නිෂ්ප්‍රලාප | සිළුමිණ

නිෂ්ප්‍රලාප

උසස් පෙළ පන්තිවල උගන්වන ගුරුතුමකු වන රුවන්සිරි එම පන්තිවල සිසු සිසුවියන් අතර පමණක් නොව මවුපියන් අතර ද ජනප්‍රිය ගුරුවරයෙකි. ගුරු භූමිකාවේ සුවඳ නිබඳව වහනය වන පුද්ගලයකු වන රුවන්සිරි පරිපාලන අංශයෙන් ද බුහුමන් ලබමින් සිටී.

දරු දැරියන් "රුවන් සර්" යයි ආදරයෙන් අමතන ඔහුගේ විෂය පථය වන්නේ සිංහල භාෂාව සහ සාහිත්‍යය යි. එම විෂය සඳහා ගෞරව උපාධිය ලබා සිටින ඔහු මේ තරමට සිසු පරපුරේ ආදරයට ලක්වීමට තුඩු දී ඇති ප්‍රබලම හේතුව වන්නේ ඔහු සාකල්‍යයෙන් ම ගැටලුවක දී ළමයින්ගේ පැත්ත ගෙන, ඔවුන් වෙනුවෙන් සාධාරණයක් සිදුවන අයුරින් කතා කිරීමයි. ගුරු භූමිකා රංගනයක යෙදෙන රජයේ සේවකයකු වශයෙන් ළමයින්ට දෙන දැනුම අවංකව දිය යුතුය. ගුරු වෘත්තියේ ගෞරවය රැකෙන අයුරු සිසු දරුවන් අතර හැසිරිය යුතුය. ළමා මනස දූෂණය වන, ලට පට ඔවුන් හමුවට රැගෙන නොආ යුතුය. ගුරුතුමාගේ දැක්ම එයයි.

භද්‍ර යෞවනයට පිවිසි ළමයින් අතරට තම පාඩම් ඉදිරිපත් කිරීමට යෑමේදී විවිධාකාර ගැටලු ප්‍රශ්න ආදියට මුහුණ පෑමට සිදුවීම අස්වාභාවික නැත. එවැනි ප්‍රශ්නවලදී ළමා මනස තුළට විනිවිදව ගොස් ඉවසීමෙන් යුතුව, ළමයින්ගේ ආකල්ප සමඟ සම්බන්ධවීමේ වගකීම සහ යුතුකම රුවන්සිරි ගුරුතුමා පැහැදිලිව අවබෝධ කරගෙන සිටී.

වසර දහයක පමණ ඉගැන්වීමේ පළපුරුද්දෙන් පන්නරය ලබා සිටින ඔහුට තම ගෝල බාලයින් නිසා පැන නැගී ඇති නවතම ගැටලුව පාසලේ එක් ශිෂ්‍යාවක නිසා නිර්මාණය වූවකි. මේ ගැටලුව මේ තරම් දුරදිග යන එකක් බවට පත්වේ යයි රුවන්සිරි කලින් නම් නොසිතුවේය.

ගැටලුව රත් වූයේ තම ශිෂ්‍යාවන් අතර සිටින අවන්ති නිසාය. ඇය දොළහ වසර සිටින දක්ෂතම ශිෂ්‍යාවකි. එක වචනයක් මුල් කරගෙන, ප්‍රශ්න වැලක්ම සිත් තුළ නිර්මාණය වී ඇත. සුළං කුණාටුවක් හමා එන්නාක් මෙන් ප්‍රශ්න ඉදිරිපත් කරමින්, තමා සමඟ තර්ක විතර්ක ඉදිරිපත් කරන අවන්තිගේ කතා වින්‍යාසය ගැන, ගුරුවරයකු වශයෙන් ඔහු ද නිහතමානීව ආඩම්බරයට පත්වෙයි.

එක් අතකින් අවන්තිගේ මනසට මේ අදහස් දුන්නේ තමා ම මිස වෙන කිසිවෙකු නොවේ. සිදුව ඇත්තේ අවන්ති විසින්, වැරදි වැටහීමක් ඇතිකරගෙන කරුණු ඉදිරිපත් කිරීමකි. වරද නිවැරදි කර දීමට මෙය හොඳම අවස්ථාවයි.

