පෝලිමක ස්නේහය! | සිළුමිණ

පෝලිමක ස්නේහය!

හු මුළුමනින් ම වෙනස් ය. ශරීරයේ හැඩතල, මුහුණේ ඉරියව් හා ගමන් විලාසය පවා විශේෂිතය. උසස් ප්‍රභූවරයකුගේ ගතිය ඔහු කෙරෙන් දිස්වෙයි. පෝලිමේ ඉහළ - පහළ යමින් හා කුණුහරප කියමින් ස්ත්‍රීන් දෙස ගිජු බැලුම් හෙළන කළු - අපිරිසුදු - හැඩිදැඩි මිනිසුන් හා සසඳන කල ඔහු අහසට - පොළොව මෙන් දුරස්ය. මොහුගේ මුහුණෙහි නිතර රැඳෙන මන්දස්මිතය ඕනෑම කෙනකු වසඟයට ගැනීමට සමත්ය. අනුලාගේ අදහසට අනුව තමන් මෙතෙක් දුටු අපූරු පිරිමියා ඔහුය.

හේතු ප්‍රත්‍යයක් දැක්විය නොහැකි වුව අනුලා කැමැතිම අක්ෂරය 'ක' යන්න ය. 'අ' යන්න අනුලාට අප්‍රසන්න වෙයි. අනුර, අනූෂා, අනුරාධ, අනුපමා යන නම්වලට ඇය ශාප කළාය. අනුලා යන නමට ඇය කිසිසේත්ම කැමැති නැත. කමලා, කමනී, කාන්තී වැනි නාමයන් තමන් සඳහා යොදන්නේ නම්; ඇය බෙහෙවින් කැමැති වෙයි. පුදුමයකට මෙන් ඔහුගේ නම කපිල ය. ඇය ඒ නම කිහිප වරක් හිතින් කියෙව්වාය.

මේ අභාග්‍ය සම්පන්න කාලය තුළ සෑම මුහුණකම ඇත්තේ වියළි - කර්කශ අප්‍රසන්න ස්වාභාවයකි. හැම කටකින්ම පිට වන්නේ කුණුහරපය. නැත්නම් අඳෝනාය.

තරාතිරම කුමක් වුව පීඩනය දැනෙන්නට පටන්ගෙන තිබේ. තෙල් පෝලිම තුළ ඇසෙන සෑම වචනයකින්ම පමණක් නො ව; සුසුමකින් පවා දැනෙන්නේ අවිනිශ්චිත බියකරු ස්වාභාවයකි. මෙබඳු අතිශය පීඩාකාරී පසුබිමක වුව හෙතෙම ශාන්තුවරයකු සේ හැසිරෙන්නේ කෙසේ ද?

"මිස් බවුසරේ එන්ඩ

රෑ දොළහ වෙනවලු!"

"මොනව කරන්ඩද?

ඉඳල ගහගෙනම

යනවා...!"

"එතකොට කෑම!?"

"බඩගින්නෙ තමා ඉතින්!"

"ඉන්ඩ මම මොනවහරි

ගෙනත් දෙන්නම්!"

නන්නාඳුනන පිරිමියකුගේ කෑම ප්‍රතික්ෂේප කළ යුතු යැයි සිතුණද ඔහුගේ මුහුණ බලාගෙන දැඩි වචනයක් කීමේ හැකියාවක් අනුලාට නොතිබිණි. ඇය "හා" කිව්වේ නැත. එපා කිව්වේ ද නැත. හැරත් තෙල් පෝලිමේ බයිසිකල් තබාගෙන සිටින හැම ගැහැනියක්ම කුමන හෝ පිරිමියකු කැටුව සල්ලාපයක යෙදී සිටින අයුරු අනුලාට දැක ගත හැකි විය. මේ මොහොතේ කාන්තාව අසරණ යැයි ඇයට සිතිණි. එහෙත් විනාඩි විස්සක් යන්නට මත්තෙන් හෙතෙම ලොකු බීම බෝතලයක් ද කෑම වර්ග කිහිපයක් සහිත පාර්සලයක් ද සමඟ ඇය ඉදිරියේ පෙනී සිටියේය.

