පුහාමි අයියෙ උඹ ළඟ හොඳ මන්තර, ගුරුකම් තියනවනේ වල් අලි නවත්තන්න. මට එකක් කරල දීපන්කො. උඹට පින් සිද්ධ වෙනවා."

"ගුරුකම් තියනව තමයි දයාපාල මලයා. ඒව ඇහුවෙ ඉස්සර අලි. දැන් අලි ඉන්නෙ බඩගින්නෙයි, පිපාසාවෙනුයි, තුවාලවල වේදනාවෙනුයි විකාරෙන්. උඹ ගිහිල්ල බලාපං අර වන්දඹ පැත්තෙ අලියෙක් මැරිල කුණුවෙලා ගියපු තැනක කොච්චර ඊයම් බෝලයි යකඩ බෝලයි වටේට තියනවද කියල. මම දැන් ඔය ගුරුකම් කරන්නෙ නැහැ. මමත් දැන් අනිත් මිනිස්සු වගේ වෙන ගුරුකමක් පුරුදු වෙලා ඉන්නෙ අලි නවත්තන්න. උඹට ඕන නම් ඒක කරල දෙන්නම්.

"ඒ මොකක්ද පොඩි අප්පුහාමි අයියෙ?"

"මම බඳින තුවක්කු කඳන් කෑළි දෙකක් දෙන්නම්. කකුලෙ වදින උසින් ළිඳ පැත්තෙන් බැඳල තියාපන්. එකක් පත්තු වුණොත් රැළම ආයෙමත් පැත්තෙ එන එකක් නැහැ."

"මට ඒක කරන්න බැහැ පොඩි අප්පුහාමි අයියෙ. මම උන්ට බොන්න වතුර දීපු මිනිහ. මම කොහොමද උන්ගෙ කකුල් කඩන්නෙ? මම යනව යන්න. ඔය ගේයි ඉඩමයි අතහැරල ගියත් මට ඒක කරන්න බැහැ."

"දයාපාල මල්ලි උඹට වැඩි කල් නොගිහිල්ල මේ ගමෙන් යන්න වෙයි තමයි. ලේස්ති වෙලා හිටපන් යන්න. උඹේ ඔය යාළු අලි ටිකම ඒ වැඩේ කරාවි. බය නැතුව හිටපන්."

පොඩි අප්පුහාමිගෙ ඊතල වචන දයාපාලගෙ පිට සිදුරු කරද්දි ඔහු ගමන ඉක්මන් කළා. ඉබේටම ඔහුට යැවුනෙ බිරියගෙ නිවෙසට.

"මම හිතුව හැන්දෑ වෙනකොට මේ පැත්තට පාත් වෙයි කියල."

"බිත්තිය නම් හැදුව හාමිනේ. කෝකටත් කියල මම බැරල් දෙකට වතුරත් පුරවල තිව්ව. නැත්තං ඔය සත්තු ආයෙමත් ගෙට ඉව අල්ලනවා."

"අපි ටික දවසක් මෙහේ ඉඳිමු. දවල්ට ගිහිල්ල ටිකක් හොයල බලන්න. කුලී වැඩකට යනව නම් මෙහේ ඉඳන් යන්න බැරියැ."

බිරිය කියද්දි ඔහු ඈත පෙනෙන උක් වගාවට සමාන්තරව නිදහසේ පියාඹන වැහිලිහිණියන් දිහා බලාගෙන හිටිය. දින කීපයක් රාත්‍රිය මහගෙදර ගත කරපු දයාපාල දවසක් හවස් වරුවෙ සන්සුන්ව බිරිය ඇමතුවා.

"හාමිනේ අද හවසට අපි ගෙදර යන්න ඕන. අපේ ගැටලුවට මම විසඳුමක් හෙව්වා."

" අනේ මට නම් බැහැ ආයෙත් ඔය අලිත් එක්ක සුරල් අල්ලන්න. මෙන්න මෙහාට වෙලා ඉඳිමු."

"එකම එක වතාවක් අපි ගෙදර ගිහිල්ල එමු. ගෙදර නවතින්න හාමිනේ අකමැති නම් අදම ආපහු එමු. ගිහිල්ල බලමුකො මොකක්ද කරල තියෙන්නෙ කියල."

දයාපාලගෙ පෙරැත්තය නිසාම ගෙදර යන්න ඇය එකඟ වුණා. රෑ කෑමයි අනෙකුත් අඩුපාඩු ටිකයි අරගෙන දයාපාල යුවළ නිවෙසට ළඟා වු‍ණේ හවස පහට විතර.

