
මේ නවකතාව ස්වයං චරිතාපදානයක් යැයි කිව හැකි ද?
ස්වයං චරිතාපදානය මුල් කොට ගත් නවකතාවක් හැටියට මෙය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පොදුවේ රස විඳිය හැකි කතා වස්තුවක් හැටියටයි මෙය ලියවිලා තියෙන්නේ. “සල්මල් දෙණිය” යනුවෙන් මෙය නම් කරන්නත් හේතුවක් තියෙනවා. ඒ අනුව මේ නම අපේ පරම්පරාවෙම කොටසක්. අපේ නෑදෑ පරම්පරාවටම තියෙන්නේ මේ නම. ඒ තමයි මල්දෙණිය. පොතේ කවරය දිහා බලන්න. ඒ තමයි අපේ මහ ගෙදර. ඒ කාලයට අයත් කැටයම් කුලුනු තියෙන වඩිම්බු ලෑලි සහිත ඒ ගෙදර තමයි කවරයට යොදා ගත්තේ. අපේ පරම්පරාව හඳුන්වන්නේ මල්දෙණිය පරම්පරාව කියලයි. ඒ ඇසුරේම විශාල සල් ගසකුත් තිබුණා. ඒ සල් ගසත් මෙතනට මුල් වුණා. ඒ විදිහට ඇති වුණු මල්දෙණිය මහගෙදර මුල් කොට ගත් මේ නවකතාව සල්මල් දෙණිය නමින් හඳුන්වන්න මම කැමති වුණා.
හුදෙක් කතාවක් කීමේ අරමුණින්ද ඔබ මෙය ලිව්වේ? එහෙම නැත්නම් ඔබට කියන්න අවශ්‍ය සමාජ දේශපාලන පසුබිමක් මතද මෙය ලියවුණේ?
පැහැදිලිවම ඔව්. මගේ කතාව විතරක් ගත්තොත් එය තවත් එක වෛද්‍යවරයකුගේ කතාවක් විතරයි. අධ්‍යාපන පසුබිම මත වෛද්‍ය විද්‍යාලයට ගොස් වෛද්‍යවරයෙක් වෙනවා. රෝගීන් හා සම්බන්ධ කටයුතුවල යෙදෙනවා. විශේෂයෙන්ම කියන්න තරම් විශේෂත්වයක් ඒ දේවල්වල නෑ. හුදෙක් එවැනි කතාවක් සරල නීරස කතාවක් වීමේ ඉඩකඩක් ද තියෙනවා. අනික විශේෂඥ වෛද්‍යවරයෙක් වුණාට මම ජනසන්නිවේදනයට විශේෂයෙන්ම සිනමාවට සම්බන්ධයි. ඒ වගේම බටහිර වෛද්‍යවරයෙක් වශයෙන් සිටිද්දීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය විෂයයට ශාස්ත්‍රපති උපාධියක් ගත් අයෙක් තමයි මම. ඒක හරිම දුර්ලභ දෙයක්නෙ. මං කියන්නෙ අපේ රටේ තත්වය ගැනයි. අනික ඒක හරිම දුර්ලභ අවස්ථාවක් ද වුණා. වසර කිහිපයක් පමණයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ උපාධි වැඩසටහන පවත්වා ගෙන ගියේ. මා දන්නා තරමින් කිසිදු බටහිර වෛද්‍යවරයෙක් නෑ ශාස්ත්‍රපති ජන සන්නිවේදන උපාධියක් තිබෙන. එහිදි මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාත් මට ගුරුවයෙක් වුණා.
කුඩා කාලයේ ඉඳලාම කලාවට විශේෂයෙන්ම සිනමාවට මට සම්බන්ධකම් තිබුණා. සිනමා සංස්කෘතියට සම්බන්ධ ගාමිණි ෆොන්සේකා වැනි චරිත අපට ආස්වාදයක් ලබා දුන් බව ඔබ වුණත් දන්නවා. ඒ අනුව යමින් ජනසන්නිවේදන උපාධිය හදාරන කාලයේ දී “සිංහල සිනමාවේ විශ්ව කෝෂය” නමින් නිබන්දනයක් කළා. කොහොමටත් උපාධි වැඩසටහනට අදාළව අපි නිබන්ධන ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ අනුව තමයි මම ඉහත නිබන්ධනය ලියුවේ. සිංහල සිනමාවේ බොහෝ අතීත විස්තර ඊට ඇතුළත් වෙනවා. ඒ කාලයේ චිත්‍රපට සංස්ථාවේ සභාපති විදිහට කටයුතු කළේ ජයන්ත ධර්මදාස මහතායි. ඔහු චිත්‍රපට සංස්ථාව සමඟ ඉදිරිපත් වෙලා 2003 වසරේ ජනවාරි 21 වැනිදා එය ප්‍රකාශයක් වශයෙන් එළි දැක්වූවා. එහි ප්‍රධාන අමුත්තා වශයෙන් ගාමිණි ෆොන්සේකා සහභාගී වීමට නියමිතව තිබුණා. කොහොමවුණත් ඔහුට එදා ඊට සහභාගි වෙන්නට බැරි වුණා. නමුත් එදා රාත්‍රියේ ඔහු මට දුරකථනයෙන් කතා කළා. මට ඒක හරිම පුදුමයක් වුණා. ඒ නිබන්ධනයේ මම ඔහු ගැන ලියා තිබුණේ පිටුවක් තරම් වූ විස්තරයක් වුණාට එය කියවා ඔහු මහත්සේ සතුටට පත්ව සිටියා. ඒ විදිහට තමයි ගාමිණි ෆොන්සේකා නම් ඔහුගේ චරිතාපදානය ලියන්න මට අවස්ථාවක් ලැබුණේ. විශේෂයෙන්ම එතුමාගෙන්ම ඒ සඳහා නිල අවසරය ලබාගත් පුද්ගලයා බවට මම පත්වුණා. “ශ්‍රී ලාංකීය සමාජ ප්‍රවාහය අභිමුව” නම් ඒ කෘතිය එතුමා ජීවතුන් අතර සිටියදීම එනම් 2004 අවුරුද්දේ එළි දක්වන්නට කටයුතු කෙරුණා.