"සර්... ඇත්තටම මගේ කතාවට ප්‍රථම ස්ථානය ලැබිය යුතුයි. විනිශ්චය මණ්ඩලයේ තීරණය... මට ලැබී ඇත්තේ දෙවැනි ස්ථානයයි... ඉතින් ඒ ස්ථානය පිළිගන්න මම කැමති නැහැ.. නමුත් මම ආචාරශීලීව පිළිගන්නවා... මොකද?.. මට එහෙම පිළිනොගෙන ඉන්න බැහැ.. ඒත් කතා කරන්න මට අයිතියක් තියෙනවා සර්...!"

"දෙයක් ලැබිය යුත්තේ සුදුස්සාටම යි" නිහඬ වත රකිමින් සිටි ගුරුතුමා අවන්තිගේ කතාවට පොහොර දැම්මේය.

අවන්ති සහ තමා අතර පන්තිකාමරයේ දී සිදුවූ සංවාදය හඬ පටයකින් මෙන් නින්නාද වෙයි. ශිෂ්‍යාවක සමඟ සංවාදයකට සහභාගි වීමේදී ගුරුවරයකු වශයෙන් තිබිය යුතු සංයමය පිළිබඳ මනා වැටහීමක් ඔහුට තිබේ.

"සර්, එදා තෑගි ප්‍රදානය කරන වෙලාවේ මගේ කෙටි කතාව ගැන කරපු වචන ටික මට වැදගත්... ඇත්ත වශයෙන්ම එක වචනයක් යෙදීම තමයි... මගේ කතාවට දෙවැනි ස්ථානය ලැබීමට හේතුව... එය දුර්වලකමක් ලු..!..සර් අපට කිව්වෙ භාෂාවක සංවර්ධනයට වෙනත් භාෂාවල වචන එකතුවීම වරදක් නැහැ කියල නේ."

එහෙත් ගුරුතුමා අවන්තිගේ අදහසට එකඟවූයේ නැත.

"අවන්ති... ඔය කියන ආකාරයට ඔබට අසාධාරණයක් වෙලා නැහැ... විනිශ්චය මණ්ඩලය.. වැරදි නැහැ..."

"මට තියෙන ප්‍රශ්නය ඒක නොවෙයි සර්... මම කළේ නිර්මාණයක්... වචන යෙදීම තමන්ගේ කැමැත්තට අනුව කරන්න පුළුවන්"!

"ඒ වුණාට භාෂාව මරන්න බැහැ අවන්ති"...

"ලැබෙනව නම් දෙයක් ලැබිය යුත්තේ සුදුස්සාටමයි" ගුරුතුමා දෙවැනි වරටත් කීවේය.

"අවන්ති... අපේ මවුබස සිංහල.. ඒක ශ්‍රේෂ්ඨ භාෂාවක්... අනන්‍යතාවක් තියෙනව... තම තමන්ට ඕන විදියට භාෂාව වෙනස් කරන්න බැහැ... එහෙම වුනහම... භාෂාව කඩා වැටෙනව"

"ඔව් සර්... සර් කියන එක මට පැහැදිලියි"

"අවන්තිට, තව දුරටත් හිතන්න තිබුණා. එහෙම හිතුව නම් ඔය වචනය යොදන්නෙ නැහැ."

ගුරුතුමා අවන්තිට පැහැදිලි කළේය. "සමහර තැන්වලදී අපටත් වරදින තැන් තියෙනවා අවන්ති... ඒව නිවැරදි කරගන්න ඕන...."

"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී." එහෙම කිව්වෙ අපේ මහා පඬි රුවනක් වන කුමාරතුං මුණිදාස සූරීන්... ඉතින් ඒක එහෙම වුණත්, සමහරු ඒ අදහස විකෘති කරල, පටලවනව.... කාගෙද වැරැද්ද අවන්ති?

"අපිම තමයි වැරදි කරන්නෙ සර්" විවේක කාලය අවසන් වන බව දැන්වීමේ සීනු හඬ ඇසෙන තුරුම කතාව දිග්ගැස්සෙමින් තිබුණි. කාල සටහනේ ඊළඟ පාඩමට පන්ති කාමරයට යාම සඳහා අසුනෙන් නැඟී සිටි රුවන්සිරි ගුරුතුමා අවන්ති සහ තමන් අතර සිදුවූ සොඳුරු වචන හුවමාරුව ගැන සිතමින් පියවර මැන්නේ ය.