"අන්න හාමිනේ විසඳුම."

"මගෙ අම්මෝ. ඔහේ කරල තියෙන වැඩේ. තනියමද හැදුවෙ?"

ඝනට කොළ අතු වැඩුණු කොහොඹ ගහේ අතු යා කරලා, ආරක්ෂිතව හදපු උඩ පැල දැකපු ගමන් බිරිය ඇහුවා. දෙන්නා එකතුවෙලා නිවෙස අතුගාල පිරිසුදු කරල, රෑ කෑම ටිකයි, වතුරයි අනෙකුත් අඩුම කුඩුම ටිකයි අරගෙන කොහොඹ ගහ උඩ ඉදි කරපු පැලට ගොඩ වුණා. අඳුර වැටෙන්නත් ඉස්සර වෙලා කඩෙන් ණයට ගෙනා ලන්තෑරුම පත්තු කළා.

"අපි වේලාසනින් කෑම කමු හාමිනේ. පැල උඩ සීතල නිසා අද හොඳට නින්ද යාවි."

"මට නම් සීතල වැඩිකමට නින්ද යන එකකුත් නැහැ."

"ලාම්පුව නිවල දැම්මම තමයි අවට ලස්සන පේන්නෙ හාමිනේ. අර බලන්න අහසෙ ඉද්ද මල් පිපිලා වගේ තරු නිවි නිවි පත්තු වෙන හැටි."

උඩ පැලේ ආවරණය නොකළ දෙසින් අහස බලමින් දයාපාල කිව්වා. ඇය අහස දෙස හැරී බැලුවත් ආපහු නිහඬවම දයාපාලට තුරුලුවෙලා වෙනදා නොලබපු උණුසුම සෙව්වා.

රෑ මැදියමේ පුරුද්දට වගේ දයාපාලට ඇහැ ඇරුණා. බිරියට කූද්දනවද නැද්ද කියලා දෙගිඩියාවෙන් කල්පනා කරද්දි ළිඳ අසලින් බැරලයක හඬ ඇසී ඔහු තිගැස්සුණා.කොහොඹ ගහ පෙරළන්න අලින්ට බැහැ කියල දයාපාලට හොඳටම විශ්වාසයි. ළිඳ අසල යමක් සිදුවන බව ස්ථිරව දැනගත් ඔහු, දඩයමකට සූදානම්ව තුවක්කුව එල්ල කරන දඩයක්කරුවෙක් වගේ ළිඳ දෙසට විදුලි පන්දම දිගු කළා.විදුලි පන්දමේ එළියට නිරාවරණය වූ ඒ දසුන දැකල දයාපාල දෑස් අදහා ගන්න බැරිව නිරුත්තර වුණා.

"හාමිනේ, හාමිනේ, පොඩ්ඩකට නැඟිටින්න. අර බලන්න ළිඳ දිහා."

ඇය දෑස් පොඩි කරමින් විදුලි පන්දම් එළියේ කෙළවර දිහා බැලුවා.

"මගේ අම්මෝ, මම ජීවිතේට දැකල නැහැ මෙහෙම දෙයක්.” ඇගේ සීතල සිරුර දහඩියෙන් තෙමෙන්න ගත්තා.

ළිඳ අසල දඟ කරන ඇත් පැටියෙක්... බැරල් එකකින් හොඬයට වතුර අරන් ඇතින්න ඇත් පැටවා නහවන ගමන්, ළිඳ පැත්තට යා නොදී තමන් ළඟට ඇද ගන්නවා. අඩියක් තරම් දිග කිරි සුදු ඇත් දළ දෙක ජලයෙන් තෙමී දිලිසෙනවා.

"ටෝච් එක නිවන්න. එයාලට කරදරයි අපි එළිය අල්ලනකොට."

බිරිය දයාපාල අතේ තිබුණු ටෝච් එක ඇගේ අතට ගත්තා.

"හෙට තව බැරල් දෙකක් හොයල ළිඳට ටිකක් ඈතින් තියලා වතුර පුරවමු. මමත් උදවු වෙන්නම්. හැන්දෑවට අපි දෙන්නා රෑට කෑමට මොනව හරි අරගෙන මේ උඩ පැලට ගොඩවෙලා නිදාගමු."

ඇය දයාපාලගෙ කනට කෙඳිරුවා.

Comments