ඔබේ ජීවිතය සමඟ දේශපාලන ක්‍රියාකාරීත්වයකුත් බැඳී තිබෙනවා ද?
ඒක මෙහෙමයි. ඔබත් දන්නවා 70 දශකය ගත්තම ඒ කාලයේ අපි බොහෝ සෙයින් පොතපත කියෙව්වා. ඇත්තටම කියනවා නම් අපි පොත් කියවන්න ඇබ්බැහි වෙලා හිටියා. ඒක හරියට අද ළමයි ස්මාර්ට් ෆෝන්වලට ඇබ්බැහි වෙලා ඉන්නව වගේ. ඔබටත් මතක ඇති චිත්‍ර කතාවලටත් අපි හුඟක්ම ඇබ්බැහි වෙලා සිටියා. ලන්දේසි දූපත ඒ වගේම චිත්‍ර කතා පත්තර කියවන්න අපි ඇබ්බැහි වෙලා සිටියා. ඒ විදිහටම පහේ පන්තියට යන කොට ඒ කාලය අවසන් වන විට ඩබ්ල්යු. ඒ. සිල්වාගේ සෑම පොතක්ම වාගේ කියවා අවසන් කරලයි මම සිටියේ. ඒ අතීතය දිහා ආපසු හැරිල බලන කොට මටම පුදුමයි ඩබ්ල්යු ඒ. සිල්වාගේ ලක්ෂ්මි වැනි ගැඹුරු සිංහලෙන් ලියවුණු නවකතා පොත් මා කියවා අවසන් කළේ ළමා වයසේදීමයි. ඒ විදිහට සාහිත්‍ය පොත පත කියවන්න බලවත් ආශාවක් මා තුළ තිබුණා. සිංහල සිනමාවේ විශිෂ්ට කැමරා අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වුණ ඩොනල්ඩ් කරුණාරත්නගේ නිවෙස තිබුණේ අපේ ගෙදරට ඉදිරියෙනුයි. ඔහු අපේ ඥාතියෙකුත් වෙනවා. එහෙම වුණත් කුඩා කාලයේදී ඔහුත් සමඟ කතා කරන්නවත් මට අවස්ථාවක් ලැබිල තිබුණේ නැහැ. ඒ කාලයේ කතාවක් තිබුණා ඔහු නිවෙසින් පිටවෙලා ගිහින් තමයි සිනමාවට සම්බන්ධ වුණේ කියලා. පසුව රන්මුතු දූව වැනි චිත්‍රපට හරහා ලංකාවේ ප්‍රසිද්ධ සිනමා කැමරා අධ්‍යක්ෂවරයෙක් බවට ඔහු පත් වෙනවා. කුඩා කාලයේදීම නිවෙසේ ඉඳලම එවකට ප්‍රසිද්ධ නළු නිළියන් ඒ වගේම සිනමාවේදීන් ඒ නිවසට යන එන හැටි අපට දකින්නට ලැබුණා. ඒ විදිහට කුඩා වියේ සිටම මෙරට සිනමා සංස්කෘතිය මට දැනී තිබුණා.
අද වගේ නෙවෙයි ඒ කාලයේදී වෛද්‍ය විද්‍යාලයට පිවිසීම දුෂ්කර කටයුත්තක් වුණා. විශේෂයෙන්ම කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීම කොහෙත්ම පහසු වුණේ නෑ. ඒ විදිහට ඇතුළු වෙලා අධ්‍යාපනය ලබද්දී රාගම වෛද්‍ය විද්‍යාලය මුල් කොට ගෙන ඇති වුණ තත්ත්වය නිසා වසර තුනක පමණ කාලයක් අපට අධ්‍යාපනය මගහැරුණා. ඒක ලොකු දේශපාලන අරගලයක් ද වුණා. ඒ නිසා තමයි “ලේ ගැලුවත් පාර දිගේ - අපි යන මඟ අපි යනවා” යන සටන් පාඨය මට ලියන්න සිද්ධ වුණේ.