එදින පාසල හැරී නිවෙසට ගිය ඔහු දවල් දවස තුළ හටගත් විවිධාකාර සිතුවිලි මැද සැරිසරන්නට පටන් ගත්තේය. සමහරක් සිතුවිලි අමිහිරි විය. සමහරක් මිහිරි විය.

රාත්‍රී ආහාරයෙන් පසු ඉස්තෝප්පු කාමරයට වී පොතක් පතක් කියවීම, ඔහුගේ දෛනික ක්‍රියාවලියේ එක් අංගයක් විය. වෙලාව රාත්‍රී නමයට ආසන්න වෙමින් තිබුණි. පොත් මේසයට නෙත් හැරවූ ඔහුට මේසය මත තිබූ අවන්තිගේ කෙටි කතා පිටපත ද දිස්විය. ඒ සමඟම, එදින දවල් නිමාවක් නොමැතිව නතර කළ අවන්ති සහ තමාගේ ද සංවාදය පණ ලැබුවේය. සිසුවියන් අතර දක්ෂතම ශිෂ්‍යාවක වන අවන්ති අදහස් මත වාදවලට පයින් ගැසීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ ගුරුවරයකු වශයෙන් නුසුදුසු බව ඔහුගේ සිත කියයි.

මීට පෙර දෙතුන්වතාවක්ම කියවා තිබුණත් අවන්තිගේ ප්‍රකාශවලින් ලැබූ උත්තේජනය මඟින් පොළඹවනු ලැබීම නිසා රුවන්සිරි කෙටි කතාවේ කොටස් එකක් දෙකක් උඩින් යටින් කියවන්නට පටන් ගත්තේය.

කතාව නම් කර තිබුණේ, "නෙගටිව් ප්‍රලාප" නමිනි.

ප්‍රවේශ....

මැදිවියෙහි කාන්තාවක් වන කුසලාවතී ඩේවිට්ට දාව දරුවන් තිදෙනෙකු වදා සිටින්නීය. දරුවන්ගෙන් දෙදෙනෙකු දියණියන් වන අතර, ලොක්කා පුතණුවෙකි. ඔහු ගුණදාසය. පවුලේ බාලතමයා හෙවත් බඩපිස්සී මල්කාන්තිය. මද්දුමයා සමන්මලීය.

දරු තිදෙනාම පතිකුලයට ගොස් සිටින බැවින් දැන් නම් කුසලාවතීට එතරම් පවුල් බරක් දැනෙන්නේ නැත. මල්කාන්ති සමඟ මහගෙදර ජීවත්වන කුසලාවතීට ඇති රාජකාරිය මල්කාන්තිගේ පුංචි එකා බලා කියා ගනිමින් ගෙදර දොර වැඩපළ ටික කර දවස ගත කිරීමයි. එදත් වෙනදා වගේම ඩේවිඩ් ගොඩැල්ල වත්තට ගොස් සිටියේය. වත්තේ වැඩ හැරුණු පසු නිවෙස බලා ගමන් අරඹයි. අතරමඟ මඳක් තොල තෙමා නොගත්තොත් එදවස රෑට නින්ද හොරය.

කුසලාවතී වෙනද වගේම පුංචි මුනුපුරා තරංගත් එක්ක අල්ලපු ගෙදරට පියවර මැන්නාය. කුසලාවතී දකින කොටම ජයමාලිගේ මුහුණ පිච්ච කැකුළක පෙති විහිදෙන්නා සේ එළිය වැටෙයි.

මොන මොනවා හෝ කතා කරමින් ආස්වාදයෙන් සිත සායම් කරගන්නට ලැබෙන සොඳුරු වෙලාවක් ලෙස, කුසලාවතී සම්ප්‍රාප්තිය ඇයට පෙනේ.

කුසලාවතී ගෙයි පිටක්කන පැත්තට පියවර මැන්නාය. ජයමාලි ද ඈ අසලට කිට්ටු වුණාය. පුංචි එකා තරංගත් ජයමාලිගේ පොඩි එකාට කිට්ටු වුණේය.

