කන්‍යාවකගේ මල් කලඹ
මුදු නිල් එළියේ දුමාරයේ යට
නිහඬ සිනායෙන් පිරී'තිරී යන
එක් මල් කලඹකි! එය බක් ගීයේ
රෝස කුසුම් යායක්ය සෙමෙන් වැඩි
නො දොඩා දෙනුවන් තිරපට හැරලා
කඳුහිස සුදුසඳ දෙවුරින් වලඳින
නෑඹුල් ලිය! ඔහු හදේ මුලින් පිපි
සුරදූ තෙමකගෙ හද සුදුමල වනු
රෝස මලින් සැඳි මුදු ඒ මල්මිට
ජය ලද්දාගේ හිස රැඳවීමට
සුරදූ තෙමකගෙ හදවත මල්මිට
කාගේ නම් හදවත රැඳවීමට
රෑ සැඟැ වී ගිය මිනිස්සු එළි යෙත්
සිහිනෙන් මල් කලඹත් ගෙන දිනුමට
එනමුත් නෑඹුල් ලියගේ මල්මිට
අල්ලා ගෙන යනු කවුරු ද කොහෙට ද
නෝ ජා-යං (Noh ja - young)
නෝ ජා-යං සැලකෙන්නේ 1920 ගණන්වලදී තාරුණ්‍යයේ හැඟීම් ප්‍රකාශ කළ හැකි සියුම් හා සංවේදී රචනා කලාවක් මතු කළ කොරියානු ලේඛකයා ලෙසයි. ඔහු 1898 වසරේදී ප්‍යොංනාම්හි දී උපන් බව පිළිගැනේ. කුඩා කලම මවුපියන් අහිමි වූ හේ හුදෙකලා ජීවිතයක් උරුම වූවෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹි නෝ ජා-යං කෙටි කලකින් ඉන් ඉවත්ව පුවත්පත් වාර්තාකරුවකු ලෙස රැකියාව කරමින් පූර්ණකාලීන ලේඛකයකු විය. කුලී කාමරයක හුදෙකලාව ජීවත් වෙමින් ලේඛනයෙහි යෙදුණු මේ සංවේදී, බිඳෙනසුලු හදවතක් තිබූ ලේඛකයාගේ නිර්මාණ වෙතින් ද ඒ හුදෙකලා බව ප්‍රකට වෙයි. දුක්බර ජීවිතයක් ගෙවූ නෝ ජා-යං ක්ෂය රෝගයෙන් පීඩා විඳ 1940 - 10 - 08දා සෝල් නුවර දී මිය ගියේය. නිර්මාණ ලේඛකයකු ලෙස ජනප්‍රිය වුවද මාධ්‍යවේදියකු ලෙස පුරෝගාමි නමක් දිනා ගැනීමට තරම සාර්ථක නොවූ හේ සිය මිතුරා සමඟ නිතර මෙසේ කියා ඇත. "මාධ්‍යවේදියකුගේ ජීවිතය ඔහුගේ පෞරුෂයට නො ගැළපේ."
"මගේ ආත්මය දැවෙන විට (1928), කැරැල්ල (1923), සියක් ආදිපාදවරු (1938), සදාකාලික සිහින දැකීම (1929), ජීවිත මාර්ගෝපදේශය (1938)" යනාදි කෘති ලියූ නෝ ජා-යංගේ වඩාත් ප්‍රකට කෘති වන්නේ "කන්‍යාවකගේ මල් කලඹ (1924)" නම් පද්‍ය සංග්‍රහය හා "ආදරයේ ගිනිදැල්ල (1929)" නම් කෙටිකතා එකතුවයි. ඉහත පළ වන්නේ නෝ ජා-යංගේ "කන්‍යාවගේ මල් කලඹ" නම් කවි පෙළේ සිංහල පරිවර්තනයයි.
කොරියානු බසින් පරිවර්තනය
- චන්දන ඉලන්දාරිගේ