ඒ මොකක්ද ඒ කතාව?
ඒ සම්පූර්ණ සටන් පාඨය මම ලියුවේ මේ විදිහටයි.
“කපා කපා කෑලි කපා අප නවතනු සිතනු එපා
ලේ ගැලුවත් පාර දිගේ අපි යන මඟ අපි යනවා”
මේ පිළිබඳ කතාව සල්මල් දෙණිය නවකතාවටත් ඇතුළත් කොට තිබෙනවා. ඒක සිද්ධ වුණේ මෙහෙමයි. ඔය කියන කාලයේ ප්‍රථම වතාවට මැයි දිනේ තහනම් කළා. එහෙම වුණත් නාරාහේන්පිට අභයාරාමයේදී මැයි දිනය පවත්වන්න කටයුතු කෙරුණා.
එතැන වෙඩි තැබීමකුත් සිදු වුණා. රණවක නම් ශිෂ්‍යයා ඒ වෙඩි පහරින් මිය ගියා. ඔහුගේ මරණයට අපි ගියා. එතැන මහා උත්සවාකාරී බවක් නිර්මාණය වුණා. ඒක සාමාන්‍ය මරණයක් වුණේ නෑ. ඊට සහභාගි වී ආපසු එන ගමන මහා පෙළපාළියක් බවටත් පත්වුණා. විශාල ජන සහභාගිත්වයක් සමඟ ආපු ඒ පෙළපාළිය අරගලයක් වගේ වුණා. එහෙම එන කොට සටන් පාඨ කිහිපයක් ලියල දෙන්න කියලා මගෙන් ඉල්ලීමක් කෙරුණා. ඒ විදිහට තමයි අර සටන් පාඨ මගෙන් ලියවුණේ. එදා මට මතකයි චම්පික රණවක සහෝදරයත් එතැන සිටියා.
එවැනි අත්දැකීම් සමූහයක් සමඟ සිටින ඔබ අද දවස දකින්නේ කොහොමද?
මෙහෙමයි, ඒ පරම්පරාවේ වෙනස ගැන අපි තැවෙන්න හොඳ නැහැ. කාලය වෙනස් වෙනවා. ඒ සමඟම ආකල්පත් වෙනස් වෙනවා. ඔබට මතකද ඒ කාලයේ අපේ නිවෙස්වලට නොමිලයේ සඟරාවක් ලැබුණා. ඒ තමයි සෝවියට් දේශය. සෝවියට් සමාජය, කොමියුනිස්ට් දේශපාලනය ගැන ඒ සඟරාවෙන් කියවන්න ලැබුණා. ඒ වගේම අම්මා, වානේ පන්නරය ලැබූ හැටි, පෙරළු නැවුම් පස වැනි සෝවියට් රුසියානු සාහිත්‍ය කෘති කටපාඩම් වෙන තරමටම කියවපු කාලයක් තමයි ඒ. ඒ කියවීම් ඔස්සේ අපි කල්පනා කළා ලෝකය මීට වඩා යහපත් විදිහට නිර්මාණය කරන්න අවශ්‍යම දෙයක්ය කියලා. සෑම මිනිසකුටම සමාන අයිතිවාසිකම් ලැබෙන එවැනි ලෝකයක් ගැන අපි විශ්වාසයක් ඇති කර ගෙන සිටියා. ඒක සාධාරණ සිතීමක් නේද? ඒත් එදා අපේ ඒ සිතුවිලි අද තත්ත්වයත් සමඟ ගළපන්නේ කොහොමද කියන එකයි ඒ ප්‍රශ්නය. මම නම් සිතනවා අපි අපේ බලාපොරොත්තු මුළුමනින්ම අත්හැරීම සිදු නොකළ යුතු ක්‍රියාවක්ය කියලා.
ඉදිරි අනාගත සාහිත්‍ය කටයුතු ගැන යමක් කිව හැකිද?
මම මේ වනවිට පොත් 13ක් ලියා තිබෙනවා. මේ මගේ 14 වෙනි පොතයි. වෛද්‍ය විද්‍යාවට අයත් වුණු පොතපතත් මේ අතර තියෙනවා. ඒ වගේම මා ලියූ චරිතාපදාන ගැනත් ඉහතින් සඳහන් කළා.
සේපාල් අමරසිංහගේ ඇල්කෙමිස්ට්, පැපරාසි වැනි සඟරාවලටත් මගේ ලිවීම ව්‍යාප්ත වෙලා තියෙනවා. දැනට මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරනවා. ඒ වෘත්තීය කටයුතු අතරේ වුණත් ලිවීම නොනවත්වා කරගෙන යෑමයි මගේ බලාපොරොත්තුව.