"පුතාල දෙන්න එක්ක රණ්ඩු කරගන්නෙහෙම නැහැ හොඳේ..."

"පොඩි එවුනුත් ටිකක් සෙල්ලම් කරන්න එපායැ කුසලාවතී අක්කෙ..." කුසලාවතීත් සිනහ පොදක් නඟමින් එය අනුමත කළාය.

"මොකෝ අපිත් එක්ක බෝල ගහන්නෙයි..... ඒක නොවෙයි ජයමාලි නංගියෙ ඊයෙ අර හේන පැත්තෙන් කෑ ගැහුවෙ කවුද?... මට යාන්තම් නින්දයාගෙන ආව විතරයි.... සද්දෙ ඇහෙනකොට."

"ආරංචි නැද්ද අක්කට?"

"ඊයෙත් අර ගෑනිගෙ කාමරේට ජයසෝමය රිංගන්න ඇවිත්! උගේ හැටි දන්නවනේ අක්කේ. ගෙදර ගෑනී දීපංකරේ යවල ඌ අනුන්ගෙ ගෑනු පස්සෙ යනව!"...

රුවන්සිරි කෙටිකතාව නොනවත්වා කියවාගෙන යෑම මොහොතකට නතර කර උදෑසන පාසලේදී කළ සංවාදය පිළිබඳ සිතන්නට පටන් ගත්තේය. මඳ වේලාවක් නිහඬව සිටියේය.

නැවත වතාවක් කතාවෙහි කොටසක් කියවන්නට පටන්ගත්තේය.

ජයමාලි කතාවට සායම් තවරමින් කියවන්ට පටන් ගත්තාය.

"ඉතිං..." කුසලාවතී කම්මුලට අත තබාගත් ඉරියව්වෙන්මය. "ඒ ගෑනිගෙ කෙල්ලටත් නින්ද ගිහින්ලු!"

කතාව කියවීම මොහොතකට නතර කළ රුවන්සිරි අවන්තිත් තමාත් අතර හුවමාරු වූ කතාබහට පුනර්ජීවය දුන්නේය.

"සර්... එදා අර ගුත්තිල ඇදුරුතුමා වාදයකට පටලවා ගත්තෙ... වැරැද්ද කාගෙද?... ඒක හරිද?... සර් වැරැද්ද රජතුමාගෙ."

"රජතුමාගෙ?"

"සර් ගුරු ගෞරවය කාටත් තියෙන්න ඕන."

"අවන්ති හරි"

"රජතුමා රජකමට පත්වෙන්නත් පාර පෙන්වන්නෙ ගුරුවරයෙක්මනේ සර්."

"අවන්ති දන්නව නේ අර තිලමුට්ඨි ජාතක කතාව... ඒ කතාව අද කාටත් පාඩමක්."

"කතාව අපට හොඳට මතකයි සර්."

"පුංචි කාලෙදි කරපු හොරකමට... ගුරු ගෙදරින් දඬුවම් නොලැබුණා නම්, රජ්ජුරුවො හොරෙක් වෙනව..."

අවන්ති සහ තමා අතර සිදු වූ සංවාද මතක උඩට ගැනීම නතර කළ රුවන්සිරි ගුරුතුමා, කතාවෙහි සමාප්ති භාගයට නෙත් පහර යැව්වේය. එය වර්තමාන ගෘහාශ්‍රිත සංස්කෘතියේ අශෝභන පැතිකඩක් දිග හැර පෙන්වන්නකි. අනුවේදනීය ඛේදාන්තයක ශෝකාලාපයක් පමණි.

කෙටිකතා කලාවේ නිර්ණායක රකිමින්, කතා ශරීරය ගලා යාමට සැලැස්වීම, අවන්ති ශිෂ්‍යාවගේ නිර්මාණ කුසලතාවය ප්‍රදර්ශනය කරන්නාක් සේ ගුරුතුමාට පෙනේ.

සමස්ත කතා පිටපත කීපවරක් කියවා තිබුණ බැවින් ඔහු මෙවර එය කියවන්නේ එකම අරමුණකින් පමණි. අවන්තිට අසාධාරණයක් සිදු නොවී ඇති බව, පාසලට ගිය පසු පැහැදිලි කරදීම එම අරමුණය.

