කෘතිය- ජීවිතෙත් වැව වගේ
කර්තෘ- ශාන්ත හෙට්ටිආරච්චි
මිල- රුපියල් 400 /= පිටු ගණන-166
විමසීම්- 0713 017 520
කෘති කිහිපයකම කර්තෘවරයා වන වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි විසින් රචිත ‘ජීවිතෙත් වැව වගේ’ කාව්‍ය සංග්‍රහය විශේෂිත කෘතියක් වන්නේ මෙය රචකයාගේ කවි ඇසත් - කවි සිතත් එකට මුසුකළ නිර්මාණ සංග්‍රහයක් වීමය. එය පාඨකයාට ලබාදෙන්නේ අපූර්වතම ආස්වාදයකි. ඊට හේතුව ඇසට පෙනෙන රූප විලාසය ඉක්මවන ගැඹුරු අරුතක් කරා පාඨකයා ගෙනයෑමට මෙම කාව්‍ය සංග්‍රහය සමත් වීමය. එකිනෙකට වෙනස් තේමාවන්ගෙන් යුතු කවි පන්ති 150ක් මේ කෘතියට ඇතුළත්ය.
සිංහල කවිය සමඟ රූපය මුලින්ම එකතු වූයේ යැයි පැවසෙන්නේ සීගිරි ලලනා රූපවලට රසිකයන් කවි ලිවීමත් සමඟය. පුවත්පත් කලාවත් සමඟ රූපයට කවි ලිවීම වඩාත් ව්‍යාප්ත විය. එකී කලාව තවත් පෙරට ගෙනයමින් වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි සිය කාව්‍යකරණ හැකියාව මේ කෘතිය තුළින් ද ප්‍රකට කරයි.
කෘතිය පිළිබඳ හැඳින්වීමක් කරමින් වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි පවසන්නේ තමාට හුරුපුරුදු පරිසර සැරිසැරියේදී නෙතට පළමුව හිතේ සටහන් වූ කවියට ගැළපෙන කෝණයට, පසුතලයට අනුරූපව ඡායාරූපය නොපමාව හසුකොට ගත්තේ කැමරා කාචය බවයි. එහෙයින්ම ‘ජීවිතය වැව වගේ’ කාව්‍ය සංග්‍රහයට ඇතුළත් වන්නේ අහම්බයකින් ගත් ඡායාරූපයකට ලියූ කාව්‍ය අර්ථකතනයක් නොව, කාව්‍යමය සිතිවිල්ලකට අනුරූපව හසුකොට ගත් ඡායාරූපයකට වූ ගැළපිල්ලේ ලියැවීමකි.
පරිසරය හා අවාචිකවද, සතුන් හා වාචිකව හා අවාචිකවද ළබැඳිව කළ හැකි සන්නිවේදනය තුළ පවතින්නේ මිනිස් ජීවිතය සුවපත්ව, යහපත්ව ගෙවා ගැනීමේ ඉහළ අවකාශයක් බව වෛද්‍යවරයකු ලෙස හොඳින්ම දන්නා වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි කාලයක් තිස්සේ ලත් අත්දැකීම් රාශියක් මේ පද්‍ය සංග්‍රහය සඳහා වස්තු බීජ කරගෙන ඇත.
පරිසරය හා සතුන් සමඟ වන ළබැඳියාවටත් සබැඳියාවටත් උත්තේජනයක් වන පද්‍ය කිහිපයක්ම මේ කෘතියට ඇතුළත්ය.
මෙහෙම අප හිඳින්නෙත් මාවතේ බැරි කමට
අනේ හරි රිසියි සෙනෙහසට හිමිවන පෙමට
නොමැත ලොකු වුවමනා එගැන ළතැවී කුමට
ඇඟට පා තියන්නෙත් ආදරේ වැඩි කමට
ඉහත පද්‍ය තුළින් අප බොහෝ දෙනකුට සමීප සුනඛ සුරතලුන් සමඟ වන ළබැඳියාව පසක් කරදෙයි. ආදරය ද දබරයකි, හැකිද හෙටටත් ගෙවිය- නිදහසේ අප දිවිය, අප සුදුය පිරිසිදුය, යනවා වගේ දෝරේ හිතවත්කම් මැද පාරේ යනාදි පද්‍ය පන්ති සතුන්ගේ ඇවතුම්පැවතුම් සමඟ ජීවිතයේ යථාර්ථය ඉස්මතු කරන්නට දැරූ සාර්ථක උත්සාහයන්ය.
රැළි බිඳේ රැළි නැඟේ
නොකළ නොහැකිය අගේ
හැඩය අනුවය යුගේ
ජීවිතෙත් වැව වගේ
දුක, සැප රැළි නැඟෙමින් හැඩවෙමින් යන ජීවිතය වැවකට සමාන කරමින් කවියා එසේ කියයි. සරල වුවත් හදවතට දැනෙන ඒ පද සුන්දරය.
ඇඟේ නොතැවරේ අද සිහිල වැව් දිය තෙමන
දැනේ වෙනදා වගේ නැතුව මඳනල හමන
ඉඩක් ලැබිලා නෙතට තවත් දුරකට යොමන
උඩින් යනවා තමයි, ඒත් අවසන් ගමන
ඉහත පද්‍ය පන්තිය සමඟ ගළපා ඇත්තේ කුරුල්ලකු හොටින් ඩැහැගෙන යන මාළුවෙකි. මේ මාළුවාගේ සිතිවිලිය. උඩින් යනවා තමයි, ඒත් අවසන් ගමන..... වර්තමාන සමාජය තුළ බොහෝ සංකීර්ණ වී ඇති මිනිස් ජීවිතය ද මාළුවාගේ ඉරණමට සමානය. අප බොහෝදෙනකු ජීවත් වන්නේ ජීවිතයේ අනියත බව දැන දැනමය. දුක සැප නිති පෙරළෙන බව දැන දැනමය. මේ, ඒ ගැන කියවෙන තවත් කවියකි.
ජල තල රහස් කොඳුරයි රැළි විලස හැපී
නල රැළි නොගෙන අවසර මුව කමළ සිපී
අටලෝ දහම පිළිබඳ කුමකටද කිපී
තනිවම පිපී පරවී යා යුතුය අපී
අද අප කවුරුත් පාහේ ගෙවන්නේ සැනසුම් සුසුම් අඩු ජීවිතයකි. අහස සිඹින ජීවන වියදම් සේම විවිධාකාර අසීරුතා මැද ගෙවන ජීවිතයට සැනසීම ඇත්තේ බොහෝ දුරිනි. එනමුදු ගිනිගත් හදවත නිවන්නට සොබාදහමට ඇත්තේ අපූරු බලයකි. සොබාදහමේ සුන්දරත්වය විඳින්නට අවකාශ අඩු වීම ගැටලුවක් වුවද ඉසඹුවක් ලද ඇසිල්ලෙන් පරිසරයේ සුන්දරත්වය විඳින්නට බොහෝ දෙනකු ප්‍රිය කරති.
තුරු ලිය මල් ඇතිරිල්ලකි
ඇළ මත හැඩ සෙවණැල්ලකි
නෙත හිත රිසි විමසිල්ලකි
හිමිකරු නැති සැරසිල්ලකි
කාගෙත් නෙත්සිත් නිවාලන පරිසරයට හිමිකරු නැතිවුවද එය වනසන්නට අපට ද කිසිදු හිමිකමක් නොවේ. ඒ ගැන ද වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි සිය පද්‍ය සංග්‍රහය තුළින් අවධාරණය කරයි.
පේවී නොවේ හිත වැව් රවුමේ ගෙවුවේ
සෝඩා බියර්මය රෑ යාමේ බිව්වේ
ඒ කුණුවලිනි පරිසරය ද වැනසෙවුවේ
මේ වැනි පිරිස් කවුදෝ ලෝකෙට මැවුවේ
ඒ කවිය තුළින් පරිසරය වනසන්නන්ට ඔහු සියුම් අතුල් පහරක් දෙයි. පරිසරේ සුමිතුරෝ කවිය ද පරිසරය රැකුමට දිරි දෙන අගනා කවියකි.
ජීවිතය විවිධ කාලපරිච්ඡේද පසුකරමින් ඉදිරියට ඇදෙයි. වියපත් වූ කල ආපසු හැරී ජීවිතය දෙස විමසුම් නෙතින් බලද්දී කාලය මැවූ සොඳුරු සිදුවීම් මෙන්ම දුක්බර සිදුවීම් ද අඩුවක් නැතිව සිහි වේ.
වත මුහුණුවර පැහැදිලි වෙනසකට හෙළා
නොදැනී ගිහින් කාලය මහ දුරක ගලා
වයසට නොයන වැව දෙස විමසිලිව බලා
නෙත හිත මොහොතකය නිසලව නතර වෙලා
වැවක් අබියස හිඳ ජීවිතයේ සැමරුම් සිහිකරන වියපත් මවකගේ දසුන රැගත් ඒ පද්‍ය පන්තියෙන් කවියා ඉස්මතු කරන්නේ ඒ අදහසයි.
පිපුණු මල් පරවනවා සේ ජීවිතය ද පරව යයි. ආවොත් නොගිහින්ම බැරි ජීවන ගමන ගැන වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි ‘කලින් ආ අය කලින් යනවා’ නමැති කවිය ලියන්නේ ඊටම ගැළපෙන පින්තූරයක් ද එක්කරමිනි.
හිටියාට එක පෙළින්
කෙනෙක් ආවේ කලින්
තමයි යනවා මුලින්
කලින් ආ අය කලින්
සදාකල් හිඳින්නට ආ කවුරුත්ම නැති මේ ජීවිතය විඳිය යුත්තේ තමාටත් අනෙකාටත් හිරිහැරයක්, පීඩාවක් නොවන පරිදියි. කවියා ඒ ගැන කියන්නට ද අමතක කර නැත.
මිහිරියාවට රිසිව නෙකත රැඳුණේ නෙතය
ළබැඳියාවෙන් දැඩිව හිතක බැඳුණේ හිතය
සතුට ඉහළය එහෙත් අවැසි දේ සීමිතය
විඳිය යුතු විදිහටම විඳිමු අපි ජීවිතය
කෙටි පිවිතුරු දිවිසැරිය ගෙවිය යුතු ආකාරය ගැන සුන්දර මලක පින්තූරක් ද සමඟින් අපේ මනසේ සොඳුරු සිතුවමක් මවන්නට වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි උත්සාය දරා ඇත්තේ මෙලෙසිනි.
එකට හෙමිහිට හැපී
නොකොට නුහුගුණ කොපී
හිඳිමු හැඩයට පිපී
පරව යනතුරු අපී
ඇසට පෙනෙන රූපය ඉක්මවා ගිය ගැඹුරු අරුත් කරා සහෘදයා කැටිව යන රූප කාව්‍ය රැසකින් සමන්විත මෙය අපූරු කාව්‍ය සංග්‍රහයකි.