තෙල් පෝලිමේ අනුලාගේත් - කපිලගේත් සම්බන්ධය ආරම්භ වන්නේ එතැනින්ය. තෙල් අර්බුදය උග්‍ර වී පෝලිම් තව - තවත් දිගු වන විට දෙදෙනාගේ සම්බන්ධය මෝරා වැඩුණේය. පෝලිම උණුසුම් වන විට ඔවුන්ගේ හැඟීම් උත්සන්න විය. ඔව්හු වරෙක කපිලගේ මෝටර් රථය තුළ අනාචාරයේ හැසිරුණහ. තව වරෙක කපිලගේ නවාතැනට ගොස් නිදහසේ හැසිරුණහ. තවත් වරෙක ටවුමේ හෝටලයක කාමරයක් පැයකට වෙන් කරගෙන එහි ගියහ.

අනුලාගේ පුරුෂයා පෞද්ගලික සමාගමක ආරක්ෂක නිලධාරියෙකි. ඔහුට වැඩ ඇත්තේ රාත්‍රියේය. රාත්‍රිය පුරාවට නිදි වරන ඔහු දහවල පුරාවට සිත් සේ නිදා ගනී. ඔහුට සිය බිරිය ගැන හෝ එකම දරුවා ගැන හෝ සොයා බලන්නට වේලාවක් නැත. ඔවුන්ගේ ජීවන සටන දෙස බලන විට අනුලාට ඉන්ධන අත්‍යවශ්‍ය වෙයි. ඇය දිනපතා ම සිය බයිසිකලයෙන් දරුවා පාසලට ගෙන යා යුතුය. නැවත පාසලෙන් ගෙදර රැගෙන ආ යුතුය.

මේ වන විට සිය සැමියා කෙරෙහි මහා නුරුස්නා බවක් අනුලාගේ සිතෙහි මතු වී තිබිණි. කොහොමටත් ඔහු ප්‍රියමනාප තැනැත්තෙක් නොවේ. නිදිමැරීම නිසා බොහෝ විට ඔහුගේ දෑස් රතුය. හම අඳුරු පැහැයට හුරුය. ඔහු කෙරෙන් හමා එන නාකි - හඩු ගඳ අනුලාගේ අප්‍රසන්නතාව තවත් වැඩි කරයි. කපිලගේ සම්බන්ධය නිසා අනුලාගේ සිතිවිලි හොඳටම වෙනස් වී තිබිණි. තෙල් ඇතත් - නැතත් පෝලිමට යෑමට ඇයට සිතේ.

"කපිල මේකෙ තේරුම

මොකක් ද? මං දරුවෙක් ඉන්න

අම්ම කෙනෙක්!"

"ඔයාට දරුවෙක් ඉන්නවා,

මගෙ නෝනට දරුවෙක්

ලැබෙන්ඩ ඉන්නවා!"

"එතකොට වයිෆ්ට

ආදරේ නැද්ද?"

"මං වැඩියෙන්ම ආදරේ

කරන්නෙ වයිෆ්ට. මං

තෙල් පෝලිම්වල දුක් විඳින්නෙ

වයිෆ් බලන්ඩ යන්ඩ තෙල්

ගහගන්ඩ!"

"එතකොට මම!?

"ඔයා ගැන විශේෂ දෙයක්

මට නෑ!"

"ඒකත් එහෙමද?"

අනුලා එදින සිය නිවෙස කරා පැමිණියේ කියා ගත නොහැකි සංකීර්ණ සිතිවිලි දාමයක පැටළෙමිනි. පාන්දර නිවෙසට ගොඩවන විටත් සැමියා පිටව ගොසින්ය. ඔහු යාන්තමට කිරිබතක් සූදානම් කර තිබිණි. අනුලා දැන් දරුවා සූදානම් කරගෙන පාසලට යා යුතුය.