නිමාව - මැල්සිරිපුර තේ පැක්ටේරියට රෑ වැඩමුරය සඳහා කාන්තාවන් ගෙන යෑමේ වෑන්රිය ගෙය ඉස්සරහින් යන හඬ ඇසෙනවිට කුසලාවතීට කාලය පියාඹා ඇති වේගය සිහිපත් විය. හැමදාමත් මේ වෑන් රිය නිවෙස පසුකර යන්නේ හවසට පහට පහමාරට පමණය.

"එහෙනම් ජයමාලි නංගියෙ මම ගිහිං එන්නම්".... වැහි වලාකුළුත් බරවෙන්න වගේ" අහස අඳුරකින් වසාගෙන ඇති ආකාරය ජයමාලිටත් පෙනේ. කුසලාවතී අසුනෙන් නැඟිට්ටාය.

"තේ ටිකක්වත් දෙන්න බැරි වුණා" ජයමාලි කියන්නීය. "අනේ එපා!"

මිදුලට පා තැබූ කුසලාවතී,

"පුතේ යං... අපි ගෙදර" දරු දෙපළ සිටි මිදුල දිහාවට හැරෙමින් කුසලාවතී කීවාය.

එහෙත්.... දරු දෙපළගේ සෙවණැල්ලක්වත් නොපෙනේ.

"පුතේ... පුතේ..." කෝ මේ දෙන්න පු..ත්..ත්..තේ!"

කුසලාවතීගේ කට හඬ වේගවත් වූයේ පිටත්වෙන දුම්රියක හඬ වේගය වැඩි වෙන්නාක් වගේය.

"පුතේ... කෝ මේ දෙන්න... ජයමාලි නංගියේ" ජයමාලිත් මිදුලට පැන්නාය. 

"පුතේ... කොහේද... පුත්...ත්තේ...!" කටහඬ ඇසුනු පාරේ ගිය දෙදෙනෙක් ද මිදුලට පැමිණියෝය. දරු දෙපළගේ අතුරුදන්වීම ප්‍රහේළිකාවක් වීම තත්පර ගණනකින් සිදු විය.

කුසලාවතීගේ හඬට උඩින් ජයමාලිගේ හඬ පියාඹයි. ඊට උඩින් කුසලාවතීගේ හඬය. පාරේ යන තවත් කීප දෙනෙක් එතනට එකතු වූහ.

කුසලාවතී විලාප නගන්නට පටන් ගත්තාය.

"කෑ ගහන්නෙ නැතුව අපි දරුවො සොයමු."

කවුරුත් ඒ මේ අත දුවන්ට පටන් ගත්හ. දරුවන් සෙවීම වේගවත් වෙද්දී තරමක් දුරින් සිටි එක් අයකු"මෙහේ... එන්න... අයි...යෝ... එන්න... මෙන්න..." කියමින් කෑගැසුවේය. ඒ හඬ සොයා ගැනීමක ලකුණක් බව කාටත් වැටහුණි.

"මේ... මේ... බලන්න...?"

"මෙන්න සෙරෙප්පුවක්..." මේ කාගේ....?"

ජයමාලිට අත්හැර දමා තිබුණු පරණ ළිඳක් ද මතකයට ආවේය. ඈ සෙරෙප්පුව හඳුනාගත්තාය. එය දරුවාගේය. දවලුත් දමාගෙන සිටි සෙරෙප්පුවයි.

හැමෝම ළිං ගැට්ට අසලට එකතු වූහ... වරින් වර උඩට එන දිය බුබුළු දිහා සමහරු බලා සිටියෝය. කුසලාවතී කලන්ත වී වැටුණාය. ජයමාලිගේ විලාපය නොනැවතී ඇසේ.

"නෙගටිව් ප්‍රලාප" යේ සමාප්තිය නිර්මාණය කර තිබූ ආකාරය රුවන්සිරි ගුරුතුමාගේ සිත් ගත්තේය. පසුදින පාසලට ගිය පසු අවන්තිට වැරදුනු තැන පැහැදිලි කර දිය යුතු යැයි තීරණය කළ ඔහු කාමරයෙහි විදුලි පහන අක්‍රිය කළේය.

කේ.ජී.සංඝ­දාස

Comments