ඇයට මහා කෙඩෙත්තුවක් දැනෙයි. තමාගේ සුන්දර ලෝකය එහෙම පිටින්ම කඩා වැටී ඇති බවක් අනුලාට සිතෙයි. තමන්ට ආදරයක් නැති මිනිස්සු දෙදෙනෙක්! අනුලාට රන්කෙන්දෙන් බැඳි ගීතය සිහිපත් විය. ඒ චිත්‍රපටය නරඹා හඬා වැටුණු ආකාරය ඇයට සිහිපත් විය. චිත්‍රපට ලෝකය එකකි. සැබෑ ජීවිතය තවත් එකකි. එහෙත් කපිල නම් ආකර්ෂණීය පුරුෂයා අමතක කරන්නේ කෙසේද?

ආදරය, බැඳීම, ගැළපීම කොයිතරම් අපූරු ද? කපිල සමඟ ගෙවූ අවස්ථා කිහිපය ජීවිතයේ තෘප්තිමත්ම සිදුවීම් ලෙස ඇගේ සිතෙහි සටහන් වී ඇත. දරුවා ද සමඟ තමන් භාර ගැනීමට කපිල සූදානම් යැයි අනුලාට විශ්වාසයක් තිබිණි. ඒ ප්‍රශ්නය ඔහුගෙන් විමසීමට ඇය කල්-යල් බලමින් සිටියාය.

ඔහුගේ රැකියාව, වත්කම්, නවීන මෝටර් රථය, කඩවසම් සිරුර යන සියල්ල ඇයට අහිමි වෙතැ'යි ශෝකයක් හා බියක් අනුලාගේ සිතෙහි බුර - බුරා නැඟෙයි. ඒ හැරත් පසුගිය දවස් කිහිපෙයෙහි වූ සිදුවීම් මාලාවෙන් තමන්ට තවත් දරුවකු ලැබෙන්නටත් බැරි නැත.

අනුලාගේ ඔළුව හොඳටම අවුල්ය. ඇය එම අවුල මැද දරුවා ද රැගෙන පාසල වෙත යෑමට බයිසිකලයට නැඟුණාය.

එදිනත් සන්ධ්‍යාවේ ඇය තෙල් පෝලිමට ගියාය. එහෙත් ඔහු නැත. ඔහු දැන් එතැ'යි, දැන් එතැ'යි අනුලා බලා සිටියාය. “අද යාළුවා නැතිව වගෙයි” කෙනෙක් කීහ. “මිනිහා මනමාලයා” තව කෙනෙක් කීහ. අනුලා බයිසිකලය පෝලිමෙහි තබා ඉදිරියට ගමන් කළාය.

පෝලිමේ මුල් හරියේ ඔහුගේ ටෙයෝටා වර්ගයේ කිරිපැහැති කාරය තිබිණි. එහි බොනට්ටුවට හේත්තු වී හුරුබුහුටි තරුණියක් සිනාසෙමින් සිටියාය. ඒ අසලම කපිල සිටියේය. ඔවුන් බර කතාවකය. අනුලාගේ කෝපය ඉහ - වහා ගිය අතර වහාම එතැනට කඩා පැන්නා ය. “මේ මං අඳුනන අක්ක කෙනෙක්” කපිල එම තරුණියට අනුලා හඳුන්වා දුන්නේය.

“අක්කා!” යන්න මතුරමින් අනුලා ආපසු හැරුණාය. ආපසු තමන් සිටි තැනටම පැමිණි ඈ වහාම බයිසිකලය ගෙන ගෙදර දෙසට පදින්නට වූවාය. ඒ වන විටත් සැමියා හා දරුවා නිදාගෙන උන්හ. අනුලා සිය සැමියා අසලින් වැතිරෙන අතර අමු තිත්ත කුණුහරුපයෙන් පෝලිමට හා ආණ්ඩුවට බැණ වදින්නට පටන් ගත්තාය